ආකාස මෝස්තර – 23

ඒ වූ කලී අක්ෂි මායාවකි. දෙනෙත් මුලා කරනා වශීයකි. රුධිර පීඩනය ඉහළ නංවන ප්‍රාතිහාර්යයකි. පාරුල් සිටියේ ඒ සියල්ලෙන් මුළුමනින් වසඟයට පත්ව ය. තිගැස්මට ලක්ව ය. මේ රාත්‍රියේ ඔහු දැකීමේ බලාපොරොත්තුවක් ඇගේ තුන් හිතකවත් වූයේ නැත. හැන්දෑවේ අවන්හල ළඟ දී ඈ ඔහුගෙන් සමුගත්දී ගඟුල් තුළ ද මෙවන් අදහසක් නො විණි.

සමහර තීරණ ගන්නට වෙන්නේ හදිසියේ ය. මේ හදිසි තීරණයට ගඟුල් කැමති ය. අත්‍යවශ්‍ය වැඩ නිම වී ගෙදර ගිහින් දිය නා ගත්දී ඔහුට මේ ගමන එන්නට සිතිණි. චන්දුල ට සුබ පැතීමේ අවශ්‍යතාවයක් වූ බව ඇත්ත ය. එහෙත් එය වෙන වෙලාවක කරන්නට බැරි නැත. ඕනේ නම් පාරුල් ට දුරකතන ඇමතුමක් දී හෝ එසේ කළ හැකිව තිබිණ. නමුත් ගඟුල් ට මේ ගමන එන්නට ම ඕන විණි. හැන්දෑවේත් පාරුල් හමු වූ බව ඇත්ත ය. සිනහ වී සිටියා ට පසන් බැන්න එක ගැන ඇගේ යටි හිතේ යමක් තිබෙන්නට ඇත. “දුකෙන් ඉන්න එපා” කියා ඇගේ ඇස් දෙක දෙස බලාගෙන කියන්නට හවස ඔහු ට බැරි විය. නිදන්නට පෙර එය කිව යුතු ම ය. චන්දුල ගේ ජයග්‍රහණය පිට දමා මේ ගමන එන එක අපහසුත් නැත.

ඡන්ද අපේක්ෂකයාව මේ රාත්‍රියෙහි මේ ප්‍රීති සාදය අතරේ දුටු පිරිස නිහඬ වීමට ගියහ. නමුත් ගඟුල් චන්දුල ට අතින් ඉඟි කළේ ගීතය නො නවත්වා ගයනා ලෙසයි. කවුදෝ මන්දා ප්ලාස්ටික් පුටුවක් ලං කළේ ය. ගඟුල් එහි අසුන් නො ගෙන පාරුල් ළඟින් සිටගෙන සිටියේ ය. ඔහු ළඟ සව්මිය සුවඳක් දැනේ. දිය නා ගත් ගමන් නැවුම් ප්‍රබෝධයක් ද වඩා පැහැපත් බවක් ද විහිදේ. පාරුල් ඇස් විදා බලා සිටියේ අයියා ගේ ගැයුම දෙස නොව ගඟුල් ගේ කඩවසම් බව දෙස ය. මේ මොහොතේ එය ගැහැනු හදවතකට දරාගත නො හැකි තරමි. උමා ගේ ඇස් පාරුල් වටහා ගැනීමේ ඉක්මන් උත්සාහයක යෙදෙමින් තිබිණ.

ඒ ගීය ගැයීමෙන් පස්සේ චන්දුල ගඟුල් දෙස බලාගෙන සිනහවකින් නැගී සිටියේ ය.

“චන්දුලව සිලෙක්ට් වෙලා කියල පාරුල්ගෙන් දැනගන්න හම්බුණා. මං මේ දුවල යන්න ආවෙ… චන්දුලට විශ් කරන්න ඕන නිසා. වෙල්ඩන් චන්දුල. මේක ස්ටාට් එක විතරයි. තව ගොඩක් දුර යන්න තියනව. යන්න ඕන”

ගඟුල් විජයවීර විසින් දිගු කරනා ලද අත, චන්දුල විසින් අල්වා ගැනුණේ පැකිළීමකින් යුතුව ය. නමුත් ආරංචිය දැනගත් ගමන් ඔහු මෙසේ පැමිණීම ගැන  පහන් හැඟීමක් නො දැනුණා ම නොවේ.

“බොහොම ස්තූතියි සර්”

“මට කිව්වෙවත් නෑනෙ එනව කියල”

“කිය කිය ඉන්න බැරිවුණා පාරුල්. හදිස්සියෙ තීරණේ කළා..ආව”

“අනේ සර් එදා තේ එකක් බොනව කියල කිව්වට බිව්වෙ නැතුවම ගියානෙ. ඊට පස්සෙ වත්තට ආව කිව්වත් මං සර්ව දැක්කෙවත් නෑනෙ”

ජුලී පරණ කෝන්තරයක් මතකයේ තබාගෙන හිඳ තිබිණ.

“හරි හරි අද බොමුකො අත්තම්මෙ”

කියා ගඟුල් කීවේ ජුලී ගේ පපුව වෙඬරු සේ උණු කරමිනි. මේ වගේ රාජ කුමාරයෙක් ඔවුන්ගේ දුප්පත් පැළට ගොඩ වී කට පුරා අත්තම්මේයි ඇය ඇමතීම, මේ භවයේ දී ජුලී ට හිසටත් උඩිනි.

“අනේ දැං මේ බත් කන වෙලාවනෙ අත්තම්මෙ”

කියා පාරුල් කීවේ තේ බොන්නට ඇවිටිලි කරනා එක ගඟුල් ට කරදරයක් වෙතැයි සිතමිනි. නමුත් ඔහු පැවසූයේ බලාපොරොත්තු නොවූ යමකි.

“හොඳ සුවඳක්නං එනව. බඩගිනි හැදෙන සුවඳක්”

ඒ කතාවට කවුරුත් සිනහ වූහ. මේ විශේෂ අමුත්තා ගේ ආගමනය නිසා කොලු කුරුට්ටෝ මිදුලට පල්ලම් බැස්සහ. චන්දුල ඇස් වලින් ඔවුන්ට කීවේ දැන් විසිර යන ලෙසයි. ඒ අනුව ගෙදර ඇත්තන් හා අමුත්තා හැරුණු විට ඉතිරි වූයේ උමා පමණකි.

“අනේ ඉතිං අපේ වගේ ගෙදරකින් බත් කටක් කන්නෙයි කියල මේ වගේ රත්තරං කඳකට කියන්නෙ මොන කටකින්ද… අපිට පව් පිරෙයි මහත්තයො”

අත්තම්මා ගේ ඕනවට වැඩි යටහත් පහත් බව ගැන චන්දුල තුළ උපන්නේ මඳ නො රිස්සුමකි. නමුත් ඇගේ ස්වභාවය එය බව දන්නා නිසා ඔහු කර බා ගත්තේ ය.

“මොනා කියනවද අත්තම්මෙ… එහෙම එකක් නෑ. කන්නයි කිව්වොත්නං කාලම තමයි යන්නෙ”

ගඟුල් එසේ පවසමින් හිස ඔසවා බැලුවේ ඔහු අසුන්ගෙන උන් තැන හිටගෙන සිටි පාරුල් දෙස ය. ග්ලැසියරයක ගෙල තෙක් ගිලී ගොස් ඇතිවා වන් දැඩි සිසිලක ඇය අයිස් වෙමින් සිටියා ය. සිනහ වෙන්නට ඕනේ වුණත් මුහුණේ එක පේශියක් හෝ ක්‍රියා කළේ නැත.

“අනේ එහෙනං අපි කෑම ලෑස්ති කරමු නැන්දෙ”

යි රිදී ට බල කෙරෙනා සරකින් උමා කුස්සියට ගියා ය. පාරුල් ගේ ඇස් ගඟුල් දෙසටත් උමා දෙසටත් දෝලනය වන්නට විය.

“පාරුල්නං කැමති නැද්ද මන්දා මං කෑම කන්න ඉන්නවට”

ඒ වූ කලී දඩබ්බර චෝදනාවකි. ගඟුල් පැමිණියේ ඔහු ට සුබ පතන්නට ම ද යන පැනය චන්දුල තුළ පිළිසිඳුණේ පාරුල් ගේත් ගඟුල් ගේත් ඇස් වල වූ අමුත්ත නිසා ම වන්නට ඇත.  පසන් ව තෝරා ගැනුණේ නංගි ගේ කැමැත්තට ය. ගඟුල් තවමත් ඒ බව නො දැන පාරුල් ව බිලි බාගන්නට උත්සාහ කරමින් හිඳින්නේ ද?

“සර් දන්නවද… අපේ පාරුව බඳින්න දැං ඩොක්ටර් කෙනෙක් ඉන්නවනෙ”

චන්දුල ඒ කතාව ඇද්දේ ලොකු කමකට නොව සිය සැකය දුරු කර ගන්නට තිබූ කලබලයට ය. උමා කුස්සියේ සිට චන්දුල ට රැව්වා ය.

“ආ ඔව් පාරුල් මට කියල තියනව පසන් ගැන. ඉලෙක්ශන් එකෙන් පස්සෙ දවසක් දාගෙන අපි පසන්ව මීට්වෙමු නේද පාරුල්…”

පාරුල් යන්තම් මුව ඇද කළා ය. නමුත් චන්දුල ගේ හිතට සහනයක් දැනිණ. නංගී ගඟුල් ට පසන් ගැන පවසා තිබෙනවා කියන්නේ ම එතැන රහසිගත කිසිවක් නොමැති බවයි.

“මං පසන් අයියට කියල තියෙන්නෙ. එයත් බිසී ඉතිං. ඉලෙක්ශන් එකෙන් පස්සෙ දවසක් දාගමු”

පසන් වෙනුවෙන් වහා පෙනී සිටිය ද ඔහු සිටින්නේ කොතැනක ද ඔහු ඇගේ කවුරුන් ද කියා පාරුල් ට නිවැරදි නිශ්චයකට පැමිණිය නො හැකි වූ තරම ය. එය හරියට පාවෙනවා වන් හැඟීමකි. එක මත එක සියුම් ලෙස සමපාත නොවෙනා මිනිස් ආත්ම දෙකක දුරස්ථ ඡායාවන් සේ ය. ව්‍යාජයත් සැබෑවත් එකිනෙක සම්මුඛ වන තැන අතිශය සංකීර්ණ වේ. ඒ යථාර්ථයට වහං වී ඉන්නට පාරුල් වඩාත් කැමති වූවා ය.

උමා ලහි ලහියේ කෑම මේසය සූදානම් කළා ය. පහේ බැද කළු පාටට පිසූ ටින් මාළු කරියට පරිප්පු කිරට උයා තිබිණ. ජුලී ඉක්මන් කොට පපඩමක් බැද්දා ය. ඒ ගමන් ගඟුල් වෙනුවෙන් විශේෂයෙන් බිත්තර ඔම්ලට් එකක් දැමුවා ය. සියල්ල එසේ සිදු වන්නට මහ වෙලාවක් ගියේ නැත.

ඔවුන් ට කෑම මේසයක් කියා දෙයක් ඇත්තේ නැත. ඉස්තෝප්පුවේ කෙලවරක පාරුල් පොත් තබාගෙන ඉන්නා කුඩා මේසය වහ වහා කෑම මේසයක් බවට පත් විය. උමා අත සෝදන්නට වතුර බඳුනක් ගෙනැවිත් තබා ගඟුල්ටත් චන්දුලටත් කෑම කන්නට ඇරයුම් කළා ය.

“මං පස්සෙ කන්නං”

චන්දුල මගහරින්නට හැදුවේ ය. නමුත් ගඟුල් ගේ වචනය ප්‍රතික්ෂේප කරන්නට ඔහුට හැකි වූයේ නැත.

“ඇයි චන්දුලත් කමු”

පාරුල් ට මේ සිහිනයක් සේ ය. සැබවින් ඇය සිටියේ පියවි සිහියත් අසිහියත් අතරේ යම් තැනෙක විය යුතු ය. දහවල ගිනිගන්නා ලොන්ඩරි වත්ත රාත්‍රියේ දී මොහොතකට නිවෙන්නට ගනී. නමුත් කොළඹ අහස පීරන රත් වූ ගොඩනැගිලි  නිවෙමින් පිට කරනා තාපය නිසා රාත්‍රියේ ද සිසිලසක් නම් නැත්තේ ය. එනමුදු පාරුල් හිටියේ හිම මිදුණු උත්තර හෝ දක්ෂිණාර්ධ ගෝලයක යි. මේ විදිහට ගඟුල් ඇය ඉදිරියේ හිඳිනවා කියන්නේ ම සීතලෙන් සීත වූ සිහිලැල් හැඟීමකි.

“ශා… මාර රසයි… සැමන් කරි එකක් මෙච්චර රසට කාලම නැද්ද කොහෙද මං”

ගඟුල් එසේ කීවේ මූණිචචාවට නොවේ.

“පපඩං රසනං මං තමයි බැද්දෙ”

උමා ගේ කතාවට කවුරුත් ඕනවටත් වැඩිය සිනහ වූහ. සිනහ වෙන්නට අමතක වී සිටියේ පාරුල් පමණකි.

“අනේ මේ චූටි මහත්තය අපේ වගේ ගෙදරකින් බත් කටක් කනවයි කියන එකම මටනං නිකං හීනයක් වගේ. මෙච්චර කාලෙකට කිසිම දේශපාලකයෙක් මේ වත්තෙ ගෙදරකිං වතුර උගුරක්වත් බීල ඇතෙයි කියල මං හිතන්නෑ”

දරා ගන්නට බැරිව ජුලී කඳුළක් පිසගත්තා ය. පාරුල් ආත්තම්මා ගේ උරහිස් මතින් දෑත ම තැබූයේ ඇය සැනසීමටයි.

“අනේ ඕකෙ වෙනසක් තියනවද ආත්තම්මෙ… අපි කවුරුත් මිනිස්සුනෙ. හැබැයි හැම මනුස්සයෙක්ටම මීට වැඩිය හොඳ සමාජ ආර්ථික තත්වයක් හදල දෙන එක රට පාලනය කරන අයගෙ වගකීමක්”

ටික වෙලාවක් චන්දුල ගඟුල් සමගින් දේශපාලනය හා ළඟ එන මැතිවරණය ගැන කතා කළේ ය. ගඟුල් විජයවීර නික්ම යන්නට නැගී සිටියේ ‘බඩ පැලෙන්නට කෑවා’ යි කියමිනි. ගෙදර අය දොරකඩ නතර වෙත්දී පාරුල් ගඟුල් සමග කුඩා මිදුල තරණය කොට රිය වෙත පැමිණියා ය.

“මේ දවස්වල තනියම රෑ ගමං යන්නෙ පරිස්සමෙන් ඉතිං… ලංකාවෙ පොලිටික්ස් කියන්නෙ එහෙම දෙයක්නෙ “

පාරුල් මිමිණුවා ය.

“අද රෑට මැරුණත්… මං ආස පැයක් දෙකක් ගත කරපු සතුට ඉතුරුයිනෙ…”

“මොනා කියනවද මන්ද”

ගඟුල් රියට ගොඩ වූයේ සිනහ වෙමිනි.

“පසන් කෑගැහුවට අවුලක් නෑ නේද”

“නෑහ්”

පාරුල් බිම බලන්නට ගියා ය. නමුත් ඊට පෙර ගඟුල් ඒ දෑස් සිය ග්‍රහණයට නතු කොටගත්තේ ය.

“දුකෙන් ඉන්නෙපා. මොනා වුණත් හිනාවෙලා ඉන්නෝන… හරිද…”

පාරුල් හිස සැළුවේ යටිතොල සපාගනිමිනි. රිය පණ ගැන්වෙත්දී උමා මිතුරිය වෙතට ආවා ය. රිය හැරවී රතු කහ එළි ඈතට ඇදී යන තුරු ඔවුහු බලා සිටියහ.

“රත්තරං මහත්තයෙක්. මන්නං මනාපෙ දෙනවමයි. රිදී උඹත් දෙන්නෝනෙ”

ජුලී ගේ කතාවට චන්දුල කට කොනකට සිනහවක් නගා ගත්තේ ය.

“ඕව ඡන්ද ගුණ්ඩු අත්තම්මෙ. ගෑනු රවට්ටගෙන ඡන්ද කඩාගන්න ලේසි විදි තමයි ඔය”

“පණ්ඩිතය නොදන්න දෙයක් නෑනෙ ඉතිං”

පාරුල් ට විතරක් ඇහෙන්නට උමා කුටු කුටු ගෑවා ය.

“මට ඔය දොස්තර නෝන එක්කත් කතා කරන්න දෙයක් තියනව. දැං නෙවේ හෙට කතාකරමුකො”

උමා ගේ ඇස් වලට ඇයිදෝ මන්දා පාරුල් බිය වූවා ය. එබැවින් කතා කරන්නට ඇත්තේ මොනවාද කියා හෝ අසන්නට දිරියක් නො විණි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles