බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ සම්මානයට පාත්‍ර වූ ලාංකීය හෙදිය

පුෂ්පා රම්‍යානි ද සොයිසා” 

නම කියූ සැණින් ඇයව හඳුනන ඔබට ඇය ගැන අමුතුවෙන් පෙරවදන් ලියන්නට අවශ්‍ය වන්නේ නැහැ. 

ඇය එතරම්ම ලංකාවේ අපේ සිත්වලට සමීපයි. 

ලංකාවේ හෙද ක්ෂෙත්‍රයේ සදා දිදුලන පහන් ටැඹක් බඳු ඇය ඒ කීර්තිය පසුගිය දිනය එංගලන්තය දක්වාත් අරගෙන ගියේ ලාංකේය අපිව දෙස් විදෙස් වල පවා ආඩම්බරයට පාත්‍ර කරමින්. 

කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද නිළධාරිනිය වන පුෂ්පා රම්‍යානි ද සොයිසා මහත්මිය සම්මානයට පාත්‍ර වූ පළමු අවස්තාව මෙය නොවේ.

News 1st සහ ජාතික සංවර්ධන බැංකුව (NDB) විසින් සඳුදා (08) දින නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී සංවිධානය කරන ලද ‘2020 වනිතාභිමාන සම්මාන’ උළෙලේදී ශ්‍රී ලංකාවේ ජනප්‍රියම කාන්තාව ලෙස පුෂ්පා රම්‍යානි ද සොයිසා තේරී පත් වුණා.

 එහෙත් මේ තමයි ලංකාවේ අභිමානවත් නයිටිංගේල් දියණිය ජාත්‍යන්තර වශයෙන් සම්මානයට පාත්‍ර වූ පළමුවන අවස්තාව. 

 ඒ බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු තුළත් London Chamber of Commerce හිදීත් ජාත්‍යන්තර සම්මාන දිවිත්වයකින් පිදුම් ලබමින්. 

 Most Powerful and Influential Women ලෙස, හෙදියක ලෙස සුවහසක් ඔත්පල වූවන් සඳහා ඇය කළ මෙහෙය අගයමින් බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව තුල දී ඇයව මෙසේ ඇගයීමට ලක් වූවා. දේශපාලන බලවතුන්, ව්‍යාපාරික බලවතුන්, උගතුන් සහ විවිධ ක්ෂේත්‍රයන්හි පතළ පුද්ගලයන් රැසකගෙන් සමන්විත, රටවල් දහයකට වැසි නියෝජිත පිරිසක් සහභාගී වූ, මෙවැනි උළෙලක දී අපේ කාන්තාවක් ගෞරවයට පාත්‍ර වීම Smart Ladies වන අපටත් ආඩම්බරයක් සහ ආදර්ශයක්. 

 World Humanitarian Foundation විසින් සංවිධානය කර තිබුණු එම සම්මාන උලෙළෙහි හෙද නිළධාරිනියක් සම්මානයට පාත්‍ර වූ ප්‍රථම අවස්ථාවත් මෙයයි. ඉතින්, ඒ ප්‍රථම අවස්ථාවත් අපේ කාන්තාවකටම හිමි වීම මොනතරම් නම් ආඩම්බරයක්ද?

 මේ සම්මානයට අමතරව London Chamber of Commerce හි පැවැති G20 Initiative Global Economic Forum Summit London සංවිධානය මගින් ලබා දුන් Global ICON Award ජාත්‍යන්තර සම්මානයෙන් ද හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා පිදුම් ලැබුවා. 

 බොහෝ රටවල විවිධ ව්‍යාපාරික බලවතුන් එක් වී හුන් මෙම උළෙලේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත් කර තිබුණේත් ඇයවමයි. 

 ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය නිමවා අනතුරුව 1987 වසරේ හෙදියක ලෙස පළමු පත්වීම කොළඹ ජාතික රෝහලට ලැබූ දින සිට වසර තිස් හයක් පුරාවට ඇය ජාතික රෝහලේ පිලිස්සුම් ඒකකය ඇතුළු විවිධ රෝහල් වාට්ටුවල සේවය කරමින් රටට, ජනතාවට කළ සේවය අගය කළ යුතුමයි.

 “බොහෝ අවස්ථාවලදී, අධ්‍යාත්මික සුවයේ වැදගත්කම අපට අමතක වනවා. සෞඛ්‍යය සමස්ත කළමනාකරණයක් විය යුතුය. එය භෞතික අංශයට සීමා නොවිය යුතුයි” ලෙස ඇය මෙයට පෙර අදහස් දක්වා ද තිබෙනවා. 

 ඒ සෞඛ්‍යය යන්න භෞතික වශයෙන් ලැබෙන සුව සත්කාර පමණක් නොවන බව පවසමින්.

 හෙද පුහුණු පාසලේ වසර තුනක පුහුණුවෙන් පසු ඇය ශ්‍රී ලංකා ජාතික රෝහලේ වෛද්‍ය අංශයට පළමු පත්වීම ලැබුවා. 

 ඇය විශේෂීකරණයන් රාශියක් හොඳින් ලබා ගත් ඇය ජපානයේ ශාන්ත මරියා විශ්ව විද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලබා ගත් අතර එහිදී කම්පන පද්ධති සංවර්ධනය, ආපදා කළමනාකරණය, කම්පන සත්කාර, හෙද කළමනාකරණය පිළිබඳ විශේෂඥතාවක් ලබා ඇත. 

 ඇය තායිලන්තයේ විශ්ව විද්‍යාලයකින් හෘද පෙනහළු පුනර්ජීවනය පිළිබඳ විශේෂඥතාවක් ද ලබා ඇත. 

 එපමණක් නොව, International Visitor Leadership Program යටතේ අර්බුද කළමනාකරණය පිළිබඳ විශේෂඥතාව, Washington DC, LA, Oklahoma, Honolulu, New Orleans හි CPR විශේෂඥතාව ලබා ගැනීමම අත්දැකීම් වලට එක් වූ උගත්කම ඔස්සේ වෘත්තීය නිපුණත්වය ලබා ගන්නට අවස්ථාව උදා කරගත්තා.

 පුවත්පත්, සමාජ ජාල වෙබ් අඩවි, රූපවාහිනිය වැනි බොහෝ මාධ්‍ය ජාලයන් ඔස්සේ අපත් සමග නිරතුරුවම එකතු වෙමින්, සෞඛ්‍ය ගැන විවිධ මාතෘකා ඔස්සේ අපව සම්බන්ධ කරගනිමින් අපව දැනුවත් කරන දිරිමත් කරන ඇයට Smart Ladies අපි අපේ උණුසුම් සුබ පැතුම් මෙන්ම මව් රට ආඩම්බරයට පත් කිරීම ගැන ස්තුතිය ද මෙසේ පුද කරනවා! 

 හෙද නිළධාරිනී පුෂ්පා ‍රම්‍යානි ද සොයිසා මැතිණියනි, ඔබ සුවහසක් ලාංකේය කාන්තාවට ඉමහත් ආඩම්බරයකි!

Related Articles

Don't Miss


Latest Articles