ඉවසීම.

සහේලි ගෙදර ආවේ හිත හොඳටම රිද්දාගෙන.රඛිතට ඕනෑම දේක ඇද පේන එක සහේලිට ඉවසන්න පුලුවන් සීමාවෙන් ඔබ්බට යන්න අරන්.ඕනෑම දෙයක වරදක් දකින, ඕනෑම දෙයක් සහේලිට කරන්න පුලුවන්ද කියලා සරදම් කරන රඛිත ඇත්තටම මොන විදියේ මනුස්සයෙක් ද කියලා සහේලිට තේරෙන්නේ නෑ.

“සහේලි,ඔයා ඩ්‍රයිවින් ලයිසන් ගන්නද යන්නේ?”

රඛිත අද දවල් ඇහුවේ අපහාසයෙන්.

“ඔව්..මම වාහනයක් ගන්න ප්ලෑන් කරේ රඛිත.ඒ හින්දා..”

සහේලි එහෙම කියනකොට රඛිත හිනා වුණේ කොමඩි ෆිල්ම් එකක් බලපු ගාණට.

“අපෝ..ගෑනුන්ට පුලුවන් ඩ්‍රයිවින්..අනේ මේ සහේලි.විකාර කරන්න එපා..”

රඛිත එහෙම කියනකොට සහේලිට තව දෙයක් මතක් වුණා.

“ඔයත් ලයිසන් ගන්න රඛිත.අපි මැරි කරාම වාහනේ අපි දෙන්නගෙමනෙ.”

ඒත් ඒ බොරු වියදමක් බවත් ඕනෑතරම් කුලී රථ සේවා තියෙනකොට තමන්ගෙම වාහනයක් අනවශ්‍ය බවත් රඛිත කෙළවරක් නැති තර්ක අරන් ආවා.සහේලි වගේ බොරු ලොකුකම් සහ ආටෝප තියන කෙනෙක්ව විවාහ කරගන්නත් බය බව රඛිත අදත් කියපු හැටි සහේලිට මතකයි.

අලුත් ඇඳුමක් ගත්තම,සැලෝන් එකට ගිහින් රුව සත්කාරයක් කළාම,තවත් උපාධියක් වෙනුවෙන් ලියාපදිංචි වුණාම,ගෙයක් හදන්න පටන් ගමුද ඇහුවම වගේ නොයෙකුත් කාරණාවලදී රඛිත තමන්ට අපහාස කරන හැටි සහේලි මතක් කළා.නිතරම සහේලි ඉන්න ඕන තමන්ට යටත් වෙලා කියලා හිතන රඛිත එක්ක ජීවිතේ ඉස්සරහට යා යුතුමද කියලා සහේලිට හිතෙන්න ගත්තේ ඊට පස්සේ.

දවස් ගාණක සංවාදයක් තමන් එක්කම අරන් ගිය සහේලි අන්තිමට තමන්ගේ තීරණය රඛිතට දන්වන්න හිතුවා.

“තමුසෙට හොදනම් මට මොකද? “

රඛිත තමන්ගෙ මහන්තත්වය අඩු කරන්නෙ නැතුව ඒ විදිහට උත්තර දුන්නා.ඒ ප්‍රශ්නය ඒ විදියට අවසන් වීම ගැන සහේලිට දැනුනේ සතුටක්.

මේ ගැන අම්මා එක්ක කතා කිරීම තමන්ගේ යුතුකමක් කියලා සහේලිට ඊට පස්සේ හිතුණා.

“අම්මා..මං රඛිත එක්ක සම්බන්ධෙ නැවැත්තුවා..”

සහේලිගේ ඒ කතාව අහපු එයාගේ අම්මා සුරම්‍යා කේන්ති ගත්තේ මහා පුදුමාකාර විදියට.

“එහෙම හිතෙන හිතෙන වතාවට මිනිස්සු යාලුකරගන්න තරහා කරගන්න ගියාම ලෝකෙට මුහුණ දෙන්නෙ කොහොමද?”

අම්මාගේ ප්‍රශ්නේ සහේලි බැරෑරුම් විදියට ගණන් ගත්තෙ නැහැ.අදහස් නොගැලපෙන රඛිත එක්ක තමන්ට ජීවිතය ඉදිරියට ගෙනියන්න අසීරු බව ඇය අම්මට පැහැදිලි කළා.නමුත් සුරම්‍යා ගේ මුහුණ තිබුණේ නොපැහැදීමක්.

“ඔය සම්බන්දෙ නෑදෑයො හැමෝම දන්නවා..”

අදහස් නොගැළපීම නිසා ඒ ප්‍රේම සම්බන්ධයේ නවත්වාගන්න තමන් තීරණය කළා කියලා නෑදෑයින්ට කියන්න පුළුවන් වග සහේලි කිව්වේ සැහැල්ලුවෙන්.

“මිනිස්සු හිනාවෙයි..”

අනිත් අයගේ හිනාවට ලක් වෙන්න සිද්ධ වෙනවට බයේ ප්‍රේම සම්බන්ධයක් නතර නොකිරීම නිසා හැමදාම කනසල්ලෙන් ජීවත් වෙන්න තමන්‍ට නුවුමනා බව අම්මාට පැහැදිලි කරන්න සහේලි ලොකු උත්සාහයක් ගත්තා.ඒත් අම්මා ඒ ගැන දැරුවේ වෙනම අදහසක්.

“හිතෙන හිතෙන වෙලාවට කොල්ලො එක්ක සම්බන්ධතා හදා ගන්න එපා.මං මඟුල් කපුවෙක්ටවත් කියලා කසාද බඳින්න කෙනෙක් හොයන්නං..”

කසාදයක් ඇතුළේ නම්බුව විතරක් ඉතුරු කරගන්න ගියාම වෙන්නේ තමන්ගේ මානසික නිදහස නැති වෙන එක කියලා අම්මාට තේරුම් කරන්න බැරිකම ඇරෙන්න සහේලිට වෙන ගැටලුවක් තිබුණේ නැහැ.ආදරය කරන දෙන්නෙකුට එකිනෙකා තේරුම් ගන්න කාලයක් අවශ්‍ය බවත් අදහස් නොගැළපෙනවා නම් විවාහ නොවී වෙන් වෙන එක දෙන්නාටම සැනසීමක් බවත් සහේලි තේරුම් අරන් හිටියේ.

ඒත් අම්මා ඕවා තේරුම් ගන්නේ නැහැ.

ඊට දවස් කිහිපයකට පස්සෙත් අම්මාගේ මුහුණ ඒ තරම් හොඳ පෙනුමක් ගත්තේ නෑ.තාත්තා එක්කත් කෙලින් කතා කරලා තමන්ගේ තීරණය දැන්වූ හින්දා සහේලි හිටියේ සැනසීමෙන්.ඒත් අම්මා තාමත් මුහුණ නරක් කරගෙන ඉන්න එක මොනතරම් මානසික වදයක්ද කියලා සහේලි හිතන්න ගත්තා.

“අම්මේ, ඔයාගේ කම්මුලක් ඉදිමිලා මොකද? ආයේ දත් කැක්කුමද?”

සහේලි දවසක් ඔෆිස් ඇරිලා ආවම අම්මාගෙන් ඇහුවේ පුදුමයෙන්.අම්මා සහේලි දිහා බැලුවේ අසරණ මුහුණකින්.

“අර කොරටුවේ ඉඩම නැන්දලා නාස්ති කරන එක ගැන තාත්තා එක්ක කතා කරා.”

අම්මා එහෙම කියනකොට සහේලි අම්මට හරස් වුණා.

“ඉඩමක් නෙවේ අනේ.දතේ අමාරුව මොකද?”

අම්මා ආයේ හුස්මක් ඉහළට ගත්තේ අසරණ පාටට.

“මට දත් අමාරු තිබ්බෙ නෑ.මං ඔයාලට එහෙම කිව්වෙ තාත්තා මට ගහපු දවසට.ඔයාලා කොච්චර ලොකු වුණත් තාම නපුරුකම් ඇරිලා නෑ..කොරටුවෙ ඉඩම ගැන ඇහුවා කියල අදත් මට අත දිගෑරලා පාරක් දුන්නා..”

සහේලි අම්මා දිහා බලාගෙන හිටියේ වේදනාවෙන්.අම්මා නොකීවට තාත්තා අම්මාට ආදරේ නැති බව සහේලි තේරුම් අරන් දැන් බොහොම කාලයක් ගෙවිලා.අම්මා උයන කෑම වල අඩුපාඩු ප්‍රසිද්ධියේ විවේචනය කරන,අම්මා හඳ එළියේ ගුණ කියනකොට ඉර එළියේ පිළිස්සීමේ වටිනාකම කියන තාත්තාගේ ගතිගුණ ගැන තක්සේරුවත් තමන්‍ට රඛිතව අතාරින්න උපකාර වුණා කියලා සහේලි දන්නවා.

“මං මෙච්චර දේවල් උහුලගෙන ඉන්නව.මටත් තිබ්බනෙ දික්කසාද වෙන්න.එහෙම කරානම් මොන ලැජ්ජාවක්ද? අන්න ඒකයි මං කියන්නෙ. ඔයාලට කිසිම ඉවසීමක් නෑ. ගෑනියෙක් වුණාම ඉවසන්න ඕනෑ.”

කම්මුල් පහරේ වේදනාව එහෙමම කම්මුලේ ඉතිරි වෙලා තියෙනකොටත් අම්මා තමන්ගේ ඉවසීම ගැන උජාරුව කියවන හැටි සහේලි බලාගෙන හිටියේ පුදුමයෙන් වගේ.

“ඔයාලා පවුල් කන්න දන් නෑ.කවදහරි මොනව කරගනීද කියලයි මට බය.ඉවසීමෙන් හා හූම් නොකියා ඉන්නවනම් පවුලක් රැක ගන්න එක හරි ලේසි දෙයක්..”

අම්මාගේ විවාහයට දැන් අවුරුදු තිහකටත් ආසන්න බව සහේලිට සිහි වුණා.ඒ මුළු කාලය පුරාම තාත්තාගේ ඇනුම්බැනුම් උහුලා ගත්තු එයා යහපත් පවුල් ජීවිතය කියන්නේ සේරම දරා ගැනීම කියලා උත්කර්ෂවත් කරන හැටි ගැන සහේලිට ඉපදුණේ කියා ගන්න බැරි තරහක්.විවාහය කියන්නේ ආදරය බෙදා ගන්න තැනක් කියලා නොහිතා කාන්තාවෝ විතරක් ඇනුම් බැනුම් උහුලමින් ඉවසා ගන්න ඕනෑ තැනක් කියලා හිතනතාක් උරුම වේදනාව බව තේරුම් ගන්න අම්මා පරක්කු වැඩියි.

ඒත් තමන් ඒකට ප්‍රමාද නොවීම ගැන සහේලිට දැනුණේ සැනසීමක්.

More Stories

Don't Miss


Latest Articles