තෙවන නෙත් සේයාව
කලණ සර් සමඟ සවස මාමාගේ නිවසට යන අතරමඟ තමා උන් උන්මාදය ගැන අයත්මාට දැනෙන්නේ ලැජ්ජාවකි. ඉතා පහසුවෙන් තමා කියවාගන්නා නැන්දා ඉදිරියේ කිසිඳු වෙනසක් නැතිව හැසිරීමට තමාට අමතර වෙහෙසක් දරන්නට සිදුවු වගද ඇයට මතකය.
“එහෙනම් කලණ සර් .. මෙහෙ අවුලක් නෑ නේද?..”
තමා විමසද්දී අලුත් ගුරුතුමාගේ දෙතොල් මතින් රූරා වැටුණු මන්දස්මිතය ගැන අයත්මාට ලෝබකමක් දැනෙයි. ඉන් පසුව තමා හා නිවස තෙක්ම ඇවිද විත්, නිවස අසලදී තමාට සමුදුන් අලුත් ගුරුතුමාට එහෙම ලෙහෙසියෙන් සමුදෙන්නට තමාට නොහැකිවා නේදැයි අයත්මා කල්පනා කලාය. මේ දින කිහිපයට ඔහු හදවත අල්ලාගෙන මුල් අදිමින් සිටින්නේය.
” අයත්මා ටීචර්… මම නවාතැනට ආවා.. බොහෝම ස්තූතියි උදව්ව්ට …. අයත්මා ටීචර්ගේ නැන්දා මට කෑම දෙන්නත් එකඟ වුනා.. උයාගෙන කනවට වඩා ඒක පහසුයි … මම හෙට ඉඳන් බයික් එකේ ඉස්කෝලේ යන්නේ .. මගේ බයික් එක ලැබුනා මෙහෙට …. අයත්මා ටීචර්ට අවුලක් නැත්නම් මම ගෙදර ලඟින් දාගෙන යන්නම් .. හෙල්මට් එකක් අරන් එන්න….”
අයත්මා යළි යළි ඒ පණිවිඩය කියෙව්වාය. මේ සිදුවන්නේ කුමක්දැයි ඇයඛරි හැටි විශ්වාස නැත. ඔහු මෙතරම් දයාබර වන්නේ කිනම් කාරණාවක් නිසාද..?
” අපේ මාමයි නැන්දයි හරි හොඳයි ..කලණ සර්ට අවුලක් නැතිව ඉන්න පුලුවන් ඔහේ…
මාව බයික් එකේ දාගෙන යන එක කලණ සර්ට කරදරයක් නේද..?”
ඕ පණිවිඩය යැව්වේ සැලෙන අතැඟිලි වලිනි. ජංගම දුරකතනයෙන් දෑස් මිදුනේ නැත.
” මං උස්සගෙන යන්නේ නෑනේ.. අනෙක බස් එක මිස් වුනාම ඉතින් කරදරේ නේ නේද?.ඔය පඩියෙන් වීල් වලට යන්න එන්න ගෙවුවාම ඉතින් හරියන්නේ නෑනේ ?.
නංගී අයියාටත් කියලාම ලෑස්ති වෙන්නකෝ…..”
පෙරළා ආ පණිවිඩයෙන් අයත්මාගේ හදවත ප්‍රීතියෙන් පිම්බී ගියේය. ඔහු හදාගත් නෑකම ගැන හිත උද්දාමයෙන් ඉතිරෙන්නේය. තමාගේ ප්‍රවාහන අපහසුතා ගැන නැන්දා පවසන්නට ඇත. ඒ පිළිබඳව ස්තූතිවන්ත වෙමින් අයත්මා කෙටි පණිවිඩයක් යැවුවාය. ඕ යළි පණිවිඩ වල උඩ යට යන්නට පටන් ගත්තා පමණි. මහ හඬින් ආ කැබ් රියක් මිදුලේ නැවතෙන හඬින් ඕ තිගැස්සුණාය. ඒ කවුරුන්දැයි සැනින් කල්පනාවට ආ නිසා අයත්මා යහනේම ගුලි වූවාය.
” නැන්දේ ..නැන්දේ … අන්න චත්‍ර මාමා ආවා…”
පස් වියැති නේජ කාමාරයට පැමිණ කෑ ගසන විටදීද ඕ නොසෙල්වී උන්නාය. එහෙත් අයියාගේ ආමන්ත්‍රණයට පිටුපාන්නට ඇයට හැකි වූයේ නැත. ඕ කොණ්ඩය දෑතින් සකසා ගත්තාය. යළි ජංගම දුරකතනය දෙස බැලුවාය. එය නිසොල්මන් ය. කාමරයෙන් පිටතට ආවාය.
” චූටි .. මෙන්න අපේ මන්ත්‍රීතුමාට ඔයාගෙන් උපදෙසක් ඕනිලු …”
අයත්මාගේ අයියා, අවිශ්ක සාලයේම හිඳගනිමින් කිවේය. චත්‍ර හැරෙන්නේ කොහේටදැයි අයත්මාගේ අයියාටද වැටහෙන්නේය. එහෙත් ඔහුගේ මිතුරුකම නිසා ඔහු එක්වරම ප්‍රතික්ශේප කරන්නට අවිශ්කට හැකියාවක් නැත. අයත්මා අවිශ්ක අසලින්ම හිඳ ගත්තේ වෙහෙසකාරී මුහුනක්ද මවා ගනිමිනි. අවිශ්ක තමාගේ හැසිරීම් ගැන අවධානයෙන් බව පෙනුණ නිසාම චත්‍ර ඉවසීමෙන් ඇය දෙසින් දෑස් ගලවා ගෙන උන්නේය.
” මොකද්ද මන්ත්‍රීතුමා?…”
අයත්මා චත්‍ර වෙත නොපහන් බැල්මක්ද පා කරමින්ම ඇසුවාය. එය අවිශ්කට එතරම් ගනනක් නොවූවද, චත්‍ර ට ඉතා දැඩි පහරක්ව වැදුණි. එහෙත් ඔහු කිසිවක් නොවූ ලෙසින් සිනාසී කතා කලේය. මෙවෙලෙහි ඉවසීම කෙතරම් වැදගත්දැයි කපිල මඟ දිගටම දුන් දේශනාව යළි හිස තුළ වාදනය වෙන්නට හැරියේය.
” මට ඕනි අයත්මා නංගී …. ඉස්කෝලේ ඉන්න ආර්ථික අපහසුතා තියෙන ළමයි සෙට් එකක් හොයාගන්න …. මගේ යාලුවෝ සෙට් එකක් එක්ක එකතු වෙලා ළමයි වෙනුවෙන් පොඩි ප්‍රොජෙක්ට් එකක් කරන්න බැලුවේ…..”
අයත්මා සිනාසුණාය, ඔහු මේ පැමිණ ඇත්තේ, ව්‍යාතිය සඳහා උපකාරයක් ගැනීමට නොවන බව පැහැදිළිය. එලෙස අදාල උපකාරයක් ගැනීමට නම් සිහිනි ඔහුගේ නිවසේම සිටින්නේය.
“ඉතින් බං.. උබ මේ තකහනියේ මෙහෙ ආවේ, එහෙ සිහිනි නංගී ඉන්නවනේ…?”
අවිශ්ක අයත්මාට ඉස්සර වූයේය. චත්‍රට දැනුනේ තමා යොමු කර පන්දුවකට අවිශ්ක දැවැන්ත හයේ පහරක් එල්ල කල බවය. එහෙත් ඒ වග සඟවමින්, ආයාස හිනාවක් මවා ගන්නට චත්‍රට අපහසු වූයේ නැත.
” ඒකි හිටියට එහෙම දේකට සපෝර්ට් එකක් දෙන්නේ නෑ බං.. දැන් මම ඕක හොයලා දෙන්න කියලා සති දෙකකට වැඩි …”
අවිශ්කට එයට කිසිත් කියන්නට ඉඩ නොදී කුඩා නේජ ඔහුගේ උකුලට පැන්නේය. ඉන් පසුව චත්‍රගේ කතාබහ කෙලින්ම යොමු වූයේ අයත්මා දෙසටය.
” වැඩේ කරලා දෙනවද?…”
“අවුලක් නෑ .. මම ප්‍රින්සිපල් සර් එක්ක කතා කරලා සෙට් කරගන්නම්..අනෙක් හැම ළමයෙක්ම වගෙ සම්බන්ධ කරගන්නත් පුළුවන් ඕකට….”
චත්‍ර අයත්මා දෙස බැලුවේය. ඇගේ වත පුරා යම් වර්ණයක් ඉසී ඇති වග පෙනෙයි. අද උදෑසන ඇය මුණ ගැහෙද්දී මේ වර්ණය ඇය මත නොවූ වග චත්‍රට විශ්වාසය. එසේනම් මේ සිනහවට හේතුව අලුත් ගුරුතුමාද?.. චත්‍රගේ අභ්‍යන්තර දැවීම ඉතා දැඩිව දැනෙන්නට විය. තමා කෙරෙහි වන හීන මානයක් ඉතා තදින් චත්‍ර වටා කැරකුණේය. එක් වරම කොහිදෝ සිට පැමිණි අයෙකු තමා මෙතරම් කල් රැකගත් රෝසමල නෙලා ගන්නට සූදානම් වන්නේය යන හැඟීමේ වෙහෙස චත්‍ර විනාඩි කිහිපයකට සිහියෙන් එපිටට ඇද දැම්ම්මෙය.
” මං හෙට අනිද්දාටම සිහිනි අතේ පණිවිඩයක් එවන්නම්කෝ එහෙනම් හොඳේ … මම පොඩි වැඩක හිටියේ මන්ත්‍රිතුමා … එහෙනම් තේ එකක් එහෙම බීලා යන්නකෝ හොඳේ ..:
එහෙමම කුස්සියට ගොස් නිමලා අම්මාට තේකක් සකසා ගෙනියන්නටද පවසමින්ම අයත්මා කාමරය තුලට වූවාය.
” මේ යකාගෙන් නම් පුදුම වදයක් තියෙන්නේ…. එකත් එකටම සිහිනි ගිහින් කනේ තියන්න ඇති කලණ සර් මාමලාගේ ගෙදර නැවතුන කතාව. දැන් ඒකේ ඕපාදූපේ හොයාගෙන යන්න තමා ඔය එන්න ඇත්තේ…. තව ටිකක් බලලා අයියාට කියන්න වෙනවා මඟදීත් මුණ ගැහෙන්න හදනවා හරි කරදරයක් කියලා….. කැමති නෑ කියලා අඟවලා තියෙද්දීත් ආයේ ආයෙම මෙහෙම පස්සෙන් එන්නේ මූ නම් සංසාර ණය කාරයෙක්ද කොහෙද? … දේශපාලනය කරන කෙනෙක්ට කැමති නෑ කියලා චත්‍රගේ යාලුවා චත්‍ර ගැන මගෙන් අහපු වෙලාවේම කිව්වේ හොඳ වෙලාවට .. එහෙම නොවුනා නම් මේ තරමින්වත් බේරෙන්න වෙන්නේ නෑ….”
අයත්මා තනිවම සිතුවාය.
අතුකෝරල මහතා චත්‍ර පිළිබඳව උන්නේ කලකිරීමෙනි. ඔහු තම බිරිඳටද ඒ බව පැවසුවේ හිත් වේදනාව මදක් හෝ අඩු කරගන්නට සිතමිනි. තමා අවසන් කල ගෞරවණීය දේශපාලනය චත්‍රගෙන් ඉටු නොවන බව තමාට සිතෙන වග ඔහු කීවේය. ගෙවුණ වසර දෙකක කාලය තුළ මන්ත්‍රීකම විකුනමින් ඔහු විසින් සිදු කෙරූ නීතියට පටහැනි බලපුලුවන්කාරකම් සියල්ල ඉවසා සිටියේ තරුණ වයසට අත්දැකීම් අවැසි බව සිතමිනි. එහෙත් දැන් දැන් තමාගේ ඒ තීරණය වැරදි වග අතුකෝරල මහතාට දැනෙයි.
” මේ යකා දිගටම හැසිරෙන්නේ මෙහෙම නම් පාර්ලිමන්ට් ඉලෙක්ශන් එකේ නොමිනේශන් ගැන දිස්ත්‍රික් නායකතුමා ආයෙම වතාවක් හිතලා බලාවි සන්ධ්‍යා .. එහෙම වුනොත් මම වුනත්, ඒ තීරණ වලට බලපෑම් කරන්න යන්නේ නෑ .. ඔයා අන්න ඒක ඔය පුතණ්ඩියට පැහැදිලි කරලා කියන්න …”
” අනේ මට තේරෙන්නේ නෑ අපේ මහත්තයා … දැනුත් ඔය පස්ස කඩාගෙන දිව්වේ යන්නේ කොහෙදවත් නොකියා…. මේ ළමයා දැන් මේ ලෝකේ සිහියක නෙවෙයි ඉන්නේ…”
” ඒ කතන්දර අපිට මිනිස්සු ඉස්සරහ කියන්න බෑ සන්ධ්‍යා … ඒ නිසා චත්‍ර මේ ගමන යන විදිය වෙනස් කරන්නේ නැත්නම්, එයාට ඔය ගමන ඔතනින් නවත්තලා දාන්න කියන එක තමයි හොඳම … ලොකු අයියායි මමයි කාගෙන්වත් වචනයක් නාහා අපේ රාජකාරි ඉවර කලේ … ඒත් මේ පුතණ්ඩියා ඒ ඔක්කොම විනාස කරනවා…”
චත්‍ර නිවෙසට පැමිණියේ රාත්‍රී සමාජ ශාලාවක පැය කිහිපයක් ගෙවා දමමිනි. ඒ පැමිණෙන තුරුම සන්ධ්‍යා උන්නේ නිදි නැතිවය. කතා කරන්නට උත්සාහ කලද, චත්‍ර නොනැවතී කාමරයට ගොස් මහ හඬින් දොර වසා දැම්මේය.
” මැඩම් කලබල වෙන්න එපා… පොඩි සර් හිතේ අමාරුවෙන් ඉන්නේ අර ගෑණූ ළමයා ගන… ඕක ඇරිලා යාවි …”
කපිල සන්ධ්‍යා වෙත විත් එලෙස පවසා යතුරු පුවරුවේ යතුර එල්ලා සිය කාමරය වෙත යන්නට පිටතට ගියේය.
” කුමාරයෙක් වගේ ඉඳගෙන කුමාරිකාවක් බැඳගන්න පුලුවන්කම තියාගෙන අර රොඩී කෙල්ලෙක් පස්සෙන් වැටුනානේ …. මං හිතුවේ ඒ නාඩගම නවත්තලා කියලා.. මහත්තයා කියන්නාහේ මේ ඔක්කොම නවත්තලා මූ බාල මල්ලි ළඟට එංගලන්තෙට යැව්වා නම් අහවරයි …
මං මූට කී පාරක් නම් කීවාද, ඒකිගේ සීයලා ආච්චිලා ඉස්සර අපේ වලවුවල රෙහි හෝදන්න ආව උන් කියලා … මොළයක් තියෙනවානේ කල්පනා කරලා බලන්න …..”
සන්ධ්‍යා කාමරයට යන්නට හැරුනේ එලෙස මුමුනමිණි.
|අපේක්ෂා ගුණරත්න |