පසළොස්වක මල් – 55

0
174

දින සති ගෙවී ගියේ මිහිදුමී මහවලතැන්න පළමු වසර මැද විභාග කටයුතු වලට කාර්ය බහුල කරමින් වුවද ඒ ලෙසටම අනෙක් පසින් අස්නක විජේසිංහ ව්‍යාපාර කටයුතු සඳහා කාර්ය බහුල වෙමින් සිටියේය. දින කිහිපයක් තිස්සේ සූදානම් වූ ව්‍යාපාර කටයුත්තක් සඳහා රාත්‍රියේ චීනය බලා යාමේ අදිටනින් අස්නක එකී ගමනට සූදානම් වෙමින් සිටියේය. උදෑසන සිටම  චුරු චුරු වර්ෂාව එකී සම්පූර්ණ දිනයම තමන් සතු කරගනිමින් සිටියේය. කවුරුන් කුමක් පැවසුවද ඔහු වෙත සමුදීමක් කළ නොහැකි වූ තරුණිය දුකින් , වේදනාවෙන් මෙන්ම එහි අවසානයේ කෝපයෙන්ද පිපිරෙමින් සිටියාය. 

කිසිවෙකු හා කතා බස් නොකරම අඳුරු කර ගත් වතින් නිහඬවම මුළුතැන්ගෙහි කටයුතු වලට මෙන් නිවසේ වැඩ කටයුතු වලටද සහයෝගය ලබා දෙන ඈ දුටු මහීකා ඇගේ සිතෙහි ඇති හැඟීම් හොඳින් තේරුම් ගෙන සිටියාය. 

” කෑවේ නෑනේ දුමී. කාලා ඉන්නකෝ. “

” බඩගිනි නෑ ආන්ටී. “

මුව මතට මඳ සිනහවක් නැඟුවද ඈ එය පිටතට නොපෙන්වා සිටියාය. 

” අම්මා..! “

” මොනා හරි ඕනෙද ලොකූ..!” 

  තමාට ඇමතුවද පසුපස හරවා සිටින තරුණිය දෙසට දෑස විතැන් කොට ගනිමින් මුළුතැන්ගෙහි ද්වාරය අසල සිට ගෙන සිටින පුත්‍රයා දෙස මහීකා සිනහ පිරුණු දෑසින් බැලුවාය.

” නෑ.. මුකුත් නෑ.. “

ඔහුගේ දෑස තවමත් පසුපස හරවා ගෙන සෝදා පිරිසිදු කළ වීදුරු බඳුන් කිහිපයක් පිසළන ඈ අසලය. මහීකා නිහඬව ඔහු දෙස බැලුවාය. දෙබැම ඔසවා ඇගේ අමනාපය පිළිබඳව මවට ඉඟි කළ ඔහු තොල් පට නොපිටට පෙරළා ගත්තේය.

” කෝපි එකක් හදලා දෙන්නද ලොකූ..?” 

” හදලා උඩට අරන් එන්න අම්මා..”

තවමත් පසුපස හරවා සිටින ඈට ඇසෙන්නටම එසේ පැවසූ ඔහු යළිත් හැරී නිදන කාමරය වෙත ඇවිද ගියේය.

මහීකා හට බෑ කීමට නොහැකිම තැන ඈ අත තැබූ කෝපි කෝප්පයද රැගෙන උඩු මහළට පැමිණි ඈ පිටත වර්ෂාව දෙසට නෙත් යොමා දුරකතන ඇමතුමක සිටි ඔහු දෙස යටැසින් බලා නිහඬවම කෝපි කෝප්පය මේසය මත තබා යළි හැරුණාය. නමුත් තද වූ රළු හස්තය ඇගේ පියවර වැළැක්වූයේය. 

” ඔව්. ඒ ටික ඔක්කොම මට ඊමේල් කරන්න. මං හෙට වෙද්දි ඒකට ආන්සර් එකක් දෙන්නං “

බිමට බර කරමින් සිටින උවන දෙස බලා අවසානයට එසේ පැවසූ ඔහු ඇමතුම විසන්ධි කර දැමුවේය.

” ඒයි.. දුමී..!”  

” එපා .. ඕන්නෑ..” 

වේදනාව සේම අමනාපයද සහිත වචන සමඟම ඈ ඔහුගෙන් අත මුදවා ගැන්මට සැරසුණාය. 

” ඔය ඉතිං.. ? මාසයයිනේ මැණික ?” 

” මාසයක් කියන්නේ දවස් වලින් තිහක්. පැය වලින් කීයක්ද කියලා දන්නවද ? හත්සිය තිහක්.   මාසයයි මාසයයි කිව්වට කී දවසක් දිගට ඇදෙයිද කියලා කවුද දන්නේ ?” 

හැඬුම ලඟම තැවරුණු කෝපය ඈ වෙනුවෙන්ම වචන අහුළමින් තිබිණි.

” එහෙම වෙන්නෑ . ප්‍රොමිස්. “

” ඔව්. ඔව් එහෙම වෙන්නෑ. පුදුම උවමනාවක් තියෙන්නේ මාව දාලා යන්න . එක පාරක් මං එයාට නොකියා ගෙදර ගියා කියලා තමයි මං නැතුව ඉන්න බෑ , එයාව දාලා ගියා කිය කිය එදාම මහ රෑ මාව එක්කන් එන්න හැදුවේ. දවසක් ඉන්න බෑ කිව්ව එක්කෙනාට මාසයක් ඉන්න පුලුවන්?” 

නෝක්කාඩු වදන් හා සුරුස් සුරුස් හඬින් ඉහලට ඇදෙන නාසයේ හඬටද නිහඬවම උන් ඔහු එක එල්ලයේ ඇගේ උවන දෙස බලා සිටියේය .

” මොනාද බලන් ඉන්නේ?” 

තමා පවසන කිසිවකට පිළිතුරු නොතබා තම මුව දෙසම බලා සිටින ඔහු කෙරෙහි තවත් අමනාපය රැස් කරගත් ඈ තරහින්ම ප්‍රශ්න කළාය.

” බලන්න එපාද ?” 

” එපා.. “

” ඇයි ?” 

” මට ඔයාට බනින්න ඕනේ. ඔහොම බලන් ඉද්දි බනින්න හිතෙන්නෑනේ ?”

” එහෙනං මූණ දිහා බලන් ඉන්න වෙන කාවහරි හොයාගන්න වෙනවා.  චයිනා වල ලස්සන කෙල්ලො ඇතිනේ ” 

ඉවත බලා ඔහු පැවසූ වදන් වලට තවත් කෝප ගත් ඈ රතු කරගත් දෙනෙතින් නැවතත් ඔහු දෙස බැලුවාය.

” ඔව් ඔව්. ඇති  .. ඇති.. හැබැයි ඔරිජිනල් ඒවා හොයාගන්න වෙන එකක් නෑ. ඔක්කොම චයිනීස් කෑලි තමා. “

” මොකක් ?” 

මුවට නැඟි සිනහවෙන්ම ඈ දෙස බලා ඔහු එසේ විමසුවද ඈ තව දුරටත් උවන බිමට බර කර ගත්තාය.

” දුමී…!” 

” එපා .. ඕන්නෑ “

” පොඩි කාලයක්නේ ළමයෝ.. ? ඔයා ඔහොම තරහා වෙලා හිටියම මං හිත හොඳින් මේ ගමන යන්නේ කොහොමද ?” 

” හිත නරක් කරගෙන හරි යන එක යනවනේ. මොකෝ මං අකමැතියි කියලා ඔයා ඉන්නවද ? නෑනේ ?” 

” කියන දේ අහන්නකෝ ඉතිං. මං බිස්නස් වැඩකටනේ යන්නේ. මේක ලේසියෙන් කාටවත් ලැබෙන්නැති චාන්ස් එකක් ළමයෝ. භරණත් සෑහෙන්න මහන්සි උනානේ මේ වැඩේට. “

” ඔව්. ඔව්. දැන් එයා තමයි ලොකු ඔක්කොටම. මෙයත් එක්ක කතා කළොත් භරණ. එයත් එක්ක කතා කළොත් අස්නක. මෙයත් එක්ක කතා කළාම එයාගේ වරුණාව අහන් ඉන්න ඕනේ. එයත් එක්ක කතා කළාම මෙයාගේ වරුණාව අහන් ඉන්න ඕනේ. දෙන්නගෙන් කාටවත් මාව මතක නෑ.. “

බිම බලා සිටි නෝක්කාඩු වත තමා දෙසට හරවා ගත් ඔහු වහා එකී සියුමැලි නළල් තලය මත නළල තැබුවේය.

” මහවලතැන්නලා තමන්ගේ දුවට කෝටි ගාණක දේවල් වෙන් කරලා තියෙන්නේ. ඒවා නිකන්ම නිකන් මිනිහෙක් විදිහට ගන්න මට බෑ මැණිකේ. මං මගේ පැත්තෙනුත් ඒ තරමට හරියන්න සක්සස් වෙලා ඉන්න ඕනේ. ඔයා ඩිග්‍රි එක කම්ප්ලීට් කරද්දි , මං මගේ ටාගට්ස් වලට ගිහින් ඉන්න ඕනේ. “

” මට ඕවා වැඩක් නෑ. “

ඔහු හැඳ සිටි කමිසය අතින් පොඩි කරමින්ම ඈ කෙඳිරිලි හඬක් නැඟුවාය. 

” එහෙනම් මොනාද වැඩක් තියෙන්නේ?” 

” මට ඕවා ඕන්නෑ.”

” එහෙනං මොනාද ඕනේ ?” 

ඈ නිහඬවම ඔහුගේ වත දෙස බැලුවාය. 

” ඕන කෙනා ගැන කිව්වට වැඩක් නෑනේ.එයාට ඕනේ දාලා යන්නනේ. “

ඈ එසේ පවසා ඉවත බලා ගැන්මට උත්සාහ කළද ඔහු වහා එය වැළැක්වුයේය. තදින් ඇගේ බඳ වටා වෙළී ගිය අතකින් තමා වෙතටම ඇද තුරුළු කරගත් ඔහු ඉන්පසුව සෙමින් ඇගේ කොපුලක් මත තම අතක් තැබුවේය.

” දුමී..! I’m completely yours and I’m so in love with you” 

විසල් වූ දෑසට ඇසිපිය ගැසීම අමතකව ගිය හැඩය. මේතාක් කාලයක් හදවතින් පෙමින් බැඳුණද ඔහු මුවින් කිසිදු දිනක මෙවන් ප්‍රකාශයක් පිටතට පැමිණ නොමැත. වරින් වර විපරීත වන හිත යටින් ඔහු කිසිදු දිනක තමා හට ආදරේ බැව් නොපැවසීම හදවත තුළ නොරිස්සුමක් ඇති කර තිබුණද , ඔහුගේ හැසිරීම මත එය බොහෝ දුරට යටපත්ව පැවතිණි. එය ඔහුගේ හැසිරීමේ ක්‍රමය බවට සිත සනසාගනිමින් සිටියද මෙකී මොහොතේ තත්වය බොහෝ සෙයින් වෙනස්වී තිබිණි. ඔහුගේ මුවින් එවන් වදන් පිටවීමම ඇගේ හදවත පුරා පෙර නොවී විරූ අයුරින් ප්‍රීතිය පිටාර ගලනා සන්තුෂ්ටිදායක හැඟීමකින් පිරි තිබිණි. දෑස මත සතුටු කඳුළු රාශියක් ගුලිව පැවතුණු අතර තමාවම පාලනය කර ගත නොහැකි වූ තරුණිය වහා ඔහුගේ දෙකොපුල් දෑතින්ම අල්ලා ඔහු දෙතොල මත දෙතොල තැබුවාය. නමුදු ක්ෂණිකව සිරුර මත දිව ගිය හිරි වැටීමත් සමඟම විළියෙන් හැකිළුණු ඈ වහා ඔහුගෙන් මිදී උවන බිමට බර කර ගත්තාය. 

” Why’d you stop?”

මිමිණීමක් බඳු වූ පිරිමි ශෘංගාරය පිරුණු වදන් හමුවේ ඈ තව දුරටත් විළියෙන් රත් පැහැ ගැන්වූවාය.

“I can’t always be the one taking the first step.”

“Okay, then let me do it.”

පූර්ණ අයිතියක බලාධිකාරයක් වහා තම අණසකට ගත් තරුණයා දිගු මිනිත්තු කිහිපයක් පුරා ගැහෙන දෙතොලක උණුසුම සෙව්වේය. ඇවිළීමකින් පසුව නිවීමකට ඉඩක් නොලැබෙන බව දැන දැනම වුවද එකී ඇවිළීමෙන් මිදෙන්නට නොහැකි වූ ඔහු තව තවත් දැවීමම තෝරා ගත්තේය. කුඩා කලකට වුවද වෙන්වීම ශෝකයකින් හදවත පුරවා ගනිමින් සිටි තරුණිය ඔහු ගෙල වටා දෑත තද කරගත්තාය.

” මං ගිහින් එනකන් පරිස්සමට ඉන්න ඕනේ.. “

කඳුළු පිරි දෙනෙතට ඉහළින් නළල මත සියුම් හාදුවක් තැබූ ඔහු තව දුරටත් පවසා සිටියේය.

” ආයේ.. ආයේ.. ඔහොම යන්නෙපා. කොහෙවත් යන්නෙපා. කතා නොකර හරි , මූණ නොබලා හරි ඔයා මේ ගෙදර , මේ කාමරේ ඉන්නව කියන එක මෙච්චර කල් මගේ හිතේ තිබ්බා. ඒත්.. දැන් ඔයා නෑනේ.. ? ඒක මතක් වෙද්දි මට දුකයි “

ඈ ඔහුගේ විසල් ළැමට මුහුණ තද කර ගනිමින් ඉකි ගැසුවාය. 

” මිහිදුමී දම්සේයා මහවලතැන්න … ! මං හරි ආදරෙයි….!” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here