හොඳම ප්‍රේමය වන්නේ අවසන් ප්‍රේමයයි – Hridayam

මිනිස් හැඟීම් ගණනාවක එකතුවක් විනාඩි එකසිය හැත්තෑ ගණනක් පුරා නැරඹීම තරමක අමුතු හැඟීමක්.මේ එවැනි චිත්‍රපටියක් ගැන කතාවක්.මලයාලම් චිත්‍රපටි රසිකයන් මහත් ආනන්දයට පත් කරන්නට සමත් වූ මේ චිත්‍රපටිය Hridayam.

රට පුරා තරුණ පිරිසක් එක සරසවියකට පැමිණීමෙන් චිත්‍රපටිය ආරම්භ වෙනවා.අරුන් සහ දර්ශනා මුලින්ම හමු වන්නේ ඒ දවසේ.ඒත් ඔවුන් ඉතා ඉක්මනින් වෙන් වෙනවා.ඉතාම ඉක්මනින් බැඳී ඉතා ඉක්මනින් වෙන් වන්නට ඔවුන්ට හේතු වන්නේ අරුන් අතින් සිදුවෙන වරදක්.ඒ ඔහු අතින් දර්ශනාට සිදුවෙන වරදක් නිසා.ප්‍රේමය සම්බන්ධයෙන් ඔහු සිදු කරන වරදක් නිසා ඔහුට දර්ශනා අහිමිව යන්නේ ඉතාම ඉක්මනින්.

Hridayam

“මගේ හිත ඔයාට බැඳුණේ ඔයා දැකපු පළමුවැනි තත්පරේම”

එහෙම දර්ශනාට කියන අරුන්ට ඒ ආදරය රැකගන්නට හැකියාවක් නැහැ.ඇත්තටම ජීවිතේ එහෙම දේවල් නොවෙනවා කියන්නත් බැහැ.ප්‍රේමය සම්බන්ධයෙන් අප කරන සමහර වැරදීම් යළි කිසි දිනයක නිවැරදි කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැති බව සැබෑ සත්‍යයක්.දර්ශන්ට සිදුවන්නේත් එය බව නොකියාම බැහැ.කාලය ජීවිත බොහෝ වෙනස් කරනවා.අරුන්ගේ ජීවිතය වෙනත් තැනක රැඳුණු මොහොතක අරුන්ට නැවත දර්ශනා මුණ ගැහෙනවා.ඒ කාලයකට පසුව,දර්ශනාගේ ජීවිතයේ වැදගත්ම දවසකදී.

“අරුන්,අපේ කොලේජ් එකේ පළමුවැනි අවුරුද්දේ මං ඔයාට සමාව දුන්නානම් අපිට තාමත් එකට ඉන්න තිබුණා නේද?”

ඒ කතාවටත් අරුන්ට දිග පිළිතුරක් තිබුණා.

මේ චිත්‍රපටිය නිකුත් වෙන්නේ මේ වසරේ ජනවාරි මාසයේ.ලෝකය පුරා මලයාලම් චිත්‍රපටි රසිකයන් මේ චිත්‍රපටියට උමතුවකින් බැඳෙමින් ඉන්නවා.අරුන්,නිත්‍යා,දර්ශනා,සෙල්වා වගේ චරිතවලට ඉතා ආදරය කරමින් ඉන්නවා.

ඒ Hridayam කියන්නේ සාමාන්‍ය ආදර කතාවක්ම නොවන නිසා.අපි හැමෝම අපේ හදවත හොයමින් ගමනක යෙදෙනවා.අපිට ඒ හදවත මුණ ගැසීම හෝ නොගැසීම අපේ ක්‍රියාකලාපයන් නිසා තීරණය වනවා. අනෙකාගේ උමතුව අප වන තරමට ,”මෙයා මටම ලැබුණානෙ” කියලා අපේ ආදරය අපට කියන තරමට, ආදරයට අවංක විය හැකි නම් ලෝකයේ ඇති හොඳම ආදර කතාව අපේ ආදර කතාව කරගන්න අපිට නොහැකියාවක් නැහැ.Hridayam කියලා මලයාලම් භාෂාවෙන් හඳුන්වන්නේ හදවතට.හදවතින් ආදරය විඳ ගන්නා අන්දම ගැන නැවත වතාවක් සිතා බලන්න මේ චිත්‍රපටිය අපට ඉඩ හසර ලබා දෙනවා.
ජීවිතය තුළ ඉලක්ක තබා ගත යුතු අන්දම,ඉලක්ක හඹා යමින් ජීවිතය දිනන හැටි,සදාකාලික මිතුරුකමක ඇති මිහිරියාව වගේ අතුරු කතා රාශියකින් ද මේ විනාඩි එකසිය හැත්තෑ ගණන පිරී තිබෙනවා.

මලයාලම් මියුසික්වල අමුතුම වයිබ් එකක් තියනවා කියන කතාවක් සාමාන්‍යයෙන් චිත්‍රපට රසිකයන් අතර ප්‍රචලිත කතාවක්.මෙහි ගීතත් ඒ අසිරිමත් මිහිරියාව ප්‍රේක්ෂකයන්ට ලබා දෙනවා.

Vineeth Sreenivasan අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Pranav Mohanlal,Kalyani Priyadarshan,Darshana Rajendran විසින්.

“ප්‍රථම ප්‍රේමය ඔබේ අවසාන ප්‍රේමය වන එකක් නැහැ.ඒත් අවසාන ප්‍රේමය ඔබේ හොඳම ප්‍රේමයයි”

Related Articles

Don't Miss


Latest Articles