ඔසප් වේදනා නොවැරදිම නවතන සරල ව්‍යායාම් 04ක්

බොහොමයක් කාන්තාවන්ට ඔසප් දින කිහිපය කියන්නෙ කායිකව වගේම මානසිකවත් අපහසුතා ඇතිවෙන කාල සීමාවක්.

ඔබ ගෘහණියක් වුනත්, රැකියාවක් කරන කාන්තාවක් එහෙමත් නැත්නම් අධ්‍යාපනය ලබන යුවතියක් වුනත් මේ තත්වය පොදුවේ අත්විඳින්න අපිට සිදුවෙනවා. 

ඒ නිසා එදිනෙදා වැඩකටයුතු කරගන්න අපහසු වෙන සහ බාධාවෙන අවස්ථාත් තිබෙනවා. 

අද අපි ඔබත් එක්ක බෙදාගන්න සූදානම් වෙන්නෙ ඔසප් දිනවලදී ඔබට ඇතිවෙන මේ ශාරිරික අපහසුතා මඟ හැරගන්න නිවසේ සිටම පහසුවෙන් කරන්න පුළුවන් ඉතාම සරල ව්‍යායාම කීපයක් ගැනයි. 

අපි බලමු ඒ මොනවද කියල 

Cobra Pose

මුලින්ම බඩ යටට සිටින සේ සුමට බිමක එහෙමත් නැත්නම් ව්‍යායාම කරන්න භාවිත කරන පැදුරක් (yoga mat) මත මුනින් අතට දිගා වෙන්න. 

ඊලඟට ඔබේ කකුල් එක ලඟට ගෙන එන්න. 

(මේ වෙලාවෙ ඔබේ යටි පතුල් උඩ අතට තිබිය යුතුයි.) 

ඔබේ අත් උරහිසට පහළින් තබා ගන්න.

දැන් ඔබේ අත් බිම තබා අත් මඟින් උරහිස් සහ ඔළුව ඔසවන්න. 

ගැඹුරින් හුස්ම ගන්න, හුස්ම පිටකරන්න.

දැන් මේ ඉරියව්වෙන් ඔබට පහසුවක් දැනෙන තුරු තත්පර 30 ත් තත්පර 60 ක් පමණ කාලයක් සිටින්න. 

මීලඟට සෙමින් මුල් ඉරියව්වට පැමිණෙන්න.

මුල් ඉරියව්වේ සිටිමින් සාමාන්‍ය ලෙස දෙවරක් තුන්වරක් හුස්ම ගන්න, හුස්ම පිටකරන්න. 

ඔබට පහසු වාර ගණනක් මේ පියවර නැවත නැවත සිදු කරන්න. 

Cat / Cow Pose

මුනින් අතට දිගාවී ඔබේ දණහිස් සහ අත් භාවිතා කරමින් ශරීරය ඉහළට ඔසවන්න.

(දණහිසෙන් පහළ කොටස බිම දිගාවෙන සේ සහ ඔබේ අත් හරියටම උරහිසට පහළින් සහ කකුල් වල දණහිසෙන් ඉහළ කොටස ඉණ දෙපසින් පහළට සෘජුව පැවතිය යුතුයි.)

දැන් ගැඹුරු හුස්මක් ගන්න, පිටකරන්න.

මේ අතරෙම ඔබේ හිස ඉහළට ගෙන යමින් උඩ බලන්න. ඔබේ බඩ බිම දෙසට පාත් වීම සිදුවෙනවා ඔබට දැනේවි. 

මේ ඉරියව්වේම සිටිමින් සාමාන්‍ය හුස්ම වාර දෙකක් හෝ තුනක් ගන්න. 

ඊලඟට, ඔබේ හිස සෙමින් පහළට ගෙන එමින් හිස පහත් කර බිම බලන්න. ඒ අතරතුර ඔබේ බඩ ඉහළට තල්ලු කරන්න. 

දැන් ගැඹුරු හුස්මක් ගන්න, පිටකරන්න. 

මේ ඉරියව්වේම සිටිමින් සාමාන්‍ය හුස්ම වාර දෙකක් හෝ තුනක් ගන්න.

මේ විදිහට ඔබට පහසු වාර ගණනක් මේ ව්‍යායාමය නැවත නැවත සිදුකරන්න පුළුවන්. 

Fish Pose

කොට්ටයක් බිම තබාගන්න.

ඉන්පසු ඔබේ පිට සට හිස කොට්ටය මත තබාගන්න. 

කකුල් සෘජුව ඉදිරියට දිගු කරන්න. 

දැන් ඔබේ අල්ල උඩට සිටින සේ ඔබේ දෑත් නිදහසේ ශරීරයෙන් දෙපසට විහිදුවා ගන්න. 

ගැඹුරින් හුස්ම ගන්න, පිටකරන්න.

ඔබට පහසුවක් දැනෙන තුරු මේ ඉරියව්වෙන් වැතිර සිටින්න.

කකුල් වලට අපහසුවක් දැනෙනවා නම් යටිපතුල් පොළවේ ගෑවෙන සේ දණහිසෙන් කකුල් නමාගෙන වැතිර ඉන්නත් ඔබට පුළුවන්. 

Forward Bend 

මුලින්ම, කෙළින් හිටගන්න. 

ගැඹුරු හුස්මක් ගනිමින් අත් ඉහළට ඔසවන්න. හුස්ම පිටකරන්න.

නැවත ගැඹුරු හුස්මක් ගනිමින් අත්වලින් යටිපතුල් ස්පර්ශ කරන්න. හුස්ම පිටකරන්න.

විනාඩියක් පමණ සිට නැවත මුල් ඉරියව්වට පැමිණෙන්න. 

කකුල් සෘජුව තබාගෙන යටිපතුල් ඇල්ලීමට අපහසුයි නම් දණහිසෙන් ඔබේ කකුල් නවන්න. 

ඔබේ වේදනාවන් වලට සහනයක් ලැබෙන තුරු සෙමින් ල්සැහැල්ලුවෙන් මේ ව්‍යායාම වල නිරත වෙන්න ඔබටත් පුළුවන්.

එයින් ඔබට හොඳ ප්‍රතිඵල ලැබුනොත් එය අපිටත් සතුටක් වේවී. 

නමුත් ඔබට දරාගත නොහැකි වේදනාවක් දැනෙනවා නම් ඒ සඳහා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක්ගෙ උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගැනීම අනිවාර්යයි. 

දිනකට අවම වශයෙන් වතුර ලීටර් දෙකක්වත් පානය කරන්න වගේම අවශ්‍ය විවේකයත් ලබාගන්න කියල ඔබට මතක් කරන ගමන්ම අපි ඔබෙන් සමුගන්නවා. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles