ඇඟ කතා කරන හැටි ඔබ දන්නව ද?

කතාකරන්න වචන නැතිව බැරි බව අපි කවුරුත් දන්නවා. ඒත් වචන නැතිව හුඟක් දේ සන්නිවේදනය කරන්න අපේ ඇඟට තියෙන ශක්තිය ඔබ දන්නවා ද? අවාචික සන්නිවේදනය සිදුකරන අවස්ථාවල දි වැඩි වශයෙන් ම කෙනෙකුට උපයෝගී වෙන්නෙ තමන්ගෙ ශරීරය. ශරීරයේ එක් එක් ඉන්ද්‍රියයන් එක් එක් අවස්ථාවල දි පණිවුඩ ‍සන්නිවේදනය කරන්න වචනවලට බැරි තරම් ශක්තියක් ලබා දෙනවා. ඔබේ ඉරියව්, ඔබේ අත්, පා, හිසකෙස්, මුහුණ, ඇස් ආදී එක් එක් ඉන්ද්‍රියන්, ඔබේ හැසිරීම්, ඔබේ එක් එක් ඉන්ද්‍රිය චලනයන්, ඔබේ කටහඩ උච්චාරණයේ තාරතාව, හරහා ඔබ අන්අයට කියා දෙන දේ ගැන ඇත්තටම සැලකිලිමත් විය යුතුයි.

සීතල ගැහැනු සහ උණුසුම් පිරිමි

Body Language එහෙමත් නැත්නම් ශරීර භාෂාව කියන්නෙ අද ලෝකයේ බොහෝ දෙනා අවධානය යොමු කර ඇති මාතෘකාවක්. කෙනෙකුගේ ආකල්ප, කෙනෙක් අනිත් අය ගැන හිතන පතන විදිය අවබෝධ කරගන්න මේ හරහා ඉතා පහසුයි. කාන්තාවන් සහ පුරුෂයින් දෙපාර්ශවය සිරුරු භාෂාව තුළ සිදුකරන සන්නිවේදනය එක සමාන නැහැ. පර්යේෂකයින් සඳහන් කරන්නේ ගැහැනු venus (සිකුරු)මෙන් කටයුතු කරන අතර පිරිමින් Mars (අඟහරු) මෙන් කටයුතු කරන බවයි. ඇමරිකානු ලේඛක ජෝන් ග්‍රේ විසින් ලියා ඇති ලෝකයේ පිටපත් මිලියන 50කට වඩා විකිණී ඇති Men Are from Mars, Women Are from Venus (1992) කෘතියේ මේ සම්බන්ධව බොහෝ තොරතුරු සඳහන් වෙනවා.  පිරිමින් ඔවුන්ගේ ශරීර ස්වභාවයෙන් ම උණුසුම්බවක් පෙන්නුම් කරන නිසා ඔවුන්ගේ හැසිරීම්, ඉරියව්, ආකල්ප, ඇවතුම් පැවතුම් සියල්ල ම ඒ අනුව හැඩගැසෙනවා. කාන්තාවන් ශරීර ස්වභාවයෙන් ම සිහිලස, සෞම්‍යබව උරුම කරගත් නිසා ඔවුන් ක්‍රියාත්මක වන්නේත් ඒ අනුවයි.

මුහුණ හදවත පෙන්වන කණ්නාඩියක්

කාන්තාවන් බොහෝ සෙයින් ආරක්ෂාව ගැන සැලකිලිමත්. ඔවුන් නිරන්තරයෙන් ගමන් බිමන් යනවිට අත් භෑගයක් ගෙනයාම ප්‍රිය කරන්නට එයත් එක් හේතුවක්. පිරිමින් සහ ගැහැනුන් යම් කිසි තැනක අසුන්ගන්නා විට පවා මේ දෙපාර්ශවය කටයුතු කරන දෙවිදිය වෙන් වෙන්ව හඳුනාගන්නට පුළුවනි. මුහුණ හදවතේ කැඩපත කියලා කියන්නෙත් මුහුණින් බොහෝ අදහස් පළ කරන්න හැකියාව තියෙන නිසයි.  යමකට ඔබ දක්වන අකමැත්ත, අප්‍රසාදය, බිය, පුදුමය, සතුට, දුක මේ කවරාකාර හැඟීමක් වුණත් වචනවලින් පිට වෙන්න කලින් පෙන්නුම් කරන්න ඔබේ මුහුණට පුළුවනි. සමහර අවස්ථාවලදි කෙනෙක් ගැන හිතේ ඇතිවන අප්‍රසාදය, අකමැත්ත වචනවලින් නොකියා හිටියත් ඒක සඟවාගන්න ඔබට අසීරු වෙන්නෙත් ඒ නිසාමයි. ඒ වගේ ම වචනවලින් නොකිව්වත් ඔබ ඔහුට කැමතිබවත් ඔබේ මුහුණින් හෙළිදරව් වෙන්න පුළුවනි.

 කතාකරන ඇස්

එකිනෙකා කෙරෙහි ඇතිවන ආකර්ෂණීය බව ඉතා ප්‍රබලව පෙන්වන්නට ඔබේ ඇස්වලට පුළුවනි. යම් කිසි කටයුත්තකට ඔබ උනන්දුවක් නැතිකම ඔබ ඒ අවස්ථාවට එක්වී අසුන්ගෙන සිටින ආකාරයෙන් හෙළි වෙන්න පුළුවනි. නිතර නිතර හිස කැසීම, මුහුණට මුහුණ බලා කථා නොකිරීම, ඇස් ඉවතට ගෙන කතාකිරීම කෙනෙකුගේ යම් කිසි වංචනික, ව්‍යාජ අදහස් හුවමාරුවක දී සිදුවිය හැකියි. ‍ඒ වගේම නිරන්තරයෙන් පා සෙලවීම, දෑත් වේගයෙන් චලනය කරමින් ඇවිදීම වගේ හැසිරීම් මනස නිරවුල් නැති, කැළඹිලි සහගත පුද්ගලයන් අතර නිතර දකින්නට පුළුවනි.

නිතර නිතර පා සෙලවීම

ඇතැම් අවස්ථාවල දි නිරායාසයෙන් ම පා සෙලවීම අධික ඇබ්බැහිවීමකට ලක්වන ඉරියව්වක් වී ඇති අය ඔබට හමුවී ඇති. මේ නිරන්තර ඇබ්බැහිය තුළ කැළඹිලිසහගතබව වගේ ම කිසියම් ලිංගික ආමන්ත්‍රණයක් ද ඇති බව පර්යේෂකයින් පෙන්වා දෙනවා. ඒ වගේ ම හිස කේ සපා කෑම, හිස කේ අතගෑම සහ නිතර නිතර සකස් කිරීම, නියපොතු සපා කෑම, පා නියවලින් බිම හෑරීම තොල් පට සැපීම, දුරකථනය නිතර නිතර ස්පර්ශ කිරීම, ඔබේ පෞර්ෂත්වය විනාශ කර දමන්න පුළුවනි. විශේෂයෙන් ම ඔබ සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටින අවස්ථාවක දී, නෑ හිත මිතුරන් සමඟ එක්ව සිටින අවස්ථාවක දී උත්සවයක දී, සභාවක් අමතන අවස්ථාවක දී ඔබ දෙස අනික් අයගේ ආකර්ෂණය සහ අවධානය සුවිශේෂයෙන් යොමු වන අවස්ථාවක දී ඔබ ඔබ ගැන ඉතා සැලකිලිමත් වෙන්න. ඔබ පාවිච්චි කරන වචන වගේ ම ඔබේ ශරීර භාෂාවත් ඔවුන්ට ඉතා වැදගත් වන බව වගේ ම ඔවුන් එයටත් සවන් දෙන බව හොඳින් සිහි තබාගන්න.

ඇඳුම්, වර්ණ සහ පිළිවෙළ

ඔබේ ඇඳුම් වල ස්වරෑපය, ඔබේ පිළිවෙළ, ඔබ තෝරාගන්නා වර්ණ, ඔබ පළඳින ආභරණ, ඔබ හිස පීරා ඇති ආකාරය, ඔබේ පාවහන් සහ ඔබේ පාදවල පිරිසිදුබව, ඔබේ දෑත් සහ එහි චලනයන් පවත්වා ගන්නා හැටි, ඔබ කතාකරන විට හිස සහ කොන්ද හසුරුවන ආකාරය එකිනෙකාට ඇස් යොමු කරන ආකාරය, කටහඬ උස්පහත් කරන ආකාරය, අතරතුර කිවිසුමක් හෝ කැස්සක් ඇතිවු විට එය හසුරුවා ගන්නා ආකාරය, මේ සියල්ල ඔබ වටා සිටින අයට ඔබ ලබාදෙන ප්‍රබල අවාචික සන්නිවේදනයට හසු වෙන බව ඔබ සිහිතබා ගත යුතුයි.  හැබැයි මේ ගැන අසාමාන්‍ය විදියට හිතන්න ගිහින් ඔබේ සාමාන්‍ය හැසිරීම කෘතිම කරගන්න එපා.

බබාල වුණත් දන්න දේ

ශරීර භාෂාව හැම කෙනෙක් ම විෂයක් වශයෙන් හදාරලා නැතිවුණාට පොඩි දරුවෙකුට වුණත් මේක තේරෙනවා. පුංචි බබෙක් ශරීර භාෂාව කතාකරන්නෙ ඉපදෙන්නත් කලින් අම්මගෙ කුසේ ඉඳිද්දිමයි. පුංචි කිරිකැටියෙකුගෙ පා පහරවල්වලට ලක්වුණු හැම අම්ම කෙනෙක්ම ඒ භාෂාව දැනටමත් හඳුනගෙන ඇති. ඒ වගේම උපන් දා සිට ම මව සමඟ දරුවෙක් සන්නිවේදනය කරන්නෙ ශරීර භාෂාවෙනුයි. දරුවා හඬන විදිය අනුව අම්මා එයාගෙ පණිවුඩය හඳුනගන්නෙ ඒ අනුවයි. ඒ නිසා මේ භාෂාව කිසි කෙනෙකුට ආධුනික නැහැ. ඒත් සමහර අවස්ථාවල දි  සමහර අය ශරීර භාෂාව ගැන අවධානය යොමු කරනවා අඩු නිසා පෞර්ෂත්වය විනාශ කරගන්නවා. ඔබ දැනටමත් ඔබේ හැසිරීම් ඉරියව් ගැන වඩාත් සැලකිලිමත් වන Smart Lady කෙනෙක් නිසා ශරීර භාෂාව ගැන ඔබේ අවධානය තවත් වැඩිදියුණු කරගන්න මේ කරුණු ප්‍රයෝජනවත් වේවි.

 -නිරංජලා-

Related Articles

Don't Miss


Latest Articles