කදෝකිමි ඇස් -51

0
3957
කදෝකිමි ඇස්

මේඝට උවමනා වූයේ ආරණ්‍යා අමතන්නට ය.ඇය අමතා අම්මාගේ වෙනස ගැන කියන්නට ය.ආදරයට විශ්වාසය එක් වූ විට ජීවිතය රැගෙන යන්නට පහසු බව මේඝ දනියි.ඔහුගේ අතීත සබඳතා සමහරකට හරස් වූයේම ඒ කාරණාව ය.ඒ හැමතැනමක වරද තිබුණේ පෙම්වතියගේ පාර්ශවයේම නොවන බවද ඔහු දනියි.

“මිනිස්සු වෙනස් වෙන්නේ අත්දැකීම් එක්ක මේඝ.මෙ ඉන්නවට වඩා පරිණත වුණාම ඔයාට උනත් ආදරේ ගැන මීට වඩා වෙනස් හැඟීමක් දැනෙයි.”

මේඝට එසේ පැවසුවේ ඔහුගේ විදේශීය පෙම්වතියකි.ඒ සබඳතාවය බිඳී යන්නට පෙර මේඝ සමඟ හොඳ කතාබහක නියැළෙන්නට ඇයට උවමනා විය.මිනිස්සුන්ට වැරදිය හැකි තැන් ද ඒවා නිවැරදි කර ගන්නා ආකාරය ද ගැන ඇය මේඝ සමඟ බොහෝ වේලාවක් කතා කළා ය.සබඳතා කෝපයෙන් අවසන් නොවී යහපත් සමුගැනීමකින් අවසන් වීමේ සතුට මේඝ වින්දේ ඇය නිසා ය.විදෙස් යුවතියක නොවුණද මේඝට ආරණ්‍යා තුළින් පෙනෙන්නේ ද එවැනි පරිණත හැසිරීමකි.ඇය අම්මට කුමක් පැවසුවා ද යන්න මේඝ නොදනී.නමුත් අම්මා වැනි තද හිතක් ඇත්තියකගේ හිත දිනා ගන්නට ආරණ්‍යාට හැකි වූ බව දැන් ඔහුට විශ්වාස ය.

මේඝ දුරකථනය අතට ගෙන අදහස වෙනස් කර ගත්තේ ය.ඔහුගේ අම්මා ඇමතුවේ ආරණ්‍යා ට ය.මේඝ ද ඇමතිය යුත්තේ ඇගේ අම්මාට ය.ආරණ්‍යා අම්මා ගැන කතා කරන සෑම මොහොතක හිඳින්නේ උද්දාමයෙනි.රටේ පිළිගත් චරිතයක් අම්මා වීම ඇයට සතුටට කාරණයක් බව ඔහු දනී.නමුත් ආරණ්‍යා සතුටු වන්නේ ඒ නිසාම නොවේ.මේකලා දියණියකට ලැබිය යුතුම වර්ගයේ අම්මා කෙනෙකි.දියණියගෙන් ඇගේ සිහින සැබෑ කරගන්නට උත්සාහ නොගන්නා මේකලා ඇයට ඇගේ මාවතක ඇවිද යන්නට ඉඩ හසර ලබා දෙන ආකාරය ගැන ආරණ්‍යා කතා කරන්නේම අප්‍රමාණ ආදරයකිනි.ඉමිහිරි මව් දියණි බැඳීමක සුන්දරත්වය විඳිමින් සිටි මේඝට මේකලාට කියන්නට බොහෝ දෑ තිබිණ.

“ආන්ටි,මට ඇත්තටම ආන්ටි මුණ ගැහෙන්න ඕන වුණේ ගොඩක් පුංචි කාලේ.මට ආන්ටිගේ පොත් ගැන ආන්ටිත් එක්ක කතා කරන්න ඕන වුණා.ඒත් මට දැන් කතා කරන්න තියෙන්නෙ නම් පොත් ගැන නෙමෙයි.මට ඔයාව මීට් වෙන්න වෙලාවක් දෙන්න පුලුවන්ද?”

ඔහු එසේ අසද්දී මේකලා සාලයේ ඇති ආරණ්‍යාගේ ඡායාරූපයට හිනැහුණා ය.ඔහුට අවශ්‍ය ඈ ලියූ සොඳුරු ම පොත ගැන කතා කරන්නට බව මේකලා දන්නී ය.දිනෙක තරුණයෙකු විචාරය වෙනුවෙන් පැමිණෙන වග ඇය දැන සිටියා ය.ආරණ්‍යාගේ තේරීම අතිවිශිෂ්ට එකක් වන බව ද ඇය විශ්වාස කළා ය.

“මුං දෙන්නා සහෝදරයෝ ගාණයිනෙ.නැත්නම් මට සුදුපුතාට කෙල්ලව දීලා දාන්න හිතෙනවා.මොකෙක් හරි කෙල්ලට දුකක් දෙයි කියලා මට පුදුම බයක් තියෙන්නෙ.මෝක්ෂ නම් ඉතින් ඉල්ලන ඉල්ලන දේ දිදී හුරතල් කරනවනෙ.”

දියණියගේ අනාගතය ගැන එසේ කියද්දී බිනරි රවා බැලූ අන්දම මේකලාට අමතක නොවේ.

“ආදරේ කියන්නේ රිදෙන් නැති දෙයක් නෙවෙයි.ඒ රිදිලිත් ඉවසුවාම කෙල්ල ජීවිතේ ගැන දැන ගනියි.”

එදා මිතුරියගේ බස් අසා ආරණ්‍යා ආදරය සම්බන්ධයෙන් ගන්නා ඕනෑම තීරණයකට එකඟ වන්නට මේකලා හිත හදා ගත්තා ය.දැන් දියණියගේ තේරීම ගැන කතාබහ කරන්නට කාලය පැමිණ තිබේ.දෛවය අපූරු දෑ සිදු කරයි.ආරණ්‍යා තෝරාගෙන ඇත්තේ මීට වසර ගණනාවකට ඉහත මේකලාගේ තෝරා ගැනීමේ කුඩා අනුරුව ය.මේඝ දකින්නට මේකලා ආදරයෙන් මඟ බලන්නට වූවා ය.ඒ අතීතය නොවේ.වර්තමානයකි.දියණිය තෝරා ගත් ඇගේ අනාගතය ය.

“එන්න පුතේ.අපි කතා කරලා බලමු.”

ලක්ෂිගේ කැමැත්ත ගැන තබා ඇගේ රෝගය ගැන ද හාංකවිසියක් නොදැනම මේකලා මේඝට එසේ පැවසුවා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here