සඳ කත් මිණි ඇස් – 38

චාන්දනී රිසීවරය තදින් සවනට තද කොට ගත්තා ය. හරියට අහල පහලක කිසිවෙකු සිටින්නා මෙනි. අජන්ත කියනා දෙයක් පිටස්තරයෙකුට ද ඇහෙන්නා මෙනි.

“සූර්යා නිදිද චාන්දනී..”

“දැනුයි රූම් එකට ගියේ”

“මගෙ කෙල්ලට වෙනසක් කරන්න එපා චාන්දනී”

ඔහු ගේ හඬේ තිබුණ ඉරිතැලීම ඇයට ඉතා හොඳින් දැනිණ.

“ළමයි දෙන්නව අරං අපි කොහෙට හරි ගිහිං ජීවත් වෙමු චාන්දනී”

ඉතා ම ඈත අතීතයේ දවසක ඔහු එහෙම කියත්දී ඒ හඬේ වූයේ ද ඔය ඉරිතැලීම ම බව ඇයට මතක ය.

“බෑ සර්. ඒක කරන්න කීයටවත් මට බෑ”

චාන්දනී ගේ හඬෙහි වූයේ දුර්වල බවකි. නමුත් ඇගේ හිත ඉතා සවිමත් විය. සිය තීරණය සම්බන්ධයෙන් ඕ ස්ථිරසාර වූවා ය. අජන්ත ට කිසි සේත් ඒ තීරණය වෙනස් කළ හැකි නොවූයේ ය.

“ඒ ගැන අහිතක් හිතන්න එපා සර්”

මේ මොහොතේ චාන්දනී ගේ උගුර යටින් කියවුණේ එවන් කතාවකි. ස්වර තාන බිඳ වැටෙන්නට ඔන්න මෙන්න ව තිබිණි. 

“එයා මට මගෙම දුව”

අතීතය මේ තරම් වියරු ලෙස තමන් ට සරදම් කරන්නට හිතුවේ මන්දැයි චාන්දනී ට තේරුම් ගත නො හැකි ය. දේශප්‍රේමියා ගේ මිය යාමෙන් පස්සේ කොළඹ විත් හා හා පුරා කියා ඇය රැකියාවට ගිය ඇඟළුම් ආනතනයේ හිමිකරු වූයේ අජන්ත ගජධීර ය. නමුත් චාන්දනී ඔහු ව දැන තිබුණේ හෝ නැති තරමි. ඇගේ හිස මත පැටවී තිබි වගකීම සුළුපටු එකක් නොවේ. පුතෙකු තනිව තැනිය යුතු ය. පුතුන් තනනවා යන අරුත දේශප්‍රේමියා විසින් ඇගේ හදවත තුළ මවා තිබුණේ අසහාය සිතුවමක් ලෙස ය. පුතෙකු තනනා අම්මා කෙනෙකු තරම් උදාරතර වූ සජීවී වස්තුවක් මෙලොව නැත.

අත් උදව් කාරියක ලෙස සේවයට බැඳුන චානදනී ටික කලකින් මැෂින් ක්‍රියා කරවන්නියක වූවා ය. අරුමය එය නොවේ. හැම මාසයක ම නොකඩව ඇය පැමිණිමේ දීමනාව ලබා ගත්තා ය. ටික කලක දී සුපර්වයිසර් ටකනෙකු වශයෙන් පත්වීම් ලබන්නට තරම් කැපී පෙනෙන කැපවීමක් ඇයට තිබිණ. 

ඒ රුව මාලිනී ෆොන්සේකා ගේ බඳු යයි ඇය දකින හැම අවස්ථාවක ම අජන්ත ගජධීර ට සිතී තිබේ. නමුත් ඒ ආඩම්බර කම කිසිවෙකු ට සම කරන්නට අජන්ත දැන සිටියේ නැත. මේ අසීමිත ගැහැනියට පෙම් කරන්නට අජන්ත පෙළඹුණේ ඔහු ගේ පිරිමි හදෙහි වූ හිස් තැන් එක්ක ය. 

“ඔයා..ගෙදර ඉඳලද ඔය කතා කරන්නෙ…”

හදිසියේ ම සිහි වී චාන්දනී සසැලීමෙන් විමසුවා ය. 

“ඔයාටකතා කරන්න ඕන නිසාම මං එළියට ආව”

“සන්ධ්‍යා තනියමනෙ”

“අපි හැමදාමත් හිටියෙ අපේ හදවත් වලින් තනි වෙලා කියල ඔයා නොදන්නව නෙවෙයිනෙ චාන්දනී”

ගිනියම් කළ ලෝහ බරුවක් උගුර දිගේ පල්ලම් බහින සංවේදනය වසර ගණනකට පසු ඇය නැවත ද අත්විඳින්නට වූවා ය. එක වහළක් යට දිවි ගෙවුවාට අජන්ත හා සන්ධ්‍යා ලෝක දෙකක ජීවත් වූ බව ඇය ට කීවේ ද අජන්ත ම ය. හදවතෙහි සසල වීමක් නො දැනුණා කීවොත් මුසාවකි. සැමියා මිය ගොස් හුදෙකලාව  දරුවෙකු උස් මහත් කරනා පාළු ගැහැනු හිතක් ඉදිරියේ ප්‍රදීපාගාරයන් සේ ඈතකින් ඔහු බලා සිටින්නට වත්දී ඈ සසැලී ගිය අවස්ථා නැතිවා ම නොවේ. නමුත් ඈ තනි වූයේ දේශප්‍රේමියා මිය ගිය නිසා ය. අජන්ත ලොව සිටියදී ම ඒ වියරු තනිකම තුළ ට සන්ධ්‍යා ව ඇද දමන්නට චාන්දනී ට කිසි සේත් හිත හදා ගත හැකි වූයේ නැත.

“එයා දවසක එයා ට ගැලපෙන කෙනෙක් තෝර ගනී. අපි ළමයි දෙන්නව අපේ ළඟ තියා ගමු. ඔයාගෙ පුතාට වගේම මගෙ දුවටත් ආදරේ කරන්න. මං ඔයාගෙං ඉල්ලන්නෙ එච්චරයි”

අම්මා කෙනෙකුට දරුවෙකු කියන්නේ මොන තරම් සැනසීමක්ද කියා චාන්දනී වාගේ අම්මලා ට අමුතුවෙන් කිසිවෙකු කියා දිය යුතු නැත. දරුවෙකු කියන්නේ අම්මා කෙනෙකු ගේ ශරීරයෙන් කොටසකි.අම්මා කෙනෙකු ගෙන් දරුවෙකු උදුරා ගන්නවා කියන්නේ ආනන්තරීය පාප කර්මයකට සම කළ හැකි වූවකි. සංසාරේ කරපු පව් මදිවා ට ඒ තරම් පාපයකට කර ගසන්නට චාන්දනී ට කිසි සේත් ඕන වුණේ නැත.

“මේක කවදාවත් වෙන දෙයක් නෙවෙයි සර්. සර් මාත් එක්ක තරහ වෙන්න එපා”

ඇය නිරතුරු පැවසූවේ ඒ ටික ය. මහ කන්දක් සේ නොසෙල්වී සිටි ගැහැනිය ගැන අසීමිත ප්‍රේමය ඇති ව ම අජන්ත සේවක පිරිස ද සමග ම ඇඟළුම් ආයතනය විකුණා දැමුවේ ය.

චාන්දනී දකින්නට හෝ නැති දිවිය තුළ ඔහු විඳවනා හුදෙකලා මිනිසෙකු බවට පත් වූයේ ය. ඇඟළුම් ආයතනය විකිණීමෙන් ද ඔහු ගේ බැංකු ගිනුම් වල තැන්පත් කොට තිබි මුදල් ද කොටස් වෙළෙඳපොළ තුළ ආයෝජනය කොට අන්තිමට ඔහු නිහඬ සන්සුන් දිවියකට පිළිපන්නේ ය. හැම මොහොතක ම අපමණ හිස් කමක් ආත්මය දවා ලූව ද ඔහු ඒ දැවීව තුළ ජීවිතයේ මිහිර සෙව්වේ ය. සූර්යා යනු නමට පමණක් ඔහු ගේ දියණිය විය. ඈ ගැන සියලු තීන්දු තීරණ ගත්තේ සන්ධ්‍යා ය. තනිකම මා කාන්තරයක් නම්, නිල් අහසත් වැලි පොළොවත් පමණක් දැකිය හැකි අසීමාන්තික තනිකමක් තුළ ඔහු ගිලී ගොස් සිටියේ ය.

“එක දෙයක් ගැන මං දෙවියන්ට ස්තූතිවන්ත වෙනව චාන්දනී”

අජන්ත ගජධීර ගේ හඬ චාන්දනී ගේ ආත්මය ම දෙදරවාලූයේ ය.

“ඒ මගෙ කෙල්ලව ඔයා ළඟට එවපු එක ගැන. ඒ කෙල්ලගෙ ජීවිතේ නැති නහස්ති වෙලා යන එක ගැන මං පුදුම වේදනාවක හිටියෙ. ආදරයක් කැඩිල ගියාට පස්සෙ පපුවකට දැනෙන හැම හැඟීමක් ම විඳපු කෙනෙක්නෙ මමත්”

“අනේ සර්…තාමත් සර් මාත් එක්ක තරහෙන්ද…”

“කවදාවත් ඔයත් එක්ක තරහ වෙන්න පුළුවන් වුණෙ නෑ චාන්දනී. ඔයා ගැන හිතේ තිබුණ හැඟීම් කවදාවත් වෙනස් වුණෙත් නෑ. කොහොම වුණත් දැන් මගෙ හිතට හරි සැනසීමයි”

“සර් දැන් ගෙදර යන්න. සන්ධ්‍යා තනියමනෙ. දැන් හුඟක් රෑ වෙලානෙ…”

අජන්ත ඉතා හෙමිහිට ඉතා ගැඹුරු වූ හුස්මක් ගත්තේ ය. කොයි තරම් හෙමිහිට වී ද ඒ හඬ චාන්දනී ට ඇසිණ. නමුත් පෙර පුරුදු සේ ම නෑසුණා සේ ඉන්නට ඇය ට සිදු විය. ඒ වාගේ හුස්මක බර කොයි තරම් ද කියා අජන්ත දැන් හොඳට හඳුනයි. තනිකම වන් ශාපයක් ජවිතයට තවත් නැත. එකට ගමන් කළ යුත්තේ එක වාගේ ගමන් සගයන් ය. එකට පියෑඹිය යුත්තේ එක වාගේ කුරුල්ලන් ය. එක අත්තක වැසිය යුත්තේ ද සමාන තටු ඇති කුරුල්ලන් ය. නැත්නම් ඒ ගමන කිසි දා ක සැනසිලි සහගත එකක් වන්නේ නැත.

කාමරයට ගිය චාන්දනී කැඩපතින් සිය පිළිබිඹුව දෙස බලා උන්නා ය. අජන්ත නිසාවෙන් හදවත තුළ යම් යම් අවස්ථා වල සුළි කුණාටු ඇති වූ බව ඇත්ත ය. නමුත් දේශප්‍රේමියා ට පිදු ආත්මය තවමත් නො කිළිටි ව පැවතීම ගැන ඈ සතුටු වූවා ය. 

“මගෙ කෙල්ලට සතුටෙන් ඉන්න දෙන්න චාන්දනී. මං ඔයාගෙං ඉල්ලන්නෙ එච්චරයි. මට නැති වුණ ජීවිතේ සතුට මගෙ කෙල්ලට විඳගන්න දෙන්න…”

අජන්ත ගේ අන්තිම වචන ටික ඈ සවන් තුළ නොව ආත්මය තුළ දෝංකාර දෙයි. චාන්දනී කුළ බරපතල වැරදිකාර හැඟීමක් උපන. සූර්යා ව ආලෝක ගේ ජීවිතයෙන් ඈත් කොට දමන්නට ඈ නොකළ දෙයක් නැත. අවසානයේ ඈ කර බා ගත්තේ මුණුපුරෙකු ගැන කතාව නිසා ය. තමන් කෙතරම් ආත්මාර්ථකාමී වූ ජීවියෙකු දැයි ඇය සිතුවා ය. එක අතකට මේ මෑතක නොව ඒ ඈත දීත් ඇය ආදරය හැඳින ගත්තේ නෑ නොවේ ද? ප්‍රේමයෙහි ඉසියුම් සංවේදනා නොදුටුවා සේ ඉවත බලා ගත හැකි දැඩි සිතක් ඈ උකහා ගත්තේ දේශප්‍රේමියා ගෙන් දැයි චාන්දනී සොවින් සිතුවා ය. එදා ඇය ඈ විසින් ම අටවා ගන්නා ලද ආරක්ෂිත කවචයක් තුළ ගුළි වී ගෙන සිටියා ය. 

නමුත් ආලෝක ඊට හාත්පසින් වෙනස් මිනිසෙකු වී තිබේ. ආදරය හංගා ගන්නට නොව ආදරය පෙන්වන්නට ඔහු කවදත් දෙවරක් නොසිතුවේ ය. තාත්තා වාගේ ම ආදරය මත්තේ ජීවත් වන්නට හෝ මිය යන්නට ඔහු සැදී පැහැදී සිටි බව,සූර්යා වෙනුවෙන් වසර විසි ගණනක් තනිකඩ ව බලා හිඳීමෙන් ම පෙනේ. ප්‍රේමය විෂයේ සිය පරිකල්පනා කෙතරම් පටු සීමාවක පැතිර පවත්නේ ද කියා, යහනේ වැතිරෙන ගමන් චාන්දනී සිතුවා ය. සූර්යා ද අජන්ත සේ ම ප්‍රේමයෙන් පිරි තැනැත්තියක විය යුතු ය. 

තමන් ගැන ම ලැජ්ජාවක් ද හීන මානයක් ද ඈ තුළ ඉතිර පැතිර යන්නට විය. චාන්දනී ළසොවින් නෙතු පියා ගත්තා ය..

පසු දා විවාහ ලියා පදිංචිය සිදු විය. ආලෝක වෙනුවෙන් ඔහු ගේ පාසල් මිතුරා ද සූර්යා වෙනුවෙන් නටාෂා ද සාක්ෂි අත්සන් තබන ලදී. එදා පවුල් දෙකේ ම දෙමවිපියෝ ද සාක්ෂිකරුවෝ ද මනාල යුවල ද සුඛෝපභෝගී අවන්හලක පවුලේ කාමරයක් තුළ දී දිවා ආහාරය භුක්ති වින්දහ. සන්ධ්‍යා කාලයේ දී නව යුවල සිය ප්‍රිය සම්භාෂණය වෙනුවෙන් පූර්ව කටයුතු සූදානම් කළහ. ප්‍රවීන් ට ඇරයුම් කරන්නට ආලෝක සිය ජංගම දුරකතනය ට අත තබත්දී ම ප්‍රවීන් ගේ නමින් එය හැඬවෙන්නට ගති.

“මං මේ උඹට කතා කරන්න ෆෝන් එක ගන්නකොටමයි රිං වුණේ”

“ඇයි..”

“නෑ උඹ කතා කළේ ඇයි කියල හිටපංකො”

“නෑ නෑ කියපං සුමනය”

හිතේ කහට අකා මකා දමන්නට ප්‍රවීන් ට ඕනෑ වී තිබිණි. ඔහු වූ කලී හොඳ මිනිසෙකු නොවේ. හොඳ වෙන්නට උත්සාහ කළ මිනිසෙකු ද නොවේ. නමුත් ආලෝක නිසාවෙන් ඔහු ට දැනෙමින් පවතින්නා වූ හීන මානය ඒ සියල්ල පරයා යන්නකි. ඔහු ට ඕනෑ වී තිබුණේ එකී හීන මානය මට්ටු කරලන්නට ය.

“මචං අපි මැරි කළා. පොඩි පාටි එකක් දෙනව හිතවත් ම ටික දෙනෙකුට විතරක්”

“අයි කැන් අන්ඩස්ටෑන්ඩ් මචං. මං ඒ හිතවත් ම සෙට් එකේ නෑ. නෝ වොරීස් මචං”

“නෑ නෑ එහෙම නෙවෙයි. මං කෝල් කරන්න හැදුවෙ…අප්සරා එක්ක උඹත් එන්න ඕන කියන්න”

“එහෙමද…අප්සරා මේ කෝල් එකක් දෙන්න කිව්වෙත්….සූර්යාට ඩිනර් වලට එන්න කියන්න..අද..”

“අදද…අදනං..”

“මට තේරෙනව ආලෝක. මේ දවස් ටික බිසීනෙ. අවුලක් නෑ. මං අප්සරාට කියන්නං වෙන දවසකට වැඩේ පෝස්පෝන් කරන්න කියල”

සාමකාමී වීම හා එකඟ වීම් තුළ ජීවිතයට හිමි වන රිද්මය, හෘද ස්ඵන්දනය වඩා වඩාත් සුවදායී කරයි. එය එරෙහි වීමකදී ඇති කරනා එන්සයිමීය ප්‍රතික්‍රියාවන් ගෙන් සිරුර නිරුපද්‍රිත ව තබා ගනී. නොරිස්සුමෙන් තොර වීම තුළ ක්ලමථය විශාධය වැනි මානසික පීඩාවන් ජනිත වීම අවම වේ. 

එවන් සන්සුන් ගමනක් තුළ නිවීමක සැනසීම නිරන්තරයෙන් අන්තර්ගත ය. භාවනා කරන්නට වන ගත විය යුතු ම නැත!

“ජීවිතේ සමහර වෙලාවට හරි පුදුමයි ආලෝක”

සූර්යා සිය නාරි හා ප්‍රසව වෛද්‍යවරයා විසින් නියම කරන ලද ෆෝලික් අම්ලය, විටමින හා ලවණ පෙති ගිල දමා වතුර වීදුරුව යහනේ පැති කැබිනෙට්ටුව මත තබනා ගමන් ආලෝක ගේ උරහිසක යන්තම් හිස තබා ගනිමින් කීවා ය. කුස තවමත් මෝදු වී පෙනෙන්නේ හෝ නැත. නමුත් මාස පහ හයක දරු ගැබක් සේ ඕ එය පිරිමැද්දා ය.

“අපිට ඕනයි කියලම විඳව විඳව ඉල්ලන දේවල් ප්‍රමාද වෙලා හැටි අපිට දෙන හැටි…මං දන්නෑ ඒක දෛවයද ඉරණම ද විශ්ව ශක්තියද දෙවියන් වහන්සෙද නැත්තං වෙන මොකක් හරි ද කියල…ඒ මොන නමින් කියන්නෙත් එක දෙයක් කියලයි මටනං හිතෙන්නෙ. ප්‍රමාද කර කරා ඉන්නෙත් අපිට ඒක කොච්චර ඕනද කියල බලන්න වෙන්න ඇති. සමහර විට මට පුළුවන් වුණානං ඔයාව අමතක කරල ජනිත් එක්ක ජීවත් වෙන්න හිත හදා ගන්න…මං එහෙම කරන්නත් ට්‍රයි කළානෙ…එහෙම වුණානං ඔය කියන දෛවය ආයෙ මට ඔයාව දෙන්න ඕන කියල හිතන එකක් නෑ. අපි දෙන්නම අපි වෙනුවෙන් කොච්චර කාලයක් බලං හිටියද කියල අන්තිමට දෛවයටම දුක හිතෙන්න ඇති”

ආලෝක හෙමිහිට සූර්යා ගේ හිස පිරිමැද්දේ ය. කුමක් කියන්නද කියා නො වැටහෙන තරමට ඔහු ගේ හදවත සිතිවිලි වලින් පිරී ගොස් ය. නීතියෙන් ම අත්පත් කර ගැනීම කියන්නේ සුළුවෙන් කැකිය හැකි දෙයක් නොවේ. ඒ වූ කලී වගකීම් සමුදායකින් බැඳී යාමකි. දිවි ඇති තෙක් ඇය සේ ම දරුවා ද දැන් ඔහු ගේ ය. දිවි හිමියෙන් ඔවුන් රැක බලා ගත යුතු ය. පිරිමි හදවතකට විතරක් විඳිත හැකි ඒ සුන්දර වූ ද වගකීම් සහගත වූ ද ‘බර’ ගැන හැබෑ ස්වරූපයෙන් වටහා ගන්නට ස්ත්‍රී ආත්මයකට නුපුළුවන.

“එහෙම විඳවන්න බෑ කියන සීමාවෙදි කී දෙනෙක් තමන්ට වැඩියෙන් ම ඕන දේවල් අත්ඇරල දානව ඇද්ද…නේද…”

“ඔයා දැන් නිදියන්න. අද මහන්සි වුණා වැඩිනෙ. හෙටත් ෆන්ක්ශන් එක නිසා දවසෙම රෙස්ට් එකක් නැති වෙයි”

“නින්ද යනකල් ඔයා මගෙ පිට අතගානවද…බැක්පේන් එකක් එනව වගේ”

“හ්ම්. නිදියන්න මගෙ මැණික”

සූර්යා අනිත් පසට හැරී නෙතු පියා ගත්තා ය. ආලෝක සිය පිය බිරියගේ කටී පෙදෙස පිරිමදිමින් නිදි වර්ජිත ව සිටියේ ය. සැබවින් ඔහු වෙත නිදි මතක් පැමිණියේ ම නැත. 

සූර්යා දෙවියන් ඉදිරියේ සිය බිරිඳ වූ බව ඇත්ත ය. නමුත් හෙට මුළු ලොව ම ඔවුන් දෙදෙනා පති පතිණියන් ලෙස පිළිගනු ඇත. ඉන් අනතුරුව ජීවිතය කවර වේශයකින් ඔවුන් ඉදිරියට එනු ඇත් ද? ආලෝක ඇස් පියා ගන්නට උත්සාහ කළේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -28

නිශාමනී ඒ සැඳෑවේ ගෙදර පැමිණියේ අලුතෙන් ම ශාන්ත වූ හිතකින් කියා කිව හැක. ඇය ශාරද සමගින් කතා බහකට ගියේ ම නැත. ඇගෙන්...

අමිහිරි විවාහ ජීවිතය නිසා විඳ වූ බිරිඳක්.

මනෝ උපදේශිකා ප්‍රබුද්ධිකා විජේතුංග මෙනෙවියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙන් පළ කරන්නකි.වෘත්තිය ආචාර ධර්ම රැකෙන පරිදි සත්‍ය කතාවේ නම් ගම් සහ යම් සිදුවීම් වෙනස්...

හිමගිරි අරණ -13

"මොන දේ වුණත් ඔහේ දරා ගන්න පුරුදු වුණාම ජීවිතේ ලේසියි රවිඳු." හිමාෂා එසේ පැවසුවේ ඇගේ ජීවිතය ඇසුරිනි.එයට කිසිත් නොකියා...

ශරදාකාසේ -27

නිශාමනී අරමුණකින් තොර ව ඔහේ බලා සිටියා ය. නටුවෙන් ගිළිහෙන කහ පාට ඇහැල මල් පෙති කැරකී විත් ඇගේ හිස මත ද පතිත...

අපිට අපි

"අම්මේ බඩගිනියි." පුංචි නෙතුක එහෙම කියාගෙන මුළුතැන්ගෙයට එබෙනකොට චමරි පුතා දිහා බලා ගෙන හිටියේ දරා ගන්න බැරි වේදනාවකින්.උයන්න මොකුත්ම...