මිතුරුකමෙන් පටන් අරන් විවාහයෙන් කෙළවර වූ විද්‍යා බාලන්ගේ කතාව

විද්‍යා බාලන් ඉන්දීය සිනමාවේ දීප්තිමත් තාරකාවක්. මොනතරම් නවක නිළියන් පැමිණියත් විද්‍යා ඇති කළ දීප්තිය මැකී යන්නේ නැහැ.  ඇගේ ආදර කතාවත් බොලිවුඩ් චිත්‍රපටියක් තරමට සුන්දර එකක්. ප්‍රේමය ඇති වෙන්නේ කොහොමද වගේම රැක ගන්නේ කොහොමදැයි කියන්නට විද්‍යාගේ ආදර කතාව අපූරු නිදර්ශනයක්.

විද්‍යා බාලන් සහ සිද්ධාර්ත් රෝයි කපූර් මුලින්ම ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළකදී මුණ ගැසී තිබෙනවා. පසුව ඔවුන් අතර යමක් සිදු වෙන බව දුටු කරන් ජොහාර් ඔවුන් වෙනුවෙන් මල්සරා වන්නට තීරණය කර තිබුණා.කරන් ඔවුන් දෙදෙනාගේම පොදු මිතුරෙක්. ඔහු ඔවුන් දෙදෙනා අතර හමුවීමක් සංවිධානය කරන්නේ ඇති වෙමින් පවතින ගිනි පුපුර ගින්දරක් කිරීමේ අපූරු අදහස ඇතිවයි. එම පළමු හමුවීමේදී  ඔවුන් හොඳ මිතුරන් බවට පත් වූ අතර එය ඔවුන්ගේ ආදර කතාවේ ආරම්භය සනිටුහන් කළා.

විද්‍යා කැමරාව ඉස්සරහ වැඩ කරනකොට සිද්ධාර්ත් කැමරාවට පිටුපස සිට වැඩ කරන්නට වුණා. කෙසේ වෙතත්, ඔවුන් එක් පොදු දෙයක් බෙදාහදා ගත්තා. ඒ චිත්‍රපට සඳහා ඔවුන්ගේ ආදරයයි. මුලදී, මෙම යුවළ ඔවුන්ගේ සම්බන්ධතාවය මාධ්‍යයෙන් ඈත් කර තබන්නට කටයුතු කළා.වැඩි කල් නොගොස් ඔවුන්ගේ පෙම් සබඳතාව පිළිබඳ කටකතා පැතිරෙන්නට පටන් ගත්තා. මුලදී, ඔවුන් දෙදෙනාම  ප්‍රේම සම්බන්ධයක් ඇති බව ප්‍රතික්ෂේප කර තිබුණා.ඔවුන් දෙදෙනා ගෝවේ බාගා වෙරළ තීරයේදී මුණ ගැසීමක් මාධ්‍ය මඟින් පුවත් මවන්නට පටන් ගෙන තිබුණා.

2012 වසරේදී සිද්ධාර්ත් රෝයි කපූර් විද්‍යා බාලන්ට විවාහ යෝජනාවක් කරා ඇය ඊට එකඟ වූවා. 2012 මැයි මාසයේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී විද්‍යා තමා සිද්ධාර්ත් සමඟ පෙම් සබඳතාවක් පවත්වන බවත් එම යෝජනාව ගැන මෙසේ අදහස් පළ කළා.

“සිද්ධාර්ත් විවාහ යෝජනාවක් කළ විට මට එය මුලින් විශ්වාස කළ නොහැකි වුණා. අපි දෙන්නා එකට හිටපු නිසා මම දැනගෙන හිටියා අපි කොයි මොහොතක හරි විවාහයක් ගැන කතා කරනවා කියලා. මට විවාහ නොවී ජීවත් වෙන්න තිබුණා, නමුත් මම ලිවින් ටුගෙදර් සබඳතා විශ්වාස කරන්නේ නැහැ, මන්ද ඔබට දරුවෙකු අවශ්‍ය විට එය දුෂ්කර විය හැකි බැවින්. “

ඒ ඇගේ අදහසයි.

ඒ විතරක් නෙවෙයි ඇය ඔහුට කැමති ඇයිදැයි ඇසූ විට විද්‍යාට දෙන්නට අපූරු පිළිතුරක් ද තිබුණා.

“එයාගේ පෙනුමට. එයා හරි ලස්සන මනුස්සයෙක්. ඒ නිසා මම ඔහුට ආකර්ෂණය වුණු එක තමයි පළමු පියවර.”

විද්‍යා එහෙම කියන්නේ හිනැහෙමින්. එය තරමක විවාද සම්පන්න වුණත් වරදක් නැති පිළිතුරක්. විද්‍යා කියන්නේ සුන්දර ගැහැනියක්. ඉතින් ඇය ආදරය කළ යුත්තේ ලස්සන මිනිසෙකුට නෙවෙයිද? 

කොහොමනමුත් කරන්ගේ මල්සරා පදවිය සාර්ථකව යුවළක් එකතු කරන්නට සමත් වුණා. නිළියක් සහ නිෂ්පාදකයෙකු ආදරයෙන් එකතු වෙන්නේ එහෙමයි.

“ඔහු වැනි මිනිසෙක් ලැබූ මම ආශිර්වාදාත්මක ගැහැනියක්.”

විද්‍යා පවසන්නේ බොහොම කැමැත්තෙන්. ඇයට දෙමාපියන්ගෙන් ලැබුණු ආරක්ෂාවම ඔහුගෙන් ද ලැබුණු බව ඇය ආදරයෙන් කියා සිටිනවා.

“ඔහුගේ කිසිම ව්‍යාජ බවක් නෑ.”

ඇය කියන්නේ බොහොම කැමැත්තෙන්. ඊට වඩා වෙන මොනවද?

කරදර සහ බාධක ඔවුන්ටත් පොදු දෙයක් වුණා. සිද්ධාර්ත් දෙවතාවක් දික්කසාද වූ අයෙක් නිසා විද්‍යාගේ පවුලේ අය ඔහු සමඟ විවාහ වීමට ගත් තීරණය ගැන දැඩි බියකින් පසු වුණා. විද්‍යාට වුව එය තරමක දුෂ්කර තීරණයක් වුණා. කෙසේ වෙතත්, ඇය තමා ආදරය කරන පුද්ගලයා සමඟ සිටීමට අධිෂ්ඨාන කර ගත්තා. ඇයගේ වෘත්තියේ හෝ ඇගේ පවුලේ අයගෙන් එන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ඇය තීරණය කළා. අවසානයේ දී ඇය ජයග්‍රහණය කර තිබෙනවා.

විද්‍යාට මීට පෙර සාහිෆ් අලි ඛාන්, ශාහිඩ් කපූර්, අර්ජුන් රාම්පාල්, සමඟ සබඳතා පැවති බව ජනප්‍රිය රහසක්. නමුත් අතීතය අයිති අතීතයට පමණයි. මේ වෙද්දී ඇය ආදරයෙන් සහ සන්තෝෂයෙන් ජීවත් වෙන ප්‍රීතිමත් ගැහැනියක්.

විද්‍යා බාලන් සහ සිද්ධාර්ත් රෝයි කපූර්ගේ විවාහ මංගල්‍යය විවාහ සම්ප්‍රදායන් දෙකක් යටතේ පැවැත්වුණා. එයට හේතුව විද්‍යා දකුණු ඉන්දීය ජාතිකයෙක් වන අතර සිද්ධාර්ත් පන්ජාබි ජාතිකයෙක් වූ නිසා. 2012 දෙසැම්බර් 14 වැනිදා විවාහ වීමට දෙදෙනාම තීරණය කර තිබුණේ සංස්කෘතීන් දෙකෙහිම චාරිත්‍රවලට අනුවයි.

දැන් ඔවුන්ගේ විවාහයට වසර දහයක් සම්පූර්ණ වී අවසන්.  ඔවුන්ට දරුවන් නැහැ. නමුත් ඔවුන් ආදරයෙන් එකට ජීවත් වෙනවා. නොගැළපීම් ගලපා ගනිමින් ආදරය කළ හැකි බව විද්‍යා සහ සිද්ධාර්ත්ගේ කතාව මොනවට පැහැදිලි කරනවා.

ඇයට තරුවක් වී බැබළෙන්නට ඔහු අපූරු ශක්තියක්. එහි කිසිම සැකයක් නෑ.

Related Articles

Don't Miss


Latest Articles