පතොක් මලක ප්‍රේමය – 34

“මට පසන්ව අමතක කරන්න කාලයක් ඕන කියල ඔයාට හිතුණෙ නැද්ද ධීර..”

මා ඇසුවේ සැබෑවටම ය. ධීර කිසිත් නොකියා හිනැහුණේ ය.පසන් තරමට ධීරට මා තේරුම් ගත හැකි වේදැයි මම සිතමින් හුන්නෙමි.ඔහු මේ ආදරය කරන්නේ මිතුරාගේ නිවසේ උඩුමහළේ දුටු බෝඩිම්කාරියට ය.පසන් ආදරය කළේ වැලිකෙළියේ පටන් දැන හුන් මිතුරියට ය.නමුත් ඔහුට මා අත අත හැරී ගියේ ය. ධීරගේ මේ හදිසි තෝරා ගැනීම ගැන මට සැක ඉපදෙන්නේ එනිසා ය.

“ඔයාගෙන් මම තව අවුරුදු විස්සකින් විතර ඔය ප්‍රශ්නෙ අහන්නද.”

ඔහු ඇසී ය.ඒ ඇසූ දේ නොවැටහුණු මම ඔහු දෙස බලා හුන්නෙමි.

“මං තව අවුරුදු විස්සකින් ඔයාගෙන් අහන්නම් ඔයාට පසන් අමතකද කියලා.කවදහරි මගේ දුවෙක්ගේ වෙඩින් එක ඉවර වෙලා අපි දෙන්නා ගෙදර තනි වෙච්ච දාක ආයේ ඒකම අහන්නම්.නාකි වෙලා ළමයි එනකං බලන් ඉන්න දවසකත් අහන්නං..ඔයාගේ ඇත්ත උත්තරේ මොකක් වෙයිද?”

මම හදවතට එකඟව පිළිතුරක් සිතුවෙමි.එහෙත් මේ නැවුම් ආදර කතාවට එය බෝම්බයකි.මම හදවතට විරුද්ධ පිළිතුරකට වචන ගැළපුවෙමි.

“ඔයාගේ ආදරේ එක්ක මට එයාව අමතක වෙයි ධීර..”

ඔහු පුදුමාකාර සිනාවක් හෙළුවේ ය.ඒ කෙදිනකවත් අමතක ව නොයන සිනාවකි.

“ඇත්ත උත්තරේ නෑ කියන එක සාරා..ඔයා පසන්ව තදට හිතේ අලවා ගත්තු කෙනෙක්.ඔයා ඔය බෙහෙත් බොන්නේ ඒ මතකෙ වදයක් නොවෙන්නනෙ.එහෙව් ඔයාට පසන් අමතක වෙන් නෑ.ඒ මතකෙ හිරිහැරයක් නොවෙන්නයි ඕන..ඔයාට පසන් අමතක වෙනකන් බලා ඉන්න හොඳ නෑ.මතක් උනාට අඬන් නැතුව ඉන්න උදව් කරන්න ඕන.”

මම ධීර දෙස මොහොතක් බලා සිටියෙමි.ඔහු අනුකම්පාව ආදරය සමඟ පටලාගෙන ය.මා ඔහු දැන සිටි කාලය පුරා ඔහු බොහෝ නිස්කලංක සහ අවංක තරුණයෙකු බව පැහැදිලි විණි.මට අනුකම්පා කරන්නට ගොස් ඔහුගේ ලෝකය භූමිකම්පාවක් කර ගන්නට ඉඩ දිය යුතු නැත.

“ධීර..ඔයා අපේ ගෙදර ගියා තමයි.ඒත් මට අම්මලට කීවැකි මං ඔයාට අකමැති කියල.මං මහ ටොක්සික් මනුස්සයෙක්.මට හරියට කේන්ති යනව.ඒ සේරම අස්සෙ මං පසන්ව මතක් වෙලා අඬන්නත් ගත්තම..මං ඔයාට කියන්නේ හෙමින් සැරේ මාව අමතක කරන්න..”

ධීර බංකුවෙන් නැගී සිටියේ මගේ නහයෙන් ඇදගෙන ය.ඔහු ඉන්පසු ඕනෑම මොහොතක මා විකාර කියවද්දී මගේ නහයෙන් ඇදීම පුරුද්දක් කරගත්තේ ය. ඉතින් ඔබ මේ කතාන්දරය කියවන අතර පිනෝකියෝ මෙන් දිගැති නහයක් ඇති සාරා කෙනෙකු මවා ගත්තාට පවා මගේ අමනාපයක් නැත.

“මං අපේ අම්මටත් කිව්වා ඔයා ගැන.”

ඔහු බෑගය එල්ලාගෙන නැගිට්ටේ එසේ කියමිනි.දුර ගමනක් ගොස් ආ ඔහුට වෙහෙස ඇති බවත් තේ එකක්වත් සාදා දෙන්නට තිබුණා නම් හොඳ බවත් මට සිතුණේ ඒ අතර ය.

“මං ඔයාලගෙ ගෙදර ගියේ අම්මලට ඔයා ගැන කියල.මගෙ කලින් අෆෙයා එක සම්පූර්ණයෙන් අවුල් කරේ එයාලා.මම මගේ ගෙදර ඇත්තම තත්වෙ කවදාවත් එයාට කියල තිබ්බෙ නෑ.ඉතිං අපේ අම්මා හෑල්ල දිගෑරල ගත්තම පවුලක් නැති කොල්ලෙක්ට එයාගෙ පොඩි දූ දෙන්න ඒ අම්මයි තාත්තයි අක්කයි අකමැති උනා සාරා..මට කවදාවත් බූට් එකක් ලැබුණේ නෑ.මට පවුලක ආදරේ නෑ තමයි ඒත් රශ්මිට පවුලක ආදරේ නැතුව යන්න දෙන්න මට හිතුණේ නෑ..”

කෙදිනක හෝ රශ්මි මුණ ගැසී ධීරගේ ජීවිතයෙන් ඉවත් වන්නට ගත් තීරණයට ස්තූති කරන්නට මට ඕනෑ විණි.ඇය නරක කෙල්ලක වන්නට ඉඩක් නැත. ධීර වැනි යහපත් තරුණයෙකු බිඳ නොවට්ටා සමු දීම ගැන ද ඇයට ස්තූති කළ යුතුම ය.ඈ මගේ අත අල්ලා මට සුබ පතන සිහිනයක පවා මම අතරමං වූයෙමි.

“මං ඔයාලගෙ ගෙදර ගිහින් මගෙ ඇත්තම තත්වෙ කීවා සාරා..”

ඔහු මාලක අයියලාගේ නිවස තුළට නොයා සිටගෙනම පවසයි.මම ඒ වදන් අසමින් කාන්දමක් සේ බංකුවට ඇලී හුන්නෙමි.

“ඔයාලගෙ තාත්තට ඒ කිසිදෙයක් වැදගත් උනේ නෑ. මං ඇවිල්ලා හැම ඇත්තක්ම කියපු එකට තමයි එයාගෙන් ලකුණු ටික හම්බුණේ.මං හිතන්නේ එයා ෆස්ට් සයිට් එකෙන්ම මිනිස්සු මනින කෙනෙක්.එයාට ඒකට හොඳ ඉවක් තියනව.තාත්තට මං පොරොන්දු කීපෙකුත් උනා..අම්මා නම් ඔයාව ආපහු ට්‍රීට්මන්ට්ස් ගන්න අරන් ගියාටමයි මට පිං දුන්නේ.එයාල ඔයාව මට දුන්නා.දැන් අපේ අම්මා මොන බෝම්බෙ දැම්මත් මට වැඩක් නෑ..”

ධීර මාලක අයියාගේ කාමරයේ ජනේලයෙන් එබී “උඩට යන්නැයි” කියන තුරුම මම ඒ බංකුවට වී මේ තරුණයා ගැන සිතුවෙමි.ඔහු මගේ හැඳුනුම්පතේ ඡායාරූපයක් ඉල්ලා ගත්තේ මට සිම්පතක් මිලට ගත් දිනයක දී ය.එහි ඇති ලිපිනය වෙත යන්නට පෙර මාලක අයියාගෙන් ඉල්ලාගත් අපේ අම්මාගේ දුරකථන අංකයට ඇමතූ මේ හිතුවක්කාරයා ගැන මට වූයේ අදහා ගත නොහැකි පුදුමයකි.

තව මාස හතර පහකින් අපේ අධ්‍යාපනය නිම වේ.මේ නවාතැනට සමු දී රැකියා වෙත යන්නටත් ජීවිතය අලුත් කරගන්නටත් සිදු වේ. ධීර හමු වූ මේ නවාතැන අතැර යන්නට මට දැනුණේ ලෝබකමකි.

“පසන්..මං සතුටින්..ඔයා ආයේ ඇවිල්ලා කොච්චර හොල්මන් කරත් ධීර යෝධයෙක් වගේ මාව බලා ගනී..”

බොහෝ කාලයකට පසු මට සැනසිලිදායක නින්දක් ලැබිණ.සැනසිලිදායක දවසක් වෙනුවෙන් සරසවියට ගොස් සැනසිලිදායක ලෙස එහි වසන්නට ද මට හැකි විණ.ඇගේ හැපෙන කොල්ලන් සමඟ ද අවසර නොගෙන පෑනක් පැන්සලක් ගන්නා කෙල්ලන් සමඟ ද මහා අරගල ඇති නොකරගෙන හිනාවකින් දවසක් අවසන් කරන්නට තරම් මම සන්සුන් වෙමින් හුන්නෙමි.

“සාරාගෙ යස්සයා නැතුවමත් පාලුයි..”

බෝඩිමට එන්නට ඇති පටු මාවතේ ඇවිද එන අතර චමත්කා කියන්නේ සිනාබරව ය.

“මට ඇත්තටම බඩගිනී.හවස කැන්ටිමේ රහජාතියක් තිබ්බෙත් නෑනෙ.දැන් අර රහ පාන් වෙනුවට අලපාං කාරයා ආවොත් ඔන්න ඔයාලට මගෙ යස්සයත් බලා ගන්න පුලුවං..”

කේතකී එසේ කියමින් ඉස්සර වූවා ය.ඇයට ඇත්තේ පුදුමාකාර බඩගින්නකි.

“මං හිතන්නේ අලපාං නෙවේ ඇඹුල්තියල් කන්න පුලුවං..ආං නැන්දම්මා ඉන්නව.”

ගේට්ටුව විවර කරන අතර ඇය හැරී මට පැවසුවා ය.

ධීරගේ අම්මා ඉතා කපටි සිනාවකින් අප දෙස බලා හුන්නා ය.අපේ ආදරණීය ආන්ටී මොනතරම් එලවා ගත්තද පැටව් කටින් එල්ලාගෙන සීලිමට රිංගන පූසියට දෙන පන්නයේ බැල්මකින් ඇය දෙස බලා සිටියා ය.

ආදරණීය සාරදී, දවස පුරා නිදා හුන් යස්සනියට අවදි කරවන්නට සිදු වන බව ඇතුළු හද මට කෑගසන්නට වූයේ ඒ අතර ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -29

වගකීම් සහගත ව පියා ගේ ව්‍යාපාරය ඉදිරියට කර ගෙන යාමට සිටිනා එක ම කෙනා ඇය බව දැන ගෙන පරිපාලනයට අත තැබීම තුළ,...

හිමගිරි අරණ -14

"දුව කියනවා ඔයාව බලන්න ඕන කියලා." හිමාෂාගේ ඒ ඇමතුම පැමිණියේ සහන් කාර්යාලයේ හිඳියදී ය.ඔහු කලබලයට පත් විය.පිතෘත්වය හදවතේ උතුරා...

ශරදාකාසේ -28

නිශාමනී ඒ සැඳෑවේ ගෙදර පැමිණියේ අලුතෙන් ම ශාන්ත වූ හිතකින් කියා කිව හැක. ඇය ශාරද සමගින් කතා බහකට ගියේ ම නැත. ඇගෙන්...

අමිහිරි විවාහ ජීවිතය නිසා විඳ වූ බිරිඳක්.

මනෝ උපදේශිකා ප්‍රබුද්ධිකා විජේතුංග මෙනෙවියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙන් පළ කරන්නකි.වෘත්තිය ආචාර ධර්ම රැකෙන පරිදි සත්‍ය කතාවේ නම් ගම් සහ යම් සිදුවීම් වෙනස්...

හිමගිරි අරණ -13

"මොන දේ වුණත් ඔහේ දරා ගන්න පුරුදු වුණාම ජීවිතේ ලේසියි රවිඳු." හිමාෂා එසේ පැවසුවේ ඇගේ ජීවිතය ඇසුරිනි.එයට කිසිත් නොකියා...