සඳ කත් මිණි ඇස් – 37

ගජධීර ගෙමිදුල ගෙයට සාපේක්ෂව ඉතා කුඩා එකකි. මිදුලක් නඩත්තු කරන්නට තරම් සොබා දහම හා ගහ කොළ ගැන උනන්දු වෙන අයෙකු ගෙදර නොවන බව, ලොකු පික්චර් බැම්බෝ පඳුරකින් පමණක් සමන්විත මිදුල දකිනා ඕනෑ ම කෙනෙකුට හිතෙන් තක්සේරු කර ගන්නට පුළුවන. චාන්දනී ඒ කුඩා අඳුරු මිදුල දෙසට නෙතු යොමා ගෙන සිටියා ය. අජන්ත ගජධීර ගේ සුසුමක හඬ ඈ පිටුපසින් ඇසිණ.

“මං දැනං හිටියෙ නෑ ආලෝක කියන්නෙ ඔයාගෙ පුතා කියල”

“දැනං හිටියනං සර් එදා මගෙ පුතාට සර්ගෙ දූව බඳින්න අවසර දෙනවද…”

“ඔයා දන්නව…මගෙ තීරණ නෙවෙයි මේ ගෙදර ක්‍රියාත්මක වුණේ”

“සූර්යා සර්ගෙ දුවයි කියල මේ ගෙදරට ගොඩ වෙනකල් මාත් දැනගෙන හිටියෙ නෑ”

“දැනගෙන හිටියනං ඔයා මේකට කැමති වෙන්නෙ නැද්ද…”

චාන්දනී ඉවත බලා ගත්තා ය. ඔහු විසින් අසනා ලද බොහෝ ප්‍රශ්න වලට දෙන්නට පිළිතුරු නොමැතියෙන් ඈ බොහෝ අවස්ථා වල කළේ ඉවත බලා ගැනීම ය. සුසුමක් පවා හදවතේ ම හංගා ගනු මිස ඔහු ට දකින්නට නො හැරීම ය.

ජීවිතේ පුදුමාකාරයි කියා චාන්දනී ට සිතේ. එය තනිකර ම අභිරහසකි. හංගා ගෙන හිඳ ජීවිතය අභිමුවට පමුණුවන දෛවයේ අභිරහස් ගැන කිසි සේත් කළින් හඳුනා ගත නො හැකි ය.

“ඔෆිස් එකෙන් කෝල් එකක් ආව”

කියා ගෙන ආලෝක බරාඳයට ගොඩ වූයේ ය. අවස්ථාවේ හැටියට එය ලොකු දෙයකැයි චාන්දනී සිතුවා ය. ඇයට කවදත් මේ වාගේ අසීරු පරීක්ෂණයන් ට මුහුණ දිය හැකි නො විණි. අනිත් අතට මුහුණ දෙන්නට ඕනෑ වූයේ ද නැත.

නමුත් අජන්ත ගජධීර තුළ නම් සිහින් ශෝකයක් ඇති විය. අඩු තරමින් කාලෙකට පස්සේ චාන්දනී එක්ක තනිව වචන කිහිපයක් කතා කරන්නට හෝ අවස්ථාව ලැබුණේ නැත!

තේ බීමෙන් පසු ගමන ඉක්මන් කරවූයේ චාන්දනී ම ය.

“ගිහින් උයන්නත් ඕනනෙ”

“මෙයාගෙ පිස්සු වැඩනෙ. ඉස් ඉස්සර වෙලාම අපේ ගෙදර ආපු එකේ  කෑම ටිකක් කාල යන්න තිබුණනෙ”

සන්ධ්‍යා සිය දියණිය ගැන බොරු නෝක්කාඩුවකින් කීවා ය.

“අත් උදව්වට ඉන්න කෙනාටවත් මං උයන්න කියල ආවෙ නෑ. සූර්යාට මං උයලම කන්න ආසයි කියපු නිසා”

“බලාගෙන. මෙයා ඕනවට වඩා ඔයාට හුරතල් වෙන්න බලයි”

“අපි ඉක්මනට මේ කටයුතු එකලාසයක් කරන්න දවසක් දාගමු නේද…දැන් ඉතින් ප්‍රමාද කරන්න හේතුවක් නෑනෙ”

“ඒක පවුලෙ අය එකතු වෙන පොඩි ෆන්ක්ශන් එකක් විතරයි අම්ම. ලොකු වෙඩින් එකක්නං නෙවෙයි”

“හැම දේම අන්තිමට ඕගොල්ලන්ට ඕන විදිහටනෙ වුණේ ඉතිං”

සන්ධ්‍යා එසේ කීවේ ඇනුම් පදයක් ලෙසට ම නොවේ. ‘අම්මට ඕන විදිහට කරපු එක හරි ගියේ නෑනෙ’ කියා කියන්නට සූර්යා ගේ මුව නළියෑවත් ඇය එසේ නො කියා හිටියා ය. දැන් පරණ දේවල් කතා කොට වැඩක් ම නැත. අලුත් ජීවිතය දෝත පා පිළිගත යුතු ව තියේ.

දින තුනකින් විවාහයේ කටයුතු යොදා ගෙන ය එදා පීටර්ස් පෙදෙසින් ඔවුන් නික්ම ගියේ.

“සූර්යා රෑට එනවද..”

කියා සන්ධ්‍යා ඇසුවා ය.

“දැන් ඉතින් කොහෙ හිටියම මොකෝ”

කියා චාන්දනී පිළිවදන් දුන්නා ය. සැබවින් මුණුපුරා සිය දෑස මානයේ ම තබා  ගැනීමේ තෘෂ්ණාවකි චාන්දනී වෙත වූයේ.

“ඔව් ඉතිං එහෙ හිටපුදෙන්”

අජන්ත ද චාන්දනී ව අනුමත කළේ ය. සූර්යා හිටියේ බිම බලා ගෙන ය. එය වූ කලී ඇය ට පුරුදු නැති ලැජ්ජාවකි. ආලෝක මුණිවතින් රිය පණ ගන්වා ගත්තේ ය.

“නටාෂාත් එන නිසා අම්මට උයන්න අමාරුයි නේද…ඕනනං අපිට එළියෙං ගෙනියන්න පුළුවන්”

මගදී ආලෝක මතක් කළේ ය. නමුත් චාන්දනී හොස්ස ගැස්සුවා ය.

“මං උයන්නං. දීපාත් ඉන්නවනෙ උදව් කර ගන්න”

ඉන් පසු  ආලෝක ඒ ගැන කිසිත් කියන්නට ගියේ නැත.

මේ වෙලාවේ ප්‍රවීන් හිටියේ ටෙරස් එකට වී මී විතක් සමගින් තනි වී ගෙන ය. ඔහු ගේ හදවතට මරු පහරක් එල්ල වූවා සේ තවමත් ඔහු පීඩා විඳී. උදේ සයෙනයේදී ආලෝක හා සූර්යා ව ඒ විදිහට දකින්නට ලැබේවියි ඔහු නම් කිසි සේත් සිතුවේ නැත. අප්සරා වක්කඩ කැඩුවා සේ ඇත්ත හෙළි දරව් කිරීම ඔහු ට ඉවසා ගන්නට ම බැරි වුණ දේ ය.

“මේ ගෑනිගෙ කටට බ්‍රේක් නෑනෙ”

ඔහු තනිව කියවූයේ ය.

“හතර විලි ලැජ්ජාවයි. අරුං දෙන්නා මට අපහාස කරන්න ඇති නොසෑහෙන්න”

ඔහු වීදුරුවේ වූ මීවිත සියල්ල උගුරට හලා ගත්තේ ය.

“ප්‍රවීන්”

අප්සරා ටෙරස් එකට ගොඩ වූවා ය.

“සූර්යා එක්ක සුමනරත්නට හෙට එන්න කියමුද…ඩිනර් වලට…”

“ඔච්චර හදිස්සි මොකද…”

ප්‍රවීන් ඇයට රැව්වේ ය.

“ඔයාට ඉතිං කිසි දේකට හදිස්සි නෑනෙ. එහෙම වුණානං මෙලහකට අපිට ඉන්නවනෙ ඉස්කෝලෙ යන වයසෙ ළමයි”

ඇය සිය නොරිස්සුම ඇනුම් පදයක් කොට ඔහු ගේ මූණට දමා ගැසුවා ය.

“මේ මේ…නවත්ත ගන්නවද…”

“ඕක නේන්නං ඉතිං දන්නෙ..හැමදාම මගෙ කට වහල තියල එයා ජොලි කළා. අන්තිමට එයාගෙ සනුහරෙයි මගෙ සනුහරෙයි දෙපැත්තෙංම අහන ප්‍රශ්න වලට උත්තර දීගන්න බැරුව දැං මගෙ කට ඉබේම වැහිල”

“ගෙදර හිටියොත් මේ ගෑනිගෙ කන්දොස්කිරියාවනෙ ඇත්තට”

ජංගම දුරකතනය නාද වූයේ ඒ වෙලාවේ ම ය. ඇමතුම රෝෂාන් ගෙනි.

“ඉන්වයිට් කළාද බං උඹට..”

ඔහු අහන දේ ගැන අදහසක් ප්‍රවීන් ට වූයේ නැත.

“මොකටද…කවුද…”

“සුමනය බං. සූර්යාව බැඳල පොඩි පාටි එකක් දෙනව කියන්නෙ. මං හිතුව උඹටත් කතා කරලද කියල”

ප්‍රවීන් ට දැනුණේ සිය ආත්මය ම හැකිළී යන්නා සේ ය.

“කියයි කියයි. මේ රොෂා..මං වැඩක මචං…පස්සෙ ගන්නද උඹට”

කියා දුරකතන සම්බන්ධය බිඳ දැමූ ප්‍රවීන්,

“ඕන එකක් කර ගන්නව”

යි බිරිඳට සැර දමමින් අසුනෙන් නැගිට ගත්තේ ය.

චාන්දනී කෑම පිසිනා තෙක් ආලෝක සිය සගයින් කිහිප දෙනාට ඔවුන් ගේ විවාහය නිමිත්තෙන් පැවැත්වෙන සුහද හමුවට ඇරයුම් කළේ ය. සූර්යා නටාෂා සමග කතා කරමින් සිටියා ය. ජීවිතය වූ කලී නේකාකාර රිද්මයන් මතු කරමින් ගලා යන ගඟක් බව, ඒ ගඟ බඩ හිඳ ගඳ දිය දෙස බලා ඉන්නා තැනැත්තියකට සේ සූර්යා ට දැනිණ. ජීවිතය කියන්නේ තනි ඉලක්කයක් නොවේ. එක ඉලක්කයක් සපුරා ගත් මිනිසෙකු වෙත නිරායාසයෙන් තවත් ඉලක්කයක් එළඹෙන්නේ එබැවිනි. මේ හඹා යාමේ කෙළවරක් නොවන බව ද නො හැඟෙනවා නොවේ. නමුත් එසේ ය කියා අතරමගකින් හැරී යන්නට නුපුළුවන. සත්තකට ජීවිතය කියන්නේ කිසි සේත් හැරී යා නො හැකි ගමනකි. එය ඉදිරියට පමණක් මාර්ගය සැකසී ඇති ගමනකි. වැරදුණොත් නතර වී හැරී යා හැක්කේ මන් සන්දියකදී පමණකි. නමුත් ඒ ආපස්සට නම් නොවේ. ඉදිරියට ම ය!

“මට මාර හැපී අප්පා. ඇත්තටම මේ ජීවිතේදි මං දැනුවත්ව මගෙං වෙච්ච එකම යූස්ෆුල් වැඩේද කොහෙද මේක. ඔයා රටින් පනින්නයි හදන්නෙ කියල දැනිල ආලෝක ට කේලම කියපු එක”

නටාෂා එසේ කීවේ සැබවින් ම සතුටෙනි. සූර්යා දෙතොල් තද කොට ගෙන සිනහ වූවා ය.

“ඒ කේළම ගිය දුර දිග…කවුද හිතුවෙ ආලෝක ගෙ අම්ම මෙහෙම වෙනස් වෙයි කියල”

“මේ ලෝකෙ වෙනස් නොවෙන එකම දේ වෙනස් වීම සූර්යා…ඒත් ඔය දෙන්න කවදාවත් වෙනස් නොවී ඉන්න. රණ්ඩු කර කර හරි ආදරෙන් ඉන්න. දාල ගියත්..මගදි හැරිල ආයි එන්න. ඔයාට එයා නැතුව බෑ කියල නෙවෙයි…එයාට ඔයා නැතුව බෑ කියල මතක තියා ගන්න”

“මෙයා දන්න දේවල්…”

සූර්යා කට කොනකින් සිනහ වූවා ය.

“ඔය දෙන්නා නිසා තමයි. ඇත්තටම ගෑනියෙක්ට ආදරේ කරන්න පිරිමියෙක්ට පුළුවන් කියල මං තේරුං ගත්තෙ සුමන් නිසා. පිරිමින්ගෙ බොරු ආදරේ විතරයි මං දැකල තිබුණෙ. ගොඩක් අය ළඟ තියෙන්නෙ ඒක”

ඒ රාත්‍රී භෝජන සංග්‍රහය සතුටෙන් සේ ම රසයෙන් ද ප්‍රණීත වූ එකකි. ජීවිතය තුළ නතර වූ බවට හැඟීමක් සූර්යා ට දැනිණ..එය වූ කලී නිවීමකි. පවුලක් තුළ නිවී සැනසීමකි.

“යමු. මං ගිහිං සූර්යාව  ඇරලවල එන්නං අම්මෙ”

නටාෂා ද නික්ම ගිය පසු ආලෝක රියෙහි රිමෝට් එක අතට ගත්තේ එසේ කියමිනි.

“දැං ඉතිං මේ රෑ වෙලා යන්න ඕනයැ. එයාගෙ ගෙදරින් දන්නවනෙ මෙහෙයි ඉන්නෙ කියල”

“සූර්යා ඇඳුං ගෙනාවෙ නෑලුනෙ”

“නයිටියකුයි හවුස් කෝට් එකකුයි මං දෙන්නං”

කියා කාමරයට ගිය චාන්දනී, අල්මාරියේ වූ අලුත් ම රෑ ඇඳුම් කට්ටලයක් ලේලියට දුන්නා ය. මේ මොහොතේ හිතේ කිසිදු කහටක් නොවීම ගැන ඕ තොමෝ දෙවියන්ට ස්තුතිවන්ත වූවා ය. දැන් කාලය වෙනස් වී තියේ. කෙසේ වෙතත් වඩා වැදගත් වන්නේ ජීවිතය බෙදා හදා ගන්නට වන හැකියාව හා උවමනාවයි.

ආලෝක ගේ කාමරය තුළ ජීවිතය අලුතෙන් පටන් ගැනීමේ දී කිසියම් වෙනසක් එක් වර ම සූර්යා ට දැනිණ. නැවතත් යුග දිවියක්! වසර හත අටක් තිස්සේ තනි ජීවිතයකට පුරුදු ව සිටි ඇය ට යම් යම් වෙනස්කම් සිය පුරුදු තුළ ඇති කර ගත යුතු බව දැනෙන්නට විය. ඒ වෙනස ඒ තරම් අසීරු නොවනු ඇත කියා ද ඇය ට සිතිණ. මෙතැන යුග දිවි ගමනක් පමණක් නොවේ. ප්‍රේමයක් ද තිබේ!

“ඇයි…”

කණ්ණාඩි මේසය ඉදිරියේ ඇදෙස ම බලා ගෙන කල්පනා කරනා සූර්යා වෙත ගොස් ආලෝක ඇගේ උරහිස් මතින් දෑත් යවා ඈ වැළඳ ගත්තේ ය.

“මං කල්පනා කළා”

“මොනාද…”

“අවුරුදු විසි තුනකට කලින් තිබුණ ආදරේ…ඊට අවුරුදු විසි තුනකට පස්සෙ අද තියන ආදරේ…තව අවුරුදු විසි තුනකට පස්සෙත් තියෙයි නේද කියල…”

“තියෙයි. හැබැයි…”

“ඇයි හැබැයි…”

“හැබැයි තව වැඩි වෙලා එකතු වෙලා  තියෙන්නයි ඕනෙ”

“ළඟදිම බෙදිල අඩු වෙලා යයිද කියලයි මට බය…මෙයා ආවට පස්සෙ…කවුරුත් ආදරේ වුණේ මට නෙවෙයිනෙ…මෙයාටනෙ…”

“එයා එන්න කලින් ඉඳන්නෙ මං ඔයාට ආදරේ”

ගෙදර දුරකතනය හැඬවෙනවා ඇසිණ. ආලෝක සූර්යා ගෙන් මිදී දොර හැරියේ ය. නමුත් චාන්දනී දුරකතනය වෙත යමින් සිටි නිසා ආලෝක යළි දොර වසා දැමුවේ ය. කොහොමටත් ඒ දුරකතනය ට ඇමතුම් එන්නේ අම්මා ට මිස ඔහු ට නොවන බව ආලෝක දනී.

“චාන්දනී”

එහා ඉමෙන් වසර ගණනාවකට පසු ඇහුණ අජන්ත ගජධීර ගේ හඬින් චාන්දනී ගේ හදවත හෙළවී ගියේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles