පතොක් මලක ප්‍රේමය -35

“ධීරලගෙ අම්මා ඔයාව මීට් වෙන්න ඇවිත් පුතේ..”

ඇන්ටී මට පැවසුවේ මා ධීරගේ අම්මාට මඳ සිනාවක් හෙළා ඈ පසුකරගෙන යන්නට තැත් දරද්දී ය.මම නැවතුණෙමි.ඇන්ටී ඇසක් ඉඟි මැරූ නිසා කේතකී ද චමත්කා ද යන්නට ගියා ය.මම ධීරගේ අම්මා සමඟ බරාඳයේ අසුනකින් හිඳ ගත්තෙමි.ඇන්ටී ගෙතුළට යන්නට ගියා ය.

“මට ඔය ළමයගෙ කේන්දරේ ගෙනත් ඕනෑ..”

නැන්දම්මා තම පළමු ඉල්ලීම ඉදිරිපත් කළා ය.මම හිස සැලීමි.නැන්දම්මා සහ ලේලි අර්බුද ඇති වන්නේ සාම්ප්‍රදායික මත නිසා බව අම්මා පැවසූ අන්දම මට සිහි විණි.ඇයත් තාත්තම්මාත් ජීවත් වන්නේ අම්මා දූටත් වඩා අක්කානගෝ බැඳීමකිනි.නැන්දම්මා හැතිරියක යැයි සිතන ලේලිලාත් ලේලිලා දාසියන් බව සිතන නැන්දම්මලාත් නැන්දම්මා ලේලි ඝට්ටනය ඉදිරියට ගෙන යන බව එකල අම්මා මට පැවසුවා ය.

“මේවා ඔයාට නම් කියල වැඩකුත් නෑ.ඔයා ඉතින් නර්මදා අක්කගෙ දුවනෙ දැං..එයා දැන්ම තියා නටන්නෙ ඔයාගෙ පදේට.කවදහරි පසනුත් අමාරුවෙ.අපිත් අමාරුවෙ..”

අම්මා එකල විහිළුවට නෝක්කාඩු කියවන අන්දම සිහි කරමින් මම ඉවත බලා හුන්නෙමි.

“ධීරට මේ හදිසියේ කසාද බඳින්න ආපු කුලප්පුව මොකක්ද? ඔය ළමයා ප්‍රෙග්නන්ට් ද?”

මේ ගැහැනිය අසන්නේ මොනවාදැයි සිතමින් මම උඩබිම බැලීමි.

“ධීර එකපාරටම ඊයේ ඇවිල්ල කියනව ගෑනු ළමයෙක් එක්ක සම්බන්ධයක් තියනව කියල.ඔව් ඉතිං කෙල්ලො කොල්ලො යාලු වෙනවා.ඒ වේගෙන්ම ඒවා කැඩෙනවනෙ.ධීරටම සම්බන්දකං හත අටක්ම තිබ්බෙ.ඒත් එකපාරටම කසාද බඳින්න බල කරන්නෙ ඇයි ළමයො..ඔය ළමයට තාම විස්සක්වත් නෑ නේද?”

මා ධීරට වඩා ළාබාල වසරකින් බව ඇසූ ඇය නැවත කියවන්නට ගත්තා ය.

“විසි හතරක් කියන්නෙත් වයසක්ද ළමයො.යාලු වෙච්ච ගමන් කසාද බැඳ ගන්න කොල්ලට බල කරන්නෙ ඇයි..”

ආදර බස් දොඩන්නටවත් වෙලාවක් නොලැබුණු මගේ අරුම ප්‍රේමය ගැන සිහි කරමින් මම උඩ බිම බැලුවෙමි.මා විවාහය ඉක්මන් කරන බවට මැය පවසන්නට හේතුවක් තිබිය යුතුම ය.

“එහෙම මොකක්හරි ප්‍රශ්නයක් නම් කසාද බඳින්න හදිස්සි නොකර ඒ ළමයා ඕනමද හිතන්න ළමයො.ළමයෙක් හම්බ වුණොත් උනාමනෙ..”

එසේ ලැබුණු දරුවෙකුට කිසිම තෙතක් නැතිව සලකන මේ ගැහැනිය ඇගේ ජීවන අත්දැකීම් මට ආදේශ කිරීම ගැන මම උසුලා ගත නොහැකි කෝපයකින් දැවෙන්නට ගතිමි.නමුත් මිනිසුන් අනුන් දෙස බලන්නේම තමන්ගේ කෝණයෙන් වග තාත්තා මට උගන්වා ඇත.

“මං මැරේජ් එකක් ගැන හිතලා නෑ.ධීර මාත් එක්ක යාළු වෙලත් මාසයක් වත් නෑ..”

මම යන්තම් කියා ගතිමි.ඕ තොමෝ මගේ මුහුණ දෙස බලමින් මඳ වෙලාවක් ගෙවා දැම්මා ය.

“ඔය තියන කඩවල් ටික හෝටල් ටික බෙදෙන හැටි ගැන මායි මහත්තයි තාම හිතලත් නෑ.මහ ගේ බෙදන්න හිතලත් නෑ.ඒවා ගැන හිතාගෙන නම් දැන්ම කසාද බඳින්න එපා..”

ඇය කියයි.මට සිනාවක් පහළ වූයේ ඉබේටම ය.කවදා හෝ මා සමඟ විවාහ වූ පසු අත්‍යවශ්‍ය දෑ සහ ඇඳුම් බෑගය රැගෙන නිවසින් එළියට එන බව කියන ප්‍රේමවන්තයෙකු මට හිඳියි.ඔහුගේ අම්මා දේපල ගැන මට පූචානම් දොඩවයි.

“කොල්ලන්ගෙ හිත් ඉක්මනට වෙනස් වෙනව කියල හිතාගෙන ඉක්මනින් බැඳගන්න හදන්න එපා.ඕවා ලෙහා ගන්න ලේසියැ.ධීරට ඕන හැටියට නටන්න එපා.මට මුලින්ම කේන්දරේ ඕනෑ..ඒක ගැලපුණොත් අපි ඔය ළමයගෙ ගෙදර ගිහිං බලන්නං…”

තේ කෝප්ප බන්දේසිය ද සමඟ අපේ ඇන්ටී බරාඳයට ආවේ ඒ මොහොතේ ය.

“සාරදීගෙ අම්මා මට කතා කරල හොඳටම දොස් කිව්ව.මෙතනට ආපු පිරිමි ළමයෙක් එක්ක මේ ළමය පැටලුණු හින්දා.මාත් මෙහෙට කොල්ලො එනව කියල නෑනෙ..”

ඇන්ටී තේ පිරිනැමුවේ එසේ කියන අතර ය. ඊයේ රාත්‍රියේ ධීර ගැන බොහෝ යහපත් දෑ මට කී අම්මාට අද ඔහුට බැන වදින්නට සිතුණේ ඇයිදැයි මම බියෙන් සහ කුහුලින් සිතීමි.

“ඒ මිනිස්සු මේ වැදගත් රාජ්ජ සේවකයො.එහෙව් පවුලකට මෙයාව දෙන්න තමා කැමති.ඔය මඟුල කොහොමත් වෙන එකක් නෑ..”

ඇය තවදුරටත් කියවයි.මම ඇස කඳුළු රඳවා අසා සිටියෙමි.ධීරගේ අම්මා තවත් මොනවාදෝ කියවමින් හිඳ යන්නට යන්නට ගියා ය.

“ආන්ටිට අම්මා කතා කළාද? ඈ ගේට්ටුවෙන් පිට වූ වහා මම ශෝකයෙන් ඇසීමි.ආන්ටි උස් හඬින් හිනැහුණා ය.

“කතානං කළා දූ.ඔහොම එව්වා කීවේ නෑ.මගෙන් ධීර ගැන ඇහුවා.මං ඉතිං කිව්වා.අම්මලා ධීරට කැමති..”

එසේ කියා ආන්ටි මා ළඟින් අසුන් ගත්තා ය.මගේ හිස ඇගේ අතින් පිරිමැදෙනු මට දැනිණ.

“මගෙ පොඩි උන් දෙන්නා නිවුන්නුනෙ සාරදී.ලොකු ළමයි දෙන්නත් නිවුන්නු කියල මං හිතන්නං..මාලක කොහොමත් ධීරට හරිම ආදරෙයි.මායි ජයන්තයිත් එහෙමයි.මල්ලිලයිත් එහෙමයි.මෙන්න මේ මනුස්සයා නැන්දම්මා නෙවෙයි කියලා හිතාගෙන මං නැන්දම්මා කියලා හිතා ගන්නකෝ..”

ඇය එසේ කියමින් මා සැනසුවා ය.මට හැඬෙන්නට ගත්තේ ය.

“කොහොමත් මං නැන්දම්මා වගේ තමයිනෙ.කොටට ඇඳගෙන පාන් කාරයා ගාවටවත් යන්න නොදෙන ගෑනිනෙ මං..ඔයාලා කුස්සියට ආවොත් පොල් ටිකක් හරි ගාවා ගන්න ගෑනිනෙ මං…”

ආන්ටි මා හිනස්සවන්නට කියමින් හිනැහුණා ය.මම ඇගේ මව් ගුණය දෙස දෑස් දල්වා බලා සිටියෙමි.

“මං කොල්ලො තුන්දෙනෙක් හදන අම්මෙක්නෙ දරුවො..ධීර කියන්නෙ මඟ ඇර ගන්න ඕන නැති කොල්ලෙක්.කසාද බඳින්නෙ අම්මව නෙවෙයි පුතාව.මේ වගේ ගෑනු මනුස්සයෝ හින්දා අච්චර වටින කොල්ලෙක් නැති කරගන්න එපා..”

මම නැවත මගේ කාමරයට ආවේ ඒ වචන යළි යළිත් සිතමිනි.ඔහු මඟ නොහැර ගන්නට මම මටම පිළිණ දුන්නෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -29

වගකීම් සහගත ව පියා ගේ ව්‍යාපාරය ඉදිරියට කර ගෙන යාමට සිටිනා එක ම කෙනා ඇය බව දැන ගෙන පරිපාලනයට අත තැබීම තුළ,...

හිමගිරි අරණ -14

"දුව කියනවා ඔයාව බලන්න ඕන කියලා." හිමාෂාගේ ඒ ඇමතුම පැමිණියේ සහන් කාර්යාලයේ හිඳියදී ය.ඔහු කලබලයට පත් විය.පිතෘත්වය හදවතේ උතුරා...

ශරදාකාසේ -28

නිශාමනී ඒ සැඳෑවේ ගෙදර පැමිණියේ අලුතෙන් ම ශාන්ත වූ හිතකින් කියා කිව හැක. ඇය ශාරද සමගින් කතා බහකට ගියේ ම නැත. ඇගෙන්...

අමිහිරි විවාහ ජීවිතය නිසා විඳ වූ බිරිඳක්.

මනෝ උපදේශිකා ප්‍රබුද්ධිකා විජේතුංග මෙනෙවියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙන් පළ කරන්නකි.වෘත්තිය ආචාර ධර්ම රැකෙන පරිදි සත්‍ය කතාවේ නම් ගම් සහ යම් සිදුවීම් වෙනස්...

හිමගිරි අරණ -13

"මොන දේ වුණත් ඔහේ දරා ගන්න පුරුදු වුණාම ජීවිතේ ලේසියි රවිඳු." හිමාෂා එසේ පැවසුවේ ඇගේ ජීවිතය ඇසුරිනි.එයට කිසිත් නොකියා...