රට රැකියාවකට යනවිට ලියාපදිංචිය ලබාගෙන ඔබේ ආරක්ෂාව සහතික කරගන්න.

සිය අනාගතය මෙන්ම පවුලේ සාමාජික සාමාජිකාවන්ගේ සුබසිද්ධිය උදෙසා කුමන හෝ ආකාරයකින් රට රස්සාවකට යෑමට සිහින මවන බොහෝ පිරිසක් නිසි ලෙස විදෙස්ගතවීම සඳහා අනුගමනය කළ යුතු නිවැරදි සහ ආරක්ෂාකාරී ක්‍රමවේදයන් පිළිබඳව අවබෝධයක් නොමැතිකම නිසාම ඉදිරියේදී උදා විය හැකි අනතුරුදායක වූත්, අවදානම් සහගත වූත් තත්ත්වයන් පිළිබඳව සැලකිල්ලක් නොදක්වා කටයුතු කිරීමෙන් මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත් වෙති. තමන් ජාවාරම්කරුවන්ගේ දැළට හසුවී ඇති බව ඔවුන්ට අවබෝධ වනවිට බොහෝ දේ සිදුව අවසන්ය. අවසාන ප්‍රතිඵලය වන්නේ ඔවුන් මෙන්ම පවුලේ ආදරණීයයන්ද අසරණවීමය. විධිමත් ක්‍රමවේද නොසලකා කුමන හෝ ක්‍රමයකින් රට රස්සාවට යෑමෙන් මිනිස් ජාවාරමට ගොදුරු වන ඔවුන්ට අවසානයේදී ඉතිරි වන්නේ දුක, සෝකය, වේදනාව සහ පසුතැවිල්ල පමණි. එබැවින්, සතුට සොයා රට රැකියාවට යන ගමන නැණවත්ව, දැනුවත්ව සහ විධිමත්ව සැලසුම් කරගනිමින් ජාවාරම්කරුවන්ට ‘’අහුනොවී” විදෙස්ගත වීමට සියලුදෙනා සැලකිලිමත් විය යුතුය.

විදෙස්ගත වන ශ්‍රමිකයින් ඉතා උපක්‍රමශීලීව මිනිස් වෙළෙඳාමට ගොදුරු කරගන්නා ජාවාරම්කරුවන් ක්‍රියාත්මක වන්නේ ව්‍යාජ විදෙස් රැකියා නියෝජිත ආයතන සහ ඔවුන්ගේ තැරැව්කරුවන් හෝ අතරමැදියන් ලෙස පෙනී සිටින පුද්ගලයින්ගෙන් සැදුම්ලත් ජාලයක් හරහාය. විදෙස්ගත වන විට පිළිපැදිය යුතු නීත්‍යානුකූල හා සදාචාරාත්මක ක්‍රමවේද නොසලකා කටයුතු කරන ඔවුන් බොහෝවිට විදෙස් රැකියා සොයා වෙහෙසෙන පිරිස් ඉලක්ක කරගනිමින් සිය ජාවාරම පවත්වාගෙන යන්නේ ඉතා සංවිධානාත්මකවය. රැකියා සඳහා විදෙස්ගත වනවිට පිළිපැදිය යුතු මූලික කරුණු පිළිබඳව නිසි අවබෝධයක් හෝ දැනුවත්භාවයක් නොමැති පිරිස් සිය බසට අවනත කරගැනීමට ඔවුන් සමත් වෙයි. වංචාකාරී ලෙස ජනතාව රවටමින් සිය අරමුණු ඉටුකර ගන්නා ජාවාරම්කරුවන් තමන් කෙරෙහි විශ්වාසය තබන අසරණ ජීවිත පිළිබඳව කිසිදු වගකීමක් දැරීමට කිසිවිටෙකත් සූදානම් නැත. එබැවින්, එවැනි ජාවාරම්කරුවන් කෙරෙහි විශ්වාසය තබා විදෙස්ගත වන පිරිස් අවසානයේදී අන්ත අසරණ තත්ත්වයට පත්වෙති. මෙවැනි පසුබිමක් තුළ මිනිස් වෙළෙඳාම හෙවත් මිනිස් ජාවාරම පාලනය කිරීම සඳහා ජනතා දැනුවත්භාවය ඉතා වැදගත් වෙයි. විදෙස් රැකියා සඳහා එතෙර රටවලට සංක්‍රමණය වනවිට මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත් නොවන්නට නම්, පිළිගත් හා විධිමත් ක්‍රමවේදයන් පිළිබඳව දැනුවත්ව, නැණවත්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙයි.

විශේෂයෙන්ම, රැකියා සඳහා විදේශගත වන ශ්‍රමිකයින් සැමවිටම ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීම අතිශයින් වැදගත් වන්නේ හේතු ගණනාවක් නිසාය. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පිහිටුවා ක්‍රියාත්මක කරගෙන යනු ලබන්නේ රැකියා සඳහා විදේශගත වන ශ්‍රමික ජනතාවගේ ආරක්ෂාව සහ සුබසිද්ධිය තහවුරු කිරීම සඳහාය. එම ආයතනයේ ප්‍රමුඛතම කාර්යභාරය සකසා ඇත්තේ විදේශගත ශ්‍රමිකයින් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් දැරිය යුතු වන වගකීම සපුරා ඉටුකිරීම උදෙසාය. එබැවින්, ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශගත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව, රැකවරණය සහ රැකියා සුරක්ෂිතතාව වෙනුවෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය බැඳී සිටියි. වෙනත් රටවල ඇති තානාපති කාර්යාල හරහා විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට රැකවරණය සැලසීමට එමෙ ආයතනය සැමවිටම කැපවී සිටියි. අදාළ රටවල නීතිරීතිවලට අනුගතව කටයුතු කරමින් රැකියාවල නියුතු වන අතරම, සිය සුරක්ෂිතතාව තහවුරු කරගැනීමට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට අවශ්‍ය පසුබිම සකසාදීම සඳහා ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය බැඳී සිටියි. 

විදෙස්ගත වන ශ්‍රමිකයන්ට අවශ්‍ය තොරතුරු සියල්ල පහසුවෙන් දැනගැනීමටත්, නිසි දැනුවත්භාවය ලබාගැනීමටත් අවශ්‍ය පහසුකම් රාජ්‍ය වගකීම සහිතව සැපයීමේ අවශ්‍යතාව සහ වැදගත්කම මේ වනවිට හඳුනාගනු ලැබ ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුතු වන සැලසුම් සහ ක්‍රමවේදයන් විධිමත්ව පවත්වාගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට අදාළ අංශ විසින් දැනටමත් පියවර ගෙන ඇත. විදෙස්ගත වන ශ්‍රමිකයන් පිළිබඳ වගකීම ශ්‍රී ලංකා රජය සතුව පවතින බැවින් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මැතිතුමා ප්‍රමුඛ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය හා අනුබද්ධ ආයතන සැමවිටම කැපවී සිටියි. රැකියා සඳහා විදෙස්ගත වන සියලු ශ්‍රමිකයන් වෙත මෙම ආයතන හා පහසුවෙන් සම්බන්ධ විය හැකි පහසුකම් මේ වනවිට සලසා දී ඇත. විදෙස් රැකියාවකට යෑමට පෙර ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළු සියලු වැදගත් කරුණු ගැන දැනගැනීම සඳහා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විශේෂ සහාය සේවාවක් ක්‍රියාත්මක වන අතර, අවශ්‍ය ඕනෑම විටෙක තොරතුරු දැනගත හැකි විශේෂ ක්ෂණික ඇමතුම් අංකයක්ද 1989 නමින් හඳුන්වා දී ඇත. එවැනි විශේෂ සේවාවන් ඔස්සේ මනාව දැනුවත්ව, විධිමත්ව රට රැකියාවට යෑමෙන් මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්නොවී සතුටින් ජීවිතය අත්විඳිමේ හැකියාව රැකියා සඳහා විදෙස්ගත වන සියලු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට පහසුවෙන් ලබාගත හැකිය. එසේම, රට රැකියාවකට විදෙස්ගත වනවිට විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා, නීත්‍යානුකූල හා සදාචාරාත්මක මෙන්ම විධිමත් ක්‍රමවේද අනුව කටයුතු කිරීමෙන් සැමට සැමවිටම ඉහළම ආරක්ෂාව, රැකවරණය සහ සැනසිල්ල සමඟ සතුට අත්විඳිය හැකිය.   

Related Articles

Don't Miss


Latest Articles