සඳ කත් මිණි ඇස් – අවසන් කොටස

සූර්යා ගේ දුරකතනය හැඬවුණේ ඔවුන් රියෙන් බහිනා විට ය. තිරය මත ‘තාත්ති’ යනුවෙන් ඉංග්‍රීසි අකුරෙන් සනිටුහන් ව තිබිණි.

“එක්කෙනෙක්ගෙ නෙවෙයි තාත්ති..මේ සැරේ ඔන්න ග්‍රෑන්ඩ් බේබීස්ල හතර දෙනෙක්ගෙ හරි පස් දෙනෙක්ගෙ හරි ග්‍රෑන්ඩ් පපා වෙන්නයි යන්නෙ ඔයා”

සූර්යා ගේ ඇස් තෙත් වෙමින් තිබුණේ ඇයත් නො දන්නා හේතුවකට ය.

“එහෙමද…මගෙ දුව පරිස්සමෙන්”

“බය වෙන්න ඕන නෑ තාත්ති. ඔයා වගේම මාව බලා ගන්න කෙනෙක් දැන් ඉන්නවනෙ”

“හ්ම්. ඒකම තමයි මට මේ තීරණේ ගන්න ලේසි වුණේ”

“තාත්ති…”

සූර්යා ගේ මුහුණේ වූ සිනහව වියැකී යන්නට විය. ඒ දුරකතන ඇමතුම ගැන වගක් නැතිව සිටි සන්ධ්‍යා පවා දියණිය දෙස බැලුවා ය.

“සූර්යා මං දැන් ඉන්නෙ ෆලයිට් එකේ…බෝඩ් වෙලා  පුතේ. තව මිනිත්තු පහක් දහයක් තියෙන්නෙ පිටත් වෙන්න”

“වට්…තාත්ති කොහෙද යන්නෙ..අපිට කිව්වෙ නෑනෙ”

“මං ඉන්දියාවට යනව පුතා. ටික කාලෙකට”

“ඉන්දියාවට…ඒ මොකටද…”

අජන්ත ගජධීර සුසුමක් හෙළුවේ ය.

“එක හේතුවකට කියල නෑ. ටිකක් ඇවිදල කරල…බණක් බාවනාවක් කර ගන්නත් ට්‍රයි කරල…හෙමිහිට එන්නං”

“ඉතිං තාත්ති…ඇයි කලිං කිව්වෙ නැත්තෙ…”

“කලින් කිව්වනං ඕගොල්ලො කලබල වෙලා…සූර්යා…පුතේ…එහෙමනං මං තියන්නද…පරිස්සමෙන් වැඩ කර ගන්න ඕන තේරුණාද…ලෝයර් හැම දේම පැහැදිලි කරල දෙයි”

“තාත්ති”

අජන්ත හිත දැඩි කර ගෙන දුරකතන සම්බන්ධය බිඳ දැමුවේ ය.

“තාත්ති කතා කළේ නිකං…හැම දේම අතෑරල යනව වගේ. මට කිසි දෙයක් හිතා ගන්න බෑ”

“එයා එහෙනං අන්තිමට ඒකත් කළා”

සන්ධ්‍යා ගේ වචන වල වන්නේ කෝපයක් ද ද්වේශයක් ද නැත්නම් ශෝකයක් ද කියා වටහා ගන්නට චාන්දනී ට ඕන වුණත්, ඒ නිකං ම නිකං හිස්, හැඟීමකින් තොර හඬක් වාගේ ය ඇය ට දැනුණේ.

“හිටියත් එයා හිටියෙ වෙන ලෝකෙකනෙ”

ඒ වචන චාන්දනී ගේ පපුවේ පිහි තුඩු සේ ඇනිණ. කිසි ම වරදක් නොකරත් මෙවන් වැරදිකාර හැඟීමකින් පීඩාවට පත් වන්නට වීම ලැබීමද නොලැබීමද කියා හිතා ගන්නට නුපුළුවන.

“මං දන්නෑ ඩිවෝස් වුණේ නැත්තෙ ඇයි කියල. ඒත් එහෙමයි වගේනෙ අවුරුදු තිස් හතළිස් ගාණක් තිස්සෙම හිටියෙ”

අල්පෙනෙති තුඩක් බිම වැටුණත් ඇහෙනා විදිහේ නිශ්ශබ්දතාවයකි එය. චාන්දනී උවැසියක ගේ සන්සුන් කමින් යුතුව කාමරයට වැදුණා ය. නමුත් ඇගේ හිත තුළ කම්මලක වන කලබලය විය.

අජන්ත මේ තීරණය ගත්තේ හුඟක් සිතා බැලීමෙන් පස්සේ ය. සූර්යා විවාහ වී විදෙස් ගත වූ පසු ඇගේ මව සිටිනා සෙවනක ඇගේ තනි නොතනියට හෝ හිඳීම ඔහු යුතුකමක් සේ සැලැකී ය. ඉන්පසු ඈ විවාහයෙන් වෙන් වූ පසු ඔහු ගේ හද මත පැටවී තිබුණේ විසල් බරකි. ඇය ගෙදර එන වෙලාවක දෝත පා ඇය පිළි ගන්නටත්, ඇය රැක බලා ගන්නටත් ඔහු සිටිත යුතු විය. ඒ බරින් සැහැල්ලු වෙත්දී ගෙදරින් අභිනික්මන් නරන්නට ප්‍රබල හේතුවක් යෙදී තිබිණි. චාන්දනී!

ඇයට පෙනෙනා මානයක මේ විදිහට ජීවත් වීම හිතන තරම් පහසු වූයේ නැත. නමුත් දැන් වඩා වැදගත් වන්නේ සූර්යා ගේ අලුත් ජීවිතයයි. ජීවිතයේ සැඳෑ සමය ඒ සියල් බරින් මිදී අධ්‍යාත්මික අංශයට වැඩිපුර නැඹුරු වී ජීවත් වෙන්නට තිබෙනවා නම් හොඳ බව අජන්තට සිතිණි. ඒ සඳහා හොඳ ම බිම භාරතය ය.

ඔහු සිය ගිනුම් වල පසු අයිතිය සූර්යා ට පවරා තිබිණ. ඉන්දියාවේ දී ඔහු ගේ වියදම් වලට මුදල් එවීම හා කොටස් වෙළෙඳ පොලෙහි සිය කොටස් වල අයිතිය ආලෝක ට පවරා නීතීඥවරයා වෙත ලිය කියවිලි භාර දී තිබිණ.

අත්හැරීමට හිත් හදා ගැනීම තරමක් අපහසු ය. නමුත් අත් හැරීමෙන් පසු පුදුම තරමින් හිත් නිදහස් ය.

සූර්යා ඔහු හා පියා ගේ ඡායාරූපයක් රාමු කොට ගෙනැවිත් කාමරයේ තබා ගත්තා ය. ඉඳ හිට කාමරයට යන චාන්දනී ට ඒ රුව නෙත ගැටේ. ජීවිතයේ යුග දෙකක දී ඇය ට ආදරය කරන්නට උත්සාහ කළ පිරිමින් දෙදෙනෙකු සේයා රූ වල හිඳ ඇදෙස බලා හිඳී. චාන්දනී ගේ හදවත පුරා දැවීමක උණුහුම පැතිර යයි. අපි දැවෙමින් ජීවත් වෙනා මිනිසුන් වන්නෙමු!

ඒ මාස දහය වූ කලී එක ම යුද්ධයකි. සූර්යා ගේ කුසයේ දරුවන් පස් දෙනෙකු වැඩෙනා බව ඊළඟ ස්කෑන් පරීක්ෂණයේ දී නිසැක කොට පවසන ලදී. ඇය නිරන්තර වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වූවා ය. මෙය වූ කලී විශේෂ අවස්ථාවකි. ඇතැම් මොහොතක සූර්යා ට සිය ජීවිතය ගැන පවා සැක සංකා පහළ නොවූවා නොවේ. මේ දරු ප්‍රසූතියේ දී ඇය මිය යන්නට පුළුවන් ය යන හැඟීම කොහෙන් හිතට ආවා දැයි ඇය ම දන්නේ නැත. මරණය වූ කලී ජීවිතය දෝත දරා උපදින මිනිසෙකු ගේ උරුමය වන්නේ ය. ඇයට දුක මිය යාම ගැන නොවේ. ආලෝක ගැන ය. වසර විසි ගණනක් ඔහු තනි ව ජීවත් වූ බව ඇය සිය දෑසින් ම දුටුවා ය. ඉතින් මේ විදිහට හිමි වී ඇය අහිමි වී යාම තුළ ඔහු සදා කාලික වේදනාවක් උරුම කර ගන්නා බව සහතික ය. එවන් දුකක ඔහු ව හෙළා ජීවිතය අතැර යන්නේ කෙලෙසක දැයි ඇය සිතුවේ කම්පාවෙනි.

අනිත් අතට දරු ගැබක් දරා ගෙන ශෝකයෙන් කාලය ගෙවීම ඒ නූපන් දරුවන්ගේ මනසට බලපෑමක් විය හැකි බව ඇය දැන සිටියා ය. ඒ නිසා ම සූර්යා ට සිය දුක අමතක කොට දවසට මුහුණ දෙන්නට සිදු විය.

“මං කොහොම හරි මේකට ෆේස් කරනව. මං කොහොම හරි මේක දිනනව. මේ පැටව් ටිකත් එක්කම මං ඔයාට ඉතුරු වෙනව ආලෝක”

දවසකට සිය දහස් වරක්වත් ඕ හදවතින් එසේ මිමිණුවා ය. ඒ දිරියෙන් හිත පුරවා ගැනීමේ අධිෂ්ඨානයෙන් ම පසු වූවා ය. ඇය දුර්වල ව ගිය අවස්ථා නැතිවා නොවේ. සමහර වෙලාවට යළි හිත හදා ගෙන නැගී සිටිය නොහැකි වෙතැයි සිතෙනා තරමට ඇය මනසින් වැටුණා ය. නමුත් යළිත් ඇය ම හිත සවිමත් කර ගෙන නැගී සිටියා ය.

මේ සියල්ල සිදු වූයේ ඈ තුළ ම ය. ඇය සිය හිතේ වන දේවල් ගැන ඉඟියක් හෝ කිසිවෙකුට දැනෙන්නට හැරියේ නැත. මානසික ව දුර්වල වී අඩපණ ව යහනේ වැතිර සිටි වෙලාවක චාන්දනී, සන්ධ්‍යා හෝ ආලෝක පවා සිතුවේ ඒ කායික අපහසුතාවයක් නිසාවෙන් කියා ය. සූර්යා ද ඔවුන් ට එසේ ම සිතා ගන්නට හැර නිසල වූවා ය.

නමුත් ධනාත්මක චින්තනය ගැන විශ්වාස කළ තැනැත්තියක වූ ඕ, යකඩ ගැහැනියක සේ ඇතැම් විට නැගී සිටියා ය.

අම්මලා දෙන්නා මල්පීස් රෙදි ගෙනැවිත් ළදරු ගවුම් මසමින් ඒවායේ මැද දම්වැල් මැස්මෙන් මල් මැසූහ. රැලි පටි අල්ලා කොට්ට උර මැසූහ. බබාලා පස් දෙනෙකුට ඇඳුම් සූදානම් කරන එක පහසු නැත.

සූර්යා ආලෝක සමගින් ළදරු ආම්පන්න සහිත සාප්පු වලට ගොස් දකින දකින දේ මිල දී ගත්තා ය. උපන් ගමන් දරුවන්ට උවමනා දේ පමණකුදු නොව ඇතැම් විට ඇය සෙල්ලම් වයසට උවමනා කෙළි බඩු ද ආසාවට මිල දී ගෙන තිබිණ.

සූර්යා ට කිසි සේත් නො දැනුණ විදිහේ තිගැස්මක නිරන්තර ආලෝක පසු වූයේ ය. සමහරක් රැයක තිගැස්සී අවදි වන ඔහු සූර්යා හුස්ම ගන්නවා දැයි හොඳින් බලා සිටී. සැනසුම් සුසුමක් හෙළා ඔහු යළි නෙතු පියවා ගන්නේ ඇය හුස්ම ගන්නා බව නිශ්චිත කර ගැනීමෙන් පසුව ය.

දස මස් සම්පූණ වීමට පෙර සිසේරියන් සැත්කමක් මගින් දරුවන් බිහි කරවීමට වෛද්‍යවරයා සැලසුම් කොට තිබුණේ ය. සිතිවිලි පිස්සෙකු ගේ සෙයින් වියවුල් ව තිබිණි ද අවශ්‍ය කරන සියල්ල ආලෝක පිළිවෙලකට කළේ ය. දරුවන් පස් දෙනා සේ ම මව ද නිරුපද්‍රිත ව සැත්කම නිම විය. නමුත් දරුවන් ව විශේෂ තත්ව යටතේ ඉන්කියුබිලේටර තුළ වැඩි දුරටත් තබන්නට නියම විය.

සැත්කම සිදු වෙනා කාලය පුරා ම ආලෝක සූර්යා ගේ අතක් තදින් අල්ලා ගෙන ඈ ළඟට ම වී සිටියා ය. පිටතින් බියක් නො පෙන්වූවාට ආලෝක ඉන්නේ බියෙන් බව දන්නා සූර්යා, ඇය වෙතට බියක සේයාවකට හෝ පැමිණෙන්නට ඉඩ නොදුන්නා ය.  

“තෑන්ක් යූ ඩොක්ටර්…තෑන්ක් යූ සෝ මච්”

සැත්කම අවසානයේ ආලෝක වෛද්‍යවරයා ගේ දෑත ම අල්ලා ගෙන කඳුළු සැළුවේ ය.

“මේ මාස නවය පුරාම අම්මට වැඩිය බය වෙලා හිටියෙ තාත්ත කියල මං හොඳටම දැනගෙනයි හිටියෙ. දැං ඉතිං කිසි ප්‍රශ්නයක් නෑ”

වෛද්‍යවරයා ආලෝක ගේ උරහිසට තට්ටුවක් දැම්මේ ය. ආලෝක සූර්යා ගේ හිස වැළඳ ගෙන විනාඩි ගණනාවක් ම හැඬුවේ ය. මේ මාස නවය පුරාවට හිත ඇතුළේ හිර වී ගෙන ඔහු ව පීඩාවට පත් කළ සියල්ල පිට ව ගියේ ඒ කඳුළු වල දිය වී ගෙන ය.

“ඇත්තටම මං බයේ හිටියෙ. මං මැරුණොත් ඔයා කොහොම දරා ගන්නද කියල”

සූර්යා, දින ගණනාවකින් රැවුල නොකැපූ ආලෝක ගේ කම්මුලක් අතින් පිරිමැද කීවා ය.

“මූසල කතා කියන්නෙපා. දැන් ඔක්කොම හරි”

ඔහු ඇගේ දෙතොල් සිය සුරතින් වසමින් කීවේ ය.

නිවුන් දරු පැටවුන් පස් දෙනා ගෙන සූර්යාට යළි ගෙදර යන්න ලැබුණේ මාසයකට පස්සේ ය. ඒ මාසය පුරා ම පැටවුන් සිටියේ දැඩි වෛද්‍ය අවධානය යටතේ ය. එක ම එක අඩුවකට ඇයට දැනුණේ අජන්ත ළඟ නොසිටීමයි. ඒ පැටවුන්ට එක සීයා කෙනෙකු සමග හෝ සෙල්ලම් කිරීමේ අවස්ථාව අහිමි වී තිබීමයි.

“මං පැටව් ටික බලල යන්න එන්නං. ඒත්…බැඳීම් කියන්නෙ දුකක් ඉතුරු කරන දෙයක් විතරයි දරුවො. කෙළවරක් කරන්න බැරි බැඳීම්…සසර දික් කරන බැඳීම්…”

“තාත්ත මහණ වෙන්නද හදන්නෙ..”

සූර්යා හද දුකෙන් ඇසුවා ය..

“සිවුරක් දා ගන්නම ඕන නෑ ඒ අවබෝධය ලබන්න. අපි බලමු ඉස්සරහට. දැනට මට මේ විදිහ හොඳයි සූර්යා. මං මේ විදිහට හරි කැමතියි. ගිහි ජීවිතයයි අධ්‍යාත්මික ජීවිතයයි සමබර තැනක් හරි පහසුයි. කොතනකින් හරි හිර වුණොත් තමයි අපි එතනින් රිගන්න ඉඩක් හොයන්නෙ”

ජයන්ත එක්තරා ආකාරයක සැනසීමකට පත් ව සිටියේ ය. ඉන්දියාව වැනි අපායත් දිව්‍ය ලෝකයත් එක බිමක දැකිය හැකි රටක සැරිසැරීම ම විශාල ස්වයං අවබෝධයකට පත් වීමකි.

සූර්යා ගෙදර එන්නයි පියා ට බල නොකළා ය. කෙනෙකු ගමන් කළ යුත්තේ ඔහු ට සුවයක් දැනෙනා මාර්ගයක ය. එය බාහිර පුද්ගලයන්ගේ සතුට හෝ අවශ්‍යතාවය මත වෙනස් කරන්නට යාම පාපයකි.

එක ම වයසේ පැටවුන් පස් දෙනෙකු කියන්නේ අම්මා කෙනෙකුට කොහොම අත්දැකීමක් ද කියා පිටස්තර කෙනෙකුට තේරුම් ගන්නට තබා සිතා ගන්නට හෝ නො හැකි ය. එක් කෙනෙකු මව් කිරෙන් සතපවා තබත්දී තව කෙනෙකු හඬයි. ඔහු ගේ කුස පිරෙත්දී තවකෙකු හඬයි.

“සීයත් හිටියනං ඔන්න පස් දෙනාට කිරි බෝතල් පහ අල්ලගෙන ඉන්න තිබුණා”

චාන්දනී ට වතාවක් එසේ කියවිණ..ඈ අදහස් කළේ කොයි සීයා ගැන දැයි ඇය ට ම කල්පනා වූයේ පසුව ය.

“සීයා ඉතිං සංසාරෙ කෙටි කර ගන්න මහන්සි වෙනව ඇති. අම්මලට ආච්චි අම්මලට නිවන දුරයි පැට්ටො”

සන්ධ්‍යා සන්සුන් ව කීවා ය. නිහඬ ව සිටියා ට චාන්දනී ගේ සිත් හි වූයේ මහත් බරකි.

මීට වසරකට පෙර මිනිස් කට හඬක් ඉඳහිටක පමණක් ඇසුන ආලෝක ගේ මැදුර දැන් බිළිඳු ලාලන කූජන වලින් පිරීතිරී ගිය එකකි. ඔහු ව්‍යාපාර කටයුතු වලට ගෙදරින් පිට ව යන්නේ නොයා බැරි කමට ය. හැකි ඉක්මනින් යළි පැමිණෙන්නේ අම්මලා දෙන්නා එක්ක සූර්යා පැටවුන් පස් දෙනෙකු සමගින් කරනා යුද්දයට සහනයක් වනු පිණිස ය.  පැටවුන් වට කර ගෙන සිටියදී ආලෝක ට තාත්තා සිහි වේ. තාත්තා වාගේ හොඳ තාත්තෙකු වන්නට ඔහු ගේ හිතේ වන්නේ ඉමහත් ආශාවකි. තාත්තා ගිය මාර්ගය වෙනස් ය. ඒත් ආදරය එක ම ය!

ප්‍රවීන් ලා ට තවමත් දරුඵල පිහිටියේ නැත. නමුත් ඉක්මනින් ඒ අවස්ථාව උදා වෙනවා නම් හොඳ යයි ආලෝක සිතයි. තාත්තා කෙනෙකු වූ පසු පිරිමියෙකු ගේ ලෝකය වෙනස් වේ.

“සෑහෙන කාලෙකින් මුළු රෑ පුරාම නිදා ගත්තෙ නෑ”

රාත්‍රියේ නිදන්නට යහනට යන සූර්යා කියයි. නමුත් ඇගේ ඇස් වල කිසිදු වෙහෙසක් නැත.

“ඔයා නිදාගන්න. අද මං බබාල ඇහැරෙද්දි බලන්නං”

ආලෝක සිය ආදරණීය ගමන් සහායිකාව ගේ හිස කේ රැලි අතරේ සිය අතැඟිලි රුවමින් පවසයි. ඒ සුවයට සූර්යා ගේ දෑස් පියවේ.

“ඔයා කොහොමත් ඇහැරෙනවනෙ…එක්කෙනෙක් හරි ඇහැරිල කෙඳිරි ගාපු ගමන්”

ඇය ආලෝක ගේ  නග්න පපුවෙහි මුහුණ හොවා ගත්තා ය. ප්‍රථම ස්කෑන් පරීක්ෂණයෙන් පසුව ම මුළු රැය පුරා ඔහු ට නින්ද නො ගිය බව ඔහු නො කියා හිටියේ ය. දියණියන් දෙදෙනෙකු හා පුතුන් තිදෙනෙකු ද ඇය ද දෑස සේ රැක ගත යුතු නිසාවෙන් මතුවටත් එසේ නින්ද බලාපොරොත්තු විය නො හැකි වනු ඇති බව ද ඔහු නො කියා සිටියේ ය.

සමාප්තයි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -28

නිශාමනී ඒ සැඳෑවේ ගෙදර පැමිණියේ අලුතෙන් ම ශාන්ත වූ හිතකින් කියා කිව හැක. ඇය ශාරද සමගින් කතා බහකට ගියේ ම නැත. ඇගෙන්...

අමිහිරි විවාහ ජීවිතය නිසා විඳ වූ බිරිඳක්.

මනෝ උපදේශිකා ප්‍රබුද්ධිකා විජේතුංග මෙනෙවියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙන් පළ කරන්නකි.වෘත්තිය ආචාර ධර්ම රැකෙන පරිදි සත්‍ය කතාවේ නම් ගම් සහ යම් සිදුවීම් වෙනස්...

හිමගිරි අරණ -13

"මොන දේ වුණත් ඔහේ දරා ගන්න පුරුදු වුණාම ජීවිතේ ලේසියි රවිඳු." හිමාෂා එසේ පැවසුවේ ඇගේ ජීවිතය ඇසුරිනි.එයට කිසිත් නොකියා...

ශරදාකාසේ -27

නිශාමනී අරමුණකින් තොර ව ඔහේ බලා සිටියා ය. නටුවෙන් ගිළිහෙන කහ පාට ඇහැල මල් පෙති කැරකී විත් ඇගේ හිස මත ද පතිත...

අපිට අපි

"අම්මේ බඩගිනියි." පුංචි නෙතුක එහෙම කියාගෙන මුළුතැන්ගෙයට එබෙනකොට චමරි පුතා දිහා බලා ගෙන හිටියේ දරා ගන්න බැරි වේදනාවකින්.උයන්න මොකුත්ම...