(අ)හිමි සිහින -41

මම දික්කසාදය තෝරා ගැනීම ගැන අම්මලා මොනතරම් යුද්ධයක් පටන් ගත්තත් මගේ තීරණය වැරදි නෑ කියන්න මාත් එක්ක මගේ නෑයො බොහොම දෙනෙක් හිටියා.

“පිහිය රත්තරන් කියලා ඇන ගන්නද? දුක් විඳින්නේ මොකටද කෙල්ලෝ..”

මා වෙනුවෙන් මගේ නෑදෑයො ඔය විදිහට කතා කළා.සමනලියක් වගේ සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වුණු මම කසාදෙක පැටලිලා දුක් විඳිනවා කියලා තේරුම් ගිහින් තිබුණු නෑදෑයෝ බහුතරයක් දෙනා ඇත්තටම මම ගැන හුඟක් දුක් වුණා.ඒ නිසාම තමයි ඔවුන් මං ගැන සානුකම්පිතව හිතන්න ඇත්තේ.මං වෙනුවෙන් පෙනී ඉන්න හිතන්න ඇත්තේ ඒ නිසා වෙන්නත් ඇති.

කොහොමහරි අම්මලාට කරන්න කිසිම දෙයක් ඉතුරු වුණේ නැහැ.අසංකම දික්කසාද නඩුව දාලා තිබුණා.ඉතින් අම්මලාට ඒ වෙනුවෙන් මාත් එක්ක නුවර යන්න සිද්ධ වුණා.අපි නුවර ගිහින් නැවතුණේ වෙන කොහෙවත් නෙවෙයි.අසංකයි මායි ජීවත් වුණු ගෙදරමයි.අපි රණ්ඩු වෙලා මරාගෙන දික්කසාදයකට නොගිය නිසා අපිට කිසිම තරහක් තිබුණේ නැහැ.ඒ නිසා අසංක අපි එනවට කිසිම අකමැත්තක් දැක්වුවෙත් නැහැ.

වෙන් වෙනවා කියන්නේ සදාකාලික හතුරො වෙනවා කියන එකද? මම ඒ ප්‍රශ්නෙට දෙන උත්තරය තමයි නැහැ කියන එක.විවාහයක් ආදරයක් මිත්‍රත්වයක් හෝ රැකියාවක් අපට දරාගෙන ඉන්න අපහසු නම් එතනින් ඉවත් වීම තමයි මිනිස්සු විදියට අපි කරන්නම ඕනේ දේ.ඒ උනාට කාලයක් අපිත් එක්ක ජීවත් වුණු මිනිස්සු සදාකාලික හතුරෝ කරගන්නේ මොකටද?

මේ දවස් වල ෆේස්බුක් එකේ සංසරණය වෙන ජනප්‍රිය වාක්‍ය ඛණ්ඩයක් තියෙනවා.

වෙන් වීමෙන් පසුවද ගෞරවය රැකීම ආදරයෙහි කොටසකි”

ඒ ප්‍රකාශය මොනතරම් ලස්සනද? එක ගමනක් නැති බව දැනෙන විවාහයකින් කතාබහ කරලා වෙන් වෙන්න.තමන් එක්ක එක ගෙදර එක වහල යට ජීවත් වෙන මනුස්සයා එක්ක තිස්සෙම රණ්ඩු අල්ලන එකවත් මරාගෙන කන එක වත් කිසිම සැනසීමක් දැනෙන වැඩක් නෙමේ.අපි අපේ අම්මල තාත්තලගෙ අදහස් වලට වුණත් පිටුපාන තැන් කොයිතරම්ද? ඉතින් ආදරයකින් හෝ යෝජනාවකින් බැඳෙන විවාහ ජීවිත ඇතුලේ නුරුස්නා තැන් ඕන තරම් තියෙන්න පුලුවන්.ඒව දරාගෙන ඉන්න පුළුවන් නම් ඒක ඔබේ තීරණයක්.නමුත් වෙන් වෙන්නත් ඔබට ඕනෑතරම් අයිතිය තියෙනවා.වෙන් වෙන්න ඕනේ තරහා කාරයෝ හතුරෝ වෙලා නම් නෙමෙයි.

අපේ දික්කසාද නඩුව පටන් අරගෙන බොහොම සුළු කාලයකින් අසංඛ කාර් එකක් මිලට ගත්තා.ණය වෙන එක ජීවිතේම කොටසක් කරගත්තු අසංක ඒ කාර් එක ගත්තෙත් ණය වෙලා.නමුත් දැන් මට ඔහු නිවැරදි කරන්න උවමනාවක් තිබුනෙ නෑ.ඔහුගේ තීරණ වලට අත දාන අවශ්‍යතාවයක් තිබුණෙත් නෑ.මං ඔහුත් එක්ක හිටියා නම් අනවශ්‍ය වෙලාවක වාහනයක් අනවශ්‍යයි කියන කාරණාව ඔහුට කියන්න තිබුණා.හතර අතට ණය වෙලා වාහනය ගත්තු අසංකට රිය පැදවීමේ හැකියාවකුත් නැහැ.ඉතින් ඒ වාහනේ වාහනය පැදවූයේ ඔහුගේ යාළුවා.අසංක හොඳ ලකේට ඉස්සරහ සීට් එකේ ඉඳගෙන ගියා විතරයි.

ඉතින් ලස්සනම කාරණාව අපි ඒ කාර් එකේ නැගලා එකට උසාවියට යනවා.විත්තිය සහ පැමිණිල්ල වෙනුවෙන් එකම නඩුවකට අපි බොහොම සාමදානයෙන් උසාවියට ගියා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles