මතක දිගහැරුම 77 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හත්වන දිගහැරුම ,

නවාතැන් ගැනීම සඳහා අප තෝරා ගත්තේ කබානා එකක් වැනි නිවසක් වන අතර බොහෝ අවස්ථාවන්වල දී අප නවාතැන් ගැනීමට තෝරා ගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවාතැන් ගෙන සිටි ස්ථානයන්ට ආසන්නවය.හෂාන් අප වෙනුවෙන් ඒ සියල්ල සූදානම් කර තිබුණේ ය.එවැනි ස්ථානවල නවාතැන් ගත් විට අප , අප විසින්ම ආහාර සකස් කර ගත්තෙමු.එම ආහාර රස විඳීම පිණිස ක්‍රිකට් කණ්ඩායමේ සියලු දෙනාම ද පැමිණියහ.

අර්ජුන රණතුංගගේ හිතවත් පවුලක් වූ ” කාන්ති අක්කා ” ගේ නිවසේද අප දින කිහිපයක් නවාතැන් ගත්තේ ජොහැන්නස්බර්ග් නගරයට ගිය අවස්ථාවේදීය.ඔවුන් එම නගරයේ විවිධ ස්ථාන නැරඹීම සඳහා අපව කැටුව ගිය අතර ඔවුන්ගේ නිවසේ සිට අප සියලු දෙනාම ඉතාම විනෝදයෙන් කල් ගෙවූයෙමු.කේප් ටවුන් වෙත ගිය අප නෙල්සන් මැන්ඩෙලාව සිරගත කර තැබූ ස්ථානය නැරඹීමට ගියෙමු.අපගේ දරුවන් හට එවැනි ස්ථාන නැරඹීමට අවස්ථාව හිමිවීම ඔවුන්ගේ ජීවිතයට ලද එක්තරා හොඳ ආකාරයේ අත්දැකීමක් ලෙස කිව හැකිය.ඒ දිනවල ඒ පිළිබඳව එතරම් තේරුමක් ඔවුන්හට නොතිබුණද වර්තමානයේ දී ඔවුන් එම ඡායාරූප නරඹමින් ඒ අවස්ථාවන් පිළිබඳව කතා බහ කරති.

තරග පැවැත්වෙන දින අතර දින දෙක තුනක පරතරයක් තිබෙන නිසා ඒ දිනයන් අප විවිධ ස්ථාන නැරඹීමට යොදා ගත්තෙමු. එවැනි දිනයක අප ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලන Cape of good hope නම් ස්ථානය නැරඹීමටද ගියෙමු.අත්ලාන්තික් සාගරය සහ ඉන්දියන් සාගරය එකට එකතු වන ස්ථානය එසේ හඳුන්වන ලබන අතර එම ස්ථානයේ මුහුදු වතුර වර්ණ දෙකකින් සමන්විතය.

ඉන්පසුව අප එක රැයක් ගත කිරීම සඳහා Pilanesberg national park වෙත ගියෙමු.එහිදී මා සුන්දර අත්දැකීම් රැසක් ලබා ගත්තා සේම විශාල දැනුම් සම්භාරයක් ද ලබා ගත්තෙමි.හෂාන් සහ මම සතුන්ට ඉතා ආදරය කරන අය වන නිසා ලංකාවේ සිටින විට, හැකි සෑම අවස්ථාවකම යාල වනෝද්‍යානය නැරඹීම සඳහා යාම පුරුද්දක් කරගෙන සිටිමු.ඇතැම් අවස්ථාවල අළුයම් කාලයේදී විල්පත්තුව වනෝද්‍යානය වෙත යන අප ආපසු පැමිණෙන්නේ රෑ බෝ වී ය.සතුන් නැරඹීමට මම මෙන්ම හෂාන්ද ඇබ්බැහි වී සිටින අතර එම පුරුද්ද අපගේ මනස සුවපත් කිරීමට සමත් ය.

Pilanesberg national park වෙත ගිය අප නවාතැන් ගැනීම සඳහා ඒ තුළ වූ නවාතැනක් වෙන් කර ගත්තෙමු.එම ගමන නිසා මා Wild life පිලිබදව බොහෝ දේ ඉගෙන ගත්තෙමි.ලංකාවේ ජාතික උද්‍යාන වල ඇතැම් අවස්ථාවලදී වන සත්වයන් ඉදිරියට පැමිණෙන විට ඔවුන්ව නැරඹීම සඳහා මිනිසුන් ඔවුන්ට ඉතා හිරිහැරයක් වන සේ හැසිරෙති.නමුත් Pilanesberg national park එක තුලදී සෆාරි වාහනය ධාවනය කරන රියදුරු වාහනය ධාවනය කළ යුතු ආකාරය,උද්‍යානය තුළ දී හැසිරිය යුතු ආකාරය සහ අනුගමනය කළ යුතු නීතිරීති ආදී සියල්ලම මා අධ්‍යයනය කලෙමි.සෆාරි වාහනයේ රියදුරු ඔවුන්ට නියමිත නිල ඇඳුමකින් සැරසී සිටින අතර ඔහු සතුව වනජීවී මාර්ගෝපදේශනය කිරීමට සහ සංචාරකයන් දැනුවත් කිරීමට අවශ්‍ය දැනුමෙන් පෝෂණය වූ සුදුස්සෙකු යැයි සහතික වීමට සහතිකයක් පවා ඇත.ජීප් රථයේ ඉදිරිපස තුවක්කුවක් සහ වෝකිටෝකි උපකරණයක් ඇත.උද්‍යානයට ඇතුළු වීමට පෙර රථයේ රියදුරු විසින් උද්‍යානය තුළ දී අප හැසිරිය යුතු ආකාරය ,අප කතාබහ කළයුතු ආකාරය අපව දැනුවත් කරයි.අප ඉතා හෙමින් කතාබහ කළ යුතු බවත් , වන සතුන් දුටු විට කලබල නොවී සිටිය යුතු බවත් සහ අප කළ යුතු අනෙක් දේවල් සියල්ල පිළිබඳව ඔහු විස්තරාත්මකව අපට පවසයි.

අමතක කල නොහැකි තවත් අත්දැකීමක් ලෙස අප රාත්‍රියේදී යෙදුන සෆාරී ගමන කිව හැකිය.රාත්‍රී කාලයේ දී සෆාරි ගමන්වල යෙදෙන සංචාරකයන්ට ද ඔවුන් විසින් විශේෂ උපදෙස් ලබා දෙයි.සතුන් දුටු විට කලබල නොවීම මෙන්ම ඡායාරූප ගන්නා ආකාරය පිළිබඳව ද ඔවුන් අපව දැනුවත් කරයි.උද්‍යානය නැරඹීම සඳහා එක් වරකට එයට ඇතුළු කළ හැකි වන්නේ සීමිත වාහන සංඛ්‍යාවක් පමණි.උද්‍යානයේ පාලක මණ්ඩලය එම තීරණය ගෙන ඇත්තේ උද්‍යානයේ ජීවත්වන වන සතුන්ට කරදර සහ හිරිහැර නොවීම වෙනුවෙනි.උද්‍යානය තුළ ගමන් කරන සීමිත වාහන සංඛ්‍යාවේ සෑම රියදුරෙක් ම වෝකිටෝකි යන්ත්‍රය හරහා එකිනෙකා සමග සම්බන්ධ වී සිටිති.උද්‍යානය තුළ දී හදිසි අවස්ථාවකට මුහුණ දීමට සිදුවුවහොත් හෝ වෙනත් අවශ්‍යතා වෙනුවෙන් ඔවුන් එකිනෙකා හා එලෙස සන්නිවේදනය කරයි. ඔවුන්ගේ එම වැඩපිළිවෙළ නිසා සංචාරකයන් වන අපට ද කිසිදු බියකින් තොරව ඉතා විශ්වාසයෙන් යුතුව ගමනෙහි යෙදෙමින් විනෝද වීමට හැකියාව ලැබේ.

උද්‍යානය තුළ යම් ස්ථානයකදී විශේෂ සත්වයෙක් දුටුවහොත් වාහනයෙහි රියදුරු විසින් අනෙක් වාහන වල රියදුරන්ට ද ඒ බව දැනුම් දෙන අතර එවිට එම සත්වයාට හිරිහැරයක් නොවන ලෙස සංචාරකයන් කැඳවාගෙන ඒමට අනෙක් රියදුරන්ට ද අවස්ථාව හිමිවේ.උද්‍යානය තුළ වාහන ගමන් කළ යුතු වේග සීමාවක් තිබෙන අතර කිසිම රියදුරකු එම වේග සීමාව පසු කරමින් ගමන් කරන්නේ නැත. විනයානුකූලව සහ නීති ගරුකව ඔවුන් සංචාරකයන් සමඟ උද්‍යානය තුළ ගමන් කරන ආකාරය ඉතා ප්‍රශංසනීයය.

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles