සඳ කත් මිණි ඇස් -16

දිව්‍ය විමානයක් සේ විදුලි එළියෙන් ආලෝකවත් වී ඇති බර්ලින් නුවර දෙස බලමින් සූර්යා කාමරයෙහි සක්මන් කළා ය. ඇගේ සිත් හි සියුම් පසුතැවීමක් විය. ප්‍රවීන් ට කම්මුල් පහරක් දෙන්නට තරම් ඉක්මන් නොවී ඉන්නට තිබිණි!

ඔහු ගේ හැටියට කම්මුල් පහරක් නොතරම් ය. ඊට වඩා විසල් වූ දඬුවමක් ලැබිය යුතු ය. ඔහු ඒ තරමට අශ්ලීල මිනිසෙකි. ඒ පහරත් නො ගසා හිටියා නම් හොඳ ය කියා දැන් සූර්යා ට හිතෙන්නේ ආලෝක ගැන සිතත්දී ය. මේ කම්මුල් පහර රිදුණත් නැතත් එය ඔහු ගේ කෝපය දල්වා ලනු ඇත.පළිගැනීමේ චේතනාව ආලෝක වෙත යොමු වුණෝතින් වන්නේ විනාශයකි.

සූර්යා ගේ අත් පහර කම්මුල මත තිබියදී ම ප්‍රවීන් ගියේ සිය සගයින් මධු විතෙන් සප්පායම් වන තැනට ය. සූර්යා ඔහු ට ගැහුවා කියා අනිත් අයට දැන ගන්නට හැරීම ඔහු ට අවමානයකි. ඒ නිසා ප්‍රවීන් මිතුරන් අතරට පැමිණියේ කිසිත් සිදු නොවුණ ගානට ය. 

“අපරාදෙ. අපිටත් තිබුණෙ ආතල් එකක් ගන්න කාව හරි අරං එන්න”

ප්‍රවීන් වෙනත් ආකාරයකින් ආලෝක හා පැටලෙන්නට මාන බැලුවේ ය. ආලෝක හිටියේ ඔහු ව නෑහුන ගානට ය. මෙතැන වැඩි වෙලාවක් රැඳුණොත් ප්‍රවීන් ගේ අරමුණ ඉටු වී ගුටි හුවමාරුවක් වුව වන්නට බැරි නැතැයි සිහි වූ ගමන් ආලෝක වට මේසයෙන් නැගිට ගත්තේ ය. කිහිප දෙනෙකු ම සූර්යා සම්බන්ධයෙන් කට කැඩුණ කතා කීවාට නෑසූ කන් ව ආලෝක කාමරයට ගියේ ය.

මේ වගේ වෙලාවක ප්‍රවීන් කී කතාව ආලෝක ගේ කනේ තැබීම අනුවණ කමක් බව සූර්යා ට වැටහිණ. ඒ නිසා ඇය ඒ රහස හිතේ දරා සිටියා ය.

ඒ උදය සුවිශේෂී එකකි. තේ නිෂ්පාදනකරුවන් ගේ හා තේ රස විඳින්නන් ගේ සුහද හමුව හා ප්‍රදර්ශනය සඳහා නික්මෙන්නට ආලෝක සූදානම් වූයේ තෘප්තිමත් මිනිසෙකු ලෙසිනි. ආදරණීය ගැහැනියක ගේ පහස, දවස පුරා අරමුණු වෙනුවෙන් වෙහෙසෙන්නට අවැසි දිරිය පිරිමියෙකු වෙත ලබා දෙයි. සූර්යා ඔහු ගේ කමිස කොලරය සැකසුවා ය. කමිස අත් වල කෆ්ලින්ක්ස් ගැසුවා ය. වසර විස්සකට පෙර ඈ පෙම් කළ හීන්දෑරි පෙම්වතා වෙනුවට දැන් ඉන්නේ උස් හා උසට සරිලව වැඩුණු දේහයකින් සමන්විත පෞරුෂයෙන් අනූන මිනිසෙකි. වයස විසි ගණන් වලදී ට වඩා හතළිස් ගණන් වලදී පිරිමියෙකු ගේ කඩවසම් බව කැපී පෙනෙතැයි, ටයි පටිය සකසන අතරේ ඇය සිතුවා ය. 

“ඇයි…”

ආලෝක එසේ විමසුවේ සූර්යා ගේ මල් පෙති දෙතොල් අතරේ නලියනා මඳහස දැක ය.

“මුකුත් නෑ”

ඇය ඒ සිනහව සඟවන්නට දරනා උත්සාහයක් සමගින් කීවා ය. 

“මුකුත් නැත්තෙ නෑ”

සූර්යා ගේ සිනහව මලක් සේ විකසිත වූයේ ය.

“මුකුත් නෑ ඉතිං…එක්සිබිෂන් එකට කෙල්ලො එයිද කියලයි හිතුවෙ”

“කෙල්ලො එනව”

කැඩපතින් බලා ගෙන ආලෝක හිස කේ සැකසුවේ ය. ඔහු ගේ ඇස් දිඝිසෙනයුරු සූර්යා කැඩපත තුලින් ම බලා සිටියා ය. එක මොහොතක ක්ෂණික ව සූර්යා වෙත හැරුණ ඔහු ඇගේ බඳ වටා දෑත් යවමින් ඈ ලං කර ගත්තේ ය.

“මේ කොයි දේත් වෙනදට මං කර ගත්තෙ තනියම. ඒත් ඒව ගෑනු ළමයෙක් අතින් වෙනකොට..වෙනසක් දැනෙනව මැණික. ආදරේ කරන ගෑනියෙක් නිදියන ඇඳකින් උදේට නැගිටින එක…එහෙම ගෑනියෙක් ඉන්න තැනකින් උදේට පිටත් වෙලා යන එක…ඒක මාරයි සූර්යා…”

ඒවා මාර වන්නේත් ආදරේ කියන දේ ඇති තැනකදී බව සූර්යා සිහිපත් කළා ය. වසර පහළොවක් පමණ ම ඇය ජනිත් වෙනුවෙන් ඒ සියල්ල කළා ය. නමුත් මෙහෙම හැඟීමක් ඒ එක දිනෙක හෝ ඇය ට දැනී නැත. ඔහු ගෙදරින් නික්ම ගියේත් දැන් මේ ආලෝක නික්ම යන්නට සූදානම් වන සිත දරා ගෙන නොවන බව තේරුම් ගන්නට බැරි කමක් සූර්යා ට නැත. වසර විස්සක් ම ඔවුන් ගේ ජීවිත වලින් ඒ ආකාරයට අපතේ ගිය එක මොන තරම් අවාසනාවක් ද?  ජීවත් වෙන්නට ලැබෙනා කාලය අවුරුදු පණහක් ලෙස ලඝු කොට දක්වන්නට පුළුවන. එයින් විස්සක් ම අපතේ යනවා ය කියන එක සුළු පටු අපරාධයක් ද? දැරිය හැකි පාඩුවක් ද? මිනිසුන් වශයෙන් ජීවිතය ගැන සිතිය යුත්තේ එහෙම ය. ජීවිතය දෙස බැලිය යුත්තේ එහෙම ය. එකට එක් ව ගමනක් යා යුත්තේ ප්‍රේමයෙන් උනුන් දරා ගත හැකි මිනිසුන් ය. 

සූර්යා ආලෝක සමගින් ප්‍රදර්ශනය ට පැමිණීමට අදි මදි කළා ය. නමුත් ඔහු පෙරැත්ත කොට ඈ කැටිව ගියේ ය. දැන් ඉතින් මුළු ලෝකයක් ඉදිරියට ඈ එක්ක යන්නට තරම් සූර්යා ආලෝක ගේ පපුවෙහි සිය මුද්‍රාව තබා අවසන් ය.

එදා වැඩිම ඉල්ලුමක් තිබුණේ ආලෝක ගේ කුරුඳු තේ වලට ය. සූර්යා ගේ සඳ කත් මිණි දෑසත්, හිරු මඬල සදිසි සිනහවත් ඒ තේ වල රසය වඩාත් ප්‍රණීත කරවන බව පාරිභෝගිකයෝ පැවසූහ. එතකොට සූර්යා කළේ තව තවත් සිනහා වෙන එක ය. සියලු රටවල ප්‍රදර්ශකයන් අතරින් වැඩි ම ඇනවුම් ප්‍රමාණයක් ලැබුවේ ආලෝක ගේ කුරුඳු හා ඉඟුරු මිශ්‍ර තේ ය.

“ගෑනු ඉස්සරහට දාං ඕඩර්ස් වැඩි කර ගන්නව. හිරිකිතයි”

ප්‍රවීන් තැන තැන සිය හිතේ අමාරුව එළියට දැම්මේ එහෙම ය. නමුත් ආලෝක ගේ මූණට කිසිත් කියන්නට ඔහු පසුබෑවේ ය. විශේෂයෙන් ම ආලෝක ගේ හැසිරීම අනුව සිතා ගත හැක්කේ කම්මුල් පහර හෝ ඊට හේතු වූ කාරණා ගැන ආලෝක කිසිත් නො දන්නා බවයි. එනම් සූර්යා ඔහු ට ඒ බව පවසා නැත. ප්‍රවීන් එය සිය වාසියට හේතුවක් කර ගන්නට සිතුවේ ය.

පසු දා ට ඔවුන් ගේ සංචාරය නිමා කරන ගුවන් යානය ගුවන් ගත වීමට නියමිත ව තිබිණි. ආලෝක හා සූර්යා පෙරලා දිවයිනට නෑවිත් ප්‍රංශයට යන බව දැන ගත් ප්‍රවීන් ඊර්ෂ්‍යාවෙන් පිපිරුවේ ය. 

“පොඩි උදව්වක් කරනවද…”

ගුවන් තොටුපොළේ දී ආලෝක ප්‍රවීන් වෙත විත් අනිත් අයට නෑසෙන්නට ඔහු ගේ කනට කර විමසුවේ ය.

“මොකද්ද මචං…”

“අපේ අම්මට කියපං මං සූර්යා එක්ක ෆ්‍රාන්ස් ගියා කියල”

ප්‍රවීන් ගේ මූණ බලා සිටියදී වෙනස් වූයේ ය.

“උඹ හිතන්නෙ මං උඹලගෙ අම්මට කේලං කියනව කියලද…”

“නෑ ඉතිං. කිව්වත් අවුලක් නෑ. අම්මත් දැන ගන්න ඕනනෙ මේ ගැන..නේ…”

සූර්යා ගේ කම්මුල් පහරට වඩා ප්‍රවීන් ට ඒ රිදුණේ ය.

ලංකාවෙන් පිටත් වෙන්නට පෙර සිටි ආලෝක ට වඩා, ප්‍රංශය බලා යන්නට ගුවන් ගත වූ ආලෝක හිටියේ ශක්තිමත් පිරිමියෙකු සේ හිස කෙලින් තබා ගෙන ය. ඔහු එතෙක් කාලයක් අවිවාහක ව සිටියේ සූර්යා කියන පුංචි කෙල්ල සිය හදවතෙහි ඉදි කළ මාළිගාවට එන්නට වෙනත් කිසිදු ස්ත්‍රියක සමත් නොවූ බැවිනි. නමුත් මේ වෙත්දී සූර්යා කියන පරිනත ගැහැනිය සිය ජීවිතය මත සිදු කොට ඇති පරිවර්තනය ආලෝක ට ම නිශ්වාස කර ගත නො හැකි තරමේ එකකි. එහෙව් ගැහැනියක පිරිමි ජීවිතයක් පිටුපස සිටිත යුතු ම ය. අනාගතය ගැන යමක් කිව නො හැකි ය. අතීතයේ සිදු වූ දේ වල හැටියට අනගෙතයේ දී මොනවා නම් සිදු වන්නට බැරි ද? මතු යම් දිනයක යළිත් ඔවුන් දෙදෙනා ට වෙන වෙන ම සිය මාවත් වල පිය නගන්නට සිදු වනු ඇත. නමුත් නමුත් සූර්යා කියන ස්ත්‍රී ආත්මය සිය හදවතින් අකා මකා දමන්නට කාලයට හෝ නො හැකි වනු ඇත. 

මේ පරම සත්‍යයට මුහුණ දෙන්නට ආලෝක හිත සවිමත් කර ගෙන සිටියේ ය. අම්මා, චාන්දනී ගෙන හැර දක්වන සම්ප්‍රදායික උපහැරණ මත පිහිටා මෙහෙව් බැඳීමක් තක්සේරු කළ නො හැකි ය. අම්මා ගේ බහට අවනත කිරි සප්පයෙකු සේ සිය ජීවිතයේ වැදගත් ම තීරණය නො ගන්නට ඔහු තදින් සිතා ගත්තේ ය.

“අපි බඳිමු”

ආලෝක එසේ කීවේ ගුවන් යානයේ දී ය. සූර්යා තිගැස්සී ඔහු දෙස බැලුවා ය. ඔහු එවන් කතාවක් කීවේ ඇයි දැයි සිතන්නට ඇය ට උවමනා විය. ආලෝක කියන්නේ අම්මා එක්ක හැදුණ පුතෙකි. තාත්තා කෙනෙක් නොමැති ව පුතෙකු උස් මහත් කරනා අම්මා කෙනෙකු හට ඒ පුතා ගේ වන බැඳීම කෙබඳු දැයි හිතා ගන්නට බැරි කමක් සූර්යා ට නැත. ආලෝක වූ කලී එවන් බැඳීමක් හතළිස් තුන් අවුරුද්දක් පුරා නඩත්තු කරනා ලද කෙනෙකි. විවාපත් නොවීම නිසා තවමත් ඔහු අම්මා ගේ පොඩි පුතා ය. එවන් පුතුන් ව අම්මා ගේ පෙකණිවැල් රැහැනෙන් මුදවා ගැනීම පහසු නැත..අම්මා ගේ හිත රිදුවන්නට ඔවුන් නොකැමැති නිසාවෙනි. ඒ තරම් ලොකු බැඳීමක් කඩා බිඳ දමා සිය පුතු ව පිටස්තර ගැහැනියකට දෝතින් පිරිනමන්නට අම්මලා ද ලෙහෙසියෙන් හිත් හදා ගන්නේ නැත.

“අම්ම කැමති වෙන එකක් නෑ ආලෝක”

සුර්යා මොළොක් හඬකින් කීවා ය. ආලෝක ඒ වෙලාවේ දී දුටුවේ අවුරුදු දහ හතක දැරියක් ලෙස ඔහු මුලින් ම දුටු සූර්යා ව ය.

“අමමට කැමති වෙන්න වෙයි”

“මේක හරියට හීනයක් වගෙයි. එච්චර ලේසියට හීන ඇත්ත වෙන්න පුළුවන් ද ආලෝක…”

“අපි දැං පොඩි ළමයි නෙවෙයි. අපිට අපි ගැන තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනෙ”

සූර්යා සිය අත් බෑගය හැර එහි කුඩා පසුම්බියෙහි තිබූ චන්ද්‍ර කාන්ත පාෂාණය අතට ගත්තා ය. කපා ඔප නොදැමූවත් එහි වන සඳ කිරණය ඇගේ චිත්ත සන්තානයෙහි කිරණ සමග සමපාත වන බවක් ඇය ට දැනිණ. ජීවිතයේ අපමණ තැවුල් හිත රිදවූ අවස්ථා වල මේ කුඩා කොළ පාට පාෂාණය දෙස බලා ගෙන සිටි දවස් ඇය ට දැනුදු සිහි කර ගත හැක. එහැම විටෙක ම මේ අපූරු පාෂාණය හිත හදා ගන්නට ඇය ට දිරිය සවිය දුන්නේ ය. දුක් දෙන මේ ජීවිත සසරෙහි දුක අඩු තැනකට තමා ගෙන යන්නයි ඈ ඉන් ඉල්ලා සිටි අවස්ථා ද අපමණ ය. මේ එතැන ද? සූර්යා සඳ කත් මිණ දෙස බලා ගෙන සිතුවේ ඒ ගැන ය.

පැරීසිය යනු ආදරයේ නගරය ය. ි ගුවන් ගමනකින් පැරීසියට පැමිණි ඔවුන් වෙනුවෙන් ජනිත් ද එමිලි හා කැමිල් ද එක්ව කුඩා පිළිගැනීමේ සාදයක් සංවිධානය කොට තිබිණි. සූර්යා සමීප ව ඇසුරු කළ ශ්‍රී ලාංකික හා ප්‍රංශ ජාතික හිතවත් පවුල් කිහිපයකට ම ඒ සඳහා ඔවුහු ඇරයුම් කළහ. 

“මමාට මැච් වෙන්නෙ ඩැඩා ට වඩා මෙයා තමයි. හීස් සෝ හැන්ඩ්සම් නො”

එමිලි සැබවින් ම ආලෝක ගේ පෞරුෂය ට වශී වී සිටියා ය. 

“අයිම් ජෙලස් ඔෆ් යූ මම්”

සූර්යා හඬ නගා හිනැහුණා ය. ඇගේ පෙම්වතා ඉදිරියේ දී ම එමිලි ට එසේ කිව හැකි වීම ගැන ආලෝක ට දැනුණේ මඳ විමතියකි. නීතියෙන් වෙන් වී සිටි ජනිත් හා සූර්යා වෛරක්කාරයන් සේ නො හැසිරීම ද ඔහු ගේ සිත් ගත්තේ ය. මිනිසුන් මනසින් උසස් වෙත්දී ජීවිතය බෙහෙවින් පහසු වන බව ඇස් පනා පිට සාක්ෂි මැවී තිබිණි. ඒ සාදයට පැමිණි ප්‍රංශ ජාතික ව්‍යාපාරිකයෙකු නිසා ආලෝක ගේ කුරුඳු තේ ව්‍යාපාරයට තවත් ඇණවුමක් ලැබිණි. 

“යමක් කමක් කර ගන්න පුළුවන් මිනිස්සු අපේ රටවල් අත්ඇරල මේ රටවල් වලට එන්නෙ ඇයි කියල තේරෙන්නෙ මේව දකිනකොට සූර්යා. මනුස්සයෙක් ගෙ නිදහසට ගෞරව කරන්න තව මනුස්සයෙක්ට කොච්චර පරාසයක් තියෙනවද…අපේ මිනිස්සු කොතනද ඉන්නෙ මොනවද කරන්නෙ කියල හිතෙනව”

සූර්යා ගේ හීනයක් වූ සේන් ගඟ දිග බෝටටුවකින් යන ගමන්, ඈත පේන නොත්‍රදාම් පල්ලිය දෙස බලා ගෙන ආලෝක කීවේ ය. අධ්‍යාත්මික ශාන්තිය යන වචන වලින් අදහස් කෙරෙන්නේ ආගමික වූ නිවීමක් ගැන ය. ආගමික යන අදහස අත්හැර දැමුව හොත්, සූර්යා හිටියේ ද ආත්මීය ශාන්තියකට පත්ව ය. එක් ව ජීවිත ගමන යා හැකි යයි තෝරා ගත් පුද්ගලයෙකු පසෙකින් සිටියදී හදවතක් එහෙව් සන්සුන් සමාධියකට එළඹෙන්නේ ය..

නමුත් ඒ ශාන්ති සුවය විඳිනට ඔවුන් ට තව වැඩි වෙලාවක් ඉතිරි වි තිබුණේ නැත. ආලෝක ගේ දුරකතනය නාද වූයේ ගෙදර දුරකතනයේ අංකය තිරයේ සනිටුහන් කරමිනි. ඇමතුම ගෙන තිබුණේ ගෙදර සේවකයා ය.

“නෝනාට අසනීප වුණා සර්. පපුවෙ අමාරුවක් හැදුණා. අපි ඉස්පිරිතාලෙට එක්ක ගියා”

ඒ ආරංචිය ආලෝක ව සේන් ගඟ මැද පාෂාණි භූත කරන්නට සමත් විය.

“මං පුළුවන් තරං ඉක්මනට එනව”

සේවකයා ට එසේ කී ආලෝක එහෙමම සිය ආයතනයේ ගිනුම් තබන්නා ට කතා කොට රෝහල් කටයුතු ගැන සොයා බලනා ලෙස ඉල්ලීමක් කළේ ය.

“මං ලංකාවට යනව සූර්යා. ඔයා ළමයි එක්ක ඉඳල එන්න”

“මට මේ වෙලාවෙ ඔයාව තනියම යවන්න බෑ ආලෝක..අපි දෙන්නම යමු”

ට්කට් පත් වෙන් කරවා ගැනීමේ කටයුතු ආදිය කළේ සූර්යා ය. ආලෝක රෝහලටත් ගෙදරටත් ගිනුම් තබන්නාටත් මාරුවෙන් මාරුවට කතා කරමින් අසහනකාරී හෝරා කිහිපයක් ගත කළේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles