ඉනික්බිති ටික දිනක් ගඟුල් විජයවීර ලොන්ඩරි වත්තෙහි දැකිය නො හැකි විය. කිසිත් නොකර ම එසේ නෑවිත් සිටිනවාට වඩා, වත්තේ ළමයින් වෙනුවෙන් පාරුල් බලාපොරොත්තු වූ දේ ඇය බලාපොරොත්තු නොවූ පරිද්දෙන් සිදු කොට නෑවිත් හිඳීම ඔහු ට සැනසීමක් වූයේ ය. කටුවක් වගේ දෙයක් ගඟුල් ගේ සිතේ ඇමිණී තිබිණි. ශාරුක් වූ කලී පාරුල් ගේ පෙම්වතා කියා සිතන්නට කිසිදු සාධාරණ හේතුවක් ඔහු ට නැත. නමුත් ඔහු ඒ ගැන විමසූ වෙලාවේ පාරුල් මුණිවත ම රැක්කා ය. කටුව ඇනුණේ එතැනදී ය. එය එසේ නොවේ කියා ඇය නොකීවේ ඇයි? ශාරුක් ඈ ගැන එසේ සිතාගෙන සිටියාට එහෙම අදහසක් තුන් හිතකවත් නැත කියා ඈ නො කීවේ ඇයි? ඉස්සර නො දන්නා කමට ඇති කරගත් ඇසුරක් තිබිණි ද දැන් එවැන්නක් නැත කියා හෝ ඈ නො කීවේ ඇයි? ඒ කාරණයේ දී ඇය නො සැලකිලිමත් මුණිවතක් රැක්කේ ඇයි?
පාරුල් දෙව්රූ ඇල්ලගේ වූ කලී වත්තෙන් මනාප ටිකක් එකතු කරගැනීමේ මෙහෙයුමට ගිය ගමනකදී හමු වූ කෙල්ලකි. ඇය විශේෂයක් ව ගඟුල් ගේ මතකයේ රැඳුණේ වත්තේ ජනතාව වෙනුවෙන් ඈ නැගූ හඬ නිසා ය. කොහොමටත් ඇය තියුණු ආකල්ප හා දේශපාලන දර්ශනයක් ඇති යුවතියකි. එපමණකි. ඊට එපිටින් ඈ ගැන හිතන්නට යමක් ඔහු ට නොවේ. ගඟුල් එහෙම හිතා පාරුල් හිතට වද්දා නො ගෙන සිටීමට උත්සාහ කළේ ය. නමුත් ඇගේ දේශපාලනික ආකල්ප වලට ඔහු තුළ ගෞරවයක් ලියලා වැඩෙමින් තිබිණ. සාමාන්‍යයෙන් ගඟුල් ළමයින් හුරතල් කරන්නට හෝ ඔවුන්ගේ හුරතල් දකින්නට හෝ බොහෝ අය වාගේ ආශාවක් ඇති කෙනෙකු නොවේ. නමුත් ලොන්ඩරි වත්තේ ළමයින්ට සතුට ගෙන ගිය දවසේ ඔවුන් ගේ මුහුණු වල පිරී තිබූ ප්‍රීති සිනහවන් ඔහු ට කිසි දා අමතක කළ නො හැකි ය. මොන තරම් පහසුවෙන් හදවතකට සතුට ළඟා කරගත හැකි ද? ඊට මාර්ගය ඔහු වෙත විවර කොට දුන්නේ ඇයයි.
ගඟුල් දිගට ම වැඩ කළේ ය. ඊට පස්සේ දින කිහිපය තුළ ඔහු කාර්ය බහුල වූයේ තවත් නාගරික අඩු පහසුකම් ඇති නිවාස පද්ධති වෙනුවෙනි. ඒ බොහෝ තැන් අපායවල් ය. පිරිසිඳුකම අතින් අන්ත නරාවළවල් ය. ඒ මිනිසුන් තිරිසනුන් වාගේ ය. චණ්ඩින් ද කුඩු කාරයන් ද ගංජා කාරයන් ද ගැට කපන්නන් ද ගහන ය. බොහෝ තැන් වල නීති විරෝධී කටයුතු සිදු වේ. ඒ අතින් ලොන්ඩරි වත්ත දිව්‍ය ලෝකයකි. එතැන සිටින්නේ කාටවත් කරදරයක් නොකර අනුන්ගේ කිළිටි සෝදා අසීරුවෙන් ජීවත් වන අහිංසක මිනිස් කැළකි. මේ නාගරික අඩු පහසුකම් සහිත මිනිසුන් ගේ ජීවන තත්වය ඉහළට ගැනීම ගැන සිතත්දී ගඟුල් උමතු වීමට ආසන්න වෙයි. එය කොතැනකින් පටන්ගත හැකි කාරියක් ද කියා සිතාගත නො හැකි වෙයි. නාගරික සංවර්ධන අධිකාරියක් වුව මේ මිනිසුන් ගේ ජීවන ක්‍රම අභියස අසරණ වෙනවා විය හැක.
කෙසේ වෙතත් ගඟුල් කාර්ය බහුල වූයේ ය. අනිත් වතු වල ද දරුවන් වෙනුවෙන් ලොන්ඩරිවත්තේ දරුවන්ට සේ ම උදව් පදව් කළේ ය. ඒත් ඔහු ගේ හිත බර ව තිබිණ. ඔහු ට යම් අඩුවක් දැනෙමින් තිබිණ. ඔහු ට යමක් සිහි වෙමින් තිබිණ. නො හිතා ඉන්නට හිතුවාට පාරුල් දෙව්රූ ඇල්ලගේ හිතේ විදුලි කොටමින් සිටියා ය.
පාරුල් ද එක දිගට දේශන වලට ගියා ය. වෙනදා වාගේ ම, සතුටෙන් ඉන්නට උත්සාහ කළා ය. ඇතැම් විට වෙනදාටත් වඩා තමන් හොඳින් යයි ඇයට ම හැඟවීමේ උත්සාහයක් ගත්තා ය. නමුත් යම් අඩුවක් ඇතැම් විට හිත හෝදාපාළු කර දැමුවේ ය. කිසිදු ප්‍රබෝධයක් නැතිව හදවත උදාසීනව ඔහේ වැතිර හිඳිනා වෙලාවල් තිබිණ. ගඟුල් විජයවීර ගැන මොහොතකටවත් හිතන්නට ඇයට ඕනෑ වූයේ නැත. නමුත් නිදා නො නිදා වාගේ ඔහු කොයි වෙලාවේත් ඈ තුළ හුස්ම ගනිමින් සිටියේ ය.
ටික දිනක් තිස්සේ උනුන් සිය දෑස් වලට හසු නොවීමේ නොසන්සුන් බවක් ඔවුන් දෙදෙනාට ම දැනෙමින් තිබිණ. නමුත් එය එසේ බව පිළිගන්නට දෙදෙනා ම කැමති වූයේ නැත. එහෙයින් ඒ සිතිවිල්ලට ඉඩක් ලැබුණේ ද නැත.
ගඟුල් ටික දිනකින් වත්තට නො පැමිණීම ගැන ජය පැන් බීවේ ශාරුක් ය. පොරොවෙන් කපන්නට තරම් වැඩෙන්නට පෙර ඒ සෙල්ලම නියපොත්තෙන් කඩා දැමීමට හැකි වීම ගැන ඔහු ආඩම්බරයෙන් සිටියේ ය. පංචිකාවත්තේ දී බසයෙන් බසින්නට ගිය පාරුල්, දිනක් හදිසියේ තීරණය වෙනස් කොට කැපිටල් නැවතුමෙන් බසයෙන් බැස්සා ය. ඇය දුටු ඔහු කටපුරා සිනහ වුණේ ය. ඒ එක මොහොතට ශාරුක් ට පළතුරු කරත්තයත් අමතක විය. පාරුල් ඔහු වෙතට එනවාටත් වැඩි වේගයකින් ඔහු ඇය වෙතට ලං විය. ලං වන විට ය දුටුවේ පාරුල් මකරෙකු වාගේ ඇස් වලින් ගිනි පිඹිමින් සිටි බව. ශාරුක් මොහොතින් තිගැස්සී නතර විය.
“ප…පාරෝ…”
“ආ ශාරුක් ඛාන්. මං මේ ඔහේට කතා කරල යන්න තමයි මෙතනිංම බස් එකෙන් බැස්සෙ”
ඇගේ ස්වරය වෙනස් බව ද බැල්ම භයානක බව ද අමතක කොට ඔහු ඈ කී දේ ගැන මුග්ධ සතුටක් විඳින්නට උත්සාහ කළේ ය.
“මං දන්නව… අන්තිමට පාරෝට මාව බලන්න එන්න හිතෙනව කියල”
ශාරුක් ගේ මෝඩ සිනහව දුටු විට පාරුල් ට සිතුණේ ඔහු ගේ කිළිටි ඩෙනිම් ජැකට්ටුවෙන් ඇද ළඟට ගෙන කම්මුල රත් වෙන්නට පාරක් දෙන්නට ය. නමුත් ඕ එසේ නොකොට, ඔහු ට වඩාත් ළං ව හඬ පහත් කොට, දත්මිටි කමින් කතා කළා ය.
“ශාරුක් ඛාන් කියල වෙන්නැති නේ හිතං ඉන්නෙ…”
“අනේ පාරෝ මන්දන්නෑ මට මොකා සිරිල් කියන නම තිබ්බද කියල. උප්පැන්න සහතිකේ මොක තිබ්බත් ශාරුක් කියන නම මට ගැලපෙනව අප්ප. අනික ශාරුක් ඛාන් මගෙ ෆේවරිට්. ඔයා පාරෝ මං ශාරුක් කියද්දි දේව්දාස් මතක් වෙන්නැද්ද… හා නැද්ද කියල අවංකවම කියන්න”
“මේ… මට තමුන් ශාරුක් ඛාන් නෙවෙයි අමිතාබ් භච්චන් වුණත් කමක් නෑ හරිද… තමුන් කොහොමද එක එක්කෙනාට කියන්නෙ මාව බඳින්න ඉන්නවයි කියල… කවදද මං එහෙම කියල තියෙන්නෙ… ඩොක්ටර් කෙනෙක් වෙන්න ගියාට මං ලොන්ඩරි වත්තෙ කෙල්ලෙක් කියල අමතක කරන්නෙපා හරිද… එන්නෙපා ඕන්නැති කතා කියාගෙන. අනිත්එක එහෙම අදහසක් කියනවනං අයිං කරගන්න එකයි. ඉන්නවකො මං අයියට කියන්න”
ඇස් වලින් ඔහු ට ගිනි තබනා සැනෙකින් පාරුල් පාර මාරු වෙන්නට ගියා ය.
“අනේ පාරෝ… චන්දුලට අනං මනං කියන්න යන්නෝන්නෑනෙ. අනික මගෙ හිතේ ඔයා ගැන තියන ආලවන්තකම ගැන ඌත් නොදන්නව නෙවෙයිනෙ”
කණු කුණු ගාමින් ශාරුක් ද පාර මාරු වීමට ආවේ ය. දැන් ඔහු ට පළතුරු කරත්තය ගැන වගක් හෝ නැත.
“මේ… යනවද යන්න මගෙ පස්සෙන් එන්නැතුව”
පාරුල් දත්මිටි කමින් ඔහු ට රැව්වා ය. ශාරුක් මඳ පසුබෑමකට ලක් වූයේ ය. නමුත් එසැනෙන් ඔහු ගේ ප්‍රේම යාදිනිය වෛරයක සළු හැඳගත්තේ ය.
“අර ඇමති පුතා ලොකු කරගෙන වෙන්නැති නේ මට පාට් එක දාගෙන එන්නෙ… බලමුකො… කුඩු කරනව ඕකගෙ අඬු මං… ආයෙ වත්තට ආවොත් එහෙම”
වාහන සුදු ඉර දෙපැත්තේ නතර විය. පාරුල් පය ඉක්මන් කොට සුදු ඉර හරහා ගියා ය. ශාරුක් ට එය තරණය කිරීමේ හයියක් වූයේ නැත. පාර මැද්දේදී ද පාරුල් හැරී බලා ශාරුක් ට රැව්වා ය. ඔහු ගල් පිළිමයක් සේ පාෂාණිභූත ව සිටියේ ය.
“ඇමති පුතා ඒ ගැන අහද්දිත් වැරැද්ද හදන්න ගියෙ නැති එකේ… මොකටද ශාරුක්ට කඩං පැන්නෙ… “
උමා ට යෙහෙළිය වටහාගත හැකි වූයේ නැත.
“ඔය ශාරුකා හරි ගානට වැඩී. ඒකා හිතං ඉන්නෙ ඇත්තට ම ශාරුක් ඛාන් කියල. කොයි වෙලාවෙ හරි ගහනෝ මං ඕකාට… බෙල්ල ගැලවිල යන්න…”
උමා හඬ නගා සිනහ වූවා ය. චන්දුල ගෙතුළ සිට එ’හඬට පිටතට බෙල්ල දිගු කොට බැලුවේ ය. යුවතියෝ සඳ එළියේ බංකුව මත සල්ලාපයේ යෙදී සිටිති. චන්දුල ගේ බැල්ම දැක උමා වහා සිනහව නතර කොට ගත්තා ය.
ඊළඟ දවස ම පාරුල් ට හොඳ වූයේ නැත. හැම වෙලාවේ ම කුමක් හෝ වරදක් සිදු වූයේ ය. එදා ජාතික රෝහලේ සායනික පුහුණුවීම් පැවතිණ. රෝගීන් සමගින් කතා බහ කරමින් ද ඔවුන් ගේ රෝග ලක්ෂණ අභ්‍යාස පොතෙහි සටහන් කර ගනිමින් ද ඇය පෙර පරිදි හිත එක්තැන් කරගැනීමට වෑයම් කළා ය. ඇතැම් විට හිත ඇයට පැරදිණ. ඇතැම් විට ඇය හිතට පැරදුණා ය.
දවාලේ ගඟුල් ගෙන් දුරකතන ඇමතුමක් ආවේ ය. පාරුල් මොහොතකට ගල් වීගෙන වාගේ තිරය දෙස බලා සිටියා ය. කල්ප කාල ඉඩෝරයකට පසු මහ වැස්සක් ඇද හැළුණා වන් ප්‍රාතිහාර්යයක් සිදු විය. එතෙක් ඇයට දැනෙමින් පැවතියා වූ නො සන්සුන්කම, නො රිස්සුම, අසහනකාරී බව මහ වැස්සකට දිය වී ගියා සේ අතුරුදන් ව තිබිණ.
“හෙලෝ…”
ඇගේ හඬ ඇයට ද අදහාගත නො හැකි තරමට අවිහිංසක වූයේ ය.
“ඔයා බිසීද පාරුල්…”
“අ…නෑ…මං මේ…ෆැකල්ටි එකට ඇවිත්”
“ඔයා ගෙදර යනකොට කීය වෙයිද…මට පොඩ්ඩක් අපේ ප්‍රොජෙක්ට් එකේ නෙක්ස්ට් ස්ටෙප් එක ගැන ඔයත් එක්ක ටිකක් ඩිස්කස් කරන්න තියෙනවනං හොඳයි”
“ආ… මං අද ෆැකල්ටි එකෙන් යනකොට තුන විතර වෙයි මං හිතන්නෙ”
“හරි හරි කමක්නෑ. බලමුකො. පුළුවන් වුණොත් මං එන්නං”
ඔහු දුරකතන සම්බන්ධය බිඳ දැමුවාට පස්සේ තත්පර ගෙවුණේ හෝරා තරම් හෙමිහිට ය. නමුත් උද්‍යෝගය කොහේදෝ සිට පැමිණ ඇය වසාගත්තේ ය.
ගඟුල් කිංසි පාරේ රිය නතර කොටගෙන සිටියේ ය. යම් හෙයකින් ඇය මගහැරේ යයි බියෙන් ඔහු හෝරාවකටත් කලින් එතැනට ආවේ ය. වෛද්‍ය සිසු සිසුවියන් රෝහලේ සිට පාර මාරු වී වෛද්‍ය පීඨය වෙත යනු දුටු වෙලාවේ සිට ඇය මගහැරේ යයි දෙගිඩියාවෙන් රියෙන් බැස ඔවුන් දෙස විපරම් කරන්නට වූයේ ය. අන්තිමට ඇය ආවා ය. සුදු වෛද්‍ය ශිෂ්‍ය ලෝගුව හැඳ, චූටි දොස්තර නෝනා කෙනෙකු වාගේ ස්ටෙතස්කෝප් එක කරේ දමාගෙන, තවත් යුවතියන් රංචුවක් සමග පාර මාරු වෙන්නට ගියා ය. පාරුල් ගේ ඇසට ගඟුල් හසු වූයේ පාර මාරු වීමට ඔන්න මෙන්න කියා තිබියදීයි. ඒ ඔහු ම ද කියා විශ්වාස කරගන්නට හැකි නො හැකි සීමාවේදී, පෙරට තැබූ පය ඕ නැවත ගත්තා ය. අත් දෙක සුදු ලෝගුවේ ලොකු සාක්කු වල ඔබාගෙන ඇය හැරී ඔහු වෙතට පිය නැගි ඒ දර්ශනය කිසි දාක ගඟුල් විජයවීර ගේ මනසින් මැකී නො යනු ඇත.
💙ඔබේ ආදරණීය ප්‍රතිචාර වලට අපමණක් ස්තූතියි! ආදරෙයි!!