මා හද මට නැති විට -15

කාලය ගලන්නේ රිදුණු බිඳුණු තැන් පිළිසකර කරවමිනි.සහමුලින්ම හිත හදා ගන්නට අසීරු වුණත් මේ කාලය හිත හදා ගන්නට ඕනෑම කාලයක් බව ලාවන්‍යා තේරුම් ගනිමින් සිටියා ය.භවන්තට සමු දෙන්නට හිත හදා ගත්ත ද ඔහු වෙනත් ප්‍රේමයක හිඳීම ගැන හිත රිද්දා ගත් ඇය හිත හදා ගත්තේ ඔහුගේ නව දිවිය ගැන සිතීමෙනි.ඔහු දැන් තාත්තා කෙනෙකු වන්නට සූදානමින් හිඳියි.

“අනිත් හැම ආදරයක් ම වගේ තමයි.දරුවෙකුට අම්මට තාත්තට තියන ආදරේ වත් තාත්තා කෙනකුට දරුවෙක්ට තියෙන ආදරේවත් බලෙන් නං ඇති කරන්න අමාරුයි. ඒ දරුවට ඇත්තටම ආදරේ හින්දනෙ එයා යන්න ගියේ. මං දැන් හිත හදා ගන්න ඕන.”

මිතුරියන් සේරෝම ඉන්නා වට්ස්ඇප් සමූහය පළාතට නොගොස් ලාවන්‍යා අනුත්තරාට පණිවිඩයක් යැව්වා ය. අනුත්තරා හදවතක සලකුණකට පසු ඇගේ අදහස ලියා එව්වා ය.

“නැත්තං. ඔයා දැන් හිත හදා ගන්නෝන තමා. අම්මව ලසා අක්කට පවරලා ඔයා ලිහිණි අක්කා ගාවට ගියොත් මොකද?”

අනුත්තරාගේ පණිවිඩයට ලාවන්‍යාගේ පිළිතුර අමුතු එකක් විය. අනුත්තරා එය දෙවාරයක්ම කියවූයේ ඒ හන්දා ය.

“මට අම්මා කෙනෙක් වෙන්න ආසාවක් ඇවිත් තියෙන්නේ”

ඒ අමුතු භූමිකම්පාවකි. දැන් ලාවන්‍යා කසාදයක් තබා පෙම්වතෙකුවත් නැති කෙල්ලෙකි. ඒ හන්දා අනුත්තරා පිළිතුරු දුන්නේ ප්‍රවේසමෙනි.

“එක හීනයක්වත් මැරිලා නෑ. ඔයාට ඇත්තටම ඒ බලාපොරොත්තුව ඉෂ්ට කර ගන්න පුලුවන්.”

එවර ලාවන්‍යා පණිවිඩ කෙටීම පසෙක තබා අනුත්තරා අමතන්නට තීරණය කළා ය. හදිසියේ එන ඇමතුම දෙස අනුත්තරා මඳ වෙලාවක් බලා සිටියා ය. ඇය ඇමතුමට සම්බන්ධ වන්නට තීරණය කළේ ඉන්පසුව ය.

“අද දවස කිසිම කරදරයක් නැතුව තියනකොට මං ඒත් හිතුවා. ගින්නක් නැත්තේ මොකද කියලා. හරි දැන් කියන්නකො. මොකද මේ හදිසියේ වුණේ?”

ලාවන්‍යා හොඳ පුංචි අම්මා කෙනෙකි. අක්කලා දෙදෙනාගේම දරුවන් ඇය පපුවේ අලවාගෙන සිටින්නේ ඇගේම දරුවන් ගාණට ය. පසුගිය කාලයේ ඇයට මවක වන සිහිනයක් තිබූ බව අනුත්තරා දන්නී ය. එහෙත් භවන්ත තාත්තා කෙනෙකු වූයේ බිරිඳගේ දරුවෙක් හන්දා නොවේ. පෙම්වතියගේ දරුවා හන්දා ය.

“මට ලියෝන්ට අම්මෙක් වෙන්න ඕනෑ.”

ඒ අමුතු කතාන්දරය නෑසුණානම් මොනතරම් හොඳදැයි අනුත්තරා සිතුවා ය. ලාවන්‍යා කියන්නේ කුමක්දැයි ඇය දනියි. නමුත් ඒ ඉටු කරගත හැකි ප්‍රාර්ථනාවක්ද කියන්නට අනුත්තරා දන්නේ ම නැත.

“මට හිතෙනවා මං තේජට ආදරෙන් කියලා. මං දැන් සෑහෙන වෙලාවක් මිදුලට වෙලා බලන් ඉන්නවා.තේජ බැල්කනි එකට එයිද කියලා. නෑනෙ”

ඒ නම් සුළුපටු අසනීපයක් නොවන බව කියන්නට අනුත්තරා ට සිතිණ.ඇතැම්විට තේජ මේ වෙද්දී සැප නින්දක වන්නට ද ඉඩ තිබේ. ඔහු නොදැක නින්දට යන්නට බැරිදැයි මිතුරියගෙන් අසන්නට සිතුණත් අනුත්තරා කට පරිස්සම් කර ගත්තා ය. බලාපොරොත්තු ඇති කරන්නට පහසු ය. නමුත් ඒවා ඉටු නොවන තැන ඇති වෙන වේදනාව සමනය කිරීම අපහසු ය.

“ඔයා ආයේ කාටමහරි ආදරේ කරන්න තරම් හිත හදා ගත්තට මට ඇත්තටම සතුටුයි. අපි බලමුකො තේජ හිතන දේ. එයා මොනවද හිතන්නේ කියලා දැන ගන්න මට ටික දවසක් දෙන්න.”

අනුත්තරා  මිතුරියගෙන් ඉල්ලා සිටියේ අවංකවම ය. තේජ සමඟ සංවාදයක් ආරම්භ කර ඒ මැදට ලාවන්‍යා ගැන කතාවක් ඇද ගන්නටත් ඔහු ලාවන්‍යා ගැන හිතන්නේ මොනවාදැයි දැන ගන්නටත් අනුත්තරා සිතුවා ය.

“එහෙම නැත්තං අපි ටික දවසක් යන්න ඉඩ දීලා එයාට කියමු.”

අනුත්තරාට එහෙම යෝජනාවක් ද තිබිණ. ලාවන්‍යා පුදුම වූවා ය. ආදරය ප්‍රකාශ කිරීමේ අයිතිය ඇත්තේ පිරිමි පාර්ශවයකට ය. යුවතියකට හැකි වන්නේ එය පිළි ගන්නට හෝ ඉවත දමන්නට ය. ආදරය ප්‍රකාශ කිරීමේ අයිතිය යුවතියකට නැති බව ඇය සිතන්නී ය.

“අනේ කෙහෙම්මල. එහෙම එකක් තියෙන්නේ මොන පොතේද?”

අනුත්තරා ඇසුවේ සැරෙනි. කොහොමටත් ඇය කලබලයෙනි. ලාවන්‍යාගේ හිත හැදෙන්නට ඇයව අසා සිටිය ද අනුත්තරාට අප්‍රමාණ බියක් දැනේ. ලියෝන්ගේ අම්මාට සිදු වූයේ කුමක්දැයි නොදැන ලාවන්‍යාට ඒ ප්‍රේමය මත අඩිය තියන්නට ඉඩ දීම අසීරු ය. ලියෝන්ගේ අම්මා ජීවතුන් අතර ද නැතිදැයිවත් කියන්නට නොදන්නා මොහොතක තේජට බැඳෙන්නට ලාවන්‍යාට ඉඩ දීම ඉතා අවදානම් කටයුත්තකි. ඇගේ හදවත කැබලි දහසකට බිඳී ගිය එකකි. එය පිරියම් කරන්නෙකුට මිසක කැබලි ලක්ෂයකට බිඳ දමන්නෙකුට හදවත පිරිනමා පලක් නොවේ.

සමහර හැඟීම් බවට වචන බවට පත්වූ විට ඒවා නැවත ආපසු ගැනීම කළ නොහැක්කක් බව ලාවන්‍යාට සිතෙද්දී ඇගේ හැඟීම් වචන වී අවසන් ය.ඇය විළියෙන් රතුව ගියේ එනිසා ය.හරි සිහියට එළඹීමෙන් පසුව ය.ඇයට අනුත්තරාගේ මුහුණ බලන්නටත් ඇය සමඟ නැවත කතා කරන්නටත් අපහසු බවක් හැඟෙන්නට විය.ඇය තමන්ගේ වචන ඕනෑවටත් වඩා තේරුම් ගන්නට ඇති බව ලාවන්‍යාට සහතික ය.ඉඳුරාම සහතික ය.

“සමහර වෙලාවට අපට කරන්න වෙන දේවල් අමාරුයි තමයි.ඒත් ඒ දේවල් තමයි ඒ මොහොතේ කරන්න තියෙන හොඳම දේ. ඒ නිසා මං ඔයාගෙන් ඉල්ලන එකම දේ දැනට ඔයා මෙහෙම දෙයක් හිතන බව සෙනූටවත් පාරාටවත් දැන ගන්න ඉඩ තියන්න එපා. තේජගේ හිතේ ඔයා ගැන තියන හැඟීම ගැන දැන ගන්න මට ටික කාලයක් දෙන්න.”

අනුත්තරා එහෙම ඉල්ලන්නට තීරණය කළා ය. මේ කල් මරමින් විසඳිය යුතු ගැටළුවක් නම් නොවේ!!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles