“පරසිඳු කරලියැද්ද
දුව කිරුළිස පැළැන්ද
කුසුමාසන දේවිය දෝන කතිරිනා”
මේ සිංදුව අහපු නැති කෙනෙක් නෑ, අනූව දශකයේ ඉපදුණ. ඒ තරම් එදත් අදත් ප්‍රසිද්ධ එක ලෙසින් මිනිසුන්ගෙ සිත් ආකර්ෂණය කරගත් සිංදුවක් තමයි මේ. සිංදුව ලස්සන උනාට මේ සිංදුවෙ කියවෙන දෝන කතිරිනා නොහොත් කුසුමාසන දේවියට නම් තියෙන්නෙ එච්චර ලස්සන ජීවිත කතාවක් නෙවෙයි.
සිංහල බිසෝවරු අතර වැඩිම මානසික පීඩාවක් වින්ද බිසව විදියට සැලකෙන්නෙ කුසුමාසන දේවිය හෙවත් දෝන කතිරිනාව.ඒකට විශේෂිතව හේතුව වෙන්නෙ රජ පවුලක බිසවක් වෙලා ඉපදුණත් ඇය ඉපදෙන්නෙ අවිනිශ්චිත කාල සීමාවක විම.
කුසුමාසන දේවිය කියන්නෙ කන්ද උඩරට (1551-158) කාලෙ රජකල කරලියැද්දේ බණ්ඩාරගෙ දුව.එයාගේ අම්මා තමයි ගලගම මහ දේවිය.1578-80 කාලෙ තමයි කුසුමාසන දේවි ඉපදෙන්නෙ. රජ පවුලක ඉපදුනාට කුසුමාසන දේවියට එච්චර කාලයක් නම් රජ සැප විඳින්න ලැබෙන්නෙ නෑ. ඒකට හේතුව වුනේ කුසුමාසන දේවියගෙ තාත්තට එක පැත්තකින් පෘතුගීසි ආක්‍රමණ වලට මුහුන දෙන්න උනා වගේම අනෙක් පැත්තෙන් සීතාවක රාජසිංහ රජුගෙන් එල්ලවෙච්ච ආක්‍රමන වලට මුහුන දෙන්න වුණ එක.
1582 දී රාජසිංහ රජ්ජුරුවො උඩරට ආක්‍රමණය කරයින් පස්සෙ කරලියැද්දේ බණ්ඩාරට ජීවිතය බේරගන්න පලායන්න වෙන්නෙ ත්‍රිකුණාමලයේ ඉන්න පෘතුගීසින් ළඟට. මේ වෙද්දි කරලියැද්දෙ බණ්ඩාර ඉන්නෙ මානසිකව වැටිලා. එහෙම ඉද්දි වසූරිය හැදිලා එතුමා මියයනවා. කරලියැද්දෙ බණ්ඩාර රජතුමාව බිලිගත්ත වසූරිය රෝගයට දේවිය සහ පුත්කුමරත් බිලිවෙනවා. පුංචි කුමරිය සහ එයාගෙ ඥාති සොයුරු යමසිංහ බණ්ඩාරව මන්නාරමට යවලා ජීවත්කරවන්න පෘතුගීසීන් තීරණය කරනවා. ගෙබ්‍රියල් කුලාසු සහ කැතරිනා ද ආබ්‍රෙව් යන පෘතුගීසි යුවළ තමයි පුංචි කුමාරියව බලාගන්න භාරගන්නෙ. ඒ නිසාම තමයි කුසුමාසන දේවිය දෝන කතිරිනා නමින් බෞතීස්ම වෙන්නෙ.
මේ විදියට උස් මහත් වෙච්ච දෝන කතිරිනාට තමන්ගෙ ඇඟේ දුවන රාජකීය ලේ ගැන හැඟීමක් තිබුණේ නෑ. එයා කතෝලික තරුණියක් විදියට උස් මහත් වෙමින් තමයි උන්නෙ. හැබැයි පෘතුගීසින් එයාව පරිස්සම් කරේ කවදහරි දවසක මොකක් හරි දේකට එයාව උවමනා වෙයි කියල හිතලමයි.
රාජසිංහ රජතුමාගේ කෘර පාලනය නිසා උඩරට හරියට කැරළි ඇති වෙලා තියෙනවා. ඒ කැරළි අවුලුවල උඩරට පාලනය තමන්ගෙ යටතට ගන්න තමයි පෘතුගීසින් උත්සහ කරේ. එයාලා ඒකට ඇම විදියට මුලින්ම පාවිච්චි කරේ කරලියැද්දේ බණ්ඩාරගෙ ඥාති පුතෙක් වුන යමසිංහ බණ්ඩාර කුමාරයාව. 1592 දී යමසිංහ බණ්ඩාර මූලික කරගත්ත පෘතුගීසි හමුදාවක් උඩරට යටත් කරගන්නවා. රාජසිංහ රජ්ජුරුවො පැරදිලා පලා යනවා. යමසිංහ කුමාරයා සිහසුනේ ඉඳ ගත්තට වැඩිකල් රජකම් කරන්න වෙන්නෙ නැ. අසනීප වෙලා යමසිංහ බණ්ඩාර මිය ගියයින් පස්සෙ රජ වෙන්නෙ කොනප්පු බණ්ඩාර. කොනප්පු බණ්ඩාර කියන්නෙ පෘතුගීසින්ට හිතවත් පේරාදෙණියෙ වීරසුන්දර බණ්ඩාරගෙ පුතා වුණ රාජකීය ලේ නැති කෙනෙක්.
කපිතාන් ජනරාල් පේරු ලෝපෙස් ද සූසාගේ ප්‍රධානත්වයෙන් 1594 දි පෘතුගීසින් සෙංකඩගලට එන්නෙ උඩරට ආක්‍රමණය කරලා දෝන කතිරිනාව සිහසුනේ පිහිටුවන්න හිතාගෙන. මේ වෙද්දි දෝන කතිරිනා කුමරියට වයස අවුරුදු 16. එයා මන්නාරමේ ඉඳල මේ සෙංකඩගල ආක්‍රමණය කරන්න යන පිරිසට එකතු වෙනවා.
මේ එන 400ක සේනාව එක්ක සටන් කරල දිනන්න විමලධර්මසූරිය නමින් රජවෙච්ච කොනප්පු බණ්ඩාරට පුලුවන් වෙන්නෙ නෑ. පලායන විමලධර්මසූරිය වෙල්ලස්සට යනවා. දෝන කතිරිනා නාමමාත්‍රික රැජිණ විදියට සෙංකඩගල රජ වෙනවා. රැජිනක් උනත් සිරකාරියක් වගේ ජීවත් වෙන දෝන කතිරිනාට කොටින්ම තමන්ගෙ රාජ්‍යයේ ඉන්න මිනිස්සුවත් හම්බුවෙන්න ඉඩක් ලැබෙන්නෙ නෑ. පේරු ලෝපේස් ට උවමනා වෙනවා දෝන කතිරිනාට පෘතුගීසි සැමියෙක් හොයලා දෙන්න.
මේ අතරෙ මෙච්චර දවස් පෘතුගීසින්ට උදව් කර කර උන්නු සිංහල හමුදා පෘතුගීසින් එක්ක ප්‍රශ්න ඇතිකරගන්නවා. මේකෙන් ප්‍රයෝජන ගන්න විමලධර්මසූරිය කරන්නෙ දන්තුරේදි සටන් කරලා පෘතුගීසින්ව පරද්දන එක. මේ සටනෙදි පැනල යන දෝන කතිරිනාව අල්ලගන්න ඒකනායක මුදලි දෝන කතිරිනාව විමලධර්මසූරියට භාරදෙනව. සන්තෝස වෙන විමලධර්මසූරිය දෝන කතිරිනාව විවාහ කරගෙන මෙච්චර කලක් තමන්ට නැතුව තිබිච්ච රාජකීය උරුමය අයිති කරගන්නවා.
දෝන කතිරිනා ඇත්තමට කුසුමාසන දේවි වෙන්නෙ මෙන්න මේ විවාහයෙන් පස්සෙ. විමලධර්මසූරියට දාව දරුවන් තුන්දෙනෙකුත් ඇයට ලැබෙනවා.පලවෙනියා පුත් කුමරෙක් ඉතිරි දෙන්නම දූවරු. විමලධර්මසූරිය කියන්නෙ උඩරටට සෑහෙන සේවයක් කල රජෙක්. එතුමා 1604 දි මිය යනවා. දරුවො තුන්දෙනා එක්ක කුසුමාසන දේවි තනිවෙනවා. ඊටපස්සෙ රජවෙන්නෙ විමලධර්මසූරිය රජතුමාගෙ ඥාති සොහොයුරෙක් වෙන සෙනරත්. සෙනරත් කියන්නෙ කලින් පැවිදිවෙලා ඉඳලා පස්සෙ උපැවිදි වූ කෙනෙක්. මෙයා තමන්ගෙ රාජකීය උරුමය තව තහවුරු කරගන්න කුසුමාසන දේවිය විවාහ කරගන්නවා. සටන්කාමී පාලකයෙක් නොවිච්ච සෙනරත් රජතුමා සාමකාමී රාජ්‍ය කාලයක් ගෙවන්න තමයි උත්සහ කරන්නෙ.ඒ විදියට තමයි 1617 දි සෙනරත් රජතුමා පෘතුගීසින් එක්ක සාම ගිවිසුමක් ඇති කරගන්නෙ.
කුසුමාසන දේවිය සෙනරත් රජතුමාව විවාහ කරගත්තත් ඒක නමට විතරක් තියෙච්ච විවාහයක් කියලා තමයි සඳහන් වෙන්නෙ. කුසුමාසන දේවියට සෙනරත් රජතුමාගෙනුත් දරුවො තුන් දෙනෙක් හම්බුවෙනවා. හැබැයි සෙනරත් රජතුමා විමලධර්මසූරියගෙ දරුවන්ට නම් එච්චර හොඳින් සැලකුවෙ නෑ කියල තමයි ඉතිහාස පොත්වල ලියවිලා තියෙන්නෙ.
රාජ්‍යත්වයට උරුමයක් තිබුණත් ඒක තමන්ගෙ දරුවන්ට නරකක් වෙන්න පුළුවන් කියල හිතල කුසුමාසන දේවිය 1612 දි දරුවන්ව සහ වස්තුව අරගෙන පෘතුගීසින් වෙත පලායන්න උත්සහ කරනවා. ඒ වෙනුවෙන් ඇය පෘතුගීසි කපිතාන් ජෙරනිමෝද අසවේදුට පණිවිඩ යවලත් තියෙනවලු. මෙහෙම ඉද්දි 1612 අගෝස්තු මාසෙදි ඇගේ වැඩිමහල් පුත් කුමරා හදිසියේ මිය යනවා. ඒක සෙනරත් රජුගෙ කුමන්ත්‍රණයක් කියල තමයි කියන්නෙ.
මේ හේතුව නිසාම කුසුමාසන දේවි හැඬූ කඳුලෙන්මලු කාලය ගතකලේ. ඒ වගේම එයා මානසිකවත් සෑහෙන අවපීඩන තත්ත්වයක ඉඳියා කියල ඉතිහාසයේ සඳහන් වෙනවා.
මානසිකව දුර්වල වෙච්ච කුසුමාසන දේවිය 1610 ඉඳල ජීවත්වෙලා තියෙන්නෙ කෑගල්ලේ වැලිමන්නාතොට මාළිගාවක.
හොඳ සිහියෙන් ඉන්න වෙලාවට කුසුමාසන දේවිය දරුවන්ව ළඟට ගෙන්නගෙන අඬලා පවා තියනවලු තමන් කොච්චර බයෙන්ද ඉන්නෙ කියලා ඒ දරුවන්ගෙ අනාගතය ගැන කියලා. පිරිමි දරුවන් මියයාවි ගැහැණු දරුවන් දූෂණය වේවි කියන බයෙන් ජීවත්වෙච්ච කුසුමාසන දේවිය මියයන්නෙ ඉතාම තරුණ වයසක් වුණ අවුරුදු තිස් පහේදි. ඒ මිය යද්දිත් ඇය ගැබිණියක් කියල සඳහන් වෙනවා.
උණ රෝගය නිසා තමයි කුසුමාසන දේවිය මියගිහින් තියෙන්නෙ.
වැලිමන්නාතොටදී කිතුණු ආගමික චාරිත්‍ර අනුව කුසුමාසන දේවියගෙ අවසන් කටයුතු සිදුවෙනවා. මරණයෙන් පස්සෙ කුසුමාසන දේවි බයෙන් උන්නු හැමදේම වගේ ඒ විදියටම සිදු වෙනවා. කුසුමාසන දේවිය මියගියයින් පස්සෙ කුසුමාසන දේවිය සහ විමලධර්මසූරිය රජුගෙන් පළවෙනි දියණියව සෙනරත් රජු විවාහ කරගන්නවා. සූරිය කුමරිය මියගියයින් පස්සෙ දෙවනි දියණිය වුණ ඉතාම ලාබාල හන්තානේ කුමරියවත් සෙනරත් රජු විවාහ කරගන්නවා.
ඒ නිසාම ඒ කුමරියන්ටත් ලැබෙන්නෙ තමන්ගෙ අම්මාට ලැබුණ වගේම ඉතාම දුක්ඛිත ජීවිතයක්.
ඉතින් දරුවන් නිසාම ආතතියෙන් මියගිය කුසුමාසන දේවියට මරණයෙන් පසුවවත් ඇය බලාපොරොත්තු වුණ ශාන්තිය ලැබෙන්න ඇති කියල අපිට හිතන්න පුලුවන්ද?
ඉතින් කුසුමාසන දේවියේ,
කපිතන් දියෝගුගෙන් – දැන කඩු ශිල්ප හටන්
කොන්තය ගෙලේ බැන්ද පරංගි වාඩියේ
කොණප්පු බණ්ඩාරට – පූජා කල ප්‍රේමය
මිහිරිම හීනයක්ද වසන්ත කාලයේ?