පතොක් මලක ප්‍රේමය -26

මාලක අයියා මට හෙළුවේ සන්සුන් වන්නට යැයි සිහි කරන බැල්මකි.ධීරගේ අම්මාගේ බැල්ම යහපත් නැත.නමුත් මට බියක් දැනුණේ ද නැත.

“මේ අපේ ඇනෙක්ස් එකේ ඉන්න නංගි කෙනෙක්නෙ.ධීරත් එක්ක හිතවත්..”

මාලක අයියා එසේ කියා ධීරගේ අම්මා දෙස විමසුමෙන් බැලුවේ යමක් සිහි වී ය.

“ආන්ටි ධීරට කෑම ගෙනාවද? “

ඇය හිස සැලුවේ නැතැයි කියන්නට ය. මම පුදුමයෙන් ඇය දෙස බැලුවෙමි.

“තාම හොටෙල් එක පැත්තට ගියෙ නෑ මං.දවල්ටත් බත් යවන්න ඕන නෑනෙ.ඉස්පිරිතාලෙන් කන්න දෙනවනෙ..”

මම අදහා ගත නොහැකි පුදුමයකින් මේ කාන්තාව දෙස බලා සිටියෙමි.මට සිහි වූයේ පසන් පමණක් නොව කාලයක් තිස්සේ ඔහුගේ මිතුරන් වූ අපව ද කන්නට දී වෙහෙසට පත් කරන පසන්ගේ අම්මා ය.අපේ අම්මාගේ කිට්ටුවන්‍ත මිතුරියක වූ කාලයේ ඇය අපේ ගෙදර ආ දවස් අපමණ ය.උයා ඇති කිසිවක් නොකන මට බනිමින් බත් කවන අපේ අම්මාට ද බැන වදින ඇය මුළුතැන්ගෙයට රිංගා ගනියි.සමහර ආහාර ඈ එතරම් රසට පිසුවේ කෙසේදැයි මට අදටද පුදුම ය.

“පොඩි එකාව බඩගින්නෙ තියන්න එපා ඔය මෝඩ කතා අහලා..”

වැඩිවියට පත් වී කාමරයක සිර වී සිටි මට පතෝල,වැටකොළු හොදි දෙන්නට අත්තම්මා බල කරද්දී පසන්ගේ අම්මා රස කෑම අනා මට කැව්වා ය.

මේ කමකට නැති ගැහැනිය ද පසන්ගේ අම්මා ද කිරා බලන්නට සිතෙන කාරණය ගැන දුක් වෙමින් මම මාලක අයියා සමඟ මාවතට පැමිණියෙමි.

“ඔය මනුස්සයා වගේ අම්මෙක් මං මේ ලෝකෙටම දැකලා නෑ නංගි.හැටි දන්න හින්දනෙ අපේ අම්මා උයලා එව්වෙ..”

මාලක අයියා කියන්නේ කලකිරීමෙනි.මම ඒවා අසා සිටියේ ද කලකිරීමෙනි.

ධීර සුවපත් වී දෙදිනක පසු ඒ කලකිරීම ඉස්මතු වන තවත් දවසක් උදා විණි.මා දේශන අහවර කර පැමිණ කුසීතව ඇඳේ පෙරළෙමින් හිදියදී බෝඩිමේ ඇන්ටී මට හඬ ගසන හඬ ඇසිණ.මම පහළට ඇදුණේ ද කම්මැලිකමිනි.

“වාඩිවෙන්නකො පුතේ..”

ඇන්ටීට මා සමඟ බර කතාවක් ඇති හැඩ ය.

“මං අම්මා වගේ පුතාලව දැන් සෑහෙන කාලයක් බලා ගත්තනෙ.මට ඇත්ත කියන්නකො හොඳේ..”

ඇය මා අසලින්ම හිඳ ගත්තේ එසේ කියන අතර ය.බියක් දැනුණ ද මම හිස සැලීමි.

“සාරදී දුවට ධීර එක්ක සම්බන්ධයක් තියද?”

ඇන්ටීට ඒ කේලම කියන්නට ඇත්තේ කවුදැයි මම සිතීමි.මා රෝහලට කැටුව ගිය බව මාලක අයියා පැවසුවා වෙන්නට ද පුළුවන.

“අයියගෙ යාලුවන්ගෙන් මං අයියට තරම්ම ආදරේ ළමයෙක් ධීර.ඉස්සර ධීර එහෙමට කොහෙවත්ම ගියේ නෑ.එයාගෙ ලොකු අම්මා ගාවනෙ හැදුණේ. වසන්තා නැති වෙනකම්ම ධීර එයාගෙ අස්සටම වෙලා හිටියෙ.ඊටපස්සෙ ඔය ළමයා වසන්තා ගැන හිතලා ලෙඩක්වත් හදා ගනී කියල තමයි මං ලොකූට කිව්වෙ ටිකක් ධීරව එක්කන් එන්න කියල.ඔයාලා තුන්දෙනාගෙන් කා එක්ක හරි පැටලෙයි කියලනම් හිතුවෙම නෑ..”

මම ඉවත බලාගෙන ඇයට සවන් දුන්නෙමි.නමුත් ධීර සමඟ කිසිම සම්බන්ධයක් නැති බව කියන්නට ද මගේ දිව නොනැමේ.

“ධීර කියන්නේ හොඳ ළමයෙක් පුතේ.ඇත්තටම මට කෙල්ලක් හිටියනම් මං කොල්ලව තියා ගන්නව.එච්චර හොඳ ළමයෙක්.මට ප්‍රශ්නෙ තියෙන්නෙ ධීරට ඔයාලගෙ ගෙදරින් මොනව කියයිද කියල..”

මා ඔහු සමඟ ප්‍රේමයක් අරඹා නැත.එහෙත් එවැන්නක් ඇරඹූවොත් අපේ අම්මලා ඔහුට විරුද්ධ වන්නට හේතු තිබේදැයි මම සිතිමී.

“අම්ම තාත්තා නැති දරුවෙක්.මං තමයි හදා ගත්තෙ කියල අම්මලට කියන්න තමයි සාරදී මට වෙන්නෙ..ධීරගෙ අම්මා කට ඇරියොත් ඔයාලගෙ අම්මගෙන් මාත් බැනුම් අහනවා..”

ඇන්ටී එසේ කියමින් හිනැහෙන්නට ගත්තා ය.

“දුව අපේ ලොකූ එක්ක හොස්පිටල් ගියාලු නේද..ධීරගෙ අම්මා හරි හදිස්සියෙ මාව මීට් වෙන්න ආවනෙ.ඇවිල්ල අහනව දුවගෙ විස්තර.පවුලෙ තනි ළමයනම් ධීරට යමක් කමක් ලැබෙයි කියල ඇහුවෙ..”

මට සිනා පහළ විය.අහම්බයකින් දුටු මා සම්බන්ධයෙන් ඇය එතරම් දවල් සිහින ගොඩ නැගීම සැබෑ විහිලුවක් නොවේදැයි මට සිතිණ.

“එයා එහෙම මනුස්සයෙක්.කාගෙන් හරි ඇඩ්‍රස් එක හොයා ගත්තොත් දූලගෙ ගෙදරත් යන්න බැරි නෑ.ධීරගෙ නරකක් නෑ.ඒත් ඔය මහ මිනිස්සු එක්ක ගනුදෙනුව හරිම අමාරු වැඩක් සාරදී.ඒ මිනිස්සු හින්දා අතරමඟ සම්බන්දෙ නවත්තනව නම් තව දුරට ඕක අරන් යන්න එපා.මං මගෙ කොල්ලට තරම්ම ධීරටත් ආදරෙයි..”

මා නිවස වෙත ආවේ බර වූ හදක් සහිතව ය. ධීර සමඟ එක්ව ගමනක් අරඹනවාදැයි සිතමින් හුන් මට ඇන්ටිගේ වදන් සැබෑවටම ගෙනාවේ බරක් සහ හිසරදයකි.පවුලක ඉමිහිරි බැඳීම ලෝකයේ කිසිම දෙයකට වඩා අගයන මට ධීරගේ අම්මා වැනි ගැහැනියක සමඟ ගනුදෙනුව පහසු වන්නේ නැත.එදා රෝහලේ දී ද ඇයට නොබැන වාවාගෙන සිටීම මට අසීරු දෙයක් විණි

නමුත් ධීරගේ පවුලේ ඇති මේ ස්වභාවයට හේතු දැන ගන්නට මට ඕනෑ විණි.අම්මා කෙනෙකුට එහෙව් හැසිරීමක් පෙන්වන්නට හැකියාවක් ඇත්දැයි සැබෑවටම මට සිතාගන්නට නොහැක.ධීර කාක් කූඩුවක වසන කොවුල් පැටවෙකි.ඒ කතාව ගැන ඔහුගෙන් අසන්නට ඕනෑ වුව ද මට ඔහු රිදවන්නට සිතුණේම නැත.

බර වූ හදකින් හවස් නින්දකට වැටුණු මා අවදි වූයේ ඇන්ටිගේ බෙරිහන් දීමක සැරට ය.ඇඳුම් ඉරාගෙන අතේපයේ තුවාල සහිතව මිදුලේ සිටි විසල් මල්ලී මගේ බරපතල පැනයට විසඳුම් රැගෙන විත් තිබිණ.මා පහළට දිව ගියේ විසල් ගැන බලන්නට ය.නමුත් නිසල් ඉතා ප්‍රකෝපයෙන් කාටදෝ බැන අඬ ගසමින් සිටියේ ය.

“ආයෙ ධීර අයියවත් මෙහෙට ගෙන්නන්න එපා ලොකූ.මට යකා නැගල ඉන්නෙ..”

ඔහු ඒ කෝපය මාලක අයියාට දමා ගසද්දී මාලක අයියා නිසල් දෙස බැලුවේ කෝපාග්නියෙන් උතුරා යමිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles