පතොක් මලක ප්‍රේමය -අවසන් කොටස

අපේ අවසන් විභාගය අවසන්ව විවිධ උත්සව වලට යැයි කල් මරමින් අපි සරසවියේ රැඳී සිටියෙමු.මෙතැනින් එහාට කළ යුතු දෑ ගැන අපට සිතන්නට බොහෝ දේ විණි.චමත්කා විදේශගත වනවාදැයි මෙරට රැඳී සිටිමින් රැකියාවක් කරනවාදැයි සිතමින් කාසි උඩ දමන්නට විය.ඇය මට විශාල රහසක් හෙළි කළේ එවැනි රාත්‍රියක ය.

“මං අර මෝඩ නිර්වාන්ට සෑහෙන කාලයක් ක්‍රෂ් එකේ හිටියා..”

මා සසැලෙන්නට ඇත.මම මගේ දයාබර මිතුරියගේ අත ඉතා තදින් අල්ලා ගත්තෙමි.

“මගෙ දෙයියනේ චමා..එහෙනං ඔයා අර මොට්ට චරිත් පටලා ගත්තේ ඇයි..”

චමත්කා නිහඬ සිනාවක් හෙළුවා ය.අනතුරුව ඇය හිස් අහස දෙස බලා සිටියා ය.

“නිර්වාන් මට ආදරේ කරන එකක් නෑ කියලා තේරුණාම මං ඒක කරේ මාවම රවට්ටා ගන්න.මටම රිද්දා ගන්න.අන්තිමට මම චරිත්ට ආදරේ කළා..ඒත් ඉතිං රිද්දා ගත්තා.”

මම ඒ අසා රිදවා ගතිමි.චමත්කා මට වඩා බොහෝ රූමත් යුවතියකි.ඈ වෙත නොබැඳෙන්නට නිර්වාන්ට හේතු වූ කාරණා ඇතිදැයි මම සිතිමී.ඔහුට ඇයට පෙම් කරන්නට තිබිණ.එසේ වූවානම් ඒ ඉතා අපූරු ගැළපීමක් වන්නට ද තිබිණ.එහෙත් ඉරණම අපට ඕනෑ දේ කරන්නේ ද නැත.

“එයා ආදරේ කරේ ඔයාට.මං ආදරේ කරේ එයාට..ඔහොම තමයි සාරා.ජීවිතේ එහෙමයි.ඔයාගේ ධීර ඔයාට මුණ ගැහුණා වගේම මගේ කොල්ලත් කොහෙන් හරි මට මුණ ගැහෙයි.නිර්වානුත් එයාගේ කුමාරි හොයා ගනියි..”

ඇය එසේ කියා සුසුමක් හෙළුවා ය.

“සාරා ඉක්මනින් මැරි කරනවනෙ..ආන්ටි අපේ ඇනෙක්ස් කාටවත් දෙන්න එපා..මෙයාලටම දෙන්න.”

කේතකී පැවසුවේ වසර හතරක මතක ආන්ටී සමඟ දිග හරිමින් හුන් මොහොතක ය.ඇය අතැර යාම ද සිතන තරමට පහසු නොවේ.

“ධීර ගෙයක් හොයා ගත්තාවේ.මේක සාරදීලට දෙන්නේ නෑ..”

ආන්ටි එසේ කියා හිනැහුණා ය.ධීරගේ උරහිසේ හිස තබාගෙන බැල්කනියට වී හිඳිමින් ඈත තාරකා ගනින සිහිනයක් මට තිබිණ.මගේ මුහුණ අඳුරුව යන්නට ඇත්තේ එනිසා ය.

“ඒ මොකෝ ආන්ටි ඒ..ආන්ටිට මෙයාලා පන්නා ගන්න බැරිවෙයි කියලද? පුතාගෙ යාලුවගෙන් කී මනි ගන්න බැරි නිසාද.”

ආන්ටී සිනා වෙන්නට ගත්තා ය.සිහිනයක් බොඳව ගිය ශෝකයෙන් මම ඈ දෙස නෙත අලවාගෙන හුන්නෙමි.

“ඔය මොකවත්ම නෙවෙයි.ධීරට මේක තමන්ගෙ ගේ ගාණයි.සාරදී එක්ක කේන්‍ති ගියාම පහළට බැස්සැකි.සාරදීගේ කෑම රස නැති උනාම පහළට බැස්සැකි.ඔය පාඩං කරනව ගගා අපේ ලොක්කයි ධීරයි සිසිල් පැන් දන්සැල් දාන දවසුත් මං දන්නවා.ඒවාට වෙලාවක් අවේලාවක් නැති උනොත් සාරදීට කේන්ති යනවා..ඉතිං ඒ හින්දා දෙන්නත් එක්ක ජීවිතේ පටන් ගන්න ඕන තනියම.අපි කාගෙනුත් ඈත් වෙලා..”

ධීරට අම්මා කෙනෙකු ඇති නැති ගාණ ය.එහෙත් අපේ ආන්ටි අම්මා කෙනෙකු මෙන් ඔහු ගැන සිතීම ගැන මට දැනුණේ ඉතා ආදරයකි.ඇය එපමණ ජීවිත දැක්මකින් අපේ අනාගතය ගැන බලන්නී ය.නෑදෑකම් ලේ බැඳීමකින් රැගෙන නාවද හදවතේ බැඳීමකින් ධීර දරා සිටින ඇය ගැන මට දැනුණේ ගෞරවය මුසු ආදරයකි.

එක්තරා හැන්දෑවක ධීර මා හමු වන්නට ආවේ ය.විවාහ උත්සවයක් වෙනුවෙන් කරන්නට වැඩ අපමණ ඇත.අම්මාටත් තාත්තාටත් රිසි දේ කරන්නට හැර බලා හිඳින මා සැබෑවටම මට විවාහ වන්නට ඕනෑදැයි බොහෝ වාරයක් සිතුවෙමි. බොහෝ වාරයක් මා සමඟම තර්ක කළෙමි.නමුත් මගේ හිත ධීර අසලින් හිඳින්නට ඕනෑ බව තරවටුවකින් කියා සිටියේ ය.අවසානයේ මම හිතට අවනත වීමි.

“අපි කොහෙද මේ යන්නේ ධීර..ඇඳුම් හදන්නද? මම කුහුලින් අසද්දී ඔහු හිනැහෙන්නේ රහසක් සඟවාගත් මුහුණකිනි.මට සිහි වූයේ ඔහු මා රැගෙන ප්‍රතිකාර ගන්නට ගිය දවස ය.කුමක් හෝ සැලසුමක් සඟවා ගත් මුහුණකින් යන ඔහු දෙස මම දෑස් දල්වා බලා හුන්නෙමි.හදවත ආදරයෙන් පිරී යන්නේ මටත් නොදැනී ය.

“ඔන්න ඔයාගෙ ගෙදර..ඔයා ආස නැත්තං අපි වෙන ගෙයක් බලමු හොඳේ..”

ඔහු මා කැටුව ආවේ කුඩා නිවසක් වෙත ය.අප එය ගන්නේ බද්දට බව ඇත්තකි.එහෙත් මේ මා ගෘහණියක ලෙස ජීවිතය අරඹන මුල්ම තැන ය.මට අපේ කඳුකර නිවහන සිහිව ආවේ ය.එහි උතුරා යන ආදරයේ උණුහුම මෙහි සෑම බිත්තියක් මතම තවරන්නට මට ඕනෑ විණි.පතොක් මලකට සේපාලිකාවක වීම පහසු නොවේ.නමුත් ධීරට මා දරා ගත නොහැකිදැයි මම සිතන්නට ගතිමි.ඔහු මගේ ලෝකයට ආවේ අහම්බයකිනි.ඔහු මා වෙත සමීප වූයේ බලහත්කාරයෙනි.ඔහු මා ලබා ගත්තේ එඩිතරව ය.ජීවිතය ඔහුට පවරා ඔහුගේ සෙවණැල්ලට මුවා වී හිඳින්නට මට ඕනෑ විය.

“ඔයා මේ ගෙට ආසයිද? ඇත්තටම අපේ තාත්තා, මං කියන්නෙ මල්ලිලගෙ තාත්තා කැමතියි අපට ගෙයක් අරන් දෙන්න.මං ඒකට කැමති නෑ.මං ගාව සල්ලි තියෙන්නේ මේ ගෙට කීමනි දෙන්නයි බඩු ගන්නයි විතරයි..ඒත් මං කැමති එහෙම පටන් ගන්න.ඔයා කැමති මොකක් කරන්නද?”

නිවසේ මුළුතැන්ගෙය පුරා සක්මනේ යෙදෙන මගේ අතකින් අල්ලා ගත් ඔහු ඇසී ය.

“මං ආස ඔයා එක්ක මුල ඉඳන්ම පටන් ගන්න…”

මම පැවසීමි.ඔහු මා තරයේ වැළඳ ගත්තේ ය.ආදරය බොහෝ උණුසුම් බව මට දැනිණ.

ජීවිතය එසේ ඇරඹිණ.

කාලය ගලා ගොස් ය. ඒ කුඩා නිවහනට ආ මනාලිය පතොක් මලකට සේපාලිකාවක වන්නට අපහසු නොවන බව ඉක්මනින් ඉගෙන ගත්තා ය. ධීර මගේ හැම සිහිනයක් ම මතක තබා ගත්තේ ය.එක්තරා උදෑසනක මා අවදි වූයේ අත්ල මත ගැටුණු සීතලකිනි.අවිහිංසක කුඩා දෑසක් ආදරය අයදින බැල්මකින් මදෙස බලා හුන්නේ ය.ධීර හමු වූ දවසක බලු පැටවෙකුට ගෙදර කෙනෙකුට මෙන් ආදරය කරන්නට ඕනෑ බව කී සාරදීට බෲනෝ හමු වූයේ එලෙසිනි. බෲනෝ ධීර මට මුලින්ම තෑගි කළ පුළුන් බලු පැටවාගේ බඩ මැදින් පුළුන් එළියට අදිමින් ආදරය කළ යුත්තේ හුස්ම වැටෙන උණුහුම් දෑට පමණක් බව මට සිහි කළේ ය.පසන් ගැන බොහෝ මතක අමතක කරන්නට මම වෙහෙසුණෙමි.

කේතකී ඈත රටක ය.ඈ ඉඳහිටක මා අමතයි.ප්‍රවේසමින් හිඳින්නැයි සිහි කරයි. චමත්කා සතියකට වතාවක් තරුණයෙකුගේ ඡායාරූපයක් එවමින් මගේ කැමැත්ත විමසයි.මා ඔහු ඇයට ගැළපෙන තරම ලියා යවනා මොහොතට ඇය වෙනත් තරුණයෙකුගේ ගුණ දොඩවයි. තෙවසරක් ම ගෙවුණේ එසේ ය.

නිර්වාන් යළි කිසි දිනෙක මගේ හොඳම මිතුරා වූයේ නැත.මගේ විවාහ දිනය දා ඔහුට බරපතල සම්මුඛ පරීක්ෂණයක් වූ අතර ඔහු තම තරු සිහිනය වෙත වේගයෙන් ඇවිද යද්දී මම ආලින්දයට වී ඔහුට අත්පොළසන් දුන්නෙමි. දැන් රූපවාහිනියේ නිතරෝම දකින තරුණයා මගේ කෙහෙරැලි අවුස්සමින් “බී කූල් සාරා…” කී කොලුවා ලෙස මට පෙනෙන්නේ ද නැත.අප තවදුරටත් හොඳම මිතුරන් නොවන්නේ එනිසා ය.නමුදු ඔහු ඉඳහිටක මා අමතයි.ධීරට කාරුණික විය යුතු බව සිහි කරයි.මතක අවුස්සා හිනැහෙයි.

ධීරත් මමත් බොහෝ තැන්හි සන්තෝසයෙන් සංචාරය කර ඇත්තෙමු.එහෙත් ධීර ගී ගයමින් සුක්කානම හසුරවන්නේ ආදරය පිරි කඳුකර නිවහනට යන ගමනේ දී ය. “අම්මාගේ කෑම වැඩියෙන් රස උණුවට” ය. ඒවා ඇති තරම් කමින් අම්මාගේ ආදරය හොරකම් කරන ඔහු දෙස බලා මම තාත්තා දෙස බලන්නෙමි.

“තාත්තේ, අපට හරියනම කෙනා හම්බුණාද?” මා අසන්නේ තාත්තා වැළඳ ගනිමිනි.

“කණ්නාඩියක් ළඟට ගිහිං ඔයාගේ ඇස් දෙක දිහා බලන්න..” තාත්තා මගේ නළල මත හාදුවක් තවරන්නේ එසේ කියමිනි.ධීර සහ තාත්තා සිතන්නේ එකම දේ ය.”මා ඇත්ත කියන්නේ දෑසින් ය.”

සාරදීට තව සිහිනයක් වූ බව ඔබට මතක ඇති බව සිතමි.හිස හරවා ඔබේ පොත් රාක්කය දෙස බලන්න.සාරදී ඇගේ හිතට එන සිහින සියල්ල ලියා තැබූ තැන් එහි ඔබට හමු වනු නිසැක ය.අහසක් සේ දරා ගන්නා හිතක් යටට වී මම සෑම සිහිනයක් ම සැබෑ කර ගතිමි.

ඉතින් පතොක් මලකට සේපාලිකාවක වීම බොහෝ පහසු ය.හිත නිවන මන්දස්මිතයක් නිරන්තරයෙන් ඇස ගැටෙද්දී එය ඉතා පහසු ය.

ප්‍රේමය පතොක් ගසක් හෝ මල් පිරුණු සේපාලිකා ගසක් කර ගැනීම උරුම අපට ය.අපේ තෝරා ගැනීම් වලට ය.

සමාප්තයි!

(ඉඳුදුන්න සමඟ හෙට සිට හමු වෙමු)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles