සතුටු මන්තර 46

හැන්දෑවේ ගෙට ගොඩ වූ යශෝදර ට සයුරංගනා අම්මා ගෙනා මංගල යෝජනාව ගැන කියන්නට ගියේ නැත. කොහොමටත් ඇය ඒ හිතට නො ගත්තා ට ඉක්මනින් ම එය හිසරදයක් වන බව නම් දැන සිටියා ය. නමුත් යශෝදර ට කියා ඔහු ගෙන් පිහිට පැතිය හැකි සීමා දැනට ද පසු වී ගිහින් තිබේ. අනිත් අතට එසේ කොට මල්කාන්ති ගෙන් නරක නාමයක් ගා ගන්නට ඇයට සිත් වූයේ නැත. නමුත් ගෙට ගොඩ වූ ගමන් ම මල්කාන්ති එය පුතා ගේ කනේ තැබුවා ය.

“රංගනා කිව්වෙ නැද්ද අලුත්ම ආරංචිය..”

උදේ අම්මා කළ දේ නිසා ඇයත් එක්ක නො සිඳුණු නො රිස්සුමක පසු වූ හෙයින් යශෝදර “මොකද්ද” කියා ඇසුවේ ද නො රිස්සුමෙනි.

“ගෙදරින් ප්‍රපෝසල් එකක් ගෙනත්. බස් පහ හයක් තියන සල්ලිකාරයෙක්ලු. මං ඉන්නකොටමයි යමුනා කතා කරල පණිවිඩේ කිව්වෙ. ගිම්හාන්ගෙ අවුරුද්දෙ දානෙං පස්සෙ බඳින්න ඕනෙ කිව්ව”

තමන් ඒ පණිවිඩය තුළින් ද්වේශ සහගත සතුටක් විඳින්නේ ඇයි දැයි මල්කාන්ති දැන සිටියේ නැත. ඇතැම් විට සයුරංගනා ගැන බිඳීමක් යශෝදර ගේ සිතේ ඇති කරන්නට මේ ආරංචිය හේතු වෙතැයි ඇය සිතුවා ය. සයුරංගනා ඔවුන්ට අහිමි වී ධනවතෙකු ට හිමි වීම ගැන ඊර්ෂ්‍යා සහගත බවක් ද නො වූවා නොවේ.

“ඉතිං…”

“පස්සෙ කතා කරමු කියල යමුනට කිව්වෙ. කැමති වෙයි. ගෑනුංගෙ පිණ කුණු මුල්ලෙයි කියන්නෙ නිකං නෙවේනෙ. රූට් පර්මිට් තියන බස් අයිතිකාරයෙක් කියන්නෙ ඉතිං…සල්ලි ගහක්නෙ…”

යශෝදර කට කොනකට සිනහවක් නගා ගත්තා විතර ය. ඒ සමච්චලය අම්මා වෙනුවෙනි.

“හැම දේම ඔයාට කියන්න පුළුවන්. ඕක කිව්වෙ නෑනෙ. ඒකෙංම හිතා ගන්න පුළුවන්නෙ එයා මොකද්ද හිතන්නෙ කියල. දැං ඉතිං ජනප්‍රියත්වය තියනව…සල්ලි ගහකට හේත්තු වුණාට පස්සෙ මොනාද අඩු…”

යශෝදර නාන කාමරයට යත්දීත් ඔහු ට ඇසෙන සේ ඇය කියවූවා ය. අම්මා ට කුමක් වී දැයි පාරමී සිතමින් සිටියා ය. ඇයට තිබෙන්නේ උණු හින්දා බොන්නත් බැරි කිරි හින්දා ඉවත ලන්නත් බැරි හැඟීමක් ද? සයුරංගනා ලං කර ගන්නටත් බැරි ඈත් වෙනවා බලං ඉන්නත් බැරි මානසිකත්වයක් ද? අම්මා මේ විදිහට හැසිරෙත්දී අයියා සම්බන්ධයෙන් සයුරංගනා පියවරක් ඉදිරියට නො තබන බව පාරමී දනී. එය ඇගේ අහිංසකකමට වගේ ම ආඩම්බරකමට අදාල වූවකි. කවුරුවත් ඉහල අගයක් පෙන්වන දෙයක් මගහැර හිඳීම ඇගේ විදිහයි. ඇතැම් විට ඇයට එය ඕනෑ ම වුවත් සටන් කරන්නට ඉදිරිපත් නොවී ඇය ඉවත බලා ගෙන යනු ඇත. සටන් කොට පැරදෙන්නට ඇයට උවමනා නැති බැවිනි.

යශෝදර ගේ හිත දෙගිඩියාවට පත් ව තිබුණේ සයුරංගනා එය නො කියා හිඳීම ගැනයි. ඇතැම් විට ඈ එය පසුවට කියන්නට තබන්නට ඇත. අපට සමීප අය කෙතරම් නිවැරදි බව දැන සිටිය ද වැරැද්දක් සෙවීමේ උවමනාව ඇතැම් විට අප තුළ ඇති වේ.

රෑ කෑමට තිබුණේ යශෝදර ඒ තරම් කැමති දේවල් නොවේ. ඔහු බත් පිඟාන ගෙන “සයූගෙං මොනාහරි ඉල්ලගන්නව” කියමින් ගෙයින් මිදුලට බැස්සේ ය.

“මාත් එනව එහෙනං”

කියමින් පාරමී කමින් සිටි බත් පතත් සමග ම අයියා ට එකතු වූවා ය.

“රංගිට බණින්නෑ හරිද…ගෙදරින් ප්‍රපෝසල් එකක් ගෙනාවට ඒ කෙල්ල මොනා කරන්නද…”

“මට කියපු නැති එකටයි කේන්ති”

“ගෙට ගොඩවෙනකොටම ඕව කියල ඔළුව නරක් කරන්න ඕන නෑනෙ”

සයුරංගනා හිටියේ එසඳි ට කවා නිම කොට ජයරත්න ට බත් බෙදා දෙමිනි. ගේට්ටුවේ හඬින් ඇය ඉස්සරහාට ආවා ය.

“මෙන්න මෙයාට ගෙදර හදල තියන ඒව කන්න බෑලු”

පාරමී ඉක්මන් කොට කෑම මේසය දෙසට ගියා ය. යශෝදර ගේ ඇස් වල අමනාපයක් සයුරංගනා ට හැඳින ගත හැකි විය. සාමාන්‍යයෙන් ඇයට රාත්‍රියට ද පිරිමසා ගන්නේ දවල් ව්‍යාංජන ම ය. රාත්‍රියට කියා අලුතෙන් හදන්නේ බිත්තර, මාළු බැදුමක්, කට්ටසම්බලයක්, පොල් සම්බලයක් වැනි දෙයකි. මේ රාත්‍රිය වෙනුවෙන් උම්බලකඩ හා දෙහි යහමින් දමා පොල් සම්බලයක් කොටා තිබිණි. දවාලේ ව්‍යාංජන ද ඉතිරි වී තිබුණේ ය. ඇය ඒ ව්‍යාංජන වලින් යශෝදර ගේත් පාරමී ගේත් බත් පතට එක් කළා ය. සම්බෝල තසිම ඔවුන් වෙත ලං කළා ය.

“මේ ඔක්කොම අපි දෙන්නට පටවන්න එපා. ඔයාටත් කියාගන්න”

පාරමී වළං වලට එබී බැලුවා ය. සයුරංගනා ඉක්මන් කොට ශීතකරණයෙන් බිත්තර කිහිපයක් පිටතට ගත්තා ය. කහ මදය නො බිඳෙන සෙයින් ඒවා කඩා කුඩා සෝස් පෑන් එකට දමා ලුණු ගම්මිරිස් කුඩු එක් කොට බුල්සයි තැනුවා ය. මුලින් ම තැනූ බිත්තර බුල්සයි දෙක ජයරත්න ගේත් යශෝදර ගේත් පිඟන් මතින් තැබිණි. එතකොට යශෝදර ගේ ඇස් ඇගේ ඇස් වලට හමු වූ අතර එහි සිනහ පොදක් නැති බව ඇය හැඳිනුවා ය.

“සමහරු බඳින්නත් හදනව අපි දන්නෑ අංකල්”

යශෝදර ඒ පිට කළේ හිතේ හිර කර ගෙන තවත් ඉන්නට බැරි පීඩනයයි. ඒ වෙලාවේ ඔහු ගේ දෙතොල් මත්තේ සිනහවක් නලියෑවේ ය. සයුරංගනා ළිප ළඟ සිටගෙන ම හැරී බැලුවා ය. ඔහු ගේ මුහුණේ මාංශ පේශියක් ගැස්සිණි. ඒ මවාගත් ව්‍යාජ සිනහව යට වූයේ කේන්තියක් බව සයුරංගනා වහා හැඳින්නා ය.

ජයරත්න අඩ සිනහවක් නගා ගත්තේ ය.

“අපේ රංගනා දුවට ගෙදරින් ගෙනත් තියන යෝජනාව ගැනද යශෝදර පුතා ඔය කියන්නෙ..”

“ඔය බිත්තරේ රොස් වෙනෝ රංගි”

පාරමී මතක් නොකළා නම් ඒ බිත්තරය ඉවත දමන්නට සිදු වනු ඇත. සයුරංගනා ඉක්මන් කොට ළිප නිව්වා ය. බත් පත රැගෙන මේසය වෙතට ආවාට කුස ගින්න යළි සොයා ගත නො හැකි ඉසව්වකට ගසා ගෙන ගිය බව ඇයට දැනිණ. දිගට ම සයුරංගනා ගේ ඇස් තිබුණේ යශෝදර වෙත ය. නමුත් ඔහු ඇදෙස නොබලා සිටියේ ය.

“ඒව ඉතින් ඒ දෙමව්පියන්ගෙ වැඩිමල් සහෝදරයන්ගෙ යුතුකම්නෙ. සුවාමි පුරුෂය නැති වුණා කියල තරුණ ගෑනියෙකුට හැමදාම තනියම ඉන්න බෑ. එහෙම ඉන්න ඕනත් නෑ. මේ සමාජෙ තනි ගෑනියෙකුට ආරක්ෂාවක් නෑ කියන එක අපි හොඳට දන්නවනෙ. මං ඉන්නකල් මේ ළමය මෙහෙම ඉඳී. ඒත් දැන් ඉතින් මගෙ ජීවිතේ වුණත් කොයි වෙලාවෙ කියන්න පුළුවන්ද…දුව ගැන හිතේ බරක් මටත් වැඩිය ඒ දෙමව්පියන්ට ඇතිනෙ”

“අනේ මට ඕනකමක් නෑ අප්පච්චි. මං අම්මටත් කිව්ව”

අප්පච්චි කියන ආමන්ත්‍රණය යෙදුවා ට සයුරංගනා ඒ කීවේ යශෝදර ට ය.

“ඔයාට එපානං ඒක මට කතාකරන්න කියනවකො රංගි. බස් මුදලාලි කෙනෙක්නං නරක් වෙලා තියෙයි”

“ඔව් උඹට තඩි බඩක් බදාගෙන ඉන්න පුළුවන්”

ඒ සිදුවීමෙන් පසු යශෝදර ඇත්තට ම සිනහ වූ මුල් අවස්ථාව ඒ ය.

“ආ…මෙයා හිතන්නෙ හැම මුදලාලිටම තඩි බඩක් තියනව කියල වෙන්නැති. අනිත් එක කොල්ලෙක්ට බඩක් නැත්තං වැඩක් තියේයැ”

ඒ කතාවට නම් සයුරංගනා ද මේසයේ මූණ ඔබාගෙන සිනහ වූවා ය. යශෝදර ගේ ඇස් වල උතුරා දෝරෙ ගලන ආදරයක් ඒ වෙලාවේ දැකිය හැකි විය.

කෑමෙන් පස්සේ ජයරත්න මේසයෙන් නැගිට ඉස්සරහාට ගියේ  ය.

“නිවුස් ටිකක් බලන්නෝනෙ”

ඒ යන ගමන් ඔහු මුමුණනු ඇසිණ. මඳ වෙලාවකින් පාරමී ද ඉක්මනින් කෑම ගෙන නිම කොට දුරකතන ඇමතුමක් ගනිමින් ඉස්සරහාට ගියා ය. කෑම මේසයෙහි ඉතිරි වූයේ යශෝදර හා සයුරංගනා පමණි. ඔහු ගේ දෑස් හිරු මඬල සේ දැල්විණි. ඇය සිනහවකට අරඇන්දා ය.

“හිනාවෙන්නෙපා පොල්කිච්චි වගේ”

“මං බඳිනව කිව්ව වගේ. අම්ම කියපු දෙයක් අහගෙන… ඒක දෙක කරල හිතාගෙන…”

“මං අම්මට කෝල් කරල කියන්නංකො…මගුල් හොයන්නෙපා කියල”

“පිස්..සු කරන්නෙපා”

“ඒ කියන්නෙ මෙයත් කැමතියි”

“මට මගුල් හොයන්නෙපා කියල මං අම්මට කිව්ව”

“මට කියන්නැතුව හිටියෙ හිතේ හොරයක් තියන නිසානෙ”

“යශෝ…දර…”

“ඔයාට මට කියන්න තිබුණ සයූ”

“කියනව තමයි දෙයියනේ…හංගන්නෙ ඇයි මං…”

“ඒක තමයි මාත් කියන්නෙ..ඔයා කැමතිනං මං කවදාවත් එපා කියල ඒක වළක්වන්නෑ”

“මො…නාද කියන්නෙ…”

හිත් රිදුමක් වූවාට එතැන මිහිරකුත් නොවූවා නොවේ. යශෝදර යළි ගෙදර ගියේ පිරිමින් දෙදෙනෙකු අතරින්, හදවතේ රැඳුණු ගැහැනියක ගේ ජීවිතයේ පළමු පිරිමියාට හිමි ගෞරවය හිතින් තුරුලු කොට ගෙන යි.

සයුරංගනා ද යහනට වැටුණේ සීරුම් තුවාලයක් හිතේ තිබියදී ය. ආයේ කිසිදු පිරිමියෙකුට ජීවිතයේ ඉඩක් නොදෙනා බව හිතුවාට එතැන අයිතිවාසිකම් කියාගෙන යශෝදර සිනහ වෙවී හිඳී. නමුත් අත පොවන්නට හෝ බැරි ලෙස ඔහු සිටින්නේ ඈතින් නොවේද?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles