නැට්ටුක්කාරී.

“දැන් ඔය නැටුම් කිරිල්ල නවත්තන්න ඕන..”

නිමාලි අම්මා දිහා බැලුවේ පුදුමයෙන්.නැටුම් සහ නිමාලි කියන්නේ ඉස්කෝලේ කාලේ ඉඳලම යුගල පද වගේ දේකට.නිමාලි නැති නැටුමක් ඉස්කෝලේ කිසිම උත්සවයක තිබුණේ නැහැ. නිමාලිට හැම වතාවකම නැටුම් තරගවලින් පාසල සමස්ත ලංකාවෙන්ම ඉහළට ඔසවා තබන්න ලොකු හැකියාවක් තිබුණා.ඒක වාසනාවද නැත්තං දක්ෂතාවයද කියන්න නිමාලිට තාම හිතාගන්න බෑ.හැබැයි තමන් වැඩිපුරම දක්ෂ නටන්න කියලා නිමාලි අදටත් විශ්වාස කරනවා

“නැටුම් කරන්න තිබ්බනම් හොඳයි..”

සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් වෙලා නිමාලි එහෙම කියනකොට අම්මා කරේ හොඳටම රවලා නිමාලි දිහා බලන එකයි.නර්තනය සම්බන්ධ මහාචාර්යවරියක් වීම වගේ දේවල් නිමාලිගේ හීනවල තිබුණට අම්මගෙ හීන තිබුණේ නිමාලිව වෛද්‍යවරියක් විදියට දකින්න.කොහොමටත් පාසල් වැඩ වලට දක්ෂ නිමාලිට නැටුම් ගුරුවරියක් වෙන්න වගේ සුළු හීන වලට යන්න ඉඩ දෙන්න අම්මට හිත හදා ගන්න පුළුවන්කම තිබුණෙ නෑ.දෙවතාවක උත්සාහයෙන් පස්සේ වෛද්‍යවරියක් නොවුණත් දන්ත වෛද්‍යවරියක් වෙන්න පාර හදාගන්න නිමාලිට පුළුවන් වුණා.තුන්වෙනි වතාවත් උත්සාහ කරන්න කියලා අම්මා මොන තරම් කිව්වත් නිමාලිට හිතුණේ මේ ඇති කියලා.කැම්පස් එකේ උත්සවවලදී නටන්න අවස්ථාව ආවත් ඒවා පැහැර හැරියේ අකමැති පාරක අකමැත්තෙන් ඇවිදගෙන යනකොට ආසා දේවල් ගැන අමතක කරන්න ඕන නිසා ද කියලා නිමාලි දන්නෙ නැහැ. ඒ හැම දෙයක්ම අතීත කාල සිද්ධි කියලා නිමාලි හිතන්නේ.

“අම්මට මොකද මේ හදිස්සියේ නැටුම් මතක් වුණේ?”

Bored Teenage Girl Being Told Off By Mother

නිමාලි එහෙම අහනකොට අම්මා නිමාලි දිහා බැලුවේ තරවටු කරන බැල්මකින්. නිමාලිගේ සරසවි ප්‍රේමවන්තයා ට අම්මා කැමති වෙන්න මූලිකම හේතුව ඔහු වෛද්‍යවරයෙක් වීම කියලා නිමාලිගේ මල්ලි අමල්නම් නිතරම හිනා වෙනවා.

“දුව නැති වුණාට බෑනා හරි දොස්තරනෙ.අම්මගෙ හීනෙ ගොඩ ගියා.”

අමල් එහෙම කියලා හිනා වෙද්දි ඒ කතාව ඇත්ත කියල හිතෙනකොට හෂාන්ව අතෑරල දාන්න පවා නිමාලිට නොහිතෙනවා නෙමෙයි.ඒත් අම්මට රිද්දන්න එහෙම කරල මොකටද? හෂාන් කියන්නේ මොන මොන තරම් හොඳ සහකාරයෙක් කියන එක විස්තර කරන්න නිමාලිට වචන නැහැ.අම්මාගේ රැවිල්ල දිහා බලාගෙන නිමාලි දුර කල්පනාවකට ගියා.

“දැන් මඟුල් ගෙවල් වල මනමාලි ලැජ්ජා බය ඔක්කොම තියලා ඉස්සරහට ගිහින් නටනවානෙ.ඉස්කෝලේ කාලේ නටපු නැටිලි මතක් වෙලා එදාට ඔක්කොම පැත්තකින් තියලා නටන්න එහෙම ලෑස්ති වෙන්නේ නෑ.”

අම්මා නිමාලි හිතුවෙවත් නැති දෙයක් නිමාලිට මතක් කළා. නිමාලි මොකුත්ම නොකියා හිටියත් අම්මා දිගටම කතා කරන්න පටන් ගත්තා.

“මනමාලියක් කියන්නේ මොනතරම් සංවරව ඉන්න ඕනේ කෙනෙක් ද? එදාට සේරම පැත්තකින් තියන නටන්න ගන්න ගෑනු ළමයි ගැන මිනිස්සු හොඳ හොඳ චරිත සහතික දෙනවා ඇති..”

නිමාලි ඒ කතාවට කිසිම දෙයක් නොකියා ගේ අස් කරන්න පටන් ගත්තා.හෙට හෂාන්ගේ අම්මලා වෙඩින් එකේ වැඩකටයුතු කීපයක් කතා කරගන්න නිමාලි ගෙදර එනවා.කිහිප වතාවක්ම එයාලා නිමාලිගේ ගෙදර ඇවිත් තිබුණත් නිමාලිට ඒ හැම දවසක්ම අලුත් දවසක්.නිමාලි අම්මගේ නැටුම් කතා අමතක කරලා ගේ පොළොව මදින්න පටන් ගත්තා.අම්මා ගන්න සමහර තීරණ සහ විශ්වාස ගැන අහගෙන ඉන්නවට වඩා වැඩක යෙදෙන එක හිතට සනීපයක්.

“මං ඔය නැටිල්ල නවත්තන්න හේතුවත් ඔන්න ඕකයි.ඔය නැටිල්ල හින්ද තව පොඩ්ඩෙන් හොඳට ඉගෙන ගන්න එකත් අත් අරිනවා.ඒකත් පැත්තකින් තියමුකෝ.නට නට හිටපු කෙල්ලක් කියලා නැන්දම්මලා දැන ගත්ත නං ඔය කසාදේ කීයටවත් වෙන්නේ නැහැ.ඒ මිනිස්සු නුවර වැදගත් මිනිස්සු.”

හෂාන්ගේ සාම්ප්‍රදායික ගැහැනියක් නොවන වග නිමාලිට තේරිලා තිබුණා.ඒත් අම්මට ඕන දෙයක් කියාගන්න ඇරලා නිමාලි තමන්ගේ වැඩේ කර ගෙන ගියා.

හෂාන්ගේ අම්මා පහුවදා ඇවිත් විවාහ උත්සවය සම්බන්ධ කාරණා කතා කරන අතරේ පරණ ඡායාරූප ඇල්බම් එකක් පෙරලෙන හැටි දැක්කහම නිමාලිගේ අම්මට තිස්තුන් කෝටියක් ම දෙවියෝ සිහිපත් වුණා.ඒක එතැනට ගෙනාවේ කවුද? අස් කරන්න ගිහිල්ලා තමන්ටම අමතක වුණාද කියලා හිතා ගන්නත් අමාරුයි.පිටුවෙන් පිටුව පෙරළීගෙන යන ඇල්බම් එකේ නිමාලිගේ පාසල් කාලයේ ඡායාරූප එකින් එක බලන හෂාන්ගේ අම්මා දිහා නිමාලිගේ අම්මා බලාගෙන හිටියේ තිගැස්මෙන්.

“අනේ දුව නැටුම් කරලා නේද?”

හෂාන්ගේ අම්මා එහෙම කියද්දී කියද්දී නිමාලිගේ අම්මා නිමාලි දිහා බැලුවේ හොඳ රැවිල්ලක් එක්ක.නිමාලි මොකුත්ම නොකියා නැන්දම්මා දිහා බලාගෙන හිටියා.එක් විවාහයකින් ඉවත්වෙලා තවත් විවාහයක් කරගැනීම පවා අතිශය සාමාන්‍ය දෙයක් විදියට දකින හෂාන්ගේ අම්මාට තමන්ගේ නැටිල්ල ප්‍රශ්නයක් වෙන්න කොහොමටත් ඉඩ නෑ කියලා නිමාලිට හිතෙන්න ගත්තා.

“මං ඒ කාලෙම ඔයාව දන්නවනෙ දුවේ.”

හෂාන්ගේ අම්මා එහෙම කිව්වේ නිමාලි දිහා සතුටු මුහුණකින් බලන ගමන්.විශ්‍රාමික විදුහල්පතිනියක් වූ ඇයට තමන්ව කොහේදි හරි මුණගැහිලා ඇති කියලා නිමාලිට හිතුණා.නිමාලි ඇය දිහා බැලුවේ පොඩි තිගැස්මක් වත් නැතුව.

“ඉස්සර ඔයා තරගවලට එනකොට අපේ ඉස්කෝලවල කෙල්ලො නිකම්ම තරග කිරිල්ල අතාරිනවා.මගේ ලේලි වෙලා ඉන්නේ ඒ කාලේ තරගවලට ඇවිල්ලා වේදිකාව දෙදරන්න නටපු පොඩි කෙල්ල කියල මම අඳුනා ගත්තේ නෑනෙ පුතේ.”

නැන්දම්මා එච්චර සන්තෝසෙන් කතා කරනකොට අම්මාත් බොරු හිනාවක් හොයා ගන්න හැටි නිමාලි බලාගෙන හිටියේ හිනාව හංගාගෙන.නිමාලිට ජීව විද්‍යාව කරන්න තිබ්බ බරපතල උවමනාව නිසා නැටුම් කරන්න ආයේ ඉඩක් ලැබුණේම නෑ කියලා අම්මා බරපතල බොරු කියනකොට පවා නිමාලි හිනාව හංගාගෙන බලාගෙන හිටියා.නිමාලිගේ අතීත දක්ෂතා ගැන නැන්දම්මා කතා කරේ පුදුමාකාර පැහැදීමකින්.

“එහෙනම් දූට වෙඩින් එක දවසට ලස්සන සර්ප්‍රයිස් ඩාන්ස් එකක් ප්ලෑන් කරන්න පුලුවන්.”

නැන්දම්මාගේ සන්තෝසය අම්මාගේ මුහුණේ අඳුරු වලා අඳිනකොට නිමාලිට තවත් නම් හිනාව හංගා ගන්න බැරි වුණා.

“මම ප්ලෑන් කරන ගමන් ඉන්නේ අම්මා.කරන්නම්කො”

නිමාලි එහෙම කියලා තේ කෝප්ප බන්දේසියත් අරන් ගෙට යනකම්ම දිගටම හිනා වුණේ අම්මාගේ භයානක රහස නැන්දම්මාට සුන්දර රහසක් වීමේ සතුට සමරන්න වගේ.

More Stories

Don't Miss


Latest Articles