Fish oil සහ Cod liver oil අතර වෙනස

අපි ගතකරන කාර්යබහුල ජීවන රටාව එක්ක සමබර වගේම පෝෂ්‍යදායී ආහාර තෝරබේරා ගෙන ආහාර වේලට එකතු කරගන්න අපට සමහර වෙලාවට අපහසු වෙනවා.

නමුත්, අපේ ශරිරයට ලැබිය යුතු අත්‍යාවශ්‍ය පෝෂක ලබා ගැනීමත් අනිවාර්යයිනෙ. 

ඉතිං මේ ගැටළුවට විසඳුමක් විදිහට වැදගත් පෝෂ්‍ය පදාර්ථ පහසුවෙන් ලබා ගන්න ක්‍රම රාශියක් අද වෙද්දි අපිට හඳුනගන්න ලැබෙනව.

විටමින්, ඛණිජ වර්ග සහ අනෙකුත් පෝෂක අඩංගු සිරප්, පෙති, කරල් වගේම පවුඩර් වගේ නිෂ්පාදනත් අද වෙද්දි අපිට වෛද්‍ය නිර්දේශ ඇතුව වගේම නැතුව මිලදී ගන්නත් පුළුවන්. 

මේ අතර ඉතාම ජනප්‍රිය නිෂ්පාදන දෙකෙක් වෙන fish oil සහ cod liver oil ගැන කතා කරන්නයි අපි අද සූදානම් වෙන්නෙ.

ඔබ හිතන විදිහට මේ නම් දෙකකින් හැඳින්වුවත් එකම පෝෂ්‍ය පදාර්ථ අඩංගු වුන, එකම ප්‍රතිඵල ලබාදෙන නිෂ්පාදන දෙකක්ද ? 

අද ලිපිය කියවලාම බලන්නකෝ. ඔබටම ඒ ගැන තේරුම් ගන්න පුළුවන්. 

Fish oil සහ Cod liver oil හදන්නෙ මොනවගෙන්ද ?

Fish oil හදන්න තෝරගත්ත මාළු වර්ග කීපයක් ඉන්නවා. 

ඒ තමයි, herring (හුරුල්ලා), tuna (ටූනා), anchovies (හාල්මැස්සන්), mackerel (මැකරල්) සහ salmon (සැමන්) කියන මාළු වර්ග.

මේ මාළුන්ගෙ සම සහ අස්ථි අතර තිබෙන මෘදු මස් කොටස් වලින් නිස්සාරණය කරගන්න ශ්‍රාවයන් තමයි fish oil වල අන්තර්ගත වෙලා තියෙන්නෙ. 

එතකොට cod liver oil ?

ඔව්. නමේ සඳහන් වෙලා තියෙන විදිහටම cod (කොඩ්) කියන මාළු වර්ගයේ අක්මාවෙන් නිස්සාරණය කරගන්න ශ්‍රාවයන් අන්තර්ගත කරල  cod liver oil නිෂ්පාදනය කරනවා. 

බොහෝවිට මේ cod liver oil නිෂ්පාදනය කරන්න තෝරගන්නෙ Atlantic cod සහ Pacific cod කියන cod (කොඩ්) මාළු දෙවර්ගයයි. 

 fish oil සහ cod liver oil වල අන්තර්ගතයේම වෙනසක් තියෙනව කියල දැන් ඔබට වැටහෙනවනේ.

ඊළඟට අපි බලමු  fish oil සහ cod liver oil ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන වල වෙනස්කම් තියෙනවද කියල ?

Cod liver oil වල ප්‍රයෝජන

Omega 3 මේද අම්ල දෙකක් වන eicosapentaenoic acid (EPA) සහ docosahexaenoic acid (DHA) වලින් cod liver oil සංතෘප්ත වෙනවා.

Fish oil වල අන්තර්ගත නොවන විටමින් A සහ D ඉතා ඉහළ ප්‍රමාණයකින් cod liver oil වල අඩංගු වීමත් විශේෂ වෙනවා. 

Cod liver oil මඟින්,  

ශරීරයේ දැවීම් තත්වයන් අඩුකරගන්න,

ආතරයිටීස් රෝග තත්වයන් නිසා ඇතිවන වේදනාවන් සමනය කරගන්න,

මානසික පීඩනය සහ විෂාදය වැනි තත්වයන් ඇතිවීම වළක්වා ගන්න,

කුස තුළ වර්ධනය වල කළලයේ නිරෝගී බව, ඇස්වල පෙනීම සහ මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි කරගන්න, 

ශරීරයේ අස්ථිවල ශක්තිමත් බව ඇති කරන්න,

කිරිදෙන සහ ගර්භණී මව්වරුන්ට පළමු ආකාරයේ දියවැඩියා තත්වයන් ඇතිවීමේ අවධානම අඩු කරගන්න,

ප්‍රතිශක්තීකරණ හැකියාව වැඩි දියුණු කරගන්න,

ස්වශන රෝග සහ අධි රුධිර පීඩනය ඇතිවීමේ අවධානම අඩු කරගන්න වගේම

හොද වර්ගයේ කොලෙස්ට්‍රෝල් වන HDL (high density cholesterol) මට්ටම වැඩි කරගන්නත් ඔබට උපකාරී වෙනව.  

Fish oil වල ප්‍රයෝජන

Fish oil වල omega 3 මේද අම්ල 30% ක් අඩංගු වෙනවා. 

ඒ නිසා විශේෂයෙන්ම මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වාගෙන යන්න වගේම හෘදයේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි පවත්වා ගන්නත් උපකාරී වෙනව.

ඒ වගේම ගර්භණී මව්වරුන්ට සහ කිරිදෙන මව්වරුන්ටත් omega 3 ඉතා වැදගත් පෝෂ්‍ය පදාර්ථයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

මීට අමතරව fish oil, 

නීරෝගී ලෙස මොළයේ වර්ධනය වගේම ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරන්නත්,

මානසික ගැටළු ඇතිවීම වළක්වා ගන්නත්,

ඉණ ප්‍රදේශය සිහින් කරගන්නත්,

රූමටොයිඩ් සහ ආතරයිටීස් නිසා ඇතිවන දැවිල්ල සහ අස්ථි වල වේදනාවන් අඩු කරගන්නත්,

සම හොඳින් පවත්වා ගන්නත්,

ගර්භණී සමයේ කළලයේ නීරෝගී වර්ධනයට වගේම කිරිදෙන මව්වරුන්ට අවශ්‍ය පෝෂණය සපයන්නත් උපකාරී වෙනව.

Cod liver oil සහ fish oil වල වෙනස දැන් ඔබට වැටහෙන්නට ඇති බව අපි විශ්වාස කරනවා. 

නමුත් විශේෂයෙන් සඳහන් කල යුතුම කාරණාවක් තිබෙනවා. 

ඒ තමයි, මේ ඔබ බාහිරින් ශරීරයට ඇතුලත් කරගන්න පෝෂ්‍ය පදාර්ථ නිසා ඒවගෙන් විවිධ ආසාත්මිකතා හෝ ගැටළු ඇතිවීමේ හැකියාව අපිට අවතක්සේරු කර නොහැකි බව.

ඒ නිසා cod liver oil සහ fish oil භාවිතයට පෙර විශේෂයෙන්ම ඔබේ දරුවන්ට දීමට පෙර ඒ ගැන වෛද්‍ය උපදෙස් ගැනීම අනිවාර්ය බවත් අපි ඔබට මතක් කරන්න කැමතියි.

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles