පරිසර උෂ්ණත්වයේ වැඩිම අවදානම හෙට! අපහසුතාවලින් බේරෙන්නේ මෙහෙමයි

“ඉවසන්න බැරි රස්නයක්” ඒ අපි හැමෝම මේ දවස්වල නොනවත්වාම කියන කතාවක්. ඇත්තටම මේ රස්නය දරා ගත හැකි මට්ටමක එකක් නෙවෙයි. අපි දිගින් දිගටම දැවෙන උදුනක ජීවත් වෙන මට්ටමට පත් වෙලා.

අද (අප්‍රේල් 19) හවස වන විට කාලගුණ දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් නිකුත් වී තිබෙනවා.නැගෙනහිර, උතුර, උතුරු මැද, වයඹ පළාත් සහ මොණරාගල, හම්බන්තොට  දිස්ත්‍රික්ක ඒ අවදානම් කලාප වලට අයිතියි. මේ පළාත්වලට හෙට දැනෙන උණුසුම් දර්ශකය අනුව මිනිස් සිරුරට දැනෙන උණුසුම ගැන අවධානය යොමු කළ යුතු වෙනවා.

උෂ්නත්ව දර්ශකයේ 28- 37 අගයන් සාමාන්‍ය වන අතර 39- 45 අතර අගයන් අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනවා. 46-52 වැඩි අවධානයක් යොමු කරන්නට ඕනෑ අගයක්. 52 ට වැඩිනම් එය ඉතා අනතුරුදායකයි.

මේ උෂ්ණත්වයට ඔබ මුහුණ දෙන්නේ කොහොමද? අධික උෂ්ණත්වය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට පහත පියවර දැඩි අවධානයෙන් අනුගමනය කරන්නට Health Promotion Bureau පිටුව මෙසේ ප්‍රකාශ කරනවා

1. පිපාසය දැනෙනතෙක් නොසිට නිතර නිතර හැකිතාක් ජලය පානය කිරීම (වැඩිහිටි කෙනෙකුට අවම වශයෙන් දිනකට ලීටර 2.5ක් වත්)

2. පිපාසයට, ජලය වෙනුවට පැණි බීම පානය කිරීමෙන් වැළකීම

3. පෙරවරු 11 සිට පස්වරු 3 දක්වා අධික හිරු රශ්මියට නිරාවරණය වෙමින් ගත කරනා කාලය අවම කිරීම

4. හැකි පමණ ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම් වලට යොමු වීම

5. එළිමහනෙහි ගැවසීමේදී කුඩ සහ තොප්පි භාවිතයට (hats) හැකිතාක් යොමුවීම

6. වයෝවෘද්ධ හෝ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් මේ තත්ත්වය යටතේ පීඩාවට ලක් වීමේ අවධානම වැඩි බැවින් ඔවුන් පිළිබඳ විශේෂයෙන් විමසිලිමත් වීම

මෙම අවදානම් තත්ත්වය උද්ගතව ඇත්තේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වල (විශේෂයෙන් බටහිර හා දකුණුදිග වෙරළ තීරයන් හි) පවතින අධික වියළි කාලගුණයත් සමග උෂ්ණත්වය වෙනදාට වඩා සැලකිය යුතු ලෙස ඉහළ යාමත් සමඟයි.මෙම උෂ්ණත්වය අධික වකවානුවේ තමන්ගේ මෙන්ම අන් අයගේ ද යහ පැවැත්ම උදෙසා ඉහත කරුණු පිළිබඳව සැලකිලිමත් වන ලෙස ඔබට අප යළිත් සිහිපත් කරනවා.

විශේෂ ස්තූතිය – වෛද්‍ය ප්‍රසාද් වීරසිංහ| Health Promotion Bureau නිල ෆේස්බුක් පිටුව

Related Articles

Don't Miss


Latest Articles