නුඹ තරම් ප්‍රේමයක් – 5

පස් වන නෙත් සේයාව

සිහිනි රැගෙන එන්නට යන්නට සිදු වූයේ කපිලටය. වෙනදා හැකි සෑම වෙලාවකම සවසද සිහිනි කැටුව එන්නට යන චත්‍ර සිතා මතාම එය මඟෑරියේය. සවස පාසැල නිමවෙන්නට ඔන්න මෙන්න තිබියදී අයත්මා පැවසූ පණිවිඩයට පසු සිහිනිට අයියා ගැන දැනෙන වේදනාව තවත් දැඩි විය. අයියා පෙරදා රැයේ එකපාරටම ඇඳ පැලඳගෙන පිටව ගොස් අයත්මා දකින්නට හේතුව ලෙස හදාගන්නට ඇත්තේ ඒ කාරණාව විය යුතුය,

‘සිහිනි … චත්‍ර අයියා මාව මුන ගැහෙන්න ඇවිල්ලා ළමයින්ට උදව් කරන්න ප්‍රොජෙක්ට් එකකට විස්තර ඉල්ලුවා… ප්‍රින්සිපල් සර් එක්ක කතා කරලා එයාට පණිවිඩයක් කියමු හොඳේ..”

එලෙස පවසන විටදී පවා අයත්මාගේ ස්වරයේ  වූයේ අයියාගේ යටි අරමුණ තමා දන්නවාය යන දැනීමක් නොවේදැයි සිහිනිට දැන් සිතෙන්නේය. කපිලද පවසන අයුරින් අයියා ඊයේ සිට සිටින්නේ සිත් තැවුලෙනි.

” දැන් එයා කෝ?..”

” ඕං කාමරේට ගියා ගියාමයි … උදේ ඉඳන් මං  හිතන්නේ සිගරට් ගහනවා විතරයි .. දැන් තව ටික වෙලාවක් යනකොට  ගෑස් හදාගෙන එලියට ඒවි …”

“අම්මා ගෙදර නෑ?…”

“නෑ .. ලොකු මහත්තයයි නෝනයි හම්බන්තොට ගියා … මාලා කෑම අරන් යන්න හදලත් මම එපා කිව්වා ..ඒ ගෑනිගේ ඇඟට නේ කඩාගෙන පනින්නේ ඊලඟට …”

“ඉතින් කපිල අයියා කතා කරලා බැලුවේ නෑ…”

“කතා කලා … එන්නම් එන්නම් කිව්වා.. පස්සේ කෑ ගැහුවා පාඩුවේ ඉන්න දීපං කියලා …. මම සුදු බබා ගන්න මේ ආවේ එලියට බහින පාටක් නොතිබුන නිසා..”

“අනේ මන්දා කපිල අයියේ …. අයත්මා ටීචර් අලුත් සර්ට සෙට් වගේ … අපේ මිනිහා මොන නාඩගමක් නටාවිද මන්දා..”

“අප්පට සිරි … ඒ කියන්නේ ඒක කෙරිලද?…”

” ඒ වගේ අනේ ..සර්නම් මන්දා.. අයත්මා ටීචර් නම් එහෙමයි ……”

නිවෙසට පැමිනෙන තුරුම සිහිනි සහ කපිලගේ මාතෘකාව වූයේ චත්‍රය. අතුකෝරල මහතා සමඟ වූ හිත් අමනාප කම නිසා හිත රිදවාගෙන, කෝපයෙන් උන් චත්‍ර ට  දැන් මේ සිදුවන දේ කොහොමටත් යහපතක් නම් කරන්නේ නැති  බව කපිල සේම සිහිනිද දනී.

 එසේම චත්‍රගේ කෝපය සහ ඇතැම් ඉවසිල්ලක් නැති වැඩද, මන්ත්‍රීකමේ ආභරණයද නිසා සිදුවිය  හැකි දෑ පිළිබඳව සිහිනිට සේම කපිලටද අඩු වැඩි වශයෙන් අවබෝධයක් ඇත. එනිසා ඉදිරි දින, සති කිහිපය තුළ මහා සුළි සුලං කුණාටු ඇති විය හැකි බව විශ්වාසය.

සිහිනි නිවෙසට විත් ඇඟ සෝදාගෙන සාරිය ද සෝදා දැම්මාය. මාලා දිවා ආහාරය සකසා තිබුනද, වෙනදා හදිසියෙන් දිවා ආහරය ගන්නට නොහැක. චත්‍ර සිටින්නේ කුසගින්නේ වග ඕ දන්නිය. සිහිනි චත්‍රගේ පිඟාන්ද රැගෙන යලි උඩු මහලට නැග්ගාය. දොර අඟුලු ලා ඇත. දෙතුන් වරක් දොරට ගැසුවාය.  ප්‍රතිචාරයක් නොවූ නිසා හඬ නඟා කතා කලාය. චත්‍රගෙන් ලැබුනේ කෝපාග්නිය පිරුණ  කෑ ගැසීමකි. එහෙත් සිහිනි දොර අසලම රැඳී සිටිමින් චත්‍රට ඇමතුවේය.

විනාඩි කිහිපයකින් දොර විවෘත විය. සිහිනි කාමරය තුලට පිවිසියේ කටුකව ආග්‍රහණය කල සිගැරට් ගන්ධයද සමගින් ය. ඕ අපහසුව චත්‍ර වෙත පෙන්වමින් නොරිස්සුම් සහගත බවද පෙන්වූවාය.

” ඉන්න බැරි නම් මොකටද මේක අස්සේ රිංගන්න ආවේ .. යනවකෝ …”

චත්‍ර පිළිතුරු දුන්නේ සිහිනි කිසිවක් හෝ පවසන්නට පෙරය. සිහිනි ඔහුට ඔරවමින් බත් පිඟාන මේසය මත තැබුවාය. ඉන් පසුව ජනේලය ළඟ වූ අලු බඳුනට එබුනාය.

“අම්මෝ අයියේ … මැරෙයි …”

චත්‍රගෙන් ලැබුනේ නොරිස්සුම තැවරුන හඬ පිට කිරීමකි. සිහිනි ඇඳ සකසා එහි පසෙකින් ඉඳ ගත්තාය. චත්‍ර උන්න්නේ ජනේලයෙන් ඉවත බලාගෙනය.

” ඔයා ඊයේ අයත්මාව මුණ ගැහෙන්න ගිහින් මොකක් හරි ප්‍රොජෙක්‍ට් එකක් කරමු කිව්වද?..”

චත්‍ර ආපසු හැරුනේය. එසේනම් ඇය  හිතුවක්කාරකම එළිපිටම පෙන්වමින් එහි වගකීම සිහිනිට පවරාඇත.

“ඇයි ?..”

“නෑ.. මට කිව්වා ප්‍රින්සිපල් සර් එක්ක කතා කරලා ඒක කරමු කියලා… ඇයි අයියේ ඒක අයත්මාගෙන් අහන්න ගියේ?.. එයාට තේරිලා ඔයා එයාව හම්බෙන්න ඕනිවට හදාගෙන ආව බොරු හේතුවක් කියලා ඒක…”

” එහෙම කිව්වද එයා?..”

“නෑ .. කිව්වේ නෑ.. ඒත් මට තේරුනා..”

චත්‍ර එයට කිසිත් නොකියා උන්නේය. සිහිනිගෙන් අයත්මා සහ අලුත් ගුරුවරය ගැන විමසම්දෝ නැතොදෝ සිතුවිල්ලේ සෑහෙන්නම වෙලා සිරවී උන්නේය.

“අයත්මා ඉස්කූල් ඇරිලා ගියෙත් අරූ එක්කද?..”

” මම දැක්කේ නෑ ..”

“ස්ටාෆ් රූම් එකේ කතා වෙන්න හරි ඇතිනේ ..”

” එහෙම කතා වුනේ නෑ.. අපිට අයත්මාගේ ට්‍රාන්ස්පෝර්ට් විදිය කතා කරනවට වඩා වැඩ තියෙනවා කරන්න…”

සිහිනි කඩා පැන්නාය. එහෙත් චත්‍ර එය විශ්වාස කරන්නට සූදානම් වූයේ නැත. අලුත් ගුරුවරයා සීමාව ඉක්මවා යන්නේ නම් තමා කල යුතු සියල්ල කරන්නට නොපැකිලෙන වග චත්‍ර  පවසද්දී සිහිනිගේ ගත කිලි පොළා ගියේය.  

ඕ චත්‍රගේ කෝපාග්නි කියවිල්ල දෙස නිහඬවම බලා උන්නාය.

” අයත්මාට කියනවා චූටි .. මාව යකා කරගන්නේ නැතුව මාත් එක්ක කතා කරන්න කියලා.. ඒක එයටයි, අරූටයි දෙන්නටම හොඳක් වේවි කියලා…”

චත්‍ර අවසනයේ සිහිනිට කීවේය. අයියාගේ මේ නොඉවසිල්ල ජීවිතයට නොගැලපෙන වග හොඳටම වැටහෙනවා වුවද ඔහුට ඒ බව වටහ දිය යුත්තේ කොහොමදැයි සිහිනිට වැටහුනේ නැත.

“ඇහුනද?..”

“ඔයා ඇයි අයියේ මේක තේරුම් නොගන්නේ?..”

“මට මුකුත් අලුතෙන් අමුතුවෙන් තේරුම් ගන්න ඕනි නෑ චූටි   … අයත්මාට කියනවා මාව තේරුම් ගන්න කියලා…”

“අයියේ.., කෙල්ලෙක්ගේ ආදරේ කියන්නේ එහෙම බල කරලා, බලහත්කාරකම් කරලා ගන්න පුලුවන් දෙයක් නෙවෙයි කියලා ඔයා තේරුම් ගන්න ඕනි …,  ඔයා අහලා තියෙනවද අර ආදරේ කියන්නේ ඇක්සිඩන්ට් එකක් කියන කතාව … ඒක තත්පරයක් වෙන්න පුලුවන් අයියේ .. ඉන් පස්සේ ටිකෙන් ටික මහ ගහක් වෙලා වැඩෙන දෙයක් ආදරේ .. ඔයා කොච්චර ආදරේ කරත්, අයත්මාට ඔයා ගැන හිතවත් මට්ටමේවත් බැඳීමක් නැහැ අයියෙ … ඒක නොතේරෙනවා වෙන්න බැහැ ඔයාට … දැන් ඔයාට විසි හතක් …. ඔයා  සමාජේ වගකියන කෙනෙක් අයියේ ….”

චත්‍ර සිහිනි වෙත සරදම් සිනහවක් පෑවේය. සිහිනි කොහොමටත් ලස්සන කතා කියන්නට දක්ශ බව චත්‍ර දනී. ඒත් මේ මොහොත, එහෙම  කතා වලින් පිරෙන්නට දී තමට ජීවිතයේ ඉදිරියට යන්නට නොහැක. අයත්මා, තමා ඇයට පෙම් කරන තරම් ඇය දන්නේ නැත. එහෙත්, තමා දනී.

 කවින්දි සමඟ උන් කාලයේද අයත්මා සිහිව , අසිහියට පත් වන තරමට මත් පැන් පානය කර පිස්සු නැටූ දවස් ඇති බව තමා දනී. කවින්දි තමා අතැර ලංකාවට තනිව යන්නට හේතු වූ ප්‍රධානම කාරණාව තමාගේ හිත අයත්මා වෙත වූ ඇලීම බවද තමා දනී. ඒ දැන දැනම ඇය අහිමි කර ගන්නට නොහැක.

” අනෙක අයියේ.. අපි කොච්චර ආදරේ කලත්, සමහර දේවල් තියෙනවා අපිට ලං කරගන්නම බැහැ… ඒ දේවල් වැඩිය ලස්සනට තියෙන්නේ අපෙන් දුර ඉන්නකොට .. එතකොට අපිට අපේ සතුටේ පාර වෙනස් කරගන්නම වෙනවා අයියේ … ඔයා අයත්මා පස්සේ වැටිලා මොන පිස්සුව කලත් එයා ඔයාට කැමති වෙන්නේ නෑ අයියේ .. ඒක ඔයා තේරුම් ගන්න ඕනි … එහෙම එකේ ඔයා මේ නටන්න යන නාඩගමෙන් කාටවත් හොඳක් නම් වෙන්නේ නැහැ …”

සිහිනි මෙතරම්  ඍ ණාත්මක ලෙස කතා කරන්නේ ඇයිදැයි චත්‍ර  එක්වරම නැවතී සිතුවේය. ඇය මින් පෙර හැම වතාවකම කීවේ අයත්මා පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීමේ ගැටලුවක් නොමැති බවයි. එලෙස නම් ඇය අද මෙලෙස කයිවාරු පවසන්නේ කිනම් හේතුවක් නිසාද?…

” දැන් මොකද එකපාරටම ඔහොම කියන්නේ?…”

“මං එකපාරටම කියනවා නෙවෙයි …. ඇත්තටම වෙන්න තියෙන දේවල් කියන්නේ..”

“මොකද්ද ඇත්තටම වෙන්න තියෙන්නේ?..”

” අයියේ.. අයත්මා අවුරුදු දෙකක් තිස්සේ ඔයාට ආදරේ කරන්නෙ නෑ .. කැමති නෑ කියලා කියනවා නේද?… එහෙනම් ඒක ඔයා පිළිගන්න  අයියේ දැන් .. මෙච්චර කල් අයත්මාට දැනෙන කෙනෙක් උන්නේ නැති නිසායි මම ඔයාට සපෝර්ට් එකට හිටියේ.. ඒත් මට පේන්නේ අලුත් සර් අයත්මාට අලුත් කතාවක් ලියාගන්න හේතුවක්  වේවි වගේ …. ඔයාට ඒ දෙන්නා මැද කොහොමටවත් ඉඩක් හැදෙන්නේ නැහැ අයියේ… ඒ හින්දා අනේ ප්ලීස් … අම්මාවත් අසනීප කරන වැඩ නොකර, ඔයා දැන් හිත හදාගන්න .. ඔයාට ගොඩක් ආදරේ කරන කෙල්ලෙක් ඉක්මනටම මුණ  ගැහේවි …”

| අපේක්ෂා ගුණරත්න |

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles