මා හද තුළ ඔබ 25

පීට්සා හලෙහි ඒ වෙලාවේ ලොකු සෙනගක් වූයේ නැත. සමනල් හා තඹරු හැරුණ විට එහි ඈත මේසයක සිටියේ තරුණ යුවළක් හා කුඩා දරුවෙකු පමණකි. පිරිමි දරුවා ගේ දඟකම් වලට අම්මා රහසින් තරවටු කළා ය. තාත්තා සිනහවෙන් ඉවසා සිටියේ ය. සමනල් ඒ පිරිමි දරුවා තුළින් සිය අතීතය කැඩපතකින් සේ දැකීමේ උත්සාහයක් දැරුවේ ය. කවදාට අයිති ද කියා නිනව් නැති ඡායාවන් හිත් පත්ලෙන් නැගී එහෙ මෙහෙ වෙමින් තිබිණ.

“මටත් ඒ වගේ චූටි කාලයක් තියෙන්න ඇති කියල හිතෙනකොට දුකයි”

ඒ සිනහව ඇතුළේ පිරිමියෙකු නිසා ඉකි බිඳ හඬන්නට අවසර නැති කඳුළක් හිර වී තිබිණි.

“අම්ම ඔයාට කතා කරන්නෙවත් නැද්ද…”

තඹරු සිය හිර වූ උගුර ලිහිල් කළේ සමනල් ගේ ඇස් ඇතුළෙන් දුටු කුඩා පිරිමි ළමයා ගැන සංවේගයෙනි. ඔහු නැතැයි කියන්නට හිස දෙපසට සැළුවේ ය.

“ඒ කියන්නෙ…එයා වෙන කෙනෙක් එක්ක ගිහින්ද…”

“එහෙමලු. පොඩි කාලෙ තාත්ත කිව්ව කියල මට මතක එහෙම තමයි. මාත් සෑහෙන කාලයක් බලං හිටිය එයා මාව බලන්න එයි කියල. ලොකු වෙලා මට දේවල් තේරෙන්න ගත්තට පස්සෙ මං කවදාවත් අම්ම ගැන කාගෙන්වත් අහල නෑ. කවුරුවත් මට මොනාත් කියලත් නෑ. අම්ම එයි කියල බලං හිටපු පොඩි කොල්ලෙක් ඇතුළෙ ඉද්දිම මං ලොකු වෙලා තඹරු. තාමත් ඒ පොඩි කොල්ලගෙ හිතේ ඒ බලාපොරොත්තුව ආසාවක් වගේ ඇති. ඒත් මේ ලොකු කොල්ල එච්චර බොළඳ හීන දකින්න කැමති නෑ. අම්ම කෙනෙක්ට එහෙම කරන්න පුළුවන් වුණානං…අම්ම කෙනෙක්ගෙං මොනාද බලාපොරොත්තු වෙන්න පුළුවන් තඹරු…ඔයාගෙ අම්ම දකිනකොට මට හරි ආසයි. එයාගෙ ඇස් වල හැම තිස්සෙම දෝරෙ ගලන ආදරේ…අම්ම කියන වචනෙ තේරුමයි කියල මට කියල දෙනව. ඒ කරුණාව…ඒක අම්ම කෙනෙක්ට මිසක් වෙන කාටවත් අයිති දෙයක් නෙවෙයි. වෙන කවුරුවත් ළඟ තියන දෙයක් නෙවෙයි. ඔයාගෙ අම්ම ළඟ දැනෙන අම්ම හැඟීමට මං හරි ආසයි. මට ඒ දේ නැති වෙලා ගිය නිසාද කියල මං දන්නෑ”

“ඉන්න තැනක ඉඳල ඉඳ හිට හරි ඔයාට කතා කරන්න එයාට තිබුණනෙ. එහෙම දරුවෙක් අමතක කරන්න අම්ම කෙනෙක්ට පුළුවන් කියල හිතන එක…හරි අමාරු දෙයක්”

“මගෙ තාත්ත එක්ක මට ලොකු බැඳීමක් නෑ”

“ඒ කොල්ලන්ගෙ හැටි. අපේ තාත්ත එක්ක මල්ලිත් එහෙම තමයි. තාත්ත කොච්චර ලොකු වරදක් කළත් මටනං තාත්ත වෙනුවෙන් දැනෙන ආදරේ මරල දාන්න බෑ. ඒ දුවලගෙ හැටි වෙන්නැති”

“හ්ම්. ඒ වුණත් මං තාත්තට රෙස්පෙක්ට් කරනව. එයා මාව හදාගෙන මේ තත්වෙට ගෙනාවනෙ. අම්ම ගිය අලුතම ගයාත්‍රි ආන්ටි අපේ ගෙදරට ආව. මං හිතන්නෙ ඒගොල්ලො ලීගලි මැරි කළේ ඊට කාලෙකට පස්සෙ.  මට දැනෙන්නෙ මං ඒගොල්ලොන්ට අයිති නැති…තනි වෙච්ච දූපතක් වගේ. හරියට…ලෝක සිතියමක නමක්වත් දීල නැති දූපතක් වගේ. කාටවත්…කොහේටවත් අයිති නැති…”

“එහෙම හිතන්නෙපා…”

තඹරු ඉක්මන් කොට කීවා ය. ඒ දූපත වෙන කොහේට නැත ද සිය හදවතට අයිතියි වාගේ ඇයට දැනිණි ද? ඒ දූපත සිය හදවතේ ම කොටසක් වාගේ ඇයට දැනිණි ද?

“ජීවිතේ හැම කෙනෙකුටම එක එක විදිහෙ වෙනස්කං කරනව. අඩුපාඩු කරනව. රිද්දනව. ඔයා ඔච්චර ආදරේ සංකේතයක් විදිහට දකින මගෙ අම්ම රිදිච්ච ගෑනියෙක් නෙවේ කියලද හිතන්නෙ…එහෙම නෑ. එයා කොච්චර ලස්සනද…මගෙ ලස්සන අම්ම. එයා කොච්චර ආදරණීයද…සමනල්…ලස්සන ගෑනු දැක්කහම පිරිමි පිට යනව කියල මිනිස්සු හිතං ඉන්නව. දිව්‍යාංගනාවක් වගේ ලස්සන…සුරංගනාවක් වගේ කරුණාවන්ත හිතක් තියන ගෑනියෙක් ගෙදර හිටියත් යන පිරිමි පිට යනව කියන එක දැං මං දන්නව. මගෙ අම්මටත් එහෙම වුණා. කවුරුම හරි ගෑනු කෙනෙක් නිසා ඉරණම මගෙ අම්මටත් රිද්දුව. ජීවිතේ එහෙමයි..ඔයා විතරක් රිදිච්ච බිඳිච්ච කෙනෙක් කියල හිතන්නෙපා. එහෙම නෑ. බලාගෙන යනකොට ඔයා..මං..අපේ මල්ලි..අම්ම…ඔයාගෙ තාත්ත…ඒ කවුරුත් එහෙමයි. සමහර විට ඔයාගෙ අම්මටත් කතාවක් ඇති. අපේ තාත්තටත් ඇති. අපි දේවල් කරද්දි ඒ නිසා අපේ අයට රිදෙයි කියල හිතන්නැති නිසයි මේ හැමදේම. ඒකනිසා මන්නං දැං හරි පරිස්සං. ඒ මං බය නිසා. අපිට රිදෙන තරමක් රිදෙන්නෙ බැඳීම් බිඳුනහම. අපි බැඳුණ අය අපෙං බිඳුනහම. ඒත්…අපි කවුරුත් කවද කොහොමහරි බිඳුණු මිනිස්සු සමනල්…ආයෙ ආයෙත් බිඳෙන්න නියමිත මිනිස්සු. ඒත් ඒ තුවාල කැළැල් එක්කම අපිට අනාගතේට යන්න වෙනව”

මහා දුකක් ඔවුන් ගේ හදවත් අතරේ සංසරණය වෙමින් තිබිණ. තඹරු ගේ මව් පියන් ගැන ඒ යටගිය පුවත සමනල් තැතිගැන්වී ය. මිනිසුන් උපදින්නේ ම බිඳෙමින් ජීවත් වන්නට ය යන අවබෝධය දරුණු ලෙස ඔහු පෑරී ය.

මානසික උපදේශන මධ්‍යස්ථානය තුළ ද සිදු වෙමින් පැවතියේ බිඳුණු හදවත් ගැන කතාවකි. දිවාකර වසර ගණනාවකට පස්සේ එක දිගට දොඩමළු වෙමින් සිටියේ ය. උපදේශකවරයා, දිවාකර එතෙක් ගල් කොට ගෙන උන් හිත දිය වී යන්නට තරමට සිය දෑස් විශ්වාසය නමැති හිරු මඬලක් බවට පත් වන්නට හැර තිබිණි.

“නෑ. මායි උදාරියි අතරෙ කවදාවත් එහෙම සම්බන්ධයක් තිබුණෙ නෑ. කවදාවත් අපි එහෙම හැඟීමකින් ආදරේ කරලත් නෑ”

උපදේශකයා දිවාකර විනිවිද දකිමින් අසුනේ වඩාත් හරිබරි ගැසුණේ ය. ඔහු විශ්වාසයෙන් සිටියේ ඔවුන් දෙදෙනා අතරේ එවන් සම්බන්ධයක් ඇති වීමට විශාල සම්භාවිතාවයක් ඇති බවට ය.

“දිවාකර විශ්වාසයෙන් ද කියන්නෙ එහෙම සම්බන්ධයක් නෑ කියල…”

“සීයට දෙසීයක් විශ්වාසයෙන්. ඒත් රන්මුතු කවදාවත් ඒක පිළිගත්තෙ නෑ. මං එයාට දොස් කියන්නෑ…එහෙම වෙන්න එයාගෙ පැත්තෙන් හේතු තියෙන්න ඇති. මට එයාගෙන් හුඟක් දේවල් හංගන්න වුණා උදාරි නිසා. එහෙම සම්බන්දයක් නැති වුණත් මායි උදාරියි ඒ වෙනකොට හුඟක් ක්ලෝස් වෙලා හිටිය. එයා මාව විශ්වාස කරල ගොඩක් දේවල් කිව්ව. කොයි වෙලේහරි ඩිලන් එයාගෙ ජීවිතේට අනතුරක් කරයි කියන බයෙන් එයා හිටියෙ. මං උදාරිට උදව් කළා ලංකාවෙන් වෙන රටකට පැනල ගිහින් බේරෙන්න. ඒත් එයා ඒ චාන්ස් එක ගත්තෙ නෑ එයාගෙ පුතාව දාල යන්න බෑ කියල. තාත්ත විදිහට ඩිලන් සයින් කරන්නැතුව පුතාව ලංකාවෙන් ගෙනියන්න උදාරිට පුළුවන් වුණෙ නෑ. මං එයාට කිව්වෙ එයාගෙ ජීවිතේ බේරගෙන ගිහින් පස්සෙ පුතාට වයස සම්පූර්ණ වුණාම ගෙන්නගන්න කියලයි. ඒත් එයත් අම්ම කෙනෙක්නෙ. දරුව දාල යන්න හිත හදාගන්න එයාට බැරි වුණා”

“ඉතිං එතකොට…”

මේ සායනයට නිරන්තර විවිධ තරාතිරමෙහි පාරිභෝගිකයෝ පැමිණෙති. ඒ හැම කෙනෙකුට ම කතාවක් තිබේ. නමුත් මේ තරම් උනන්දුවක් ඒ කතා දැනගන්නට උපදේශකයා තුළ ඇති වී නොමැති තරමි. ඒ හැම කතාවකට ම වඩා මේ වෙනස් කතාවකි.

“එක පාරටම උදාරි අතුරුදන් වුණා. ඩිලන් ප්‍රචාරය කළේ උදාරි දරුවවත් දාල ගෙදරින් ගිහින් කියලයි. ඒ කාලෙ පොලීසි වලිනුත් උදාරිව හෙව්ව. හැබැයි කිසිම තොරතුරක් හොයාගත්තෙ නෑ. මං ඩිලන් හම්බවෙන්න ගිහින් කිව්ව මට උදාරි ඉන්න තැනක් කියන්න කියල. එයාගෙන් ඩිලන්ගෙ කිසිම දේකට බාධාවක් වෙන්නෙ නෑ මට එයා ඉන්න තැනක් කියන්න කියල බැගෑපත් වුණා. ඒ ගමන ඩිලන් කළේ උදාරියි මායි අතරෙ සම්බන්දයක් තියනව කියල ප්‍රචාරය කරපු එක. කොහොමත් මිනිහ දැනගෙන ඉඳල තියනව අපි අතරේ ක්ලෝස් ෆ්‍රෙන්ඩ්ශිප් එකක් තිබුණ කියල. අපි එක එක තැන් වල හම්බ වෙලා කතා කරපු පින්තූර සෑහෙන තොගයක් රන්මුතු ට යවල තිබුණා. මං කොච්චර උත්සාහ කළත් රන්මුතුට ඒත්තු ගන්නන්න එහෙම දෙයක් තිබුණෙ නෑ කියල…එයා පිළිගත්තෙ නෑ. එතනදි තමයි මං ජීවිතෙන් පරාද වුණේ. මුල ඉඳල උදාරි ගැන නොකියා හිටියෙ ඒකෙන් එයාගෙ පෞද්ගලිකත්වයට හානියක් වෙයි කියල හිතුව නිසා. අන්තිමට උදාරි ආ ගිය අතක් නැති වුණා. මගෙ වයිෆ්ට මං වැරදිකාරයෙක් වුණා. ඒ අතරෙ මට මේ ඇක්සිඩන්ට් එක වෙලා මැරිල ගොඩ ආව. බිස්නස් වළපල්ලට ගියා.  අදටත් මට රන්මුතුගෙ මූණ බලන්න බෑ. එයා හිතන් ඉන්නෙ හැම දේම වුනේ මං උදාරි එක්ක රහස් සම්බන්දයක් තියාගත්ත නිසා කියල. බිස්නස් වැටෙන්න හේතුවත් මං වෙන ගෑනු ආශ්‍රය කරපු එක කියලයි එයා හිතන්නෙ. එතකොට මං කොහොමද දරාගන්නෙ…උදාරි ගැන නොකියා හිටපු එක ඇරෙන්න මං එයාටවත් මගෙ දරුවන්ටවත් වරදක් කරල නෑ. භූමිකම්පාවකදි ඇස් පනාපිට බිල්ඩින් එකක් පොළොවට කඩං වැටිල සමතලා වෙනව වගේ එක පාරටම බිස්නස් එකට මොකද වුණේ කියල අදත් මට හිතාගන්න බෑ. උදාරි වගේම ඒකත් විසඳගන්න බැරිවුණ අබිරහසක්”

කතාව නතර කළ දිවාකර වතුර බෝතලය මුව තබාගෙන බීගෙන බීගෙන ගියේ ය. මහා බරක් හිස මතින් බිම තැබුවා වන් සැහැල්ලුවක් ඔහු ට දැනේ. මීට පෙර හිතේ තිබුණ මේ කිසිත් කවුරුන් හෝ ඉදිරියෙහි පවසා හිත සැහැල්ලු කර ගැනීමේ අවස්ථාව ඔහු ට ලැබී නැත්තේ ය. අඩු තරමින් රන්මුතුවත් ඔහු ට සවන් දීමට උත්සාහ කොට නැත. ජීවිතයෙහි නො සිටි ගැහැනියක ඉස්සරහාට දමමින් ඔහු ගෙන් ඈත් වූවා මිස සමීප වී ඔහු තේරුම් ගැනීමට උත්සාහ කොට නැත.

“මේ හැම දේම හිතේ හිර කරගෙන ජීවිතේ කාමරේක බිත්ති හතරට සීමාවෙනව කියන එක ලේසි දෙයක් නෙවෙයි. දරාගන්න ම අමාරු මගෙ දරුවොයි වයිෆුයි ඉස්සරහ මං වැරදිකාරයෙක් වෙලා හිටපු එක. දැනුවත්ව එයාලට කිසිම වරදක් නොකර. ජීවිතෙත් අදින් කෙළවර වෙයි හෙටින් කෙළවර වෙයි කියල හිතුවට එහෙම නොවී ඇදි ඇදි යනකොට…මං හරි ඒක කෙළවරක් කරගන්න ඕනෙ කියල හිතන එක හිතෙන එක වරදක්ද…දරුණු වරදක් කරපු මිනිහෙක්ගෙන් වුණත් උසාවිය අහනව වැරදිකාරයද නිවැරදිකාරයද කියල…ඒත් මං එහෙම අහන්නෙත් නැතුව වැරදිකාරයෙක් විදිහට ජීවිතාන්තෙතටම හිරේට නියම වුණ මිනිහෙක්. මට ආයෙ සැනසීමක් ලැබෙන්නෙ දිග නින්දකින් විතරයි. ඒ මරණය කියන නින්ද”

උපදේශකවරයා සුසුමක් ද සමගින් හරිබරි ගැහී දිවාකර වෙතට නැඹුරු වූයේ ය.

“දිවාකර හිතන විදිහට ආයෙ හැමදේම නිවැරදි කරගන්න හොඳම තැන මොකද්ද…”

“එහෙම තැනක් නෑ. ආයෙ නිවැරදි කාරයෙක් වෙන්න මහන්සියක් දරන්න මට ඕනෙ නෑ. මෙහෙම මැරිල යන එක ඊට වැඩිය පහසුයි”

“දිවාකර… අපි කවුරුත් දවසක ඒ ගමන යනව. හැබැයි ඒක ඉබේටම වෙනකල් මිනිස්සුන්ට ජීවත් වෙන්න උදව් කරන එකයි අපේ රාජකාරිය. වැරදිකාරයෙක් විදිහට මැරිල යනවට වැඩිය නිවැරදිකාරයෙක් විදිහට ජීවත් වෙන එක පහසුයි. දිවාකර ඇත්තටම කාටවත් වරදක් කරල නෑ. උදාරිට වුණත් උදව් කරන්න හැදුව මිසක්…”

දිවාකර ගේ මුහුණට කල්ප කාලයකට පසු සිනහ රැල්ලක් ආවේ ය. ඒ අව්‍යාජ සිනහ රැල්ලකි. ඔහුව පිළිගත් එක ම එක මිනිසෙකු වෙනුවෙන් හදවතේ උපන් සිනහවකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles