අසම්මත ප්‍රේමයක් තුළ සදාකාලික බැඳීමක් වෙනුවෙන් සටන් කළ අලීෂා.

මේ දවස්වල යූ ටියුබ් අවකාශය තුළ අතිශය ජනප්‍රිය වූ ගීයක් Doobey.එය එතරම් ජනප්‍රිය වූයේ දීපිකා පදුකොන් නිසා බව සමහර සිනමා විචාරකයින් පළ කරන මතයක්.නමුත් මේ චිත්‍රපට ගීය මේ තරම් ජනතාව අතරට යන්නට හේතුව Gehraiyaan චිත්‍රපටිය නිසාම බවයි සමහර සිනමා විචාරකයින් පවසන්නේ.

Gehraiyaan චිත්‍රපටිය අසම්මතය පදනම් වූ කතාවක්ම විතරක් නෙවෙයි.මානව සම්බන්ධතා ගැන අපි නොහිතන පැතිකඩක් තමයි මේ චිත්‍රපටිය අපිට කියන කතාව.

අලීෂා සහ ටියා කියන්නේ ඥාතීන්.කරන් සහ ටියා හොඳම යාලුවෝ. අලීෂාගේ පෙම්වතා කරන් වෙද්දී ටියාගේ පෙම්වතා සෙයින් වුණා.ඉතින් ඒක චිත්‍රපටියකට තරම් කතාවක්ද?

අලීෂා සහ කරන් එක්ව ජීවත් වෙන පෙම්වතුන් යුවලක්.අලීෂා පොතක් ද ඇය හැදූ ඇප් එකක් ද සමාජයට ගෙනියන්න වෙහෙසෙන ගමන් ඉන්නේ.ඇගේ මිතුරිය සහ සහෝදරිය වූ ටියා පොහොසත් තරුණියක්.ඇය ප්‍රේමයෙන් බැඳී ඉන්නේ ධනවත් ව්‍යාපාරික තරුණයෙක් වුණු සෙයින් එක්ක.ඇමරිකාවේ ජීවත් වුණු මේ ජෝඩුව ඉන්දියාවට එන්නේ නිවාඩුවකට. ටියා තමන්ගේ මිතුරිය වුණු අලීෂාටත් කරන්ටත් එයාලගේ බීච් හවුස් එකේ නිවාඩුවක් ගෙවන්න ආරාධනා කරනවා.ඒකාකාරී ජිවිතයක් ගෙවූ අලීෂා සෙයින් එක්ක මිත්‍ර වෙන්නේ මේ ගමනෙදි.

මොකක්දෝ තනිකමක් ඇස්වල හංගා ගත්තු අලීෂාට සෙයින් මුලදී ලං වෙන්නේ ඇගේ ඇප් එක ප්‍රමෝට් කරන්න උදව් වෙන්න.ටියාට සහ කරන්ට හොරෙන් මේ උදව් ගන්න අලීෂා වග බලා ගන්නවා.තමන්ගේ ව්‍යාපාර එක්ක බිසී වෙලා හිටියත් අලීෂාගේ සාංකාවේ නිල හරියටම අල්ලා ගන්න සෙයින්ට හැකි වෙනවා.ඒ නිසාම තමන්ගේ සම්බන්ධතාවය ඇතුලේ ඒකාකාරී බව අත්විඳින අලීෂා සෙයින් ට ආදරය කරන්න පටන් ගන්නවා.අන්තිමට අලීෂා නවතින්නේ සෙයින් එක්ක හෝටල් නිදන කාමරයක.මේ සේරම දේවල් ටියාටත් කරන්ටත් රහසක්.අසම්මත ආදරයක් රහසක් නොකර කොහොම තියා ගන්නද කියලා අලිෂාට හිතෙන්න ඇති.

කරන් එක්ක ගෙවන සාමාන්‍ය මට්ටමේ ජීවිතයට වඩා සල්ලිකාර ආදරවන්තයාගේ ලෝකේ අලීෂාට සුන්දර වෙන්න පටන් ගන්නවා.ඒත් එක්කම නොකෙරෙන දීගේ හෙවණැල්ලත් ඇදයි කියලා අලීෂාට කරන්ගේ ඇද පළුදු දාහක් පේන්න ගන්නවා.තමන්ගේ ඥාති සහෝදරියගේ විවාහාපේක්ෂිත පෙම්වතා සෙයින් බව ඇය අමතකම කරලා දානවා.

වරදක් බව දැන දැන සුළු මොහොතක සහනයට සහ සතුටට ලොබ බඳින ගැහැණු ලෝකේ ඕනෑ තරම් ඉන්නවා. අලීෂා සෙයින්ගෙන් ලැබෙන පොරොන්දු සහ ප්‍රමුඛතා වලට මහත්සේ ලෝබකම් කරනවා.මේ හොයන සතුට සහ සහනයම ඇයට පාරාවළල්ලක් වෙන්න පටන් ගන්නේ ඇයටත් නොදැනී.සහනය සෙවූ තැනත් කිසිම සැනසීමක් නෑ කියලා දැනුණාම අලීෂාට මොනවා හිතෙන්න ඇතිද?

අසම්මත ප්‍රේමයකට ලඝු කරලා මේ චිත්‍රපටිය දෙස නොබලන්න හේතු ගණනාවක්ම තියනවා.අලීෂා තුළින් ඒ කතා කියවා ගන්නත් අපට පුලුවන්.අලීෂාට සෙයින් මුණ ගැහෙනකොට ඇය ඉන්නේ හිස්කමකින්. පීඩාවකින්.හිස්කමත් පීඩාවත් දැනෙන කාලයක මිනිස්සු කැමති තමන්ට කුඩා හෝ සිනාවක් හරි අරගෙන එන තැන්වල සැනසීමෙන් ඉන්න.ඒ වගේ හැඟීම්වලට අසම්මත සම්මත ඉරි ගහන්න ඇත්තටම කාටවත්ම හැකියාවක් නැහැ.ආදරය වෙනුවට රාගයට මුල්තැන දෙනවා කියලා අලීෂාට පහසුවෙන් චෝදනා කරන්න පුලුවන්.නමුත් ඇගේ ජීවිතය වසාගෙන තියෙන හිස්කම ගැන අපට නොපෙනෙනවාත් නෙවෙයි.අලීෂා සහ ඇගේ තාත්තා අතර කතාව පවා ආදරය වෙනුවෙන් දරුණු ගණයේ රහස් රකින්නට මිනිසුන් සතු ප්‍රේමණීය හැකියාව හොඳින් නිර්වචනය කරනවා.

හැමදෙයකටම මුල මානව සම්බන්ධතාවල සංකීර්ණ බව.ඒ සංකීර්ණ බවට අසම්මත ලේබලයක් ඇලවීමයි අප කරන දරුණුම වැරැද්ද වෙන්නේ.

ඒත් තමන්ගේ නොවන ප්‍රේමයක් තමන්ගේ කරගන්නට උත්සාහ දරන අලීෂාට පසුතැවීම පමණයි.ඇයට නැවත ජීවිතය අරන් එන්නේ ඇගේ තාත්තා.ඇගේ තාත්තා ද ආදරය නිසා බොහෝ කැපකිරීම් කළ මිනිසෙක්.තාත්තා නිසා අලීෂා ජීවිතය දෙස නැවත බලන්නට පටන් ගන්නවා.

“ප්‍රශ්නයක් දෙස වෙනස් කෝණයකින් බලද්දී ගැටලුව වෙනස් විදියකට පේන්න පුලුවන්.”බොහෝ වෙලාවට ඇත්තටම තියන ගැටලුව අප ප්‍රශ්න දිහා බලන කෝණය කියලා අලීෂා අපට මැනවින් වටහා දෙනවා.

දීපිකා පදුකොන් අලීෂා මවන්නේ අනියම් පෙමක රස අවසානයේ විස කරගන්නා ලෝකයේ සියලුම ගැහැනුන් වෙනුවෙන්.සිද්ධාන්ත් ගැහැනුන් දෙදෙනෙකුට පෙම් කරන සෙයින්ගේ චරිතය රඟ දක්වනවා.පෙබරවාරි එකොලොස් වැනිදා Amazon prime හරහා Gehraiyaan චිත්‍රපටිය නිකුත් වූවා.සරාගී දර්ශන අඩු නැති මේ චිත්‍රපටිය ගැන කංගනා රනෞට් නම් පළ කර තිබුණේ සෘණාත්මක අදහසක්.මේවා කුණු කූඩයට දැමිය යුතු මට්ටමේ චිත්‍රපට බවත් නවයුගයේ නාමයෙන් කරත් නරක දේ නරක බවත් ඇය පවසා තිබුණා.

sakun Batra අධ්‍යක්ෂණය කළ Gehraiyaan වෙනස් ආදර කතාවක්.ආදරය තුළ තිබිය හැකි සංවේදනා සහ යථාර්ථය ගැන අපට යළිත් වතාවක් සිතන්නට බල කෙරෙන කතාවක්.කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ නොවන බව අපට සිහි ගන්වන කතාවක්

Related Articles

Don't Miss


Latest Articles