පතොක් මලක ප්‍රේමය – 36

ධීරගේ අම්මා පැවසූ සියල්ලම ඔහුට කියන්නට මට උපදෙස් දුන්නේ කේතකී ය.එහෙත් ඇයට එහෙමෙහෙ වන්නට ඉඩහැර චමත්කා මා අල්ලා ගත්තා ය.

“අහන්නකෝ, ඔයා ඕවා මොකුත්ම එයාට කියන්න එපා.”

ඇය මගෙන් ඉල්ලා සිටියා ය.

“ධීරගෙ අම්මයි එයයි අතරෙ කිසිම සම්බන්දයක් නෑනේ.එයා ඔයා ගැන අම්මට කියන්න ඇත්තෙ යුතුකමකට.ඒක එහෙම තියාගෙන අම්මා ඇවිල්ලා ඔයාට විකාර කීවට ඔයා ඒවගෙන් හර්ට් වෙන්න ඕන නෑනෙ..”

එසේ කී චමත්කා කල්පනාකාරීව බොහෝ වෙලාවක් හිඳ තවත් දෙයක් පැවසුවා ය.

“ගොඩක් රිලේෂන්ශිප් අවුල් යන්නේ වෙන වෙන කෙල්ලො නිසා, සැකේ නිසා එහෙමනෙ සාරා..මට හිතෙනව ඔයාට අවුලක් ආවොත් එන්නේ ධීරගෙ අම්මගෙන්.එයත් එක්ක ගනුදෙනු පරිස්සමිං..දැන් නෙවෙයි මුලු ජීවිතේම පරිස්සමින්.එයත් එක්ක එන තරහවල් ධීර පිටින් නොයවා ඉන්න පරිස්සං වෙන්න..”

ධීරට ඒ කිසිත් නොකියා හිඳින්නට මම සිතුවෙමි.එහෙත් මාලක අයියා ඔහුට සියල්ල පවසා තිබිණ.ඔහු මගේ දෑසට එබී සිටින්නේ මා කෝපයෙන්දැයි දැන ගන්නට ය.

“ඉතිං දැන් ඔයා කේන්දරේ ගෙනත් අම්මට දෙනවද?”

ඔහු අසයි.දියත උද්‍යානයේ එහෙමෙහෙ යන කලබල මිනිසුන් දෙස බලමින් හුන් මම හිනැහුණෙමි.

“ගෙනල්ල දෙන්නං..”

“නොගැලපුනොත්..”

“අපි අයින් වෙමු..”

ඔහු මගේ නාසයෙන් ඇද සිනා සෙන්නට විය.මම ඔහුගේ අත තිබූ සිසිල් බීම කෝප්පය මවෙතට ඇද ඉන් උගුරක් බීවෙමි.

“වැඩියෙන් රහ මේක..”

මට ඔහුගේ අම්මා ගැන මාතෘකාව කතා නොකර හිඳින්නට ඕනෑ විණි.චමත්කා පැවසූයේ සත්‍යයකි.මට ඔහු ගැන නොසන්සුන් සිතුවිලි එන්නේ ඔහුගේ අම්මාව සිහි කරද්දී ය.

“සාරා.මං අම්මට කිව්වේ ඇත්තක්..”

ධීර පවසන්නේ නිස්කලංක හඬකිනි.නමුත් මගේ ලෝකය සම්පූර්ණයෙන්ම කැළඹී ගියේ ය.

“ඔයා කැමති නැද්ද දැන්ම මැරි කරන්න..”

කසාදය යනු පහසු දෙයක් නොවන බව මම දනිමි.මගේ සමහර මිතුරියන්ට දැනටමත් දරුවන් ඇත.පාසල් අධ්‍යාපනය අහවර වූ වහා විවාහයකට යොමු වන්නට ඔවුන් සැලසුම් කර තිබිණ.ඒ ඔවුන්ගේ ජීවන සැලැස්ම ය.පසන් සමඟ හුන්නා නම් මගේ විවාහය තවත් අවුරුදු කිහිපයකට කල් යන බව මම දනිමි.ධීර ඉක්මන් විවාහයකට සැරසෙන්නේ ඇයිදැයි සිතමින් මම තිගැස්සී ගියෙමි.

“මං ඔයාට ආදරෙයි..ඒක ඇත්ත.ඒත් ඇයි ඔයාට ඉක්මනින් මැරි කරන්න ඕන..”

ඔහු මදෙස බලා ගත්වනම හුන්නේ ය.අනතුරුව මගේ අතකින් අල්ලා ගත්තේ ය.

“මං ඔයාට ආදරේ හින්දා..”

ඔහුට මා ඉක්මනින් අයත් කරගන්නට උවමනා වී ඇත්තේ මා පසන්ට බැඳෙන්නට ඇති ඉඩ වැඩි නිසා බව මම සිතන්නට ගතිමි.නමුත් අයත් කරගැනීම සහ ආදරය අතර වෙනස ධීර වටහා ගන්නා දිනයක අපේ මුළු ජීවිතයම අවුල් වී ගොස් තිබෙන්නට නොහැකිදැයි මම ඉන්පසු සිතුවෙමි.

“ඒ තීරණේට හේතුව පසන් නේද?”

ධීර මගේ අත තවත් තද කර අල්ලා ගත්තේ ය.

“නෑ..එයා නිසා ඔයා ඉන්න තත්වෙ..”

බොහෝ වෙලාවට අම්මාගෙන් ඇසූ ප්‍රශ්නයක් ධීරගෙන් අසන්නට මට ඕනෑ විණි.

“ධීර, ඔයා හිතන්නෙ මට පිස්සු කියලද? පසන් නිසා මං තාම පිස්සුවෙන් කියලද?”

ධීර මගේ මුහුණට වැටෙන කෙහෙ කැරලි අතින් ඉවත් කරමින් බොහෝ වෙලා ගෙවා දැමී ය.මට ඕනෑ වූයේ ඔහුගේ පිළිතුර අසන්නට ය.

“ඔයාට එහෙම අවුලක් නෑ සාරා..මං ඔයාව ට්‍රීට්මන්ට්ස් වලට එක්ක ගියේ ඔයා සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ඕන නිසා.ඔයාව දාලා ගිය පසන් සතුටින් ඉන්නවනම් වික්ටිම් එක වුණු ඔයා තාම දුක් විඳින්නෙ ඇයි?”

මා තවම දුකකින් දැයි මටම පැහැදිලි නැත.එහෙත් මහා හිස්කමක් තවම මට දැනේ.

“මට ඕන ඔයා බලාගන්න.ඔයා සැරෙන් සැරේ අවුල් වෙනකොට ඔයා එක්ක ඉන්න..මට ඒක කරන්න හිතුණෙ අපේ අම්මා හින්දා..”

මම ධීරගේ අම්මා සිහි කළෙමි.කටට එන ඕනෑම දෙයක් කියන, කිසිම තේරුමක් නැති දෑ දොඩන ඈ ගැන ළතෙත් හදක් ධීරට පවතිනවා දැයි මට දැනුණේ පුදුමයකි.

“අම්මා මගෙ තාත්තට ඇත්තටම ආදරේ කරේ නෑනෙ සාරා..එයා ආදරේ කරේ මල්ලිගෙ තාත්තට.අම්මට මගෙ තාත්තා මැරි කරන්න ඇරලා මල්ලිලගෙ තාත්තා බලන් හිටියා.එයා ආපහු එනකොට අම්මා සම්පූර්ණයෙන් අවුල් මනුස්සයෙක්.තාම පිටවෙන්නේ ඒ වේදනාව.මං හිතන්නෙ එයා දැන් මල්ලිගෙ තාත්තටවත් ආදරේ නෑ.එයා එයාටවත් ආදරේ නෑ..”

මට ඔහුගෙන් අසන්නට තිබුණේ වෙනත් ප්‍රශ්නයකි.

“ඉතිං ඔයාට හිතෙන් නැද්ද මමත් ඔයාලගෙ අම්මා වගේ අතීතෙ හිරවෙයි කියල.අන්තිමට ඔයාටත් දුක් විඳින්න වෙයි..”

ධීර මගේ දෑසට එබී බැලුවේ ය.දැඩි අධිෂ්ඨානයක් ගැබ්ව ඇති ඒ දෑසට ළං ව හිඳිමේ ලෝබකමකින් මා පිරී ගියේ ය

“නෑ..මං ඔයාව හයියෙන් අල්ලන් ඉන්නව.ඔය අතීතෙ අමතක කරලා ඔයාට සතුටින් ඉන්න පුලුවන්..”

“මං පතොක් මලක් වගේ කෙල්ලක් ධීර..ඔයාට කටු ඇනෙයි කියලයි මට දුක..”

ඔහු මගේ අත තද කර අල්ලා ගත්තේ ය.පතොක් මලක් නොවී ඔහු දෑතේ සියුමැලි මලක්ව රැඳෙන තද ඕනෑකමකින් මා පිරී ගියේ ය.ජීවිතය සමහර වතාවන්හිදී අතීතයෙන් නැගී සිටින්නට අපට වර ලබා දෙන බව මම සිතුවෙමි.ධීර එවැනි වරයක් රැගෙන මවෙත ආ වසන්තයකි.දෑත් විදා ඒ වසන්තය පිළි නොගෙන අතීතයේ එල්ලී හිඳීමෙන් මට ලැබෙන්නේ මොනවාදැයි මසිත මගෙන් අසන හඬ ඇසේ.

පසන්, මෙ ඔබව අමතක කර දැමිය යුතු කාලයයි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -33

පංචලී පුතෙකු බිහි කළා ය. පෞද්ගලික රෝහලක සුව පහසු ලෙස ඒ අත්දැකීම විඳ ගන්නට ශාරද ඇය ට අවස්ථාව උදා කර දී තිබුණේ...

කුඩුකේඩුකම්

"අම්මේ,මම දැක්කනෙ දෙව්මි පිරිමි ළමයෙක් එක්ක බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නවා." චතුරි ගෙට ගොඩ වුණේ එහෙම කියාගෙන.විශ්ව විද්‍යාලයේ ඉඳලා කාලෙකට...

වැටකොළු පොතු අපතේ නොදා සැකසිය හැකි ආහාර

මේ බොහොම අසීරු කාල පරිච්ඡේදයක්.ගෘහණියන් හැටියට අපිට කිසිවක්ම අපතේ යවන්නට මේ කාලයේ බැහැ.එළවළු පිරිමසාගෙන ඉවුම් පිහුම් කරන්න අපි හුරු වෙන්න ඕනෑ.ඒ නිසාම...

හිමගිරි අරණ -18

"මම හිතුණොත් පාරමීට කියනවා මං ගැන බලාපොරොත්තු තියා ගන්න එපා කියලා." රවිඳුගේ ඒ වචන හිමාෂා තිගැස්මට ලක් කරන්නට සමත්...

(අ)හිමි සිහින -122

දින කිහිපයක්ම ඔබට අහිමි සිහින ගෙන එන්නට නොහැකි වීම ගැන මුලින්ම අපි ඔබෙන් සමාව ඉල්ලා සිටිනවා.යම් අපහසුතා කිහිපයක් නිසා තමයි ඔබ මඟ...