සතුටු මන්තර 10

සයුරංගනා ගේ පවුලේ ළමයින් හය දෙනෙකි. තාත්තා කළේ වඩු වැඩ ය. අම්මා රැකියාවක් නො කළාට, ළමයින් හය දෙනෙකුත් බලාගෙන ගෙදර වැඩ කරගෙන ඉන්නවා කියන්නේ පැය අටේ රැකියාවක් කරන කෙනෙකුට වඩා වැඩ කන්දක් දවස පුරා කරන්නට සිදු වේ. ඒ අතරේ ඉඩ ඇති වෙලාවන් වල ඇය, යමුනා, පරණ මහන මැෂිමක් තියාගෙන කකුල් කඩුත්තුව හැදෙන තුරු එය පාගමින් මැසුවා ය. කලින් කලට ඇය මැසුවේ එක එක දේවල් ය. රෙදි කෑලි අට්ටි පිටින් කපා කුඩා ඇඳුම් මහන්නට දෙන තැන් වලින් ගෙන කාලයකට කෑලි ගණනට මැසුවා ය. එක කෑල්ලකට ගෙවන්නේ ඉතා ම සුළු මුදලකි. නමුත් සතයෙන් සතය එකතු වී රුපියලක් හෝ හැදෙනවා කියා සිතමින් ඇය මැෂින් පෑගුවා ය. සමහර කාල වලට පාපිසි මැසුවා ය. එතකොට කඩ වලට දමා අතට මුදලක් ගත හැක. නමුත් ඒ සඳහා රෙදි කැබලි සොයා ගැනීම පහසු නැත. කෙසේ වෙතත් ඇය මොනවා ම හෝ කළා ය. දවසකට සොච්චම් මුදලක් හෝ උපයන්නට දහිරිය ගත්තා ය. ගෙදර කටවල් ද බඩවල් ද අටකි. බඩවල් අටක් පුරවන්නට එක් මිනිසෙකු හම්බ කොට ලෙහෙසි නැත. ලෙහෙසි නැත නොව කරන්නට බැරි තරම ය. සේනක ට හැමදාම වැඩ තිබුණා නොවේ. ගමේ අලුත් ගෙයක වහලක් ගහන්නට, උළුවහු ජනේල හදන්නට ඇති කාලයට නම් ඔහු ට සරු ය. නමුත් හැමදාම එහෙම ලොකු වැඩ ඇත්තේ නැත. ඉතා සුළු කුලී වැඩක් හෝ නැති කාල ඕනෑ තරම තිබේ. සමහර විට ගමෙන් පිට වැඩක් ලැබුණොත් ඔහු දින කිහිපයක් ගෙදරින් පිට රැඳී වැඩ කරයි. එතකොට ගෙදර එන්නේ යහමින් මුදලක් එකතු කර ගෙන ය. දින කිහිපයක් වෙනදාට වඩා හොඳින් කා බී සිටින්නට එතකොට පුළුවන.

මොන තරම් දුෂ්කරතා මැද වුව මේ ගෙදර ළමයි ඉගෙනීමෙහි ලා හපන්කම් පෑහ. යමුනා වෙහෙසුනේ ඔවුන් ව හොඳ තැනකට ගෙන ආ යුතු යයි සිතා ගෙන ම ය. කන්නට නැතත් වතුර කෝප්පයක් පොවා හෝ ඇය ළමයින් පාසල් යැව්වා ය. පඩි පෙළ වාගේ ඉන්නා ළමයින් හය දෙනෙකු පාසල් යවනවා කියන්නේ ද සුළුපටු කාරියක් නොවේ. එක ළමයෙකුට හරියට පත පොත ගෙන දෙන්නට බැරි එකේ හය දෙනෙකු යනු කෙතරම් බරක් ද? නමුත් සියලු විෂයන් එක පොතක ලියන්නට කියා හෝ ඇය ඔවුන් පාසලට යැව්වා ය. 

ගෙදර අගහිඟකම් ගැන කුඩා වියේ පටන් අවබෝධයක් තිබූ රුවන්, පවුලේ වැඩිමල් පිරිමි ළමයා, සාමාන්‍ය පෙළට පමණක් ලියා ගරාජයක වැඩ පුහුණු වන්නට ගියේ ය. ප්‍රතිඵල නිකුත් වන විට ඔහු හොඳින් වැඩ අල්ලා ගෙන සිටි අතර උසස් පෙළ කරන්නට සුදුසුකම් ලබා තිබිණි ද පාසල් යාම ගැන අදහස අත්හැර දැමුවේ ය. රුවන් ගෙදරට ගෙනා වැටුප, යමුනා ට මහ මෙරකටත් වඩා ලොකු වූයේ ය. සයුරංගනා උසස් පෙළ කළේ ගරාජ් බාස් කෙනෙකු වූ අයියා ට පින් සිදු වන්නට ය. 

ගිම්හාන් ගෙන් සයුරංගනා ට පැමිණි විවාහ යෝජනාව ඇගේ වාසනාවට ලැබුණු එකකැයි යමුනාත් සේනකත් ඇදහීම ගැන පුදුම නො විය යුතු ය. බැංකු නිලධාරියෙකු වූ, නව නිවසක් හා මෝටර් රථයක් හිමි තරුණයෙකුට වැඩිමල් දියණිය සරණ පාවා දිය හැකි වීම ඔවුන් ගේ පවුලේ හැටියට ඉහටත් උඩින් ය. විශ්ව විද්‍යාලය ගැන හීනයක් සයුරංගනා ගේ හිතේ වී ද ඇය පවුල ගැන හිතා සිය හීනය හකුලා ගත්තා ය. විශ්ව විද්‍යාලය වෙනුවෙන් ඇගේ වියදම් දරනවාට වඩා, පාසල් අධ්‍යාපනය නිමා කරන්නට තව සොයුරු සොයුරියන් හතර දෙනෙකු ම සිටියහ. 

සයුරංගනා ට බාල මල්ලී රුහුණු විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලැබුවේ සයුරංගනා විවාහ වී දෙවසරකිනි. ගිම්හාන් ඔහු ගේ විය හියදම් දැරීම සයුරංගනා ට සැනසිල්ලක් විය. තමන්ට නොහැරුණු දොරවල් සිය සොයුරු සොයුරියන් ට විවර වීම ගැන ඇය හදවතින් ම සතුටු වූවා ය. තවමත් පාසල් අධ්‍යාපනය ලබන සොයුරු සොයුරියන් වෙනුවෙන් ද ගිම්හාන් හැකි පමණින් සිය යුතුකම් ඉටු කළේ ය. ඔවුන් ට පොත් පත් ද සපත්තු හා ඇඳුම් ද විටින් විට මිල දී ගෙන දුන්නේ ය. මල්ලී ට පසුව සිටින නංගී දැන් උසස් පෙළ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටී. ඇය දැනට පෙර පාසලක සහාය ගුරුවරියක ලෙස සුළු වැටුපකට වැඩ කරන්නී ය. දක්ෂ දැරියක වන ඇය අනිවාර්යයෙන් විශ්ව විද්‍යාල වරම් ලබනා බව සයුරංගනා දනී. 

ගිම්හාන් ගේ හදිසි වියෝව සිය දියණිය ට සේ ම බාල සොයුරු සොයුරියන්ට ද දරුණු පහරකි. ඒ හැම කෙනෙකුට ම අත දීගෙන එසඳි ව ද රැක බලා ගත හැකි රැකියාවක අවශ්‍යතාවය සයුරංගනා ට තදින් දැනෙන්නේ ය.

ගෙදර ගිහින් ද යශෝදර කල්පනා කළේ සයුරංගනා ගේ ඉල්ලීම ගැන ය. ඇය සරසවි වරම් ලැබූ තැනැත්තියක බව ඔහු කලින් දැන සිටියේ නැත. වෘත්තීය අත්දැකීමක් නැති කම මිස සයුරංගනා වෙනුවෙන්  රැකියාවක් හොයා ගැනීම අසීරු නොවනු ඇත. යශෝදර ද ගිම්හාන් ද සේවය කළේ එක ම මූල්‍ය ආයතනයක ය. ගිම්හාන් එහි බැංකු සේවකයෙකි. යශෝදර රක්ෂණ අංශය හා සම්බන්ධව සේවය කරයි. ආයතනයත් සමග කතා බහ කොට ගිම්හාන් වෙනුවෙන් සයුරංගනා ට පුහුණුව සමග රැකියාවක් ලබා ගන්නට බැරි වන්නේ නැත. නමුත් ඇය රැකියාවකට ගිය කල එසඳි ගේ වගකීම ගන්නේ කවුද? ගිම්හාන් ගේ මව ඊට සුදුසු නොවන බව දැනටමත් ඇය විසින් ප්‍රත්‍යක්ෂ කොට තිබේ. එසඳි දැරියකි. ජයරත්න ට වුව කාන්තාවක ගේ ඇල්ම බැල්ම නැතිව දිගට ම ඇය බලා ගත නො හැකි ය. සයුරංගනා දැනටමත් ඔහු ගෙන් උදව්වක් අපේක්ෂා කරයි. ඒ ඔහු ඇය වෙනුවෙන් රැකියාවක් සොයා දෙනු ඇත කියා ය. ගිම්හාන්, සිය මිතුරා වෙනුවෙන් යමක් කළ යුතු බව යශෝදර නො දන්නවා නොවේ. නමුත් එසඳි ගැන නො සිතා සයුරංගනාට රැකියාවකට යන්නට අනුබල දෙන්නේ කෙසේ ද?

“මොකද…”

යහනේ වැතිර යශෝදර කල්පනා කරමින් සිටියදී පාරමී ඔහු වෙත ඇවිත් යහන පසෙක හිඳ ගත්තා ය.

“මොකද..”

යශෝදර ප්‍රතිචාර දැක්වූයේ නො සැලකිලිමත් ලෙස ය. 

“මං අහන්නෙ මේ අහසයි පොළොවයි එකට අල්ලල ගැට ගහන්න වගේ කල්පනා කරන්නෙ මොකද කියල”

“නැහ්. එහෙම එකක් නෑ”

යශෝදර නැගණිය ගෙන් ඉවතට මූණ හරවා ගත්තේ එතකොට ඇය කාමරයෙන් පිටතට යනු ඇතැයි සිතිවිල්ලෙනි. නමුත් පාරමී කකුල් දෙක යහන මතට ගෙන එරමිණියා ගොතා ගත් ඉරියව්වෙන් වඩාත් හරි බරි ගැහී හිඳ ගත්තා ය.

“එහෙනං කොහොම එකක්ද තියෙන්නෙ…ම්..”

යශෝදර වහා ගෙල හරවා නැගණිය ගේ මූණ දෙස රවා බැලුවේ ය.

“මොන වදයක්ද මේ…මට ටිකක් නිදහසේ ඉන්න දීල යනවකො යන්න මෙතනිං”

“මට පේන විදිහටනං…මේ භද්‍ර යෞවනයා මේ දස අතේ කල්පනා කරන්නෙ ඉස්සරහ ගෙදර ගෑනු ළමයව රස්සාවකට අරින්නෙ කොහොමද කියල වගෙයි”

“අනේ මේ නංගි. දොඩවන්නැතුව ඉන්නවද…ඇයි වදේ…මං මොන එහෙකටද…”

කියන්නට ගිය දෙය අතර මගක නතර කළ යශෝදර කොට්ටයක් තුරුලට ගත්තේ ය.

“ඒ ළමයට ජොබ් එකක් හොයා ගන්න ඕන කිව්වහම එක්කෙනෙක්ගෙ මූණ ඇද වෙලා ගිය හැටි මං ලයිව් දැක්කනෙ”

“ඒ මේ…මං හිතුවෙ…අර පොඩි කෙල්ල දාල ජොබ් වලට යන්නෙ කොහොමද කියලයි”

“ඒක තමයි මාත් හිතුවෙ. මං රංගිට කිව්වෙ…එයාගෙයි එසඳි මැණිකගෙයි දෙන්නගෙම ආරක්ෂාව ගැනයි අනාගතේ ගැනයි හිතල තව ටික දවසකින් වෙන කෙනෙක්ව බඳින්න කියලයි”

යශෝදර යහන මත හිඳ ගත්තේ අසරු වේගයෙනි. ඔහු ගේ ඇස් වල මහත් වීමක් විය. 

“පිස්සුද තමුසෙට…”

ඒ නොරිස්සුම ඔහු ගේ ඇතුළාන්තයෙන් ම උපන්නකි.

“ඇයි…ඒ ළමය සදහටම ගිම්හාන් වෙනුවෙන් තනියම ඉන්න ඕන කියලද ඔයා කියන්නෙ…එයා ලස්සන තරුණ පොඩි කෙල්ලෙක්. මගෙ වයසෙ. මිනිහ මැරිච්ච ගෑනියෙක් විදිහට කිසිම අයිතිවාසිකමක් නැතුව නැන්දම්මගෙ පාපිස්ස වෙලා ඉන්න කියලද ඔයා කියන්නෙ…ඔච්චර නැරෝ මයින්ඩඩ් වෙන්නෙපා හලෝ”

“එහෙම මගුලක් නෙවෙයි ඕයි මං කියන්නෙ. අපිට විශ්වාස කරන්න පුළුවන්ද ඔය එක එක පිරිමින්ව…සයුරංගනා ට කොහොම වුණත් ඒ බඳින මිනිහ අර පොඩි එකාට සලකයිද කියල කවුද දන්නෙ…”

“ඉතිං අපිට පුළුවන්නෙ පොඩි එකාටත් සලකන කෙනෙක්ව හොයන්න”

“හොයයි හොයයි. අපි දන්නැද්ද පිරිමි ගැන..ඒ චූටි කෙල්ල ඉපදුණ දවසෙ ඉඳලම වඩා ගෙන හිටිය කෙනෙක් මං. ගිම්හාන්..මගෙ යාළුවගෙ දරුව ඒ. එසඳිට කවුරු හරි වෙනස් කමක් කළොත්නං…”

“හෝව් හෝව් හෝව්. කලබල වෙන්නෙපා කලබල වෙන්නෙපා. ඉතිං අපිට බැරිද එසඳි මැණිකට ඔන්න ඔය වගේ ආදරේ කරන අලුත් අපාචි කෙනෙක් හොයා ගන්න…”

එවර පාරමී ගේ බැල්මේ වූයේ තමන් වෙතට එල්ල කරනා ඇනුම්පදයක් බව යශෝදර ට වහා දැනිණ. ඒ නිසා ම ඔහු ඇදෙස බැලුවේ නෙතු කුඩා කර ගෙන ය.

“මට තේරෙනව ඉතිං ඕව එක පාරටම කියා ගන්න පුළුවන් දේවල් නෙවෙයි කියල. නෑනෑ මං කියන්නෙ මේ…කෙල්ලො දෙන්නම අහිංසකයිනෙ…ඒක නිසා ඔය පොඩි පොඩි දේවල් අමතක කරන්න බැරියෑ..නේහ්…අනික ඉතිං එක පාර අඹු සම්පතුයි දරු සම්පතුයි දෙකම හම්බ වෙනව කියන්නෙත් සුළුපටු වාසනාවක්ද…”

උකුල මත වූ කොට්ටය යශෝදර අතට ගත්දී ම පාරමී ඇඳෙන් පැන්නා ය. ඔහු ඉන් බැස ගත්දී ඇය කාමරයෙන් පිටතට දිව ගොස් අවසාන ය.

“කට බොරු කිව්වට ඔය ඇස් බොරු කියන්නෑ ඕයි”

එසේ දුවන අතරේ ඇය කෑගෑවා ය. යශෝදර කාමරයේ දොර වස ගත්තේ ය. යළිත් ඇඳට වැටෙත්දී ඔහු ගේ දෙතොල් අතරේ දඟ පාන සිනහ රේඛාවක් විය.

ශක්‍යා ගේ සැමියා රැකියාව නිම වී ගෙදර පැමිණි විට ඔහු ගේ යතුරු පැදියෙන් තිලකා සයුරංගනා ගේ ගෙදරට ආවා ය. පහුගිය ටිකේ ම මෙහෙට වී සුව පහසුවට සිටි ඇයට දුව ගේ ගෙදර ළමයින් එක්ක ඔට්ටු වී මහන්සි දැනිණ. ශක්‍යා ගේ ඉදිරියේ සන්නිවේදන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යයි. ෆොටෝ කොපි ටයිප් සෙටින් වැනි වැඩ වලට නිතර ම කවුරුන් හෝ කඩයට එති. දිග ටයිප් සෙටින් වැඩක් වැටුණෝතින් උයන්නට වෙන්නේ ද තිලකා ට ය. ලේලි ගේ ගෙදරදී වාගේ පුටුවක් උඩට වී දෙපා සොලව සොලවා ඇයට එහි විවේකයෙන් සිටිය නො හැකි ය. ඇය ජයරත්න ට කියා පිට කොන්දේ බාම් ආලේප කොට ගත්තා ය. 

“අර යකා වළවල් වලට දදාමයි ආවෙ. හපෝ මගෙ කොන්ද හොල්ලන්න බෑ”

ඒ අතරේ බෑණා ට දෙස් දෙවොල් තැබුවා ය.

පසු දා රිය පුහුණු කරවන්නියට පැමිණිය නො හැකි බව කීවෙන් සයුරංගනා ට විවේකයක් ලැබිණ. ඇය උයන අතරේ පාරමී ඇවිත් මුළුතැන්ගෙට වී කතා කරමින් සිටියා ය. පාරමී නිදහස් හඬකැවීම් ශිල්පිනියක ලෙස කටයුතු කළ නිසා ඒ කටයුතු වලට ගියේ වැඩ යෙදී ඇති වෙලාවලට ය. 

සයුරංගනා වැඩ කරනා විදිහේ පුදුම හුරුබුහුටි කමක් ඇතැයි පාරමී ට සිතිණ. ඇය බඩු මුට්ටු තියා ගෙන හිටියේ ද ඉවුම් පිහුම් කළේ ද රටාවකට ය. එදෙස ඕනෑ තරම් වෙලාවක් බලා සිටින්නට පුළුවන. 

“අයිඩියා”

පාරමී ට ඒ අදහස ආවේ ඒ වෙලාවේ ය. සයුරංගනා හැරී බැලුවා ය. පාරමී ගේ මුහුණ සිනහවකින් පිපී තිබිණ.

“අනේ රත්තරනේ ඔයාට පුළුවන්නෙ ඔය කුකරි හවුස් කීපිං ගාඩ්නිං වගේ ඔයාගෙ ටැලන්ට් එක පෙන්නන්න පුළුවන් දේවල් වීඩියෝ කරල යූ ටියුබ් දාන්න. අපි චැනල් එකක් හදමු”

“අනේ පාරි ඔයාලට ඒව පුළුවන් වුණාට මට බෑ අනේ. මොකෝ මං නිලියක්ද මොඩ්ල් කෙනෙක්ද නැත්තං ඔයා වගේ වොයිස් ආටිස්ට් කෙනෙක්ද…නෑනෙ…”

“මැට්ටි…ඒ ඔක්කොම ඔයා ළඟ තියනව. ඔයා ලස්සනයි. ස්වීට් වොයිස් එකක් තියනව. අනිත් එක ඔයාගෙ වැඩ මාර පිළිවෙලයි. බලං ඉන්න ආසයි. ඔයාට රසට කෑම හදන්න පුළුවන්. අන්න ඒ හැකියාව ගෙයි ඇතුළෙ ඉඳලම මාකට් කරන්න පුළුවන් රංගි. හරි අපි බලමු ජොබ් එකක් ගැනත්. පැත්තකින් මේක කරං යං. මටනං ශුවර් දවසක ඔයා ෆේමස් ම යූ ටියුබර් කෙනෙක් වෙලා හොඳ ඉන්කම් එකක් ගනී”

“පිස්සු අනේ ඔයාට”

“ළමයෝ…මේක ඔයාට පුළුවන්..ඔයා මේකෙන් සක්සස් වෙයි.  මට පුළුවන් උපරිමෙං මං ඔයාට උදව් කරන්නං. අපි ට්‍රයි කරල බලමු”

එදා හෝරා ගණනාවක් ම පාරමී කළේ සයුරංගනා එක්ක ඉහුම් පිහුම් පිළිබඳ යූ ටියුබ් නාලිකා නරඹමින් ඒ ගැන අවබෝධයක් හා අදහසක් ගන්නා එක ය.

💜️සයුරංගනා වෙනුවෙන් ඔබ පෙන්වන ආදරය වෙනුවෙන් ස්තූතියි. ඔබේ අදහස් අදත් ලියා තියා යන්න. කියවූ බවට ඉඟියක් ලෙස ඇඟිලි සලකුණක් හෝ තබා යන්න.

💜️මගේ අලුත් ම නවකතාව “කුසුම් නිම්නය” දැන් ඔයාලටත් කියවන්න පුළුවන්. ඒ Shinie’s Writings කියන යූ ටියුබ් නාලිකාවෙන්. චැනල් එක සර්ච් කරල සබ්ස්ක්‍රයිබ් කරල අලුත් අත්දැකීමක් විඳින්න එන්න.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles