“තමුසෙට පිස්සුද…”
මන්දීරය දෙදරන්නට සුරත් විජයවීර කෑගැසුවේ ය. එහඬින් තිගැස්සී දෑස් ලොකු කරගෙන නිර්ධා බලන් උන්නා ය. නමුත් ගඟුල් වෙත අංශු මාත්‍රික ගැස්මක් හෝ වූවා නොවේ. ඔහු ගේ කට කොනක සිනහවක් විය.
“විකාර කරන්න හදන්නෙපා. ඔය ඩෝබි වත්තෙ එවුංව අපි හුරතලේට ඇතිකරන්න ගන්නව නෙවෙයි. ඔන්න ඔය තහඩු ටිකක් සිමෙන්ති කොට්ට ටිකක් ඕන්නං බෙදල දෙනව. මොකද ඒවත් සෙල්ලං කියලද… උංගෙ අර හරක් මඩුවක තෙමෙන තැනකට හෙවිල්ලගන්න වුණත් පුළුවන්නෙ”
“ඔච්චර ජරා විදිහට මිනිස්සු ගැන හිතන්න එපා තාත්තෙ”
පුත්‍රයා පියා වෙතට එල්ල කරන්නට යෙදුණ පළමු වෙඩි මුරය එයයි. සුරත් ඇස් බැම ඉහළ නැංවූයේ ය. නිර්ධා සැමියා දෙසත් පුතා දෙසත් මාරුවෙන් මාරුවට බැලුවා ය.
“ඒත් මිනිස්සු. නැතුව සත්තු නෙවෙයි. ඒ මිනිස්සුන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියනව අපිට වගේම. අනික ඒ මිනිස්සු කරන්නෙ පරම්පරා රස්සාවක්. මං සෝෂල් සයන්ස් වලට ඉගෙන ගත්ත විදිහට කුළය කියන්නෙ ඉස්සර රස්සාව අඳුන්නපු විදිහක්. ඒ කියන්නෙ ගොවිතැන් කරපු මිනිස්සු ගොවි කුළේ. රෙදි හෝදපු මිනිස්සු හේන කුළේ. වළං හදපු අය කුඹල්ලු. රත්තරන් රිදී බඩු හදපු අය නවනන්දන කුළේ. එතකොට දුර කුළේ බෝධිදුර අය ශ්‍රී මහා බෝධිය රැක බලාගත්ත. පන්නදුර අය ඇත්තු බලාගත්ත. උඩරට පාලනය එන්න කලින් උසස් කුළ කියල සලකපු කුළ වලට උඩරට පාලනේදි පහත් කුළ විදිහට නොසලකා ඇරල තියනව. මටනං තේරෙන විදිහට හැම කුළේකම මිනිස්සු කළේ තමන්ගෙ රස්සාව තාත්තෙ. කුළයක් උස් පහත් කරල හිතනව කියන්නෙ රස්සාව උස් පහත් කරල හිතනව කියන එකම තමයි. ඉස්සරම රට පාලනේ කළේ රජකුළේ මිනිස්සු. ඒත් දැන් එහෙමද… ඕනම මිනිහෙක්ට ඒක කරන්න පුළුවන්. ඒක රස්සාවක් විතරයි”
ටික කලක දී අත්හැර දැමුණු උසස් අධ්‍යාපනයත්, සමාජ විද්‍යා දේශනයකදී ඉගෙනගත් කරුණු ටිකකුත් නො සිතූ වෙලාවක ගඟුල් ගේ සිත්හි නැගී සිටියේ ය.
“අනේ මේ ගඟුල්. තමුසෙගෙ සෝෂල් සයන්ස් වලින් මට ඇති වැඩක් නෑ. අනික්එක මට ඔය කුළ කෙහෙම්මල් වලින් ඇති වැඩකුත් නෑ. අපිට ඕනෙ ඔය මුඩුක්කු ඡන්ද ටික අපේ පැත්තට හරෝගන්න විතරයි. ඒකට උන්ට ඔය පොඩි දෙයක් දුන්නහම ඇති”
පුතාට නො දෙවෙනි ව තාත්තා බෙරිහන් දුන්නේ ය.
“සුද්දො මේ රටෙං ගිය දා ඉඳං රට පාලනේ කරපු හැම එකාම කරල තියෙන්නෙ ඒක. අවුරුදු සීයක් තිස්සෙ ඒ මිනිස්සුන්ගෙ ජීවිතේ එතනට සීමා කරල තමංගෙ කිළුටු හෝදගන්න එක. මොකද්ද ඒ අසාධාරණ වැඩේ… වයස මිනිස්සු අතාරිමු. අපි එතන ඉන්න අවුරුදු දහ අටට අඩු ළමයි වෙනුවෙන් දෙයක් කරන්නම ඕනෙ තාත්තෙ. පාරෙ ඉස්කෝලයක් තිබුණයි ඒකෙ නිදහස් අධ්‍යාපනේ තිබුණයි කියල ඉගෙන ගන්න එක සරල දෙයක් නෙවෙයි. ඒ මිනිස්සු කීයක්හරි හොයාගන්නෙ මාර දුකක් විඳල. වැහි කාලෙට රෙදි හේදුවත් වේලගන්න බෑ. ගොඩක් මිනිස්සුන්ට රෙදි වැඩ මිසක් වෙන ආදායමක් නෑ. ඒ කාලෙට ළමයි බඩගින්නෙ. ඒක නිසා ඉස්කෝලෙ යන්නෑ. අපි ඒ මිනිස්සුන්ගෙ නූගත්කම කියන අඳුර නැති කළොත් ඒ මිනිස්සු තමන්ගෙ ජීවිත ගැන බලාගනී. අඩුගානෙ ඔය කොළඹ අවට වතු ගෙවල් වල පොඩි ළමයින්ට උදේ කෑම වේලවත් දෙන ප්‍රෝග්‍රෑම් එකක් හදන්න ඕනෙ. ඉස්කෝල මට්ටමෙන්. බඩට මොනාහරි වැටෙන නිසාවත් එතකොට ලොකු මිනිස්සු පොඩි එවුන්ව ඉස්කෝලෙ යවයි. මොනාහරිම එතනිං ඉගෙන ගනීනෙ. එතකොට ටිකක් ලොකු වෙනකොට කුඩු ගහන පික්පොකට් ගහන කොල්ලොයි වීදි ගණිකාවො වෙන කෙල්ලොයි වෙනුවට මොනාම හරි දෙයක් කරල හම්බකරං ජීවිතේ ගැටගහගන්න බලයි. පරම්පරා කීපයක් යනකොට ඒ මිනිස්සුන්ගෙ ජීවන තත්වය උඩට ඇවිත් තියෙයි. මං කියන්නෙ ලොන්ඩරි වත්ත ගැන විතරක් නෙවෙයි. ඔය ඔක්කොම කොළඹ කොලනි ගැන”
“ඒව කරගන්නව තමුසෙ ජනාධිපති වුණාම. මේව අම්මගෙ අප්පගෙ බූදලෙං කරන වැඩ නෙවෙයි. අපිට ඡන්දෙට වියදං කරන්නෙත් කුඩු බිස්නස් කාරයොයි කැසිනෝ කාරයොයි අරුං මුං තමයි. ඔක්කොම බ්ලැක් මනී. උං හැදෙන්න මුං ඉන්න ඕනෙ. මුං හැදෙන්න උං ඉන්න ඕක. ඒක දංවැලක පුරුක් වගේ. එක පුරුකක් කැඩුණොත් චේන් එක කැඩෙනව. අපිට ඒ කිසි දෙයක් නැත්තට නැතිකරන්න බෑ. එහෙම වෙනවනං මෙලහකට වෙලානෙ. මේක තමයි රෝල් වෙන සිස්ටම් එක. උං නැති කරනවනං අපිත් නැතිවෙන එකයි වෙන්නෙ. ඒක නිසා ගඟුල්… මේක මඩවලක් කියල තේරුං අරගෙන බැහැපං. අපේ රෙදි ලොන්ඩරියට දාල අඳිනව මිසක් අපිට ලොන්ඩරි දාන්න බෑ. ලොන්ඩරි වහන්නත් බෑ. තියන දේවල් තිබුණ විදිහටම තිබිච්චාවෙ. ශේප් එකේ අපේ ගමන යන්න පාර සුද්ද කරගන්න එක විතරයි කරන්න ඕනෙ”
සුරත් කතාව නතර කළේ ඔහු ගේ සුජාත පුත්‍රයාට කට උත්තර නැති වෙන්නට ය. තමන් උගත් පාඩම පුතා ගේ හිසට ධාරණය කරවිය හැකි ස්වරයකින් දෙඩූ ඔහු කාර්යාල කාමරය දෙසට ගියේ ය. සුරත් හැඳ උන් සුදු ජාතික ඇඳුමේ සරම, ඔහු ඇවිද යත්දී හඬක් නැගුවේ ය. වෙනදාටත් ඒ සුදු පිරුවට වල දැනෙන සුවඳ අද විශේෂිත ව ගඟුල් ගේ පෙනහලු වලට දැනිණ. ඇයිදෝ මන්දා ඒ සුවඳේ පැටලී පාරුල් දෙව්රූ ඇල්ලගේ ගේ සිනහ වත සිතට ආවේ ය. නික්ම යන පියා දෙස බලා උන් ගඟුල්, ඊළඟට නිසොල්මනේ ඔවුන් දෙස බලා උන් අම්මා දෙස බැලුවේ ය.
“ඔයා හිතන විදිහ ගැන මට ආඩම්බරයි පුතා. ඇත්තටම මං බලාපොරොත්තු වුණෙ නෑ ඔයාගෙන් මෙහෙම පොලිටීශියන් කෙනෙක්. හැබැයි… මේ රටේ ප්‍රැක්ටිකල් ඇත්තනං තාත්ත කියපු දේ තමයි. මං පුතාට විශ් කරනව. අපි හොඳ ආරම්භයක් ගන්නව කියන්නෙ පුතා ඒ වැඩෙන් බාගයක්ම ඉවරයි කියන එක තමයි. ඒ ගමංම… ඔයා ආයෙ ඩිග්‍රි එකක් කරන එක ගැන හිතන්න බලන්න. ඉගෙන ගත්ත දෙයක් කොයි වෙලාවෙ හරි ජීවිතේට වැදගත් වෙනව. ඔයා දැං තාත්ත එක්ක කුළ ගැන කතා කරනකොට මට පුදුමත් හිතුණා. මං කවදාවත් ඒ දේවල් දැනගෙන හිටියෙ නෑ. ස්පෙශලි…පොලිටීශියන් කෙනෙකුට හොඳ සමාජ අවබෝධයක් තියෙන්න ඕන පුතා. අපි මොකක්හරි ෆීල්ඩ් එකක රැඳෙන්න එනවනං…ඒකෙ හතරමායිං ගැන ස්ටඩි කරල එන එක හොඳයි”
නිර්ධා විජයවීර අසුනෙන් නැගිට හෙමිහිට සිය පුතු වෙත ආවා ය.
“අම්ම මට ලොකු හයියක් අම්මෙ”
නිර්ධා ගඟුල් ගේ අතක් පිරිමැද අත් ගොබය සිපගත්තා ය. වචන කරගත නො හැකි මව්වත් හැඟීමකින් ඇය දෝරෙ ගලන්නට වූවා ය. ගඟුල් ගැන ඇගේ හදවත මත පැටවී තිබූ බරක් යන්තම් ලිහිල් වනු දැනිණ.
*****
“හොර ඡන්ද දාන්න පුළුවන් කමක් කියනවනං මං ගඟුල්ට මනාප පහක් හරි දෙනව”
උමා ගේ කතාවට පාරුල් හඬ නගා සිනහ වූවා ය. හැන්දෑවට අහස ලස්සන ය. රෙදි වැල් බැඳ ඇති විශාල අවකාශයට මත්තෙන් වන්නේ ලොකු අහසකි. ඒ අහස දෙස බලාගෙන පාරුල් සිනහ වෙමින් සිටියා ය. ඇය හැමදාමත් දකින අහස ඇය කවදාවත් දැක නොමැති මෝස්තරයකින් මේ මොහොතේත් සැරසී හිඳී.
“ඇයි ඒ…”
“හැන්ඩි කොල්ලෙක්නෙ අප්ප”
“හැන්ඩි කොල්ලො ඕනවෙයි ෆිල්ම්ස් වල ඇක්ට් කරන්න. පොලිටික්ස් වලට ඕන වෙන්නෙ හොඳ ඔළුවකුයි හොඳ හිතකුයි තියන අය. ඒ දෙකම බැලන්ස් එකේ තියෙන්න ඕනෙ. එක පැත්තක් බර වැඩි වුණොත් ඔක්කොම අවුල්”
“ඒ වුණාට මං එයාට මනාපෙ දෙනව”
“මේකි මහ චපල එකියක්නෙ. මගෙ අහිංසක අයියට එහෙම එකෙක් ඕන නෑ”
එවර සිනහ වූයේ උමා ය. සිනහ වෙන තාලයට ඇගේ දිගු ඇස් පිහාටු සැලිණ.
“ගඟුල්ට දෙන්නෙ ඉතිං මනාපෙ විතරනෙ. හිත දෙන්න බලං ඉන්නෙ රාජාට”
එහෙම කියත්දී බිම බලාගත් ඇගේ ලා දුඹුරු පැහැති උවන වඩාත් සුන්දරව පාරුල් ට පෙනිණ. ඔවුන් යන්නට ගියේ වතුර ටැංකි දෙසට ය. නමුත් ඊට පෙර, චන්දුල ඔවුන් දෙසට ඇවිද එමින් සිටියේ ය.
“කොහෙද මේ යන්නෙ…”
උමා දෙස උවමනාවෙන් ම නො බලා, පාරුල් දෙස බලාගෙන චන්දුල ප්‍රශ්න කළේ තරමක් තදිනි.
“නිකං වත්තෙ ටිකක් ඇවිදිනව ඉතිං. නිවාඩුවක් ලැබෙන්නෙත් කලාතුරකින්නෙ”
“මේ වත්තෙ අමුතුවෙන් දකින්න දෙයක් නෑනෙ. එනව යන්න ගෙදර”
“හා එහෙනං ගෙදර ගිහිං තේ බොමු. උමා පූරි හදල ගෙනත් තිබුණ. ඔයත් එනකල් කියල මෙයා තේ හදන්න එපා කිව්ව”
චන්දුල බැලුවේ හෝ නැත..උමා පාරුල් ගේ අතක් කෙනිත්තුවා ය.
“ඇයි ඉතිං කොනිත්තන්නෙ… මං බොරු කිව්ව නෙවෙයිනෙ”
චන්දුල නෑසුන ගානට ඉස්සර වූයේ ය. නමුත් පිටුපසින් ඇසෙන කෙල්ලන්ගේ සිනහවට ඉලක්ක වී සිටිනුයේ තමන් බව ඔහු ඉඳුරා දැන සිටියේ ය.
පාරුල් තේ හදත්දී උමා පූරිත් සම්බලයත් පිඟන් වලට බෙදුවා ය. ජුලී හිටියේ හවස කෙටි නින්දකට වැටීගෙනයි. ඉස්තෝප්පුවේ උළුවස්ස මතට වී පිටත බලා සිටි චන්දුල වෙතට උමා පූරි එකක් හා සම්බල දැමූ බෙලෙක් පිඟාන ගෙන ගියා ය.
“රාජයිය”
පිටුපස හැරී බැලූ චන්දුල උමා ගේ මුහුණ මගහැර බෙලෙක් පිඟාන මත නෙතු නතර කළේ ය. නමුත් උමා ගේ ඇස් නම් නො පියවී ඔහු වෙතට දැල්වීගෙන තිබිණ. ඇගේ ඇස් මත වූයේ දීප්තිමත් නලියෑමකි.
“බඩගිනිත් නෑ මට”
“පූරි එකක් කන්න කොල්ලෙක්ගෙ බඩේ ඉඩනැති වෙන්න පුළුවන්ද…”
ඇය දගකාර ලෙස මිමිණුවා ය. චන්දුල පිඟාන අතට ගත්තා විතර ය. ශාරුක් මිදුලෙහි පහල විය. ඔහු ගේ අතේ ඇපල්, දොඩම්, මිදි හා දෙළුම් දැමූ සුදු සිලි සිලි බෑගයකි. බුලත් කහට බැඳුණු දත් පෙන්වා ඔහු සිනහ වූයේ ය. ඔහු ගේ හිස කේ ශාරුක් ඛාන් ගේ වාගේ සකසා ඇත. ඇතුළට අඳිනා ටී කමිසයකට මත්තෙන් ඩෙනිම් අත් දිග කමිසයක් හැඳ, එහි බොත්තම් විවර කොටගෙන සිටීම ඔහු ගේ විලාසිතාවයි. ඒ ඩෙනිම් කලිසම කිළිටි ය. මාස ගණනකින්වත් සෝදා නැතිවා විය යුතු ය.
“පාරෝ ට නිවාඩු නේද… ඉතිං ගෙදර ඉන්න ගමන් කන්න මං පළතුරු ටිකක් අරං ආව. අලුත් බඩු. ගෙනාපු ගමංම මට මතක් වුණේ පාරෝව”
ඉස්සරහාට පැමිණි පාරුල් දෙසට ශාරුක් පළතුරු මල්ල පෑවේ ය.
“අනේ මොකට කරදර වුණාද… මං මේ ඇපල් දොඩං කන්න ආසම නෑ. මේව කන්න හොඳත් නෑ අප්ප. මේ ගෙඩි කඩල දැං මාස හතර පහක්වත් ඇති. තාමත් මේව නරක් නොවී තියාගන්න කොච්චර කෙමිකල්ස් ගහල ඇද්ද කියල හිතන්න පුළුවන්ද… තනිකර වස විස”
පාරුල් පළතුරු බෑගය ගන්නට අදිමදි කළා ය.
“අනේ මොන බයිලද පාරෝ. අපි මේ ආමර් ස්ට්‍රීට් එකේ දුං කාගෙන හැදුණ එවුං. අපිට ඕන විසක් පත්තියං වෙනව”
ශාරුක් බලයෙන් ම වාගේ පළතුරු බෑග් එක පාරුල් ගේ අතේ ගැසුවේ ය. ඇය තව දුරටත් එය ප්‍රතික්ෂේප නො කළේ විසි කළත් කෙනෙකු ගේ හිත රිදවිය හැකි ප්‍රමාණයක් තිබිය යුතු බැවිනි. නමුත් දැන් දැන් ශාරුක් බරපතල හිසරදයක් වීගෙන එයි.
“මේ ශාරුක්ටත් ප්ලේන්ටී එකක් දෙනව නංගි”
කියාගෙන චන්දුල පූරි කැබැල්ලක් කමින් ප්ලාස්ටික් පුටුවක් ඇද හිඳගත්දී ම ඔවුන් ගේ ගෙදොරකඩ සුඛෝපභෝගී මෝටර් රථයක් නතර විය. පිරිමි ඇස් හතර විපරමට කුඩා වූව ද, ගඟුල් ඉන් බැසගන්නටත් පෙර ඒ රිය හැඳිනගන්නට පාරුල් සමත් වූවා ය. නමුත් හදවතෙහි ඇති වූ ගැස්මට හේතුව හැඳිනගන්නට ඒ වෙලාවේ ඇය පොහොසත් වූයේ නැත.
💙කතාව ගැන ඔබේ ගුණ දොස් දැනගන්නට මම කැමැත්තෙන් ඉමි. කියවූ බවට සලකුණක් හෝ තබා යනවා නම් සතුටකි.