සඳ කත් මිණි ඇස් – 39

ව්‍යාපාර ක්ෂේත්‍රයත් පවුල් දෙකේ ළඟ ම ඥාතීනුත් විවාහය වෙනුවෙන් පැවති සුහද හමුවට පැමිණියහ. එය ඉතා සරල ලෙස, සුන්දර කුඩා පිළිගැනීමේ ශාලාවක පවත්වන්නට යෙදුන හමුවකි. සූර්යා සැරසී සිටියේ මංගල ඇඳුමකින් නොවේ. එය දම් පැහැති දිගු උත්සව ගවොමකි. චාම් හැඩැන්වීමකින් යුතු වුණත් ඇය සුරංගනා ලොවකින් සැපත් වූ සුරංගනාවක සේ පෙනිණ.

ඒ සුරංගනාව ගේ අත ගත් මිනිස් ලොව පුරුෂයා, ආලෝක වෙන කවදාටත් වඩා ආඩම්බරයෙන් සිටියේ ය. ඒ දෙතොලතර නිරන්තර නලියන සිනහවක් වූවාට, සූර්යා ඊට යටින් වන ආඩම්බරය හැඳින්නා ය. ඇය ට එදා ඔහු පෙනුණේ ම අභිශේක් භච්චන් සේ ය.

ඉස්සර ඉස්කෝලේ යන කාලේ, ඔහු ව දුටු ඇතැම් පාසල් මිතුරියක් ඇයට විහිළු කළේ අභිශේක් ගැන කියා ම ය.

“බච්චා පැටියා වගේම කොල්ලෙක් හොයා ගත්ත නේ එහෙනං…ආලෝක ගෙ උසයි හිනාවයි බච්ච පැටියම තමයි ආයෙ වෙනසක් නෑ”

යෙහෙළියන් අභිශේක් ට ‘බච්චා පැටියා’ කිවේ ඔහු අසහාය නළු අමිතාබ් ගේ පුත්‍රයා වූ බැවිනි. සූර්යා එදා ආලෝක නිසා හදවතින් විඳි සාඩම්බරය මුසු රහසිගත සතුට අද මේ මොහොතේත් වේ.

“කන්න වගේ මොකද සුමන් දිහා..සොරි මේ…ආලෝක දිහා බලන් ඉන්නෙ..තවත් මදිද බලං හිටිය”

නටාෂා සූර්යා ළඟට විත් රහසින් කීවා ය. සූර්යා බිම බලා ගෙන සිනහ වූවා ය. ඔහු දෙස බලා සිටීම කිසි දා ක ඇය ට ඇති නොවන බව දැන් ඇය දනී. ඔහු ට ආදරය කිරීම කිසි දා නිම කළ නො හැකි බව ද දැන් ඈ දනී. සමහර උල්පත් ගිම්හාන ඍතුවේදී ද සිඳී යන්නේ නැත. ඇය ගේ හදවතෙහි ඔහු ගැන වන ප්‍රේමයත් එහෙම ය.

“ඔයා එදා කිව්ව දේ හරි. එයා මට ආදරේ කරනව කියලයි හිතන්න ඕන. එයාට මාව ඕන කියලයි හිතන්න ඕන..ඒත්..මට ඊට වඩා දස දහස් ගුණයක් එයාව ඕන කියල මං දන්නව නටාෂා”

“ගෝඩ් බ්ලෙස් යූ සූර්යා. ඒ ආදරේට ඇස්වහ වදින්න එපා”

ඒ රාත්‍රියේ ප්‍රංශයෙන් වීඩියෝ ඇමතුමක් ආවේ ය. එමිලි හා කැමිල් ඉතා සතුටෙන් අම්මා ගේ අලුත් දිවියට සුබ පෑතූහ.

“අද තමයි මං මමාව ලස්සනටම දැකපු දවස”

ඇය එසේ කීවේ හදවතින් ම ය. එදා ජනිත් හා දරුවන් දෙදෙනා එකට මුණ ගැසී සූර්යා ටත් ආලෝක ටත් සුබ පතන්නට කතිකා කර ගෙන තිබිණ. අවන්හලේ මේසය මත වැලමිට තබා ගෙන, අත කම්මුලෙහි ගසා ගෙන ජනිත් සිය මුල් බිරිඳ දෙස නිහඬව ම බලා සිටියේ ය.

“මොකද ඔහොම බලන්නෙ..”

සූර්යා ඇසුවේ සිනහව යටපත් කර ගෙන ය.

“ඊරිසියා හිතෙනව අප්ප”

ජනිත් එසේ කීවේ ඇත්තට ම ය.

“අනේ මේ…”

“ඇයි අප්ප මං ගැන කවදාවත් හිතන්න බැරි වුණේ…”

“ඇත්තටමද ඔය අහන්නෙ…”

“ඇත්තටම තමයි”

“මන්දන්නෑ”

සූර්යා සුසුමක් හෙළුවා ය.

“ආදරේ කියල දෙයක් මේ ලෝකෙ තියෙනවනෙ ජනිත්. ඒ ආදරෙන් කෙනෙක් ගැන හිත පිරුණහම…සමහර වෙලාවට එතනින් හිත ගලෝ ගන්න බෑ. ගලෝ ගත්තත්…එතනින් එහාට ඒ හිතේ ආයෙත් ආදරයක් ඇති වෙන්නෙ කලාතුරකින්. ඇති වුණත් ඒක අර මුල එක තරං ස්ට්‍රෝං නෑ. ෆීල් වෙන්නෑ. නැති වුණත් දරා ගන්න අමාරු වෙන්නෙ නෑ. ඒ නිසා වෙන්නැති”

සූර්යා ඇයට දැනෙනා තරමින් විශ්ලේෂණය කළා ය.

“ඒ කියන්නෙ ෆස්ට් ලව් එක නිසා”

“නෑ. පළවෙනි වුණත් ඒ තරං ඩීප්ලි දැනුණෙ නැති ආදරයක්නං එහෙම වෙන එකක් නෑ. කී වෙනි ආදරේද කියන එක නෙවෙයි වැදගත්. කොච්චර ආදරේද කියන එකයි වැදගත්”

“හ්ම්. ඔයා සතුටෙන් ඉන්න. ඒකයි වෙන්න ඕන”

අවබෝධයෙන් වෙන් වීමත් වෙන් ව ගියත් ගෞරව කිරීමත් යනු ආදරයේ ම අංග ය. ගෞරව කිරීම තුළ සූර්යා සැබෑ ගෞරවය ලබමින් සිටියා ය.

එදා ප්‍රවීන් ද අප්සරා සමගින් ඒ පුංචි සාදයට පැමිණියේ ය. සියල්ල නිවී ගිය බවක් පේන්නට තිබුණා ට අළු යට ගින්දර තිබුණේ ය. ප්‍රවීන් ගේ හිතේ ඊර්ෂ්‍යාවේ ගිනි පුළිඟු තිබිණි. ඒ ගින්න ඒ තරම් පහසුවෙන් නිවුණාට අළු යට ගිනි පුළිඟු තිබිය හැකි බව ආලෝක ද දැන සිටියේ ය.

ඒ සෙනග අතරේ දී චාන්දනී වෙතට පැමිණි අජන්ත ට, අවසාන වශයෙන් කියන්නට කතාවක් තිබිණි.

“ඔයා මගෙ යෝජනාවට එදා කැමති නොවුණ එක හොඳයි. එහෙම වුණානං අද අපේ දරුවො මෙහෙම එකතු වෙන්නෙ නෑ. අපිට වඩා සතුටෙන් ඉන්න ඕනෙ දරුවො. අපිට නොලැබුණ දේවල් ලැබෙන්න ඕන එයාලට”

චාන්දනී මුව මඳහසක් නගා ගත්තා ය. ඒ සිනහව එදා වාගේ ම ආඩම්බරය තැවරී ගත් එකක් බව අජන්ත ට නො දැනුණා

ඉනික්බිති ගෙවුණු හැම දිනයක ම දැවටී ගෙන ආවේ ආදරය මුසු ගැස්මකි. මේ සූර්යා ගේ ප්‍රථම ගර්භණී අත්දැකීම නොවේ. මීට පෙර දෙවතාවක් ම ඇය මීට මුහුණ දී සිටියා ය. නමුත් ඒ දෙවතාවේ දී ට ම වඩා මේ වතාවේ ඇය ට වෙනසක් දැනිණ. නමුත් ඒ වෙනස කුමක් ද කියා නම් සූර්යා දැන සිටියේ නැත.

ආලෝක බලාපොරොත්තු පොදි බැඳ ගෙන උදේ ට අවදි වූයේ ය. තෙවන දරු පිළිසිඳ ගැනීම වී ද සූර්යා දරුණු ලෙස උදෑසන රෝග වල ප්‍රහාරයට ලක් වූවා ය. යහනෙන් බට මොහොතේ පටන් ඕ වමනය කළා ය. ආලෝක ඇගේ සියලු ආවතේව කටයුතු කළේ කැමැත්තෙන් බව ඇත්ත ය. නමුත් තිගැස්මක් ඔහු ගේ හදවතෙහි විය.

පළමු ස්කෑන් පරීක්ෂණය සඳහා යන දවසේත් ඇය අසීරුතා පෙන්වූවා ය.

“අනේ මන්දා පිට රටකදි ළමයි දෙන්නෙක්ව කොහොම හම්බ වුණාද කියල”

යන සිතිවිල්ල චාන්දනී තුළ කිහිප වර ඇති වී තිබේ. නමුත් ඕ එය මුවින් පිට නොකර හිටියේ ආලෝක උදහස් වනු ඇතැයි බියෙනි. කෙසේ වෙතත් සූර්යා ගේ අමුත්තක් චාන්දනී සේ ම සන්ධ්‍යා ද නිරීක්ෂණය කළහ.

“පොඩී ප්‍රශ්නයක් වගෙයි තාත්ත”

ස්කෑන් පරීක්ෂණය සිදු කළ වෛද්‍යවරයා නළල රැලි නංවා ගත්තේ ය. ආලෝක ගේ පපුව ‘දඩස්’ ගා ගැස්සිණි. සූර්යා ඔහු ගේ අතක් තද කොට අල්ලා ගත්තා ය. ආලෝක සිය අනිත් අතින් ඇගේ අත අල්ලා ගෙන ඒ මොහොතකට ඇය සැනසුවේ ය.

“ඇයි ඩොක්ටර්…”

“ට්වින් බේබීස්ල වගෙයි”

ආලෝක ගේ සේ ම සූර්යා ගේ ද මුහුණු වලට සිනහවක් ආවේ ය. ඒ දෙන්නා පුතෙකු හා දුවක වුව හොත් වඩා හොඳ ය යන්න ඇගේ සිටතහි නැගි මුල් ම සිතිවිල්ලයි.

“එහෙමද ඩොක්ටර්…කමක් නෑ නේ…”

“හ්ම්..කමක් නෑ තමයි ඉතිං..මොකද දැං එපා කියන්නයැ”

තව දුරටත් පරිගණක තිරය ට නෙතු ඔබා ගෙන උන් වෛද්‍යවරයා එසේ කීවේ මඳහසකිනි. නමුත් ඔහු ගේ නළලේ රැලි තව දුරටත් එලෙස ම විය.

“බබාල දෙන්නා හොඳින් නේද ඩොක්ටර්…”

ප්‍රශ්න අසනා නොසන්සුන්කම වන්නේ සූර්යා ට නොව ආලෝක ට ය.

“දෙන්නා…”

වෛද්‍යවරයා අමුතු සිනහවකින් නෙතු ඔසවා, ඇස් කණ්ණාඩි වලට මත්තෙන්, තාත්තෙකු වීමට නො ඉවසිලිමත් තරුණයා දෙස බැලුවේ ය.

“දෙන්නෙක් නෙවෙයි…පේන විදිහටනං හතර දෙනෙක්…”

“අහ්..”

සූර්යාත් නො දැනී ඕ පැත්තට හැරී උඩු කය ඔසවන්නට ගියා ය.

“ඕක පහක් වෙන්නත් බැරි නෑ”

නාරි හා ප්‍රසව වෛද්‍යවරයා අත්දැකීම් බහුල, පෞද්ගලික අංශයේ ඉල්ලුම අධික ප්‍රකට වෛද්‍යවරයෙකි. ඔහු වාගේ කෙනෙකුට වරදින්නට හැකි ය කියා සිතන්නට හෝ නුපුළුවන. ආලෝක සූර්යා ගේ අතේ ග්‍රහණය තවත් දැඩි කළේ ය.

“ප්‍රශ්නයක්…නෑ නේද ඩොක්ටර්…”

ආලෝක ඔහු ට ඕනෑ දේ වෛද්‍යවරයා ලවා කියවා ගන්නට තැත් කළේ ය.

“ම්…මෙහෙමයි…අම්ම වයස විසි ගණන් වල ලාබාල කෙනෙක් නෙවෙයිනෙ. ඒක නිසා අපිට ටිකක් කම්ප්ලිකේශන්ස් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි ඉතිං හරියට ගයිඩ් කරල සක්සස්ෆුල් ඩිලිවරි එකකට යන්න බැරි කමක් නෑ. අම්මගෙ ෆිස්කල් මෙන්ටල් හෙල්ත්නස් ෆිට් වෙන්න ඕන. ස්පෙෂලි නියුට්‍රිශන් වැලියුස් ගැන සැලකිලිමත් වෙන්න ඕන. මොකද මේක රෙයර් කන්ඩිශන් එකක්..අපි කවුරුත් සෑහෙන රෙස්පොන්සිබිලිටි එකක් ගන්න ඕන ඩිලිවරි එක වෙනකල්ම. ඊට පස්සෙ ඉතිං…යුද්දෙ තියෙන්න අම්මට තනියම..”

වෛද්‍යවරයා සැහැල්ලුවක් පෙන්වූයේ සූර්යා ගේ හිත සන්සුන් කළ යුතු නිසාවෙනි. මේ වගේ දුර්ලභ පිළිසිඳ ගැනීමක් යාමනය කිරීම ද සුවිශේෂ ය. දරුවන් ගේ පියා කෝටිපති ව්‍යාපාරිකයෙකු වීම මත මෙහි වන අර්ථික අර්බුධ අවම වනු ඇත. නමුත් ඉදිරි මාස හත ඉතා කල්පණාකාරී ව සැලසුම් කළයුතු ය.

චාන්දනී සේ ම සන්ධ්‍යා ද සායනයේ පිටත ශාලාවේ බලා උන්හ. ඔවුන් දෙදෙනා ට ම තිබුණේ එක් දරුවෙකු බිහි කිරීමේ අත්දැකීම ය. සන්ධ්‍යා නම් එදා ප්‍රසූතිකාගාරයේ දී ම සිතා ගත්තේ යළිත් ඇය දරුවන් නො තනන බවයි. ඒ තරමට ම ඕ ඒ අත්දැකීමෙන් බියපත් වූවා ය. කාලයත් සමග ජයන්ත හා ඇය අතරේ මානසික වශයෙන් ඇති වූ බිඳ වැටීම් මත තවත් දරුවෙකු ගැන හිතන්නට හෝ ඇයට අවැසි නොවී ය.

අඹු සැමියන් ගේ මුහුණු වල වන භීතිය අම්මලා ට එක බැල්මකින් හැඳින ගත හැකි විය.

“ඇයි පුතේ…බය වෙලා වගේ..”

චාන්දනී ආලෝක ගේ අතක් යන්තමින් අල්ලන ගමන් ඇසුවා ය.

“මොකක් හරි ප්‍රශ්නයක් ද සූර්යා..”.

සන්ධ්‍යා දියණිය ට ලං ව ඇසුවා ය..ඔවුන් බිය වී හිඳිනා බව යුවති පතීන් ට දැනුණේ එතකොට ය. සැබවින් ආලෝක බිය වූයේ සූර්යා ගැන ය. දරුවන් සිව් දෙනෙකු හෝ පස් දෙනෙකු එක වර කුසයේ දරා ගෙන හිඳ බිහි කිරීම යනු සුළුවෙන් තැකිය හැකි යමක් ද? එය ඇගේ ජීවිතය පවා අනතුරෙහි හෙලනා අවදානමක් වන්නට බැරි නැත. තමන් නිසාවෙන් ඇය එවන් අවදානමක් ගත්තා නේද කියා සිතත්දී ආලෝක තුළ ඇති වූයේ කැළඹීමකි.

සූර්යා හිතුවේ බිහි කිරීමක් ගැන නොවේ. දරුවන් හතර පස් දෙනෙකු එක වර හදා වඩා ගැනීම ගැන ය.

“අනේ කතා කරන්නකො ළමයි. අපිවත් බය කරනවනෙ”

ආලෝක ද සිටින්නේ කම්පනයක බව සූර්යා පසක් කර ගත්තේ ඒ වෙලාවේ ය. දැන් ඉතින් බිය වූවා කියා කිසිත් වෙනස් කළ නො හැකි ය. කී දෙනෙකු වූවත් ඒ දරුවන් ය. ආලෝක ගේ අසීමිත ආදරය නිසා පිළිසිඳි දරුවන් ය. මේ වෙලාවේ ඇය ශක්තිමත් වීම වඩාත් ම වැදගත් දේ බව සූර්යා වහා පසක් කළා ය.

“බය නෙවෙයි අම්ම. සුබ ආරංචියක්. මේක ඕගොල්ලන්ට කියන්නෙ කොයි විදිහටද කියලයි අපි මේ හිතුවෙ…නේ ආලෝක..”

සූර්යා සිනහ වී ගෙන ආලෝක ගේ අතක යැලමිට ළඟින් අල්ලා ගත්තා ය. ඔහු හෙළු සිනහව අසීරුවෙන් නගා ගත්තකි.

“ඕගොල්ලො එක පාර බබාල හතර පස් දෙනෙක්ටම ආච්චිල වෙන්නයි යන්නෙ”

“මොකද්ද…”

“බබාල හතර දෙනෙක් කියල ඩොක්ට කිව්ව. පහක් වෙන්නත් පුළුවන් ලු. ඊළඟ ස්කෑන් එකේදි හරියටම කියන්න  පුළුවන් වෙයි කිව්ව”

ආච්චි අම්මලා ගේ ඇස් උඩ ගියේ ය. දෑත් කම්මුල් වලට ගියේ ය..

“ඉතිං ඇයි ඕගොල්ලො බය වෙන්නෙ..මංනං ආසයි”

සැබවින් සූර්යා ඒ අභියෝගය සතුටෙන් බාර ගන්නට ඉත සිතින් සූදානම් වෙමින් සිටියා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -28

නිශාමනී ඒ සැඳෑවේ ගෙදර පැමිණියේ අලුතෙන් ම ශාන්ත වූ හිතකින් කියා කිව හැක. ඇය ශාරද සමගින් කතා බහකට ගියේ ම නැත. ඇගෙන්...

අමිහිරි විවාහ ජීවිතය නිසා විඳ වූ බිරිඳක්.

මනෝ උපදේශිකා ප්‍රබුද්ධිකා විජේතුංග මෙනෙවියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙන් පළ කරන්නකි.වෘත්තිය ආචාර ධර්ම රැකෙන පරිදි සත්‍ය කතාවේ නම් ගම් සහ යම් සිදුවීම් වෙනස්...

හිමගිරි අරණ -13

"මොන දේ වුණත් ඔහේ දරා ගන්න පුරුදු වුණාම ජීවිතේ ලේසියි රවිඳු." හිමාෂා එසේ පැවසුවේ ඇගේ ජීවිතය ඇසුරිනි.එයට කිසිත් නොකියා...

ශරදාකාසේ -27

නිශාමනී අරමුණකින් තොර ව ඔහේ බලා සිටියා ය. නටුවෙන් ගිළිහෙන කහ පාට ඇහැල මල් පෙති කැරකී විත් ඇගේ හිස මත ද පතිත...

අපිට අපි

"අම්මේ බඩගිනියි." පුංචි නෙතුක එහෙම කියාගෙන මුළුතැන්ගෙයට එබෙනකොට චමරි පුතා දිහා බලා ගෙන හිටියේ දරා ගන්න බැරි වේදනාවකින්.උයන්න මොකුත්ම...