යුද්ධයකට ප්‍රීතිමත් අවසානයක් අයිති නෑ – Raazi (2018)

මේ ලෝකය පුරා යුධ ගිනි දැල් පැතිර යන කාලයක්.මේ කාලයේ ලෝකයේම අවධානය ප්‍රචණ්ඩත්වය කෙරෙහි නැඹුරු වෙමින් තියනවා.ඒත් යුද්ධයට සහ ප්‍රචණ්ඩත්වයට සැබෑ වටිනාකමක් තියනවද?

ආලියා බාත් සහ විකී කෞෂාල් ප්‍රධාන චරිත නිරූපණය කරන Raazi 2018 මැයි එකොළොස්වැනිදා  නිකුත් වූයේ ඒ පණිවිඩය ලෝකයට කියන්නටයි.

හිදායත් කියන්නෙ ඉන්දියානු රහස් ඔත්තුකරුවෙක්. පකිස්තානු හමුදා නිලධාරියෙක් සමග මිත්‍රත්වයක් ඇති කරගෙන ඉතා සූක්ෂම අයුරින් ඒ අයගේ යුධ රහස් හෙලිදරව් කරගත් කෙනෙක්. ඉන්දු පකිස්තානු අර්බුදය උග්‍රම කාලයක 1971 අවුරුද්දෙදි ඔහු පෙනහළු පිලිකාවකට ගොදුරු වෙනවා. රෝගී තත්වය නිසා ඔහුට සිදුවෙනවා සේවයෙන් ඉවත් වෙන්න.මේ වෙලාවෙ හිදායත් තීරණය කරනවා තමන්ට බැරි වැඩේ වෙන කෙනෙක් ලවා හරි කරවගන්න. ඔහු තමන්ගෙ එකම දියණිය ‘සෙහෙමත්’ ඒ සදහා තෝරගන්නවා.

ලේ දකින්නත් භය කෙල්ලෙක්. පොඩි දේටත් ගැස්සෙන හිතක්.. මේ වගේ අවදානමක් කොහොම බාරගනීවිද?. ඇයට සටන් කරන්න සිද්ධවෙන්නෙ තමන්ගෙම අයත් එක්ක.සෙහෙමත් අධ්‍යාපනය කටයුතුත් අතරමග නවත්තලා ඔත්තුකරුවෙක් ලෙස පුහුණුව ලබනවා. පියාගෙ සැලැස්මේ කොටසක් විදියට ඇයට පකිස්තානු හමුදා නිලධාරියෙකුගේ බාල පුතු සමග විවාහ වෙන්න සිද්ධවෙනවා.

සැමියාගෙත් පවුලෙ අයගෙත් හිත දිනාගන්න ඇයට විශාල කාලයක් යන්නෙ නෑ. ඒත් හිත පතුලෙ පුපුරු ගහන වේදනාව හැමවිටම ඇයව අඩපණ කරනවා. ඒ සියළු පීඩාවන් විඳිමින් සැමියාගෙ නිවසේ සිට ඇය ඉන්දියානු බුද්ධි අංශ වෙත අවශ්‍ය සියළුම තොරතුරු ලබා දෙනවා.
රහස් කියන දේවල් එලිවෙන දවසකුත් එනවනෙ. ඉතින් සෙහෙමත්ගෙ රහසත් එලිවෙනවා.

“ඔයාට ගොඩක් ආදරේ කලා සෙහෙමත්. ඒත් රට ඉස්සරහා ආදරේ වැදගත් නෑ. ඔයා තරම් හොදට ඒ ගැන දන්නෙ වෙන කවුද?”

ඒ ප්‍රශ්නය එහෙම අහන්නට සෙහෙමත්ගේ සැමියා ඉක්බාල්ට සිදුවෙන දවසක් එනවා.අන්න ඒ වේදනාව සහ තමන්ගේ රට කියන සාධක දෙකෙන් එකක් තෝරා ගන්න සෙහෙමත්ට සිදු වෙනවා.

සෙහෙමත් තෝරා ගන්නේ කුමක් විය හැකිද?

මේ චිත්‍රපටියට පාදක වී ඇත්තේ Calling Sehemat නම් නවකතාවයි.ආලියා භාත් සෙහෙමත් ලෙස කළ ප්‍රබල රංගනයත් මේ චිත්‍රපටිය ජනප්‍රිය වෙන්නට විශාල ලෙස බලපෑවා.ආලියා සම්මාන පවා මේ චිත්‍රපටිය නිසා ලබා ගත්තා.

යුද්ධයට කිසිම වටිනාකමක් නෑ.යුද්ධයක් කියන්නේ තමන්ගේ අයම තමන්ට නැති කරන සටනක්.නමුත් ඇතැම් වෙලාවට ඒ සටන අතැර දමන්නට බැරිතරමට දේශානුරාගයෙන් හදවත් නරවෙනවා.

ආදරය ආගමක් විය යුතු ලෝකයක වෛරය සහ යුධ ගිනිදැල් ආගමක් කරගන්නට මිනිසුන් ක්‍රියා කිරීම මොනතරම් වේදනාත්මක අවසානයක් ලබා දෙනවාද යන්න දැන ගන්නට මේ චිත්‍රපටිය මඟ නොහැර බලන්න.

Related Articles

Don't Miss


Latest Articles