ජයරත්න විසින් කපා දෙනු ලැබූ ලොකු කෙසෙල් කොළයකට, සයුරංගනා පාරමී සමගින් එක්ව කිරිබත වැඩෙව්වා ය. මේසය මත කහවන් ව ඉදුණු කෙසෙල් ඇවරි දෙකක් ද කැවිලි වර්ග කිහිපයක් ද සකසා තිබිණ. අලුත් නිවස සඳහා අත්තිවාරම් කපනා පිරිස තව ටික වෙලාවකින් කිරිබත් කන්න එන්න නියමිත ය.
මීට ටික වෙලාවකට පෙර ගමේ ස්වාමීන් වහන්සේලා දෙනමක් විසින් පිරිත් දේශනා කරත්දී යශෝදරත්, සයුරංගනාත් එසඳිත් දෑත් වලින් අල්වා සුබ නැකතින් මුල් ගල තැන්පත් කළහ. එය නවමු හැඟීමකි. ගෙපැල් කපන්නට ඇද තිබූ සුදු නූල් අතරේ ඇවිදිමින් සයුරංගනා අලුත් සිහිනයක් දකිමින් සිටියා ය. ඒ වැඩ අතරේත් එසඳි යශෝදර ට වඩාගෙන ඉන්නයි කීවා ය. ජීවිතය හරි පුදුම ය.
රාමනායක පවුලට අයත් ඉඩම කොටස් තුනකට බෙදා දරුවන් තිදෙනා අතරේ බෙදා දීම පියා ගේ බලාපොරොත්තුව විය. නිවස සහිත කොටස පවුලේ බාලයා වන තේමිය නමින් ලියා දෙන බව ඔහු නිතර කීවේ ය. ඒ අනුව යශෝදරට අයත් කොටස මීට ටික කලකට පෙර ඔහු නමින් ලියා දුන්නේ ඔහු නිවාස ණයක් ඉල්ලුම් කරන්නට සූදානම් වූ නිසා ය. ගිම්හාන් ගේ හදිසි මරණයත් සමග පැමිණි කුණාටු තත්වය නිසා යශෝදර අතින් ඒ කටයුතු අතපසු වෙමින් තිබිණ. කෙසේ හෝ අවසන ඔහු ඒ ණය මුදල ඉල්ලුම් කරමින්, එතෙක් ඉතිරි කොටගෙන තිබි මුදලකින් නිවස සඳහා අත්තිවාරම් දැමීමට සියලු කටයුතු පිළියෙළ කොට ගත්තේ ය.
“මේ ගේ තියෙනවනෙ පුතා. තව ගෙවල් හදන්න මොකට මහන්සි වෙනවද…අනිත් එක මේ කාලෙ වියදං…”
යශෝදර අලුත් ගෙයක් හදන්නට සූදානම් වෙන බව දැනගත් වෙලාවේ ජයරත්න කීවේ ය.
“මේක ගිම්හාන් හදපු ගේ. කොහොමත් ඒක එසඳිටයි අයිති. අපි ඒක උඩයි යටයි දෙකම රෙන්ට් එකට දෙමු අංකල්. ඒකෙන් එන සල්ලි ඔක්කොම එසඳිගෙ බෑන්ක් අකවුන්ට් එකේ ඩිපොසිට් කරමු. එතකොට දවසක අපිටත් නොදැනී එයා වෙනුවෙන් ගාණක් එකතු වෙලා තියෙයි”
“ඒකනං නරක නෑ”
“ගිම්හාන් හිතුවද එයාට එහෙම වෙයි කියල…අපි කාට වුණත් කොයි මොහොතෙ මොනා වෙයිද කියන්න බෑ. අයෙම වතාවක් සයුරංගනා ට එසඳිගෙ අනාගතේ ගැන බයක් දැනෙන්නැති වෙන්න ඕනෙ”
“මො…නාද කියන්නෙ…”
ඒ වෙලාවේ සයුරංගනා කොඳුරා ගත්තා ය. යශෝදර ඇය දෙසට හෙළුවේ තාත්තා කෙනෙකුගේ වැනි සෙවනැති බැල්මකි. නමුත් සයුරංගනා ගේ හිත රිදෙමින් තිබිණ. එය සහේතුක රිදුමක් ද අහේතුක රිදුමක් ද කියා හරියට ම කිව නො හැකි ය. ගිම්හාන් සිහි වන හැම වෙලාවක ම පපුවට දැවිල්ලක් එක් කරමින් පැතිර යන බියමුසු සංකා හැඟීම එය බව ඇය හඳුනයි.
“එහෙනං දැං ඉතිං මට මහ ගෙදරට යන්න පුළුවන්”
ජයරත්න මඳහසකින්, ඉවසිලිමත් ස්වරයකින් කීවේ ය. නමුත් ඒ මඳහසට යටින්, ඒ බොර පාට ඇස් ඇතුළේ වසංගා ගන්නට තැත් කළ පාළු හැඟීමක් ද නො වූවා නොවේ.
“අප්…පච්චි…මොනාද අප්පච්චි කියන්නෙ…අප්පච්චි හැමදාම ඉන්න ඕනෙ අපිත් එක්ක. ගිම්හාන් වෙනුවෙන් මං අප්පච්චිව බලාගන්න ඕනෙ”
සයුරංගනා වහා ම කීවා ය.
“එසඳිගෙ සීයාපච්චි හැමදාම එයත් එක්ක ඉන්න ඕනෙ. අම්ම අපි ළඟට ආවත් මං අම්මවත් බලාගන්නව. අප්පච්චි මහගෙදර යන්න හිතන්නවත් එපා”
“අංකල් හිතනව ඇති ඒක මං හදන ගෙදර නිසා…මේ ගෙදර වගේ තමන්ගෙ හැඟීමකින් ඒ ගෙදර ඉන්න බැරි වෙයි කියල. අංකල්ව මං දන්නෙ මගෙයි ගිම්හාන්ගෙයි මොන්ටිසෝරි වයසෙ ඉඳන්මයි. මගෙ තාත්ත වගේම තමයි කවදත් මට ගිම්හාන්ගෙ අප්පච්චිත්. අපේ තාත්ත කොහොමත් ඔය ගෙදර ඉන්නව මිසක් අපේ ගෙදරට එන්නෑ. ආවත් තව හුඟක් වයස ගියාම එයි. එතකොට මං ඔෆිස් ගිය වෙලාවට සයූවයි එසඳිවයි බලාගෙන ඉන්නෙ කවුද…ගිම්හාන් නැතිවුණාට අංකල් ඒ වගකීමෙන් නිදහස් වෙන්න හදන්නෙපා. අනික ශක්‍යා එක්ක ඉන්නවට වැඩිය සයූ එක්ක ඉන්න එක අංකල්ට ලේසිවෙයි”
“ඒකනං එහෙම තමයි”
ජයරත්න මෘදු පීතෘ භාවයකින් සිනහ වූයේ ය.
“බලමුකො බලමුකො. ඒව තව ඉස්සරහටනෙ. මොනව කොහොම වෙන්න තියනවද කියල දෙවියො තමයි දන්නෙ”
“මොනව කොහොම වුණත් අංකල් ඉන්නෙ අපි එක්ක”
යශෝදර ගේ ප්‍රකාශය ස්ථිරසාර විය. ජයරත්න මඳක් හඬනගා සිනහ වූයේ ය.
“අප්පච්චි අපිව අතෑරල ගියොත් මට කවදාවත් ගිම්හාන්ගෙන් සමාවක් ලැබෙන එකක් නෑ”
සයුරංගනා නෙතු කඳුළු පුරවා ගෙන ජයරත්න ඉදිරියේ පෙනී සිටියා ය. හෙතෙම ඇගේ හිස් මුදුනේ සුරත තැබී ය.
“ගිය ආත්මෙක හරි දුව මගෙම දුවෙක් වෙලා ඉන්නැති”
“මේ ආත්මෙත් මං අප්පච්චිගෙ දුවෙක් තමයි”
කිරිබත මේසයට තබනා තෙක් සයුරංගනා ගේ හිතේ සිනමා රූපරාමු සේ ඒ සිදුවීම් මැවි මැවී පෙනිණ. කිරිබත් මේසයේ අඩුපාඩු බැලුවේ මල්කාන්ති ය. ලුණුමිරිස ඒදා, පාරමී ලවා කෙටවූයේත් ඇය ය. මල්කාන්ති දැන් බොහෝ දුරට සුවපත් ය. අධි රුධිර පීඩනය යථා තත්වයෙහි පවත්වාගනු වස් ඇය හිත සන්සුන්ව තබා ගන්නට උත්සාහ කරයි. දරුවන්ගේ ජීවිත වල තීරණයන්ට බලපෑම් කරන්නට උත්සාහ නොකොට ඔවුන්ට ආශීර්වාද කරමින් ළඟින් රැඳෙනා එක වඩා සුවපහසු බව දැන් ඇය තේරුම් ගනිමින් හිඳී. ඒ තරමට හිත හදා ගත්තේ පහසුවෙන් නොවේ. බැඳීම් වූ කලී ලිහිල් කරන්නට පහසු නැති බැමි ය. නමුත් ඒවා ලිහිල් කොට ජීවත් වෙන එක සැනසීමට මග වේ.
“මේ අපාචි මට හදනව කියපු පැලස් එකද…”
ගෙපල් කැපූ බිමෙහි දුව පනිමින් හැන්දෑවට එසඳි සෙල්ලම් කරයි. අත්තිවාරම් මත එකින් එක ගල් පේළි බැඳී බිත්ති ඉස්සෙන හැටි බලා සිටීම අමුතු සතුටකි. සයුරංගනා මහත් උපේක්ෂා සහගත සතුටකින් ඒ දෙස බලා හිඳී.
“ඒ පැලස් එක තමයි. ඔයා ආසයි නේද ඒකට…”
යශෝදර දැරිය දෑතින් ඔසවා ඈ හුරතල් කරයි. ජීවිතය කියන්නේ ලොකුවට සැලසුම් කළ හැකි ලොකු දෙයක් නොවන බව දැන් සයුරංගනා සේ ම යශෝදර ද දනී. ජීවිතය යනු මේ මොහොත ය. මේ මොහොත සතුටෙන් ද සැනසීමෙන් ගෙවා ගැනීම ජීවිතයක වන ලොකු ම අභියෝගයයි. ජීවත් වීම තුළ හැම කෙනෙකු ම උත්සාහ කළ යුත්තේ ඒ අභියෝගය ජය ගැනීමට ය.
කාලය ඉගිලී ගොස් තිබේ. ගිම්හාන් මිය ගොස් වසරක් පිරීම නිමිත්තෙන් දානමය පිංකම සඳහා සයුරංගනා ටික ටික සූදානම් වෙමින් සිටියා ය. යශෝදර ද මතක් වෙන විදිහට අවශ්‍ය දේවල් ගෙනෙමින් රැස් කළේ ය. වැඩි පිරිසක් කැඳවන්නේ නැතිව, පන්සලේ කටයුතු ප්‍රධාන වශයෙන් සිදු කිරීමට සයුරංගනා හිතා සිටියත් තිලකා ඊට එකඟ වූයේ නැත.
“කොල්ල නැති වෙලා අවුරුද්දයි. අවුරුද්දෙ දානෙවත් හොඳට දීගන්න බැරිනං ඊට පස්සෙ ඒකාව මතක් කරල හිඟන්නෙක්ට බත් මුලක්වත් දෙන එකක් නෑ”
එය සයුරංගනා කෙරේ ක්‍රෝධයෙන් සිදු කරනා ලද චෝදනාවකි.
“අම්මෙ මං කිව්වෙ දානෙ දෙන්නෑ කියල නෙවෙයි. ඉන්න තරං නෑයන්ටයි නොනෑයන්ටයි කියන්න ඕන නෑ කියල. අපි ළඟම ටික එකතු වෙලා සාංඝික දානෙ වැඩ හොඳට කරමු කියල. බණ අහන්න වුණත් අපේ ගෙවල් දෙක තුනේ සෑහෙන පිරිසක් ඉන්නවනෙ. අහල පහළ අයටත් කියනවනෙ…”
නමුත් සයුරංගනා ගේ පැහැදිලි කිරීම් වටහා ගැනීමේ උවමනාවක් තිලකා ට වූයේ නැත.
“දුව කියන දේ හරි. මේ කාලෙ හැටියට ඔය සනුහරේ කැඳවගෙන මේව කරන්න බෑ. අපි අවශ්‍යම දේවල් ටිකයි කරන්න ඕනෙ”
ජයරත්න ගේ අදහස ද තිලකා මායිම් කළේ නැත. මේ ටිකට සිය පුතා වෙනුවෙන් කළ යුතු යුතුකම් අමතක කළා යයි දෙස් තබමින් ඇය පැත්තකට වී කඳුළු පිස්සා ය.
“එහෙනං ඔය ඉන්න ඔක්කෝටම කියාගන්න කියන්න”
අවසන සයුරංගනා ට එසේ කීවේ යශෝදර ය. ඉන්පසු තිලකා ගේ ආඩපාලිය නැවතිණ. ඇය හතර වටේට දුරකතනයෙන් කතා කරමින් බණ හා දානය මතක් කළා ය. ගිම්හාන් ගේ අවමඟුලේදී හා ඔවුන් ගේ විවාහ උත්සවයේදී පමණක් දැක තිබි ඉතා දුර නෑයින්ට පවා ඇය දානයට ඇරයුම් කළේ උජාරුවෙනි. ඒ තරම් පිරිසකට දානය සූදානම් කිරීමෙහි ලා දැරිය යුතු වන වියදම් ගැන සයුරංගනා සිටියේ දෙගිඩියාවේ ය.
“ඔයා බයවෙන්න එපා. මං හැමදේම බලාගන්නං”
යශෝදර සයුරංගනා ට ප්‍රතිඥාවක් දුන්නේ ය. ඔහු පසෙකින් සිටීම ඇගේ හිතට හයියක් ම විය.
බණ දවසේ හවස සයුරංගනා හා එසඳි ව ද ගිම්හාන් ගේ පියා හා මව ද කැටිව යශෝදර ගමේ පන්සලට ගියේ ය. එහි ධර්ම ශාලාවට අඩුපාඩුවක් ව පැවති සිවිලිම ගසා නිම කොට තිබිණ.
“මං මේ යශෝදර පන්සලට එනකල්මයි හිටියෙ”
කියමින් ස්වාමීන් වහන්සේ ඔවුන් වෙත පැමිණියහ.
“මං මේ…ගිම්හාන්ගෙ අම්මලවත් එක්කගෙන ම ආවෙ…පෙන්නන්නයි කියල හාමුදුරුවනේ”
“එහෙම පෙන්නල විතරක් බෑ. යශෝදර ඕන නෑ කිව්වත් අපි පොඩි සමරු ඵලකයක් බිත්තියට හයිකළා. යහපත් වැඩක් කරල ඒකට නම දාන එක ගැන අහිතක් හිතන්න එපා යශෝදර. හැබැයි යශෝදර අකමැති නිසා අපි මේකට උපාසක ඇත්තො කැඳවල උත්සවයක් ලෑස්ති කළේ නෑ”
ස්වාමීන් වහන්සේ ඒ ඵලකය නිරාවරණය කරනා ලෙස යශෝදර ට ඇරයුම් කළේ ය..ඔහු එසඳිව වඩා ගෙන ඇයට ඒ කටයුත්ත පැවරුවේ ය.
“ගිම්හාන් ජයරත්න තරුණ මහතාට, මතු සසරේ කිසිදු භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවායි පිං පමුණුවනු වස් එසඳි, සයුරංගනා, යශෝදර, අම්මා, තාත්තා ඇතුලු පවුලේ අය විසින් ධර්ම ශාලාවෙහි සිවිලිම ගසා පූජා කරන ලදී.”
එසඳි අතින් විවර වූ ඵලකයෙහි සඳහන් වැකිය කියවූ සයුරංගනා ගේ උගුර හිර විය. ඇස් තෙත් විය. ඇය වඩාත් බිම බලා ගත්තා ය. ඇස් වලින් පාලනය කරගත නො හැකි කඳුළු වැලක් ගලා ගියේ ය. යශෝදර ඇගේ හිස ද පිට ද පිරිමැද ඇය සන්සුන් කිරීමේ උත්සාහයක් ගත්තේ ය.
“යශෝදර හරි. ගිම්හාන් වෙනුවෙන් අපිට දැන් කරන්න පුළුවන් එයා වෙනුවෙන් පින් පමුණුවල යුතුකම් ඉටු කරන එක විතරයි”
ස්වාමීන් වහන්සේ ගේ හඬ සයුරංගනා ට ඇසුනේ දුර ඈත සිහිනයකින් සේ ය.