(අ)හිමි සිහින -104

සුධාරක ඔහුගේ රැකියාව ඉතාම ඉහළින් කළ මිනිසෙක්.ඔහු ඒ වෙනුවෙන් අප්‍රමාණ ගෞරව බහුමාන දැරූවෙක්.නමුත් ඔහු රස්සාවට කැප වූ මිනිසෙක් නිසා ඔහුට පිටත ලෝකය ගැන තිබූ දැනුම අල්ප බව මට නොකියාම බැහැ.

“සුධාරක දුර ඉන්න හතුරෝ අඳුනා ගත්තට ළඟ ඉන්න හතුරෝ කවදාවත් අඳුනා ගත්තේ නෑ.”

ඔහු නොගැලපෙන විවාහයක සිරවී දුක් විඳිමින් සිටියදී මා මුණ ගැසී මා ජීවිතයම කරගත් බව ඇත්ත.ඒ අපේ සංසාර ගනුදෙනුව ලියැවී තිබුණු ආකාරය වෙන්නට ඇති.නමුත් මට ඔහුට කියන්නට වැදගත් කාරණාවක් තිබුණා.එය ඔහුට කියන්නට ලැබුණු හොඳම වෙලාවේ මම ඒ ගැන ඔහු සමඟ කතා කරන්නට තීරණයක් ගත්තා.දිල්හානිගේ ඉගැන්නුම් නිසා සුධාරක තමන්ගේ අයව සහමුලින්ම අත් හැරීම ගැන මට තිබුණේ දුකක්.ඒ ඔහුට මෙන් සහෝදර සහෝදරියන් මට නොවූ නිසාත් වෙන්න ඇති.

“ඔයාට වැරදිලා තියෙන්නේ.හරි දැන් අපි ඒක පිළි ගමුකො.වැරදුණා කියලා දැනගත්තම ඔයාට එන්න තිබ්බෙ කොතනද? අම්මා ගාවට නේද? තමන්ට ලේ බැඳීම් තියන තමන්ගෙ මිනිස්සුන්ව අත් අරින්න එපා.එයාලා ඔයාට කරපු වරදක් නෑනෙ.”

මා ඔහුව ඔහුගේ පවුලට යළිත් බැඳ තබන රැහැන් පට වුණේ ඒ ආකාරයෙන්.

හැම සිකුරාදාවකම මගේ කුඩා දියණියත් එක්ක මම සුධාරකගේ මහ ගෙදරට යන්නට පටන් ගත්තේ සති අන්තයේ තමන්ගේම තැනකට යන තරම් මානසික සැනසිල්ලකින්.මුලදී මුලදී සුධාරකගේ අතටවත් නොයා ලැජ්ජාවෙන් සිටි මගේ දූ සහ සුධාරක අතර අපූර්ව බැඳීම හට ගත්තේ ඒ නිසාමයි.මම සුධාරක සමඟ එක්ව ගමනක් යනවානම් ඒ ගමනට මගේ දුවත් සිටිය යුතු බව මම තරයේම හිතා ගත්තා.ඇයට උපත දුන්නේ මම.ඈ මේ ලෝකයට ආවේ මගේ තීරණයක් නිසා.ඇය කිසිම මොහොතක තනි කරන්නට මට ඕනෑ වූයේ නැහැ.මම නීතියෙන් සුධාරකගේ බිරිඳ වී අනතුරුව දික්කසාදය ලබාගෙන සිටියත් නැවත ඔහුගේ බිරිඳ වී ඔහුගේ සෑම දෙයක් වෙනුවෙන්ම හිඳින්නිය බවට කාලයාගේ ඇවෑමෙන් පත්ව තිබුණා.එහෙත් මම දුව සහ ඇගේ ජීවවිද්‍යාත්මක තාත්තා අතර බැඳීමටද එරෙහි වූයේ නැහැ.

“ඔයාගෙ තාත්තා මෙහෙම මනුස්සයෙක්..”

එහෙම පටන් ගෙන මට දියණියට කියන්නට ඕනෑතරම් කතා තිබුණත් මම ඒ කිසිවක්ම ඇයට කියා නැහැ.ඉදිරියේදී පවසන්නට අදහසක් ද නැහැ.ලේ බැඳීමට වඩා සංසාර බැඳීම ප්‍රබල වී මගේ දුව සුධාරකට අප්‍රමාණව බැඳෙමින් සිටියත් චමල්ගේ ලේ උරුමය වළකන්නට මට කිසිම දවසක ඕනෑ වූයේ නැහැ.

“දවසක දූ පෝරුවට නගිනකොට එතන චමල් ඉන්න ඕන.දු වෙනුවෙන් කිසිම දෙයක් නොකරත් දූගෙ ජීවිතේ හැම ලස්සන දෙයක්ම චමල්ටත් අයිති වෙන්න ඕන..”

මම ඒ තීරණයේ එල්බ ගත්තා.දූට සුධාරක මුණ ගැහෙනවිට ඇය ළදැරියක්.අප්පච්චි සහ තාත්තා යන චරිත ද්විත්වයෙන් එක් තෝරා ගැනීමකට ඇයට ඉඩ දෙන්නට මට ඕනෑවටත් වඩා ඉඩකඩ තිබුණා.නමුත් තාත්තාත් අප්පච්චිත් දෙදෙනාම ඇගේ ජීවිතය තුළ සිටිය යුතු බවට මම තීරණය කළා.

“මගේ දියණියගේ උසාවිය තුළ මම නිර්දෝෂයි”

මේ වෙනවිට බොහෝ දේ සිදු වී ඇතත් ඔබට මේ කතාව කියන මේ මොහොතේ පවා මම සතුටින් සිටින්නේ ඒ නිසා.මම මානසිකව ඇද වැටී නැත්තේ ඒ නිසාමයි.

“නැති දේ ඇත්ත කරමින් පෙන්වන්නට” සුධාරකගේ ධනය අසීමිතව නාස්ති කළ දිල්හානිට ආදරයෙන් ඔහු නැවත ලබා ගන්නට නොහැකි වුණත් ඇය ඇගේ උත්සාහය අත් හැරියේ නෑ.ඇය දිගින් දිගටම ඇගේ ක්‍රමයට අපට රිදවන්නට කටයුතු කරමින් සිටියා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles