කෑම පෙට්ටිය

“අම්මා මේ,”

පාසැල් ගොස් මහන්සියෙන් මුත් සිනහසෙමින් පැමිණෙන දෝණි සුපුරුදු පරිදි කෑම පෙට්ටිය මට දිගු කරන්නේ මා ඒ ගැන ඇසීමට පෙරය.වෙනදා එම කාර්‍යය සිදු වන්නේ කිහිප වරක් මතක් කිරීමෙන් පසු මගෙන් බැනුමක් ද අසා ගනිමින් මුත් පසුගිය සතියේ සිට එය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත.වෙනදා ගෙන යන ආහාර වලින් හරි අඩක් ඉතිරි කරගෙන එන ඇයට කියන්නට කිනම් හෝ සාධාරණ හේතුවක් තිබේ.

“අනේ අම්මා අද හන්සි අසනීප වුණා.ඉතින් බාගෙට කාලා මම එයාව එක්කගෙන සික් රූම් එකට ගියා.”

“අද ඉන්ටවල් එකේ මට ටීච වැඩක් දුන්නනෙ.”

“අම්මා,අද නම් කෑම රස මදි ටිකක්”

“අද අපිට ඉන්ටවල් දුන්නෙ නැහැනෙ අම්මා”

කෑම ඉතිරි කරගෙන එන ඇයට ඒ සඳහා නිදහසට කරුණු එමට තිබෙන අතර රැවුමකින් හෝ බැනුමකින් ඇයට සංග්‍රහ කිරීමට මම පුරුදු වී සිටිමි.එහෙත් සිත තුළ ඇත්තේ ඇය ආහාර නොගැනීම ගැන,ඇයගේ පෝෂණ ඌනතාවන් ගැන බියකි.

ඉතින් යූ ටියුබ් චැනල පීරමින් මම ඇයට රුචි වනු ඇතැයි අනුමාන කරන විවිධ කෑම සාදා දීමට මම මහන්සි වන්නේ ගිය සතියේ සිට වන අතර එම කාර්‍යය සාර්ථක බවට සම්පූර්ණයෙන්ම හිස් කරගෙන පැමිණෙන ඇයගේ කෑම පෙට්ටිය සාක්ෂි දරයි.

“අම්මා,හෙට කැකුළු බත්,සම්බෝල,මැල්ලුම් එක්ක බිත්තර දෙකක්ම දාන්න.”

කවදාවත් මැල්ලුම් නොකන,බිත්තර බාගෙකට වඩා කෑමට අකමැති ඇයගෙන් එන ඉල්ලීම මට පුදුමයකි.

“ඔයාට ඉස්කෝලෙ ආහාර වල ගුණ ගැන පාඩමක්වත් කළාද?”

ඇය කිසියම් රහසක් සහිත සිනහවක් සමග එසේ නොමැති බවට හිස සොලවයි.

“අම්මා,ඔයාට පුළුවන් නම් විතරක් ඔය කෑම ලන්ච් බොක්සස් දෙකකට දාන්න.මට උදේ ගිහිල්ලයි,ඉන්ටවල් එකටයි එතකොට කන්න පුළුවන්.”

මම කිසිවක් සිතා ගත නොහැකිව ඇය දෙස බලද්දී දෑස මා වෙතින් සඟවා ගනිමින් ඇය ඉවතට ගොස් හමාරය.ඒ සමගම මට සිහිපත් වන්නේ හිස්  කෑම පෙට්ටිය මා වෙතට දිගු කරන සෑම මොහොතකම කිසියම් රහසක් ඒ දෑස පිටුපස තිබෙන බව මට හැඟෙන්නේ නොවේද යන්නයි.නමුත් මේ ගැන ඇයට නොදැනෙන්න විපරම් කලයුතු වන්නේ මවෙතින් සඟවන කිසිවක් ඇති නිසාවෙන් සහ එය මා දැන ගන්නවාට ඇය අකමැති නිසාවෙනි.

සවස කෙටි නින්දක ඇයව ගිල්වා,ඇයගේ රැකවරණය මගේ මවට පවරා මම ඇයගේ හොඳම මිතුරියගේ නිවසට අහම්බයකින් පැමිණි බවක් හඟවමින් යමි.කිසියම් තොරතුරක් ඇයගෙන් ලැබෙනු ඇත.ඇගේ හොඳම මිතුරිය සිය මව සමග උද්දාමයෙන් යුතුව මා පිළිගනී.

“ආන්ටි,මල්මි ආවෙ නැද්ද?”

“නැහැ,සේයා,මම වෙන වැඩකට ගිය ගමන් මේ ආවෙ.එයා එක්ක මම එන්නම්කො වෙන දවසක”

“දැන් මල්මිට අපිව මතක නැහැනෙ ආන්ටි.එයාට අලුත් යාළුවෙක් හම්බෙලා.අපි එක්ක සෙල්ලම් කරන්නවත් එන්නෙ නැහැ”

සේයා අමනාපයෙන් පවසයි.සේයාගේ මව මල්මිගේ පාසලේ ගුරුවරියක් වන අතර වැඩිපුර යමක් දන්නා ඇය සිනාසෙමින් කතා කරයි.

“අනේ රේණු,මල්මි නම් හරිම ලව්ලි ගර්ල් කෙනෙක්.මෙයාලගෙ පංතියට ඇවිත් ඉන්නවා අන්ධ දරුවෙක්.ලස්සන පොඩි කෙල්ලක්.එයා ක්ලාස් එකේ වාඩිවෙලා බ්‍රේල් වලින් ලියනවා.මල්මි එයාට එක්ක හැමදාම කෑම ගේනවා විතරක් නෙවෙයි කවනවත්.යාළුවට කටයි,මල්මිට කටයි.අම්ම කෙනෙක් වගේ අර ළමයව බලා ගන්නව.මෙයාල ඒ නිසා තරහයි.මම හිතන්නෙ නම් මල්මි කොච්චර හොඳ ළමයෙක්ද කියලා”

“ඒ වුනාට ආන්ටි,මල්මි අපි එක්ක සෙල්ලම් කරන්නෙවත් නැහැ.එයාට එයාගෙ අලුත් යාලුවා එක්ක කරන්න පුළුවන් සෙල්ලම් විතරයි කරන්නෙ.”

“අනේ පව්නෙ දූ,ඔයාල ඔක්කොම එකතු වෙලා ඒ අලුත් යාළුවටත් කරන්න පුළුවන් සෙල්ලම් ටිකක් හදන්න.අපි එහෙම අයට උදව් කරන්න වගේම බලාගන්නත් ඕනනෙ.ඒක අපේ යුතුකමක් නෙ”

ඔවුන් සමග කෙටි කතා බහකින් පසු පාරට බසින මම ඇයගේ රහස දැන ගත් බව ඇයට නොකියා සිටීමට සිතමි.ඇය පිළිබඳ සෙනෙහසින් හදවත දෝරේ ගලද්දී අසල කඩයට ගොඩවන මම ඉතාමත්ම අලංකාර ලන්ච් බොක්ස් දෙකක් පාට දෙකකින් මිලදී ගනිමි.මීට පසු ලන්ච් බොක්ස් දෙකක් ඇය වෙනුවෙන් මා අතින් පිළියෙල වනු ඇති.

“අනේ අම්මි,ඔයා අලුතින්ම ලන්ච් බොක්ස් දෙකක් ගෙනත්.තැන්ක්‍යූ”

මා කරවටා දෑත් යවන ඇය වෙනදාටත් වඩා ආදරයෙන් මා වැළද ගනී.මම ඒ කුඩා මුත් විසල් සිතක් ඇත්තිය සිප ගනිමි.

“අද ඉඳන් මම හැමදාම මගේ දූට ලන්ච් බොක්ස් දෙකක් දෙන්නම්කො.මගේ දූ කෑම කාලා ලොකු වෙන්නකෝ.”

සිනාසෙන ඇය,රහසක් සඟවන ඇයගේ සුන්දර දෙනයන සමග මා වෙතින් ඉවත් වෙයි.ඇයගේ රහස නොදන්නා ලෙස මම ඇයට සමු දෙමින් අත වනමි.හෙට මීටත් වඩා ප්‍රණීත ආහාර බඳුන් දෙකක් පිළියෙල කිරීම පිණිස රෙසිපියක් සොයන්නට මම පරිගණකය ක්‍රියාත්මක කරමි.

More Stories

Don't Miss



Latest Articles

නිබ්බුත ගීත -29

මේ ජීවිතයට මම අතිශය ආදරය කරමි. ජීවත් වූ මේ කෙටි කාලයට ජීවිත සිය ගණනක් ජීවත් වූවා සේ මට දැනේ. එය දුක ද...

සුහදිනි – 78

ජය ඝෝෂා නැඟෙමින් තිබුණේ පරාජය පිළි නොගන්නා රසිකයන්ගෙනි.හඹා යා යුතු ඉලක්කය දිගු දුර එකකි.එහෙත් එය නොහැකි ඉලක්කයක් ද නොවේ.අහස් තමන්ගේ ඉනිම ඇරඹුවේ...

(අ)හිමි සිහින -232

මිනිස්සුන්ට විවිධ අදහස් මති මතාන්තර තියෙන්න පුලුවන්.ඒ මිනිස්සු රූපයෙන් පමණක් නොවෙයි අධ්‍යාපනයෙන් ආධ්‍යාත්මයෙන් මනුෂ්‍යත්වයෙන් ධනයෙන් බලයෙන් යසසින් ආදරයෙන්, කරුණාවෙන් වගේ  සියලු දෙයින්...

නිබ්බුත ගීත -28

මා හිටියේ යහනේ වැතිර ගෙන ය. මගේ පාලනයකින් තොර ව එක දිගට කඳුළු ගලා යමින් තිබිණ. උපන් දා සිට සැපක් කියා දෙයක්...

සුහදිනි -77

අවසන් මහා තරගයක් කියන්නේ සෑම කෙනෙකුම බලාපොරොත්තු  දල්වා බලා සිටින දවසකට ය.රාජ්‍ය නායකයාගේ පටන් සාමාන්‍ය රට වැසියන් දක්වාම තරුණයන් එකොළොස් දෙනෙකු බලාපොරොත්තුවෙ...