නිම් නැති නිම්නය 35

තත්පර කිහිපයකට විශ්ව ක්‍රියාකාරීත්වය නතර වූවා වන් නිශ්චලත්වයක් ඇති විය. සුළඟක් හමනා හඬක් වුව ඇසුණේ නැත. නමුත් සිය ශරීරයේ ඇතුළේ ඍතුමය වෙනස්කමක් සිදු වෙනවා වන් කැළඹීමක් ආරාධනා ට දැනිණ. ඒ කැළඹීම වුව නිශ්චිතව කවරක් දැයි ඇය නො දත්තා ය. රළ නගන සයුරක් ද අව පීඩන කලාපීය සුළඟක් ද වලාකුළු පිරි ගගන තලයක් ද මෝසම් වැස්සක් ද එකවර සිදු වූවා මෙනි. ඇය කවීශ්වර දෙස බලා සිටියේ ඇස් විසල් කර ගෙන ය. ඒ ඇස් වල ටික ටික බොඳ ගතියක් ඇති වෙන්නට ගති. කවීශ්වර සිය මුවෙහි හොවා ගෙන උන් ආරාධනා ගේ කැපුණු අතැඟිල්ල අතින් අල්වා මුවින් පිටතට ගත්තේ එතකොට ය. රාජිකා මැණිකේ සිය නිරෝගී අතින් ශීතකරණය හැර අයිස් කැට දීසිය ගෙන කවීශ්වර වෙත පෑවා ය. ඔහු කැපුම මතින් අයිස් කැටයක් තැබුවේ ය. ඊළඟට ඇගේ අත මඳක් ඉහළට ඔසවා අල්වා ගත්තේ ය. අයිස් කැටය දිය වී ඇති වෙන වතුර බින්දු රතු පාට වී ඒ රත තුනී වී ගියේ ය. මීදුමක් වාගේ බොඳ වී ගැබ්බර වූ ආරාධනා ගේ ඇස් වලින් කඳුළු මේඝය ඉහිර ගියේ ඉනික්බිති ය. 

ඇස් වලින් කඳුළු එන්නේ කැපුම් රිදුම නිසා නොවෙන බව ආරාධනා දැන සිටියා ය. නමුත් සිය නැන්දම්මා හා කවීශ්වර එසේ සිතනු ඇති බව ද ඇය දැන සිටියා ය.

“කටනං කොහොමද මහ ලොකුවට…මේ චූට්ටක් කැපිල ලේ බින්දුවක් ආවහම කඳුළු පෙරාගෙන අඬනව”

කවීශ්වර අවස්ථාවේ හැටියට විහිළුවක් කළේ ය. නමුත් ඒ විහිළුවවෙන් රතු වෙන්නට ඉඩක් ආරාධනා ගේ ඇස් වල වූයේ නැත.

“ඕගොල්ලො හිතං ඉන්නෙ මෙච්චර ඉක්මනට මං වෙන පිරිමියෙක්ව අල්ලගෙනත් ඉවරයි කියල නේද…හරි කවීශ්වර එහෙම හිතුව කියමු. අම්මත් හිතං ඉන්නෙ එහෙමද අම්මෙ…කාශ්‍යප ජීවිතෙං ගිය ගමන් මං එතනට තව කෙනෙක් වැද්දගෙන කියලද…”

“මොන පිස්සු කතාද මේ කියන්නෙ දරුවො…ඕන්නැති ඒව කියන්න එපා පොඩි පුතා. හැම දේම විහිළුවට ගන්න එපා”

රාජිකා මැණිකේ කවීශ්වර ට ඒ තරවටුව කළේ බැරෑරුම් ව ගෙන නොවේ. ඒ වෙලාවේ ආරාධනා ගේ කලබල වීම සන්සුන් කරන්නට පමණි. 

“මනුස්සය දාල ගියාම හර මැරිල ගියාම හරි ගෑනියෙක් බලං ඉන්නෙ තුත්තිරි කරල වගේ කාගෙ හරිම ඇඟේ එල්ලෙන්නයි කියල හිතන්න එපා කවීශ්වර. මිනිස්සු එහෙම හිතනව කියනව තමයි. ඒත් ඒ තත්වෙට පත් වෙච්ච ගෑනියෙක් හැටියට මං දන්නව…මන්දා මටනං ඕනෙ දැන් මගේ පාඩුවෙ දරුවො දෙන්නව හදන් ඉන්න විතරයි. මට තේරෙන්නෑ ඇයි මිනිස්සු එහෙම හිතන්නෙ කියල. පිරිමියෙක් ළඟින් නැති වුණාම ගෑනියෙක්ගෙ ජීවිතේ බිමට සමතලා වෙන්නෙ නෑ. එහෙම කරන්නත් නරකයි. අඩු ගානෙ ළඟම ඉන්න අයවත් උදව් කරන්න ඕන නේද ඔළුව උස්සගන්න…එහෙම නැතුව ඒ ගෑනි පිරිමියෙක් හොය හොයයි හැම මොහොතකම ඉන්නෙ කියල හිතන එක පවක්. පාරට බැස්සත් ගමනක් ගියත් ඒ යන්නෙ පිරිමියෙක් හොයාගෙනයි කියල හිතන එක…මට තේරෙන්නෑ මොනා කියන්නද කියල…පිරිමියෙක් නැති ගෑනියෙක් කියන්නෙ සමාජෙ ඉන්න ඔක්කොම පිරිමින්ට කටගැස්මක් නෙවෙයි දෙයියනේ. ඒ වගේම තනි වෙච්ච ගෑනියෙක් ඊළඟ තප්පරේ ඉඳල ඒ තනිකම වෙන පිරිමියෙක්ගෙන් පියව ගන්න හදනව කියල හිතන එකත්…”

ආරාධනා ඇස් දෙක තද කොට පියවා ගත්තා ය. එතකොට ඇස් පියන් වලට තෙරපී මිරිකුණ කඳුළු දෙපෙළක් කම්මුල් දිග ගලා ගියේ ය.

“මොළේ හොඳ නැද්ද ආ…”

කවීශ්වර කෑ ගැසුවේ ඒ මිරිකී ගිය කඳුළ දෙස බලා ගෙන ය. ආරාධනා ගේ තෙත ඇස් තටු විවර වී කණීනිකා ලොකු විය.

“මං ඔය වගේ බහුබූතයක් කිව්වෙ නෑ. ජෝක් එකක් කළේ තනියම යන්න ඕන කියපු නිසා”

“ගෑනියෙක්ගෙ තනිකම ජෝක් එකක් කර ගන්න එපා කවීශ්වර”

කවීශ්වර ගේ හිසට නැගී ආ කෝපය ඔහු තමන් විසින් ම පාලනය කර ගත්තේ ය. ඒ වුණාට හිත යට සියුම් සතුටකුත් නො තිබුණා ම නොවේ. ගැහැනියක නිසා එක වර ඒ හැඟීම් දෙක ම ඇති වීම විශ්මිත ය. ඒ ඔහු මීට පෙර ඇසුරු කොට ඇති ස්ත්‍රි පරාණ නිසා අත් විඳ නැති ආකාරයේ තත්වයකි.

“ප්ලාස්ටරයක් දැම්මහම හරි. ඔය බේත් පෙට්ටියෙ බලන්න පොඩි පුතා”

රාජිකා මැණිකේ පනින රිලවාට ඉණිමං බැන්දා සේ ය.

“නෑ ඕන නෑ. ඒක හරියයි”

ආරාධනා එසේ කියත්දීත් කවීශ්වර බිත්තියේ ගසා තිබූ ප්‍රථමාධාර පෙට්ටියෙන් බෙහෙත් ප්ලාස්ටරයක් ගෙන අවසාන ය. බලයෙන් ම ඇගේ ඇඟිල්ල ගෙන ඔහු එහි ප්ලාස්ටරය දැමුවේ ය. ආරාධනා කවීශ්වර දෙස නො බලා සිටියේ හිතා මතා ම ය. ඇගේ හිතේ සියුම් නො රිස්සුමක් තිබිණ. මඳ කේන්තියක් ද එහි මුසු වී තිබුණේ ය. 

එදා පෝය නිසා සාප්පුව වසා තිබුණෙන් කවීශ්වර ගෙදර රැඳුණේ ය. මීට පෙර නම් පෝය නිවාඩුවකට ඔහු අල්ලා ගත හැකි වූයේ නැත. එක්කෝ ගෑනු ළමයෙකු සමග රහස් ගමනක් ගියේ ය. නැතිනම් මිතුරු නඩය සමග කල්ලි ගැහුණේ ය. දැනුත් එහෙම කළ නො හැකිවා නොවේ. නමුත් එසේ කරන්නට දැන් ඔහු ට ඕනෑ කමක් දැනෙන්නේ නැත. ගෙදර රැඳෙන කාලය වැඩි වෙන එකේ අමුතු සතුටක් හිතේ පිළිසිඳේ. ආරාධනා ගේ අහංකාර වචන අසමින් සේ ම බිඟුනි ගේ සෙල්ලම් වලට හසු වෙමින් ද සඳයුරු ගේ හුරතල් විඳිමින් ද ගෙවෙනා කාලයට කවීශ්වර ඇබ්බැහි වෙමින් හිඳී. එක  ගැහැනියකට ඇබ්බැහි වීම තරම් අනුවණ කමක් නැති බවට මතයක් මිතුරු නඩය අතරේ වේ. පසු ගිය කාලය පුරා ම කවීශ්වර එය දේව වාක්‍යයක් සේ ඇදහුවේ ය. අනුගමනය කළේ ය. එක අතකට එය සත්‍යයක් බව ද ඔහු දැන සිටියේ ය. ඒ ද ආරාධනා නිසා ම ය. අතීතයේ දවසක ඇනුණ කටුවක් සේ ඇය හැමදාමත් හිතේ පැටලෙමින් සිටියා ය. ඒ කටුව ගලවා ඉවතට විසි කිරීමේ අදහසක් කවදාවත් කවීශ්වර ගේ සිතේ නොවී ය. මොන තරම් ස්ත්‍රීන් සිය හදවතට ආවේ ගියේ වී ද ආරාධනා නතර වී උන් තැන විස්ථාපනය කරන්නට ඒ කිසිදු ස්ත්‍රියක සමත් වූයේ ද නැත. ඒ නිසා ම යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩ ස්ත්‍රීන් විසින් කරනම් ගසනු ලබන්නා වූ ඔහු ගේ හද පිටියේ ආරාධනා නිරුපද්‍රිතව අද අද වෙන තුරා ම සිටියා ය.

සඳයුරු කවීශ්වර ගේ හදවත මත අඳිමින් සිටිනුයේ පෙරපර ගලපා ගන්නට ඔහු ම නො දන්නා සිතුවමකි. කවීශ්වර දකිත්දී සඳයුරු නගා ගන්නා සිනහව විටෙක කවීශ්වර ගේ හුස්ම පවා නතර කරන්නට සමත් වේ. ඔහු ට නො තේරෙනා, ඒත් හදවතට දැනෙනා භාෂාවකින් බිළිඳුන් මොනවාද පවසයි. රෝස පාට ළපටි දෙතොල් උල් කරමින් සිය දෑස් දෙස බලා ගෙන ම ඔහු කියන්නට තතනන්නේ තාත්තා කියා දැයි විටෙක කවීශ්වර ට සිතෙයි. එතකොට ඔහු ගේ පිරිමි පපුව අමුතු හැඟීමකින් පිරෙන්නට ගනී. තාත්තා කියන්නේ ඒ හැඟීමට ද කියාත් ඔහු ට සිතෙයි. නමුත් ඒ සිතිවිල්ල දිග දුරට යන්නට ඔහු බිය ය.

“බාප්පි දැන් කොහෙ හරි යනවද…”

කවීශ්වර සඳයුරු වඩා ගෙන වැරැන්ඩාවේ ඇවිදිමින් සිටියදී බිඟුනි ඔවුන් වෙතට ආවා ය. ඒ සෙල්ලම් කරන්නට ඔහු අල්වා ගන්නට ය. ඇයව අවුස්සන්නට ඔහු බොරුවක් කීවේ ය.

“ඔව්. පන්සල් යන්න හදන්නෙ”

ඇගේ බැල්ම බලා සිටියදී වෙනස් විය. එය වඩාත් බැගෑපත් හා අසරණ ද අවිහිංසක ද පෙනුමක් ගත්තේ ය.

“අනේ…”

දැරිය බෙල්ල ඇල කර ගෙන ඒ අසරණ බව දැනෙන්නට හැරියා ය.

“ඇයි…”

“මාවත් එක්කං යන්නකො”

“අපෝ…ඔයාගෙ අම්ම දුම්මල වරම අතට අරං එයි ඊළඟට”

බිඟුනි ඇස් පිය සලනා පමාවකින් මුළුතැන්ගේ දෙසට දිව්වා ය. 

“අම්ම දුම්මල වරම අතට ගන්නෑ නේද…”

දිවා බොජුන් පිළියෙල කිරීම අවසාන කරමින් සිටි නැන්දම්මා ත් ලේලියත් දැරිය ගේ මුහුණ බලා උනුන් ගේ මුහුණු දෙස බලා ගත්තෝ ය. 

“මොකක්…”

ආරාධනා ගේ හඬෙහි තරවටු ස්වභාවයක් තැවරුණේ බිඟුනි පණ්ඩිත කතාවක් කීවාය යන අදහස මත ය.

“මට පන්සල් යන්න ඕන”

“මොනාද මේ කියවන්නෙ…බිඟූ මං ඔයාට කියල තියනව ළමයෙක් වගේ කතා කරන්න කියල. ළමයෙක් යූස් කරන වචන තියනව. වැඩිහිටියො කියන ඒව කියන්න ගියාම ළමයිව පේන්නෙ බොන්සායි කරපු වැඩිහිටියො වගේ”

“බාප්පි පන්සල් යන්න හදන්නෙ. මටත් යන්න ඕනෙ”

“ආ…වෙනදටත් ඔයා බාප්පි එක්ක පන්සල් ගියාද…”

“තාත්ති ඉන්න කාලෙ අපි පන්සල් ගියානෙ. අපි තුන් දෙනයි තාත්තම්මයි…තාත්ත නැති වුනාට පස්සෙ අපි පන්සල් ගියේම නෑ”

ආරාධනා ගේ හිත ගැස්සී ගියේ ය. ඉසියුම් බරක් හදවත මත පැටවෙනවා දැනිණ. එහි ශෝකී බවක් ද දැවටී නො තිබුණා ම නොවේ. ඒ කාලේ පෝය ට අනිවාර්යයෙන් ම පන්සලකට යැවිණ. පන්සල් යන්න ඕනේයි කියූ විට කාශ්‍යප අනිවාර්යෙන් ඔවුන් කැඳවා ගෙන ගියේ ය. ඒ සියලු යුතුකම් ඉටු කොට තිබෙන්නේ ඇය ගැන ආදරයක් හිතේ නැතිව ම යයි සිතෙත්දී, එදා නො දැනුණ අසරණ කමක් දැන් ඇයට දැනේ. ඇය වූ කලී ආදරයෙන් පිරී උන් ගැහැනියකි. නමුත් කිසි දා පිරිමියෙකු ගේ ආදරයක් ලබන්නට හෝ විඳින්නට උරුමකම් නො තිබූ ගැහැනියකි.

“අපි වෙන දවසක යං පුතේ. ඊළඟ පෝයට එක්කං යන්නං. තාරා නැන්දිට කතා කරල එයා එක්ක කා එකේ යං. මල්ලිත් අරං අම්මිට තනියම බෑනෙ පුතේ”

එහෙම කියත්දී ආරාධනා ගේ උගුර රිදී ගෙන ආවේ ය.

“අනේ මට අද යන්න ඕනෙ. එහෙනං තාරා නැන්දිට කතා කරන්නකො”

“දැං එක පාරටම එන්න කියන්න බෑනෙ. ඒගොල්ලො දාගත්ත වැඩ ඇතිනෙ පුතේ. හොඳ දුව වගේ මුරණ්ඩු නොවී ඉන්නකො ඉතිං”

“අනේ මට යන්න ඕනේ..”

බිඟුනි හැඬුම් බර වූවා ය.

“මොනාද පොඩි පුතා ඔයා කරන වැඩ. ඒ ගමන ඒ පොඩි එකීව ඇවිස්සුව. අනේ මෙයා යන පන්සල්. කෙල්ලො බලන්න පන්සල ළඟ කැරකෙන්න යනව”

රාජිකා මැණිකේ ගේ ඒ කතාවට ආරාධනා ට සිනහ ආවේ ය. කවීශ්වර ඇදෙස බැලුවේ කට ඇද කොට ය.

“හරි හිනා නේ මට මොනා හරි කියනකොට…”

“හිනා යන්නැද්ද ඉතිං…ගෑනු ළමයි බලන්න ගියාටනං කමක් නෑ…මේ අපේ ළමයි අවුස්සන්නැතුව”

ආරාධනා ගේ ඇස් මත, තාරකා එළි වල වන ප්‍රභාෂ්වර බවක් විය. ඇය මුළු මුහුණෙන් ම සිනහ වූවා කියා ඔහු ට සිතිණ.

දිවා ආහාර ගැනීමෙන් පස්සේත් බිඟුනි යහනෙහි, අම්මා ළඟට ගුලි වී කන්කෙඳිරි ගාමින් සිටියා ය. ආරාධනා කිසි සේත් ඔහු වෙත ඒ ඇරයුම නො කරන බව කවීශ්වර දැන සිටියේ ය. ඇය එපමණට ආඩම්බර ගැහැනියකි. ඒ නැත ද අනුන්ට කරදර කරන්නට පැකිළෙන ගැහැනියකි. බෝ වෙලාවක් කාමරයට වී කල්පනා කළ කවීශ්වර, අවසන ඔහු ම කාමරයේ දොරකඩට ගොස් දොරට තට්ටුවක් දැමුවේ ය. ඒ තට්ටුව කවීශ්වර ගේ බව ආරාධනා දනී.

“එන්න කවීශ්වර”

ඔහු තිර රෙද්ද අතින් මඳක් මෑත් කළේ ය. ආරාධනා දරුවන් දෙදෙනා අත් දෙකෙන් තුරුලු කොට ගෙන යහනේ වැතිර සිටියා ය. ඔහු තත්පරයක් තුළ ඒ දර්ශනය දෑසින් උරා ගත්තේ ය.

“ලෑස්ති කර ගන්න එහෙනං ළමයි දෙන්නව. පන්සල් ගිහිං එමු”

ආරාධනා තුරුලේ උන් බිඟුනි යහනෙන් පැන්නේ හඬ නගා සිනහ වී ගෙන ය. ඇය පැනපු ගමන් බාප්පා ගේ දෙපා වැළඳ ගත්තා ය. 

“මගෙ හොඳ තාත්ති”

බිඟුනි ට ඒ ‘තාත්ති’ කියනා වචනය කියවුණේ වැරදීමකින් කලබලේට ය. නමුත් අතුණුබහන් වල කැළඹීමක් ආරාධනා අත්වින්දා ය. ඇගේ ඇස් කවීශ්වර ගේ ඇස් මත හැපිණි. ආරාධනා ඉක්මනින් ඉවත බලා ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles