මල් තුහින -08

ජීවිතය තුළ ගන්නා සමහර තීරණ වැරදී ගිය පසු එතැනින් එහා ගන්නා බොහෝ තීරණ වැරදී යයි. මලිති පසු කරමින් සිටියේ එවැනි කාලයකි. එහෙත් මෙතැනින් එහා එසේ නොවිය යුතු බව ඇය සිතමින් සිටියා ය. ඇයට එසේ සිතන්නට ද ඕනෑ වූවා ය.

“ආදරේ කරන්න දන්න මිනිහෙක් ලැබෙනව නම් එතනින් එහා මොකුත් ඕන නෑනෙ.”

දිනක් එසේ පැවසුවේ පාරමී ය. නමුත් උත්තරාගේ අදහස එතැනින් එහා එකක් විය.

“ආදරේට විතරක් සැපෙන් සනීපෙන් ජීවිතයක් හදලා දෙන්න බෑ. ආදරේ තම්බලා කන්න බෑනෙ.”

ප්‍රේමය මුදල හෝ වත්කම මත පදනම් විය යුතු නැති බව මලිති ද විශ්වාස කරයි.බොහෝ අරමුණු වෙර වීර්යයෙන් උපයා ගන්නා වර්තමානයට වඩා සතයක්වත් අතේ  නැති වූ කාලයේ නවීන් ආදරයෙන් සිටි බව ඇයට මතක ය. ප්‍රේම කරන කාලයේ ඇයට බොහෝ දේ රැගෙන දෙන්නට ඔහු සන්තකව මුදල් නොතිබිණ.

“මං සල්ලි තියන කාලෙක අරන් දෙන්නං.”

එසේ පිළිණ දුන්නා පමණක් නොවේ. විවාහ වූ අලුත ඕනෑ නැති වියදම් කිරීමෙන් වළකින්නැයි මලිතිගෙන් දොස් අසනතුරුම ඔහු ඇය කැමති දේ රැගෙන ආවේ ය.

“මං දොඩම් ගෙඩියක් කන්න ආසයි කිව්වම දොඩම් වත්තක් ගේන්න එපා නවීන්. තව පළතුරු ඕන තරම් තියනවනෙ.”

එහෙම කියද්දී පවා නවීන් කළේ හිනැහීම ය.

එහෙත් ඒ සියල්ල අතීතයකි. යුතුකම් ද වගකීම් ද සිතුණු විට ඉටු කරන එහෙත් මලිති ඉන්නවාදැයි සිතන්නටවත් කාලය නාස්ති නොකරන සැමියෙකු ගැන සිතමින් කාලය නාස්ති කිරීම කළ යුතුම දෙයක් නැති බව මලිති තීරණය කළේ කාර්යාලයට පිටත්ව යන අතර ය.

“මම ටිකක් පරක්කු වෙයි.”

ඒ පණිවිඩය රුවිනිට කියන්නට පවා ඇයට සිහි වූයේ රුවිනි ඇය කොහේදැයි ඇසූ විට ය.

“උඹේ අලුත් ප්‍රේමෙ අද උදේ මට බැන්නා. මං මේ උඹ එනකම් ඉන්නේ.”

රුවිනි පිළිතුරු එවා තිබිණ.මලිතිට ඕනෑ වූයේ ඉක්මනින් රුවිනි වෙත යන්නට ය. සිදු වූ දේ දැනගන්නට ය.

“මොකද වුණේ?”

හති දමමින් අසන මිතුරිය දෙස තත්පර කිහිපයක් බලා සිටි රුවිනි ඇය අත වතුර වීදුරුවක් තැබුවා ය.අනතුරුව ඕනෑම මොහොතක හෙළන උස් සිනාව විසිරී යන්නට ඉඩ හැරියා ය.

“මම තුහිනට බැනලා විනාඩි අටයි. උඹ ඊටපස්සෙ ටැක්සි ඩ්‍රයිවර්ට ඉගිල්ලෙන්න කිව්වද?”

ඒ සරදම් අසන්නට මලිතිගේ කැමැත්තක් නොවේ. ඇය දන්නා තුහින නිස්කලංක කොල්ලෙකි. නමුත් රුවිනිට බනින්නට තරම් ඔහු පෙළූ ආවේශය ඇයට අපැහැදිලි ය.

“මං අද තුහිනගෙ ගේ ගාවින් එනකොට මිනිහා වාහනේ පාරට දැම්මෙ.ඇත්තටම මං කෝල් එකක ආවේ. මෑන්ස් හෝන් කරලා මට බැන්නේ මං හයිවේ එකේ පාර මැද යනවා වගේ. මං ඇත්තටම මේ හිතන්නේ එච්චර ඇග්‍රසිව් වෙන්න මොකක්ද මං කරේ කියලා.”

රුවිනි කියවාගෙන යන්නේ කෝපයෙනි. මලිති වීදුරු ජනේලයෙන් එපිට පෙනෙන දෙමහල් නිවස දෙස බැලුවා ය.ඔහු පෙනෙන්නට නැත.මෙරූන් වර්ණය සහිත ඔහුගේ මෝටර් රථයවත් දක්නට නොලැබේ.

“තුහින දූව නර්සරි එක්ක යන්න හදන්න ඇත්තෙ. උඹ මල් කඩ කඩ පාර මැද යනකොට කේන්ති යන්න ඇති.”

මලිති වහා ඔහු නිවැරදි කළා ය.රුවිනි උරහිස් ගස්සා ඈ දෙස බැලුවේ නපුරු මුහුණකිනි.

“බබාව ආන්ටි එක්ක ගියා.මං ඒකත් බලන් හිටියෙ”

කරන්නට අප්‍රමාණ දේ තිබියදී රුවිනි ආපසු හැරී මලිති දෙස බැලුවා ය.ඇතැම්විට මේ ප්‍රශ්නයේ පිළිතුර ද එය වන්නට ඉඩ තිබේ.

“තුහිනගෙ වයිෆ් පේන්න නෑ නේද? මුන්ගෙන් කවුරුහරි කිව්වා ඒ කෙල්ලගෙ ෆේස්බුක් එකවුන්ට් එකත් ඩිඇක්ටිවේට් කියලා. අර රූෆ් ටොෆ් ගාඩ්න් එකක් කර කර ෆේස්බුක් පේජ් එකක් කරානෙ. ඒකත් නෑ. ගෑනුන්ට වෙන් වැඩක් තිබ්බෙත් නෑ උත්පලා අක්කගෙ කෑම පිඟනුයි වත්තයි බලනවට වඩා.”

ජීවිතය සම්බන්ධයෙන් ගන්නා වැදගත් තීරණයක් නිසා මඳ කාලයක් නිහඬ වෙන බව ඇය ලියා තිබූ බව මලිති සිහි කළා ය. නමුත් ඇය ඒ ගැන රුවිනිට කියන්නට නොගියා ය.

“සමහරවිට උත්පලා ගෙදර නැති හින්දා උත්පලාගෙ වගාවට සාත්තු කරන්න වෙලා ඇත්තේ තුහිනට. ඌ ඒ තරහ අපේ පිටින් යවනව ඇති. උදේට ගස් සීයකට විතර වතුර දාන්න පුලුවන්ද බං මිනිහෙක්ට.මගේ ගාව නම් එක පැලයයි තියෙන්නෙ. උඹ වගේ අහිංසක උන් දාස්පෙතියා කියලා රැවටෙන.”

රුවිනිගේ උස් සිනාව ද කියවිල්ල ද අසමින් මලිති පරිගණකය දැල්වූවා ය.අද හොඳ දවසකි.තුහින දකින්නට තිබුණානම් එය වඩාත් සුන්දර දවසක් වන්නට ඉඩ තිබිණ. නමුත් කාර්යාලයට එන්නේ අල්ලපු ගෙදර දිහා ඇස් රිදෙන තුරු බලා ඉන්නට නොවේ. රාජකාරි වෙනුවෙනි.

“මං මහ කැත ප්‍රශ්නයක් අහන්න යන්නේ. උඹ ඔය තුහිනට ආදරේ වුණේ ඇයි?”

රුවිනිගේ හැසිරීම් තුළ අනුන්ගේ ජීවිත වලට ඕනෑවට වඩා එබෙන කැත පුරුද්දක් නොවේ. ඇය කිසිම වෙලාවක පෞද්ගලික අවකාශ අතික්‍රමණය කරන්නේ නැත. මේ ප්‍රශ්නයට දිය හැකි පිළිතුර ගැන මලිති නැවත නැවතත් සිතද්දී රුවිනි නැවතත් හඬ අවදි කළා ය.

“ඇත්තටම මේක රංගනී අහනව වගේ හෙන නාකි ප්‍රශ්නයක්. උඹ තුහිනට ආදරේ වෙලා ඉන්නේ ශේන්යා දුව නිසාද?”

මලිති ගල් ගැසුණා ය.නොකියා සඟවා ගත්තද එවැනි අදහසක් හිතේ කොනක තිබූ බව දන්නී ඈ ය. ප්‍රාණසම මිතුරිය මලිති ඕනෑවටත් වඩා කියවාගෙන තිබේ.

(දැන් ටිකෙන් ටික ගැට ලිහෙන බව හිතෙනවා.මලිති ඇත්තටම තුහින ළඟ නැවතිය යුතු ද වගේම තුහින ඉක්මන් කෝපයක් එක්ක ඉන්නේ ඇයි කියන එක ඔයාලාම තීරණය කරන්න. පේජ් එකේ කමෙන්ට් එකක් දාන්න)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles