හසරැලි වැස්සේ – 41

මට බොහෝ වෙලාවක් මඟ බලන්නට සිදු නොවිණි.අයියා හවස් යාමයේ මා බලන්නට ආවේ ය.නමුත් නිර්මාණි අක්කා නොපැමිණියා ය.අයියාත් අක්කාත් සමඟ හදවත විවර කරන්නට සිටි මගේ මුහුණ දුකින් බර වී යන්නට ඇත.

“කෝ අයියේ අක්කි?”

අයියා මවෙත ආවේ හිනැහෙමිනි.ඒ සිනාව යට රහසක් ඇති බව මට සිතිණ.අයියාගේ හිනාව කොහොමටත් පියකරු ය.

“මෙයාට හසරැලි කියල නමක් දැම්මට මේකිගෙ හිනාව නම් මෙලෝම රහකට නෑ.ඒකට අපේ හසරැල් අයියා.නමටම ගැළපෙන මනුස්සය.අර රත්නශ්‍රී සර් ලියපු ඔබෙ සිනාවෙන් නිවේ හුණුව ගිය ලේ නහර කියන කවි පදේ හරියට ගැලපෙන මනුස්සයා.මොනව කරන්නද? නිර්මාණි අක්කා ඉස්සර වුණානෙ..”

අප ගෙඋද්‍යානයේ කියවමින් හිඳිද්දී හිනැහෙමින් ගෙට ගොඩ වූ අයියා දෙස බලමින් යෙත්මි පැවසූ කතාවක් සිහිව මට හදිසි සිනාවක් හට ගති.

“ඔයාට විසිටර් කෙනෙක් ඉන්නව මිස් සූකිරි..ඒ නිසා මම නිරූව එක්කන් ආවෙ නැහැ.”

අයියා කියන්නේ රහස එළි නොවන සිනාව දෙතොලෙන් මැකෙන්නට නොදෙමිනි. ඒ අමුත්තා කවුදැයි මම සිතීමි.මීට පැය කිහිපයකට පෙර දෙනෙත් අමතකම කර දමන්නට සිතූ මම වහවහා සිතුවිලි වෙනස් කර ගතිමි.ඒ ඔහු විය යුතු ය. මා අනතුරට පත් වූ බව අසා හිත උණු වී මෙතැනට එන්නට ඇත්තේ ඔහු ය.මල් කලඹක් ද රැගෙන රෝහල් කාමරයේ දොරකඩින් ඔහු මතු වේයැයි මම සිතීමි.

“නංගි!”

අටෝරාසියක විසිළු නම් ද මගේ ලියාපදිංචි සුරතල් නාමය වූ සූකිරි ද අයියා මට සාමාන්‍ය මොහොතකදී අමතන නම් ය.නමුත් ඔහු මට නංගී කියන්නේ බැරෑරුම් මොහොතක ය.ඔහු මා කෙරෙහි අමනාපයෙන් සහ කෝපයෙන් හිඳිද්දී ය.

“ඔහොම මූණෙ පෙරහැරවල් හදා ගන්න එපා.ඒ මිනිහ මතක් කරගෙන ඔයා ඔහොම හීන මවනවට මම ආස නෑ.දෙනෙත් මෙහෙ එන් නෑ.මම එන්න දෙන්නෙත් නෑ..”

ඒ වචන මට රිදුමක් ගෙනාවේ ය.නමුත් මා තදබල මුසාවකට මුව සාදා ගතිමි.මා දෙනෙත් එනතුරු මඟ බලා සිටි බව අයියා කිසිසේත්ම දැනගත යුතු නොවේ.කොහොමටත් මා අයියට එන්නට කීවේ ද ඔහු අමතක කර දමන්නට උදව් පතන්නට බව මම මටම අවධාරණය කර ගතිමි.

“මම හිතුවා සචිර අයියා කියලා.හරි කම්මැලිකමේ හිටියේ.සචිර අයියා ආවනම් මොනවහරි විකාර කියවනවානේ..”

මම නිවැරදි වන්නට දේවල් කියවන්නට පටන් ගතිමි.නමුත් මගේ කියවිල්ලට වැඩි ආයුෂ තිබුණේ නැත.අමුත්තා දොරකඩින් මෑත් වූයේ ය.ඒ මා කිසිලෙසක අපේක්ෂා කළ දර්ශනයක් නොවේ.ඇවිදීමට අසීරුව වෙලා තිබූ කකුල නොවන්නට මා දිව ගොස් රැඳෙන්නේ ඔහුගේ තුරුලේ ය.

“තාත්තා..”

තාත්තා මා වැළඳ ගත්තේ ආදරයෙනි.ඔහු ඇමතුමට පිළිවදන් නොදුන් නිසා සියදිවි නසාගැනීම තෝරා ගන්නට මට සිදු වූ බව මට අමතකව ගියේ ය.මම හඬමින් ද හිනැහෙමින් ද තාත්තාගේ තුරුලට පැන්නෙමි.

“ටික දවසක් ගෙදර ඇවිල්ලා ඉන්න බෑ.අපේ සූකිරි කැටේ අතපයත් කඩාගන්නවා..”

තාත්තා කියන්නේ හිනැහෙමිනි.

“ඒ උනාට කතාව නම් අපේ බෙල්ල කඩන්න…”

අයියා ද තාත්තගේ සරදමට එක්වූයේ ය.ලෝකයේ මා වඩාත්ම ආදරය කරන පිරිමින් දෙදෙනා මේ මිස අන් කවරෙකුත් නොවන බව මට දැනිණ.තාත්තව තරයේම වැලඳ ගත්තෙමි.

“තාත්තා ආව එක කොච්චර දෙයක්ද? මට හරි පාලු හිතිලයි හිටියේ..”

ඒ වචන සමග මගේ දෑසින් කඳුළු වැටෙන්නට ඇත.තාත්තා මා සිප ගත්තේ මහත් ආදරයකිනි.කාලයකට පසු දැනුණු තාත්තා සුවඳ මට මහත් ආරක්ෂිත හැඟීමක් රැගෙන ආවේ ය.

“පේනවද මම්මේ මේකිගෙ තියන ආත්මාර්ථකාමීකම.තාත්තා ආව විතරයි අපි ඔක්කොම අමතකයි.පාලුවෙලු හිටියෙත්..”

අයියා කියන්නේ බොරු කෝපයක් මවා ගනිමිනි.මම ඔහුට දිව දිගු කර තාත්තාට තවත් තුරුළු වූයෙමි.

“පොඩ්ඩිගෙම ෆොටෝ කොපිය ඉතිං..වාසියට තමයි කතාව..”

මම්මා කිකිණි හඬකින් හිනැහෙමින් කියන්නී ය.කාලයකට පසු මට මහත් සතුටක් සහ ආරක්ෂිත හැඟීමක් දැනිණ.මෙතැන අම්මාත් සිටියානම් යැයි මට සිතුණේ ඉන්පසුව ය.මා ගැන ගෙදර ආ පසු බලා ගන්නා බවට තර්ජනය කළා මිස අනතුරට පත් මොහොතේ පටන් ඇය මට ආදරයෙන් නොඇමතූ බව ඉනික්බිතිව මට සිහි විණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

පෙමාතුර – 38

ආදරණීය කිසා, මම මුල ඉඳන් අගටත් ආයෙ අග ඉඳන් මුලටත් හැම දේම මතක් කරනවා. මතකය වැරදි නැත්නම් මගෙන් වරදක්...

තනිකම

"ඔයා හැමදාම තනියම ඉන්නද හදන්නේ නංගි?" අක්කා එහෙම අහනකොට කසුනි හිටියේ අමතර පන්තියකට අවශ්‍ය ප්‍රශ්න පත්තර වගයක් සූදානම් කරන...

අකල් වැහි -17

"මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?" එසේ අසන තරුණයෙකුට ඉනික්බිතිව අසන්නට ඇති සාම්ප්‍රදායික ප්‍රශ්නය සිතිජ ඇසුවේ නැත.ඒ වෙනුවට ඔහු හිතට දැනෙන...

පෙමාතුර -37

මගේ බෝඩින් පාස් එකෙහි සඳහන් ව තිබූ අංකය සහිත අසුන කවුළුවක් අයිනේ එකක් වීම දෙවියන් ගේ කරුණාව මත සිදු වූ දෙයකි. හෑන්ඩ්...

අකල් වැහි -17

හිරුදි ඒ රාත්‍රියේ සිටියේ නින්ද අහිමිව ය.ඒ ගර්භනී අපහසුතා හන්දා නොවේ. උදෑසන අපහසුතා හැරෙන්නට ඇයට තවම එතරමට අසීරුතා නොවේ.නමුත් හෘද අභ්‍යන්තරයෙන් පැන...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content