ආකාස මෝස්තර – 5

රෙදි වැල් යායෙහි කොඩි වැල් සේ වැනූ රෙදි සුළඟ සමගින් දඟ කරයි. ඇතැම් රෙදි තනි සුදු ය. අනෙක්වා විවිධ වර්ණ වලට අයත් ය. සුළඟේ ලෙලදෙන මේ රෙදි වැල්, පාරුල් ගේ හදවතේ ඈත කොනකින් පරණ මතකයන් මතුපිටට ගෙන එයි. ඔවුන් ගේ ළමා වියෙහි දී ඇය උමා හා වත්තේ අනිත් දැරියන් සමග රෙදි වැල් අතරේ දැවටෙමින් සෙල්ලම් කළ නොස්ටැල්ජියානු මතකයක් පපුවේ යම් තැනක් කොනිති ගසයි.

සිකුරාදා හා සඳුදා ද ඇතිව දීර්ඝ සති අන්තයක් යෙදී ඇති බැවින් පාරුල් ට යම් නිදහස් හැඟීමක් දැනෙයි. එක දිගට දින හතරක් වෛද්‍ය පීඨයේ දේශන නො පැවැත්වේ.

පාරුල් උදෙන් ම උමා සමග කාලි මෑණියන්ගේ කෝවිලට ගියා ය. දිය නා පිරිසිඳු වී පූජාවට සහභාගී වූ විට හිතට ශාන්ත සුවයක් දැනේ.  කෝවිල තනාගෙන තිබෙන්නේ වත්තේ මිනිසුන් රෙදි සෝදා උපයන මුදල් වලින් කිසියම් කොටසක් වෙන් කොටගෙන ය. එහි නඩත්තුව වෙනුවෙන් දැනටත් ඔවුහු සිය ආදායමෙන් කොටසක් යොදවති. කාලි මෑණියන් අසාධාරණට ලක්වූවන්ට පිහිට වෙන බව හින්දු භක්තිකයෝ විශ්වාස කරති. කාලි යනු ඊශ්වර ගේ භාර්යාව වන උමයංගනා පාර්වතීගේ ම අවතාරයකි. විශේෂයෙන් ම කාන්තාවන්ට සිදු වන අයුක්තියට එරෙහිව කාලි මාතාවක්, දේවතාවක් සේ ම යක්ෂණියක් සේ ද වෙස් ගනු ඇති බව ඔවුන් ගේ විශ්වාසයයි. වත්තේ දමිළ හින්දු බැතිමත්හු පමණකුදු නොව සිංහල බෞද්ධයෝ පවා කාලිමෑණී කෝවිලට ගොස් වන්දනාමාන කරති. පිහිට ආශීර්වාදය ඉල්ලා සිටිති.

කෝවිල් ගිය විට පාරුල් හැමදාමත් ඉල්ලා සිටියේ පෞද්ගලික වූ යමක් නොවේ. වත්තේ සමස්ථ මිනිස් සංහතිය වෙනුවෙන් යුක්තියයි! සාධාරණත්වයයි! ශාන්තියයි!

උමා විචිත්‍ර මෝස්තර සාරියක් හැඳ සිටියා ය. සාමාන්‍යයෙන් ඇය සාරි අඳින්නේ නැත. ගවුම හෝ පංජාබ් ඇඳුම ඇයට පහසුවක් ගෙන දෙයි. නමුත් අද කෝවිලේ පූජාවට මනිපුරි සාරියකින් සැරසෙන්නට ඇය කැමති වූවා ය. කොළ, රතු, තැඹිලි හා රත්‍රන් පැහැයෙන් රටා දැමුණු ඒ සාරියට ඇය වඩාත් සුන්දර වූවා ය. වරලස අලුත් පිච්ච මල් වැලකින් හැඩ වී තිබිණ. වත්තේ ස්ත්‍රීන් මෙහෙම සුන්දර ව පසුවන්නේ ඔවුන් ගේ යෞවනයේ දී පමණකි. විවාහ වීමෙන් පසු පවුල් බර ද රෙදි සේදීමේ වේළීමේ කටයුතු ද දරුවන්ගේ හා ගෙදර වැඩ ද ඔවුන් මත පැටවේ.

පූජාවෙන් පසු උමා හා පාරුල් වතුර ටැංකි දෙසට ඇවිද යන්නට වූහ. උමාගේ අත් වල වූ පාට වීදුරු වළලු කිංකිණි හඬ නැගුවේ ය. තරුණියන් දෙදෙනා ගේ ම නළල් තලා මත රතු තිලක සිනහ විය.

“මං කාලි මෑණියන්ගෙන් ඉල්ලීමක් කළා. මට ශිවම් අන්නාව බඳින්න බෑ පාරු. ඒක වෙන්න ඉඩ දෙන්න එපා කියල දේව මෑණිගෙන් මට පුළුවන් තරමට මං ඉල්ලුව. ගෑනු හිතක තියන වේදනාව කාලි මෑණි හොඳට තේරුං ගන්නව කියනවනෙ. මං බලං ඉන්නව මටත් පිහිට වෙනකල්”

පාරුල් උමා ගේ අතකින් අල්වා ගත්තා ය. ඔවුන් අතිනත් පටලා වත්ත මැදින් ඇවිද යන්නේ ඔවුන්ගේ ළමා වියෙහි පටන් ය. ඒ කිසි දවසක උමා ගේ ඇස් වල දැක නො තිබි වේදනාවක් ද අධිෂ්ඨානයක් ද මේ මොහොතේ පාරුල් ට දැකිය හැකි විය.

“ඇයි පාරෝ රාජා මට අකමැති… මං ටැමිල් නිසාද…”

උමා ගේ ඇස් වල කඳුළක් දිස්න දුන්නේ ය. පාරුල් මිතුරිය ගේ අත තද කළා ය.

“පිස්සුද… එහෙම එකක් නෙවේ. එයාගෙ හිතේ තාමත් අර එයාව අත්ඇරපු කෙල්ල ඉන්නව. එයා හිටපු තැනට ඉක්මනට ඔයාට යන්න පුළුවං වෙයි උමා. එහෙම වෙන්න කියල මාත් කාලි මෑණියන්ගෙන් ඉල්ලනව”

“ගෙදරිං මාව බලෙං ශිවම්ට දෙන්න ගියොත්…ඇත්තමයි මං ආමර් ස්ට්‍රීට් එකේ වාහනේකට පැනල මැ රෙ න ව”

“මො…නාද මේ කියවන්නෙ…එහෙම වෙන්නෑ”

රිදී ඉරක් අහසේ දිළෙමින් තිබේ. තවමත් සූර්ය තාපය දැඩි නොවුණෙන්, රෙදි කාමර ඉදිරියෙන් ඔවුන් ඇවිද ගියේ මන්දගාමීව ය. අහස් නිල් පසුබිමෙහි සුදු පුළුන් වළා කැටි රොක් වී චමත්කාර ආකාස මෝස්තරයක් මවා ඇත. ඔය ආකාස මෝස්තර හා පාරුල් අතර වන සම්බන්ධයට අතීතයක් තිබේ. නිල් අහස පසුබිම් කොටගෙන සුළඟේ ලෙලදෙන රෙදි වැල් ද, අහසේ තැන් තැන් වල විවිධ යාමයන් හි හා විවිධ කාලයන් හි විවිධ වර්ණ වලින් මෝස්තර මවන වලාකුළු ද පාරුල් ව චමත්කාරයට පත් කරනුයේ ඇගේ ළමා වියෙහි පටන් ය. එක අහසක් ඇය කිසි දා දෙවතාවක් දැක නැත. ආකාශයට ඒ තරම් මෝස්තර රටා තිබේ. ඒවා මිනිස් සන්තානයකට කවර බලපෑමක් කළ හැකි ද කියා දන්නේ අහසත් එක්ක ගනුදෙනු කළ මිනිසුන් පමණකි. රෙදි සෝදන මිනිසුන්ට අහසත් එක්ක විශේෂ බැඳීමක් වන්නේ ය. නමුත් අව්වට වැස්සට වඩා ආකාස මෝස්තර වලට පාරුල් පෙම්බඳින්නී ය.

රෙදි වැල් අතරේ හිඳ රිදී වහ වහා තරුණියන් වෙතට ආවා ය.

“මං කියල තියනවනෙ පාරුල්…මේ පැත්තට එන්න ඕන නෑ කියල. දැං රාජා දැක්කොත් එහෙම මාත් බැණුං අහන්න ඕනෙ”

රිදී වටපිට බැලුවේ රාජා නොව වෙන කිසිවෙකු හෝ දියණිය දෙසට ඇස ගසාගෙන සිටිත්දැයි විපරමිනි. දැන් වත්තේ කෝවිලට තදාසන්න වෙනත් වතු ආශ්‍රිත ජනයා වැඩිපුර පැමිණෙති. කෝවිලෙහි අනුහස් ගැන මුව මුව පැතිර යන කටකතා හේතුවෙනි. පාරුල් ගේ රන් රුව එවන් පරිසරයකින් එන පිරිමියෙකු ගේ ඇස ගැටෙනවාට රිදූ අංශුවකුදු සතුටු නැත. චන්දුල ද නිතර ම රිදී ට අවවාද කරනුයේ පාරුල් වත්තේ කරක් නො ගැසිය යුතු බවටයි. නමුත් ඉඩක් ලැබුණු ගමන් පාරුල් ට ඒ සීමා අමතක වෙයි.

“ඉතිං උමා එක්කනෙ අම්ම. අපි කෝවිලේ ඉඳං එහෙමම මේ පැත්තට හැරුණ”

“හරි හරි දැං යන්නකො ගෙදර. ආත්තම්මට කියල බත් බෙදෝගෙන කන්න. ඇවිද ඇවිද ඉන්නැතුව පාඩං කරන්න පාරු”

රිදී ට උවමනා පාරුල් ව වත්තේ නතර කරගන්නට හෝ තවත් මෙවැනි ම නරකාදියකට යවන්නට නොවේ. වත්තෙන් පිටත ලස්සන ලෝකයකට ඇය යනවා දකින්නට යි. ඇගේ පියා කුලවත් මිනිසෙකි. එනිසාදෝ රිදී ගේ දරුවන් දෙදෙනා ම රන්වන් පැහැති ය. රෙදි සෝදන පරපුරක පුරුක් යයි කිසි සේත් විශ්වාස කළ නො හැකි ය. ඊටත් වඩා අබරණක් දැන් පාරුල් සතු වේ. ඒ දැන උගත්කමයි. ඔවුන්ගේ පරපුරේවත් කෙනෙකු වෛද්‍යවරියක වී ඇතැයි සිතිය හැකි නොවේ.

“යන්න යන්න. උමාත් එක්ක කාල වැඩක් කරගන්න”

පාරුල් හිතුවේ වතුර ටැංකි දෙසට ගොස් චන්දුල සමග කතාවට වැටෙන්නටයි. එතකොට උමාට ද ඔහු සමගින් වචනයක් කතා කිරීමේ අවස්ථාව උදා වනු ඇත. වතුර ටැංකියට බැහැගෙන සිටින නිසාවෙන් ඔහු ට උමා මගහැර වෙනතක යා හැකි නොවේ. නමුත් අම්මා ගේ මැදිහත් වීම නිසාවෙන් ඇයට එය කළ නො හැකි විය.

 ආපසු හැරී විත් කෝවිල ළඟින් ගෙවල් පේළිය දෙසට හැරෙනා විට ඔවුන් පසු කළ ජීප් රථයක් නතර විය. එහි ඉදිරි දොර විවර වී දුඹුරු ලෙදර් සපත්තු පැළඳි පාදයක් මුලින් රියෙන් පිටතට තැබිණ. ඔහු ඉක්මනින් ඉන් බැස යුවතියන් දෙසට හැරුණේ ය. උමා හා පාරුල් මුහුණෙන් මුහුණ බලාගත්හ.  සුරත් විජයවීර අමාත්‍යවරයා ගේ පුත්‍ර රත්නය, ගඟුල් ගේ මුහුණ පාරුල් ට අමතක වී තිබුණා නොවේ.

“කොහොමද…”

බෝ කලක සිට දන්නා හඳුනන කෙනෙකු වාගේ ය ඔහු සිනහ වී කතා කළේ. එය ආකර්ෂණීය සිනහවකි. සිනහව කෙසේ වී ද සිනහ වීම අනාගත මන්ත්‍රීවරයෙකු ගේ සම්‍යප්‍රයෝගයක් විය හැකි බව පාරුල් වහා සිතුවා ය. කෙසේ වෙතත් ඔහු කතා කළ නිසා මගහැර යා නො හැකි ය. පාරුල් ගමන් වේගය බාල කළා ය.

“මං මේ ආවෙ ඔයාව මීට් වෙලා කතා කරන්නමයි. හොඳ වෙලාවට මෙහෙම හම්බවුණේ. ඔයා කොහෙහරි යන ගමන්ද මේ…”

පාරුල් වඩාත් හොඳින් නෙතු විවරකොට බැලුවා ය. ඔහු මේ කතාකරන්නේ ඇයට ම ද? නැත්නම් කුමක් හෝ පැටලිල්ලක් සිදු වී ද?

“ඔයා පාරුල්නෙ… මට නම මතක තිබුණ හරිනෙ… මං ගඟුල්. එදා සුරත් විජයවීර එක්ක ඔයාලගෙ ගේ ළඟට ආවෙ…”

පාරුල් යන්තමින් හිස සැළුවා ය.

“මං ඔයා කියපු දේවල් ගැන හුඟක් හිතුව. ඒ හැමදේම ඇත්ත. සමහර වෙලාවට අපිට දේවල් මිස් වෙන්නෙ ඒ ගැන ඇත්තටම හරි අයිඩියා එකක් නැති නිසා. මං මේ තැනට පළවෙනි පාරටයි එදා ආවෙ. ඇත්තටම කාටහරි මොනාහරි මිස් වෙලා තමයි. මොනාහරි නෙවෙයි ගොඩක් දේවල්. පිටින් ඉඳල බැලුවට සමහර විට අපිට ඒව දැනෙන්නැති වෙන්න පුළුවන්. ඒකයි මං හිතුවෙ ඒක හරියට දන්න කෙනෙක් එක්ක දැනෙන කෙනෙක් එක්ක වැඩක් කරන එක සක්සස් වෙයි කියල. ඔයා මට කියන්න මොනාද වෙන්නෝනෙ කියල. ඔයා අර කිව්ව වගේ මේ මිනිස්සුන්ගෙ මූලික අවශ්‍යතා ටිකවත්…අඩුම සැනිටේශන් ෆැසිලිටීස්වත් ඒ මිනිස්සුන්ට දෙන්න ඕනෙ. ඔයා කැමතිනං…අපිට පුළුවං එකතු වෙලා වැඩක් කරන්න”

ගඟුල් කතාකරගෙන යත්දී පාරුල් සිටියේ ඔහු ගේ මූණ දෙස ම බලාගෙන යි. තරුණයා කඩවසම් ය. සැපට සනීපයට වැඩුණ පැළයක් සේ සරුසාර පාට ය. ඔහු ගේ ඇස් දීප්තිමත් ය. කතා කරත්දී ඇය උද්‍යෝගයක් දුටුවා ය. ඇතැම් විට කොතැනකින් හෝ ආරම්භ කිරීමේ උවමනාවක් ඔහු ට තිබෙනවා වන්නට පිළිවන. බොහෝ විට මිනිස් සන්තානය දූෂණය වනුයේ කල් ගතවන විටයි. ළපැටි සිතක පවිත්‍රත්වය ආසන්න ම උදාහරණයයි. මේ ගඟුල් ගේ ඇරඹුමයි. තවමත් ඔහු ට යමක් කිරීමේ අවංක උවමනාවක් තිබෙනවා නම්, වත්තේ මිනිසුන් වෙනුවෙන් ඒ සේවය ලබාගන්නට උත්සාහ කළ හැකි ය.

“මට පුළුවන් සහයෝගයක් දෙන්නං මිස්ට ගඟුල්. පොලිටික්ස් කියන්නෙ මගෙ ෆීල්ඩ් එකවත් පැශන් එකවත් නෙවෙයි. ඒත් බලය තියන මිනිස්සු දුබල මිනිස්සු වෙනුවෙන් ඒ බලය පාවිච්චි කරනවනං මං හරි කැමතියි”

ගඟුල් ගේ දෙතොල් පෙති විවර වී සිනහවක් පිපුණේ ය. ඒ වූ කලී දඟකාර සිනහවකි. ඒ තරම් පහසුවෙන් මේ කෙල්ල සිය බසට අවනත කරගැනීමට හැකි වීම ගැන ආඩම්බරයෙන් උපන් සිනහවකි. සිනහවෙන් ම ඔහු ඇය වෙතට සුරත පෑවේ ය. පාරුල් ඒ අත ඉතා හෙමිහිට අල්වාගත්තා ය.

“මට ගඟුල් කිව්වහම ඇති”

ඇය ඊට ප්‍රතිචාර දක්වන්නට ඉක්මන් නොවුණා ය.

“ඉතිං… අපි පුළුවන් තරං ඉක්මනට වැඩ පටන්ගමු නේද පාරුල්… ආ…මට කියන්න අමතක වුණා. ඒක හරි අමුතු අන්කොමන් නමක්”

පාරුල් මඳ සිනහවක් පෑවා මිස ලොකු උනන්දුවක් පෙන්වූයේ නැත.

“මං හිතන්නෙ පටංගන්න හොඳම වත්තෙ වටයක් ඇවිදලයි. කැමතිනං මේ ගෙවල් ඇතුළට ගොඩවෙලා බලන්න… ඒ ගෙවල් ඇතුළෙ කීදෙනෙක් විතර ඉන්නවද කියල ගණංකරල බලන්න. මේ මිනිස්සු එක්ක එයාලගෙ ජීවිතේ ගැන චුට්ටක් කතාකරල බලන්න. කරන්න ඕන මොනාද කියල එතකොට මං කියන්න ඕනත් නැති වෙයි”

ඇය කතා කළේ ආවේගයකින් නොවේ. අත්දැකීම් විසින් හික්මවන ලද අවබෝධයෙනි. ඒ මොහොතේ ඕ මෙහෙණක තරමට නිවී සිටියා ය. කිසිදු මගකින් දිවි රැක දිය නො හැකි ගිලන් පුද්ගලයෙකු දෑස් අභියස මියයන මොහොතක වෙදැදුරු දෑසක දැකිය හැකි උපේක්ෂාවෙන් සන්තෘප්ත ව සිටියා ය.

🩵කතාව ගැන ඔයාලගෙ අදහස් මට හුඟක් වැදගත්. අඩු තරමින් කියවූ බවට සලකුණක් හෝ තියා යන්න!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles