ඒ රැය වූ කලී කාටවත් නින්දක සුව නො දුන් එකකි. ශාරද ආකාස සමගින් රෑ වන තුරු ම මී විතක් තොල ගෑවේ ය. කොයි තරම් කතා කළත් ආකාස ට තේරුම් ගත නො හැකි වූයේ නිශාමනී වන් බිරිඳක සිටියදීත් ශාරද ගේ හිත පංචලී ළඟ නවාතැන් ගත්තේ කෙසේ ද කියා ය. ශාරද ගේ හිතේ යමක් තිබෙන බව දැනුණත් ආකාස ට එය මතු කර ගත හැකි වූයේ නැත. ඔහු මුළු රැය ම පහන් කළේ අසහනකාරී හැඟීමකිනි. සොයුරා මානසික ව්‍යාධියකින් පෙළෙනවා ඇත් ද යන පැනය ඒ අසහනයට හේතු විය.
නිවෙසක් නිවහනක් කළ හැක්කේ ගැහැනියකට ය යන කියමනේ වන සත්‍යතාව අයියා මලෝ දෙදෙනාට ම මැනවින් පසක් වූයේ අලුත් දවසකට හිරු උදා වත්දී ය. ඒ මූසල පාළුව ගැන කිසි දා ක පැහැදිලි කර ගන්නට ඔවුන් සමත් නොවනු ඇත.
නිශාමනී ට කියා ද වෙනසක් වූවා නොවේ. ඒ ඇය විවාහයෙන් පසු ශාරද නැති ගෙදරක ගෙවූ ප්‍රථම රාත්‍රියයි. දින කිහිපයක් ශරදාකාස නිවසේ කාමර දෙකක ගත කළ ද මේ දැනුණා වූ හැඟීම ඇය ට වාවා ගත නො හැකි නිමේශයන් උදා විය. ඇතැම් විටෙක ඕ කොට්ටයේ මූණ ඔබා ගෙන ඉකි බිඳ හැඬුවා ය. සමහර දේවලට මූණ දෙන්නට බෑ කියා බැරි ය. ජීවිතය කියන්නේ පහසු දෙයක් ම නොවේ.
ආකාස උදයෙන් ම ගෙදරින් පිටත් වූයේ ය. රැකියාවට යාමට පෙර නිශාමනී ගේ මහ ගෙදර ට ගොඩ වී ඇයත් එසඳිත් දැක ගෙන යාම ඔහු ගේ අරමුණ විය. ශාරද කිසි දා ඒ ගෙදරට ගියේ නැත. ඔහු ට ඒ ගෙදරින් එන්න යයි අඅරයුම් ලැබුණේ ද නැත. ශාරද හා නිශාමනී යන දෙදෙනා ම එක ම සමාජ මට්ටමක සිටියදීත් ඇගේ නිවසින් සහෝදරයා ප්‍රතික්ෂේප වෙන්නට හේතුවක් ආකාස තවමත් නො දනී.
ආකාස ද මීට පෙර ඒ නිවසට ගොස් තිබුණේ නැත. ඇති ව තිබෙන තත්වය මත ඔහු ව පන්වා ගනීවි ද යන සැකය ද ආකාස ට නොවූවා නොවේ. නමුත් වෙන දෙයක් වුණාවේ යන සිතින් ඒ නිවස ඉදිරියේ නතර වී සීනුව නාද කළේ ය. අමුත්තා කවුදැයි විමසන්නට පැමිණියේ පිලපිටිය මැතිණියයි. ආකාස ආචාරශීලී සිනහවක් නගා ගත්තේ ය.
“නිශාමනී ට කතා කරන්න පුළුවන්ද..”
“කවුද ඔයා..”
“ශාරද මගෙ අයිය”
“එන්න ඇතුළට”
ගේ වට දිවෙනා පුළුල් බරාඳයේ පිහිනුම් තටාකය පේන මානයේ වන බරාඳ පුටුවක හෙතෙම අසුන් ගත්තේ ය. මඳ වෙලාවකින් නිශාමනී එසඳි ද කැටිව පැමිණියා ය. ඒ මුහුණ කෙතරම් විඩා බර දැයි එක ම බැල්මකින් ආකාස ට හැඳිනිය හැකි විය.
“බාප්ප..”
එසඳි අම්මා අතැර වහා ආකාස වෙත දිව ගියා ය. ඔහු ඈ වඩා ගෙන තදින් වැළඳ ගත්තේ ය. කඳුළකින් ඇස් තෙත් වන බවක් ආකාස ට දැනිණ.
“මගෙ මැණික. බාප්ප දාල ආවෙ ඇයි…ම්…බාප්පට නින්ද ගියෙ නෑ ඔයා නැතුව…”
නිශාමනී බිම බලා ගත්තා ය. ඇගේ උගුර ආසාදනයකදී සේ රිදුණේ ය. ශ්වසන මාර්ගය මුළුමනින් අවහිර වී ඇති සෙයක් දැනිණ. ආකාස එසඳි වඩා ගෙන ම නිශාමනී ළඟට ආවේ ය. ඔහු ඇගේ මුහුණ මත දෑස් නතර කළේ එක සිනහ බිඳක් හෝ නොමැති ව ය. නිශාමනී ගේ ඇස් ඒ එක රාත්‍රියට ගිලී ගොස් තිබිණ. ඇස් වට කලාපය වඩා අඳුරු පැහැයකට හැරී ගොස් ය. මුළු මුහුණ ම ශෝකයක කරවටක් ගිලී තිබුණේ ය.
“මට හිතා ගන්න පුළුවන් මේක ඔයාට කොච්චර අමාරුද කියල. ඒත් ආපහු ගෙදර යං කියල කියන්න තරං පුළුවන් කමක් මට නෑ කියල මං දන්නව”
නිශාමනී ගේ කොපුල් දිගේ කඳුළු දෙපෙලක් ගලා ගෙන ගියේ ය. වචන වලින් කියන්නට බැරි හැඟීම් කෝටි ගණනක් ඒ කඳුළු වලින් කතා කළේ ය. නමුත් ඔවුන් දෙදෙනා ම සිටියේ අන්ත අසරණ තත්වයක ය.
“ඔයාගෙ තීරණේ මොකක් වුණත් අපිට ඒකට විරුද්ද වෙන්න අයිතියක්වත් යුතුකමක්වත් නෑ. මේක අපි කාටත් දරා ගන්න හරි අමාරුයි. ඒත් මගෙ අයිය හරි කියල කියන්න තරං ආත්ම ශක්තියක් මට නෑ”
“මං එයා වැරදී කියල කියන්නෑ. එයාට පුළුවන් ඇති දෙන්නෙකුට ආදරේ කරන්න. ඒත් මට බෑ මගෙ හස්බන්ව තව කෙනෙක් එක්ක බෙදා ගන්න. ඒක නිසා අපි වෙන් වෙනව ආකාස. පුළුවන් වුණොත් මං අදම ලෝයර් මීට් වෙනව”
“තව සැරයක් හිතන්නයි කියල රෙද්දක් ඇඳගෙන ඔයාට කියන්න මට බෑ”
“එහෙම කියන්නත් එපා. ඒත් මට හරි දුකයි ආකාස. මං හිතන් හිටියෙ ඒ ගේ ඇතුළෙ තමයි මගෙ ජීවිතේ තියෙන්නෙ කියල. ඒත්…ඒත්…”
නිශාමනී අතැඟිලි වලින් කඳුළු මිරිකා හරිමින් කම්මුල් පිස දැමුවා ය. නමුත් යළි යළිත් කඳුළු ගලා ආවේ ය.
නො ගොස් බැරි කමට ශාරද රැකියාවට ගියේ ය. නමුත් ඔහු ගේ ඇතුළාන්තයේ වූයේ පහ කොට දමන්නට බැරි මුස්පේන්තු අඳුරකි. ගෙදර කියන්නේ පිරිමියෙකුට දරුවන් යයි කතාවක් තිබේ. ඔවුන් පවුල කියන්නේ බිරිඳට ය. ගේ හැර යන්නට හෝ දික්කසාද වන්නට තරම් වරදක් තමන් ඇය ට කළේ දැයි ඔහු ගේ හදවත විස්සෝප වේ. ඇය වෙනුවෙන් ඔහු සියලු යුතුකම් ඉටු කොට තිබේ!
හිත දැඩි කර ගෙන ශාරද රැකියාවේ කටයුතු කළේ ය. ඔහු පංචලී කැඳවා කළේ එක ම එක ප්‍රකාශයකි.
“ඒ දරුව මගේ. මං එයා වෙනුවෙන් කරන්න ඕන යුතුකම් පැහැර අරින්නෙ නෑ. ඔයා බය නැතුව ඉන්න. ප්ලීස්…ඔයා එයාව මගෙන් ඈතකට අරං යන්නෙ නැතුව ඉන්න. මට එයාව ඕනෙ පංචලී. මං එයාගෙ තාත්ත…”
පංචලී සිටියේ ඇයට ම වුව පාලනය කර ගත නො හැකි තිගැස්මක ය. ශාරද මේ කරන්නට යන්නේ කුමක් දැයි ඇය ට සිතා ගත නො හැකි ය. මුලින් ඔහු කීවේ නිශාමනී යහපත් බිරිඳක් නොවන බවයි. නමුත් එය එසේ නොවන බව දැන් ඇය දනියි. එවැනි තත්වයකින් පසු ශාරද තව දුරටත් ඇය හා දරුවා ගැන යුතුකම් ඉටු කිරීමක් පිළිබඳව කතා කරාවියි ඇය නො සිතුවා ය. බොහෝ පිරිමින් කරන්නේ එවන් රහසක් හෙළි දරව් වූ කල නීත්‍යානුකූල නොවන බැඳීමෙන් පලා යන එකයි. බොහෝ පහසුවෙන් ඔවුන් ට එය කළ හැකි ද වේ. නීත්‍යානුකූල නොවන බිරිඳ ට සියල් නින්දා අවමන් දරා ගෙන හිස් අතින් පසෙකට වෙන්නට සිදු වේ. නමුත් ශාරද එසේ නොකරයි!
ආකාස ට හිත එකඟ කර ගෙන වැඩ කළ හැකි වූයේ නැත. ඔහු ට හදිසියේ ම සිය මිතුරෙකු සිහිපත් විය. ඔහු මනෝ විද්‍යාත්මක උපදේශනය හා චිකිත්සාව පිළිබඳ වෘත්තිකයෙකි. වරු නිවාඩුවක් ලබා ගත් ආකාස මිතුරා හමු වීමට ඔහු සේවය කළ ආයතනයට ගොස් ශාරද ගේ ප්‍රශ්නය ගැන කෙළින් කතා කළේ ය.
“මෙච්චර ලොකු දෙයක් වෙලා තියෙද්දිත් චාමර…මේ යකා මේක වැරැද්දක් කියල නොහිතන එකයි මට තියන අවුල. ඌ කියන්නෙ අර පංචලී කියන කෙල්ලටත් වයිෆ්ට වගේම ආදරෙයි කියලයි. ඒත් වයිෆ් ඩිවෝස් එකකට යන්න හදන්නෙ. අයියගෙ ප්‍රශ්නෙ අසනීපයක් වෙන්න පුළුවන්ද මචං…”
“වෙන්න පුළුවන්”
චාමර ඍජුව ආකාස ගේ මූණ බලා කීවේ ය. ආකාස ගේ වත අඳුරු වී ගියේ ය.
“එහෙම නොවෙන්නත් පුළුවන් හැබැයි”
“ඒ කිව්වෙ…”
“මේක එහෙම සරලව ඇනලයිස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි බං. අපි දෙන්න මෙහෙම කතා කළා කියල ඒක එහෙම කන්ෆර්ම් කරන්නත් බෑ. කොටින්ම ශාරද එහෙම තත්වෙකට පත් වෙන්න හේතුව එයා එක්ක කතා කරල එයාගෙ හිත අවුස්සල එළියට අරං මිස මට ස්ථිරව කියන්න බෑ”
ආකාස මිතුරා වෙතින් නික්ම ගියේ බර වූ හදිනි. අයියා ව මානසික චිකිත්සකවරයෙකු වෙත ගෙන යාම පහසු නොවන බව ඔහු දැන සිටියේ ය. කිසි සේත් ඔහු තමාට එවන් රෝගයක් ඇතැයි නො පිළිගනු ද ඇත. නමුත් ලංකාව තුළ පවත්නා නීතිය ගැන ඉතා හොඳ දැනීමක් ඇති සහ යහපත් පුද්ගල භූමිකාවක් සහිත පුද්ගලයෙකු වන ශාරද මෙසේ හැසිරීමට හේතුවක් තිබිය යුතු ම බව ආකාස ගේ හිත කියයි.
නිශාමනී සිය මව් පිය දෙදෙනා ඉදිරියේ, ඇය ශාරද ගෙන් නීත්‍යානුකූල ව දික්කසාද වීමට තීරණය කළ බව දැනුම් දුන්නා ය. පිලපිටිය මැතිණිය අඩ සිනහවක් පෑවා ය.
“කසාද ජීවිතයක් ඇතුළෙ ප්‍රශ්නයක් ඇති වුණාම අලුත් ගෑනු මුලින්ම කියන කතාව තමයි ඕක. හැබැයි ටික දවසක් ඒ ප්‍රශ්නෙත් එක්ක ඉන්නකොට දැනෙනව පුතේ ඒක තුනී වෙලා යනව කියල. අන්න එතකොට අපිට අර ඩිවෝස් එකේ ඕනකමක් නැති වෙලා යනව. ඒ නිසා ටික දවසක් ඉඳල බලන්නකො ඔයත්”
“ඒක ඇත්ත”
පිලපිටිය මහතා සිය බිරිඳ ගේ කතාව අනුමත කළේ සිනහවකි.
“අම්මත් කී සැරයක්නං කියල තියෙනවද ඩිවෝස් වෙමු කියල. හැබැයි තාම අපි ඉන්නව”
“ශාරද ට වෙන සම්බන්දයක් තියෙනව. ඒක නිසා කොච්චර දවස් හිටියත් මං හිතන්නෙ මගෙ තීරණේ වෙනස් වෙන එකක් නෑ”
පිලපිටිය යුවල ම කැළඹී ගියහ. ඔවුන් කිසි දා ක ශාරද සිය බෑණා ලෙස පිළිගන්නට කැමති වූයේ නැත. නමුත් දියණිය ගේ විවාහය අතර මගක නතර වීම මෙලොව ඕනෑ ම මවකට පියෙකුට කම්පනයක් දනවන හේතුවක් වේ.
“මං කිව්වෙ නැද්ද…මං කිව්වෙ නැද්ද ඔය යකා එක්ක සම්බන්දයක් ඇති කර ගත්ත වෙලාවෙම…අප්ප කරපු දේ පුතා නොකළොත් ඌ අර මොකාගෙද පුතා කියනවනෙ. ඔය ශාරදයගෙ තාත්ත ගෙදර ගෑනිට හොරෙං තව දරු පවුලක් නඩත්තු කළා. ඒ ගෑනි අපිත් එක්ක එකට කැම්පස් හිටිය කෙල්ල. ඒකි ශාරද ගෙ තාත්ත එක්ක සම්බන්දයක් ඇති කර ගත්ත නිසා කසාද මිනිහව අත්ඇරිය. එහෙනං පුතත් ඒකම කළා”
පිලපිටිය දුම්මල වරම අතට ගත්තේ ය.
“දැං ඉතිං ඔයා කලබල වෙන්නෙ නැතුව ඉන්නකො. නිශාමනී ශාරදව බඳින්න තීරණය කළේ අපේ කැමැත්තක් නැතුව. තනියම. හැබැයි මං කියනව නිශාමනී මේක කරන්න කලින් තව ගොඩක් හිතන්නයි කියල. මොකද අපිට පුළුවන් වෙයි ඔයාට හැම දේම දෙන්න. ශාරදට වඩා හුඟක් හොඳ හස්බන් කෙනෙක් වුණත් හොයල දෙන්න බැරි වෙන එකක් නෑ. හැබැයි අර පුංචි එකීට වෙන තාත්ත කෙනෙක් හොයන්න ඔයාට මේ ආත්මෙදිවත් බෑ දුව. ඒක නිසා ඔයා තව හුඟක් මේ ගැන හිතන්න”
ශාරද ට වෙනත් සම්බන්ධයක් ඇති බව කීවාට, එය දරුවෙකු බිහි වන්නට යන තරම් දුර දිග ගිය එකක් බව නිශාමනී මව් පියනට නො කියා සිටියා ය. එසේ කීම තුළ තමන් පත් වන අවතක්සේරුව දරා ගන්නවා වෙනුවට එය නොකියා ඉන්නා එක පහසු යයි ඇය තීරණය කොට තිබිණ.
“මගෙ යාළුවෙක් ඉන්නව. කවුන්සලර් කෙනෙක්. අපි එයා එක්ක කතා කරල බලමුද මේ ප්‍රශ්නෙ විසඳගන්න පුළුවන් විදිහක් තියෙනවද කියල…”
රාත්‍රියේ ශාරද මී විතක් එක්ක තනි වී සිටියදී එතැනට ගිය ආකාස ඉතා හෙමිහිට විමසී ය. ශාරද ඒ ගැන දුරට හිතුවේ නැත. මේ ප්‍රශ්න ට, ඔහු ට විසඳුමක් නොපෙනෙන මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දිය හැකි කෙනෙකු මුණගැසෙන්නට තිබෙනවා නම් එය සහනයක් කියා පමණ ය ඔහු සිතුවේ.
“යමු”
එය ස්ථිරසාර එකඟ වීමකි. ශාරද බොරු කාරයෙකු නොවන බව, ඒ තනි අකුරේ ප්‍රකාශය ආකාස ට තව තවත් තහවුරු කර සිටිනා ලදී.