ආදරයත් විවාහයත් ගැන වෙනස් විදියක කතාවක් රැගත් – Meenakshi Sundareshwar

ඕනෑම තරුණියක් කැමති ප්‍රේම විවාහයකට.යෝජිත විවාහයක් කියන්නේ දෙමාපියන් කැමති මනමාලයෙක් මිසක් තමන් ආස විදියේ කෙනෙක් නොවීම නිසාම ආදරේ කරලා විවාහ වෙන්න තමයි තරුණියෝ කැමති.

පොත් කියවීම වගේම රජිනිකාන්ත් ඉන්න ෆිල්ම්ස් බැලීම තමන්ගේ ජීවිතේ හොඳම විනෝදාංශ කරගත්තු මීනාක්ෂි බලන්නත් මනමාලයෙක් එනවා.මීනාක්ෂිත් ඒකට ලෑස්ති වෙනවා.පාර වැරදි වැරදි ගෙදරට එන මනමාලයා සුන්දරේශ්වර්.උපාධියට ගැළපෙන රස්සාවක් නැති වෙලා තාත්තගේ සාරි කඩේ රේන්ද අල්ලන්න වෙයි කියල බයෙන් ඉන්න සුන්දරේශ්වර් තමන්ගේ මහ විසාල පවුලත් අරන් මීනාක්ෂි බලන්න එනවා.

“සිතු දේ නොම වේ නොසිතූ දේම වේ!”

මඟුල් ඔත්තුව හරියාගෙන එනකොටම මීනාක්ෂිගේ ගෙදරට තවත් අම්මා තාත්තා සහ පුතෙක් කඩාපාත් වෙනවා.ඒ තමයි මීනාක්ෂිගේ ඇත්ත මනමාලයා.සුන්දරේශ්වර්ලට පාර පැටලිලා.

ඒත් දෙවියෝ කරපු වැරැද්ද එහෙමම වෙන්න දෙන්න තීරණය කරන්නේ මීනාක්ෂිගේ සීයා.දඟකාර කටකාර කෙල්ලක් වුණු මීනාක්ෂි, සුන්දරේශ්වර් වගේ ලැජ්ජාශීලි කොල්ලෙකුට ආදරේ කරන්න ගන්නවා.ලස්සන විවාහ උත්සවයක් ගන්න දවස එනකොට මේ දෙන්නා ඇත්තටම ආදරෙන් බැඳිලා.

ආදරේ උණුහුම ඉතිරෙන මංගල රැයත් සුන්දරේශ්වර්ගේ ගෙදරම ඉන්න මේ සාම්ප්‍රදායික පවුල් දෙකක මනාල යුවලට සිද්ධ වෙනවා.තවත් අහඹුවක් වෙන්නේ එදා රෑ.රස්සාවක් නැතිකම ගැන දුක් වෙමින් හිටිය රැකියා විරහිත ඉංජිනේරු උපාධිධාරියට හදිසි සම්මුඛ පරීක්ෂණ කැඳවීමක් ලැබෙනවා.

“හෙට උදේම අවදි වී යා යුතුව තිබේ..”

ඉතින් සුන්දරේශ්වර්ට සිද්ධ වෙනවා හනිමුන් එක පැත්තකට දාලා ඉන්ටර්විව් එකට ලෑස්ති වෙන්න.විවෘත අදහස් තියන මීනාක්ෂිගේ දිරි ගැන්වීම මත සුන්දරේශ්වර් ඒ ගමන යනවා.ඔහු ඉන්ටර්විව් එක පාස් වෙනවා.

රස්සාව තියෙන්නේ දුර! බැංග්ලෝර් වල.

“ඔය හරියන වැඩක්ද? මෙච්චර දේවල් කරලා හරි නොගියොත් නම් කඩේ රේන්ද අල්ලන්න වෙනවා..”

තාත්තා සුපුරුදු විදියටම කෑගහනවා.අලුත් මනමාලිත් ගෙදර තනිකරලා රස්සාවට ගිහින් ඒ අභියෝගයට උත්තර දෙන්න සුන්දරේශ්වර් තීරණය කරනවා.රස්සාවට ගන්නේ තනිකඩ කොල්ලෝ නිසා ඔහු විවාහය හංගන්න තීරණය කරනවා.මීනාක්ෂි එක්ක බැඳිම හංගා ගන්න ඔහුට සිද්ධ වෙනවා.

මේ ඇති! ඒ බැඳීම ආරක්ෂා වුණාද කියලා දැන ගන්න ඔබ Meenakshi Sundareshwar බලන්න.විවේක් සෝනිගේ අධ්‍යක්ෂණයක් වුණු මේ චිත්‍රපටිය නිකුත් වෙලා තාම මාසයක්වත් නෑ.සාන්‍යා මල්හෝත්‍රා සහ අභිමන්‍යු දසානි ප්‍රධාන චරිත නිරූපණය කරන Meenakshi Sundareshwar ඔබට Netfilx හරහා නරඹන්න පුලුවන්.

විවාහයක් කියන්නේ ගැහැනු ළමයෙකුගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වෙන තැනක්.  Smartlady.lk කාන්තා සමූහයේ පළ වෙන බොහෝ නිර්නාමික පෝස්ට් අතරේ අලුත බැඳපු මනමාලියන්ගේ ගැටළු පුදුමාකාර විදියට අපිට හමු වෙනවා.විස්තෘත පවුලක් එක්ක ගණුදෙනු කරන මීනාක්ෂිටත් හැමදේම එපා වෙන මොහොතක් එනවා.එවැනි මොහොතවල් පසු කළ, පසු කරමින් හිඳින ඔබ මේ චිත්‍රපටිය නැරඹිය යුතු වෙන්නේම ඒ සටන පහසු එකක් නොවූ හන්දාමයි.අලුත් මනමාලියෙකුට මනමාලයාගේ අම්මා තාත්තාට අමතරව නැන්දලා පුංචිලා නීති දැමීම ඉන්දියාවට පමණක් පොදු කාරණාවක් නෙවෙයි.

අනිත් කතාව Long Distance Relationship.මේ විදියට ආදරය නඩත්තු කිරීම මොනතරම් අපහසුද කියලා දන්නේ ඒ විදියට ආදරේ වින්ද අය.ඔහු නිදා ගන්නකොට ඔබ ඇහැරෙන Time Zone ඔබත් ගෙවමින් ඇති.කතා කරන්න ලැබෙන පුංචි වෙලාවත් කුඩා බෝඩිම් කාමරයකට වෙලා කෑම උයන ගමන් වීඩියෝ ඇමතුම් ගන්න පෙම්වතෙක්,සැමියෙක් ඔබටත් ඇති.ඒ ජීවිතේ කඳුළ අතරේ හැංගුණු රසකුත් තියෙන බව සිහි කරන්න මීනාක්ෂිටත් සුන්දරේශ්වර්ටත් පුලුවන්.

මේ Romance Comedy වර්ගයේ චිත්‍රපටියක්.ඒත් ආදරේ ගැන ආයේ ආයේ හිතන්න පුලුවන් විදියේ චිත්‍රපටියක්.ඒ නිසා ඒ ආදර කතාව ඔබේ ආදර කතාවත් එක්ක ගළපලා බලන්න.ආදරේ තවත් ආකාරයක් ඔබට මුණ ගැහෙයි.

Related Articles

Don't Miss


Latest Articles