අයිශ්වර්යා සහ අභිශේක් දික්කසාද වෙයි ?

බච්චන් පවුල කියන්නේ බොලිවුඩයේ ඉන්න ජනප්‍රියම වගේම බලවත්ම පවුල්වලින් එකක්. සිනමාවට ඉතාම සමීප, සිනමාව වෙනුවෙන් තමන්ගෙ දායකත්වය හැකි ඉහලින්ම ලබාදුන්න බච්චන් පවුල කියන්නෙත් බොලිවුඩයට නිරත්තරයෙන්ම පණිවුඩ අරගෙන එන පවුල් වලින් එකක් කියල කියන්න පුලුවන්.

බච්චන් පවුල කිව්වම මට නිරත්තරයෙන්ම මතක් වෙන චිත්‍රපටයක් තියෙනවා. ඒ තමයි කබි කුශි කබි ගම්. මේ කබි කුශි කබි ගම් චිත්‍රපටය ඇතුලෙත් බච්චන් පවුලෙ දෙන්නෙක්ම රඟපානව. මට හැමදාම හිතුන දෙයක් තමයි අමිතාබ් බච්චන් තමන්ගෙ ඇත්ත ජීවිතේ ඇතුලෙත් රඟපානවා ඇත්තෙ තමන් කබි කුශි කබි ගම් චිත්‍රපටයෙ රඟපාපු රායිචන්ද් මහත්තයගෙ චරිතෙම තමයි කියල.

ඒත් අද කතා බහ නම් ලොකු බච්චන් ගැන නෙවෙයි. පොඩි බච්චන් සහ එයාගෙ බිරිඳ අයිශ්වර්‍යා රායි බච්චන් මහත්මිය ගැන. අයිශ්වර්‍යා සහ අභිශේක් කියන්නෙ විවාහයට කලින් තමන්ගෙ ප්‍රේම සබඳතාවයේ ඉඳලම බොලිවුඩයට පුවත් මවපු ජෝඩුවක්නේ.අභිශේක්ට වඩා වැඩිමල් අයිශ්වර්‍යා අභිශේක්ව විවාහ කරගැනීම වගේම දෙන්නගෙ දරුව වෙච්ච ආරධ්‍යාව අයිශ්වර්‍යා තමන්ගෙ තුරුලෙ තියාගෙනම හදන වඩන එක ගැනත් කතන්දර පහුගිය කාලෙ අපිට අහන්න ලැබුණා.

ලස්සනට ජීවත් වෙන, බොහොම වැදගත් ජෝඩුවක් කියල අපි හිතාගෙන හිටියට අලුතෙන් එන ආරංචි වලින් නම් තේරෙන්නෙ දෙන්නා විරසක වෙලා කියල තමයි.

“අභිශේක් සහ අයිශ්වර්‍යා එකට ඉන්නෙ දරුවා හන්දා. ඒ දෙන්න අතර අවුරුදු ගානක ඉඳල ප්‍රශ්න තිබුනා” කියල කියන්නෙ බච්චන් පවුලට ළඟම මූලාශ්‍රයක්.

බිඳුණු විවාහයක්, එහෙම නැත්තම් වෙන්වුණ දෙමව්පියන් ඉන්න දරුවෙක් ගෙ ජීවිතේ සාමාන්‍ය පවුල් ජීවිතයක් ගෙවන අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් ඉන්න දරුවෙක්ගෙ ජීවිතයට වඩා වෙනස් කමක් තියෙන බව අපිට අවිවාදයෙන්ම පිළිගන්න වෙනවා. විවාහක යුවලකගේ දික්කසාදය දරුවෙක්ගෙ ජීවිතේටත් නරක විදියට බලපාන්න තියෙන ඉඩකඩ වැඩියි.

මේ කතාබස් අතරෙම තමයි අපිට ආරංචි වෙන්නෙ අමිතාම් බච්චන් එයාගේ ලේලි එහෙම නැත්තම් අයිශ්වර්‍යාව සමාජ මාධ්‍ය ජාල වලින් අන්ෆොලෝ කරල තියෙන බව. ඒ වගේම මේ වෙන්වීම පිටිපස්සෙ බච්චන් නිවසට ආපහු ජීවත් වෙන්න ආව අභිශේක්ගෙ සහෝදරීගෙත් අත පෙවීමක් තියෙනවලු.

අයිශ්වර්‍යා තමන්ගෙ දුව වන ආරධ්‍යා සමග බච්චන් නිවසින් ඉවත් වෙලා පදිංචියට වෙන අහකට ගිහින් කියන කතාව වගේම මේ දෙන්න වෙන්වෙන්න යන කතාව එලියට ආවෙ පහුගිය දවසක පැපරාසින්ව ජූනියර් බච්චන්ව දකින්න ලැබීම එක්ක. ඒ සුපුරුදු විදියට අතේ මංගල මුදුව නැතුව.

බච්චන් නිවසින් පිටත්වෙලා ගිය අයිශ්වර්‍යා තමන්ගෙ අම්මගෙ ගෙදරලු ඉන්නෙ. හැබැයි දරුවට තාත්තගෙ ආදරේ නැති කරන්න බැරි නිසා ඉඳල හිටල ජල්සා වලට එහෙම නැත්තම් බච්චන් නිවසට එන අයිශ්වර්‍යා තමන්ගේ In-laws ලගෙන් වෙන්වුන වෙනම කොටසක ඉන්න බව තමයි ආරංචි වෙන්නෙ.

ඒ වගේම අයිශ්වර්‍යා තමන්ගෙ නැන්දම්ම වන ජයා බච්චන් එක්ක තියෙන සියලුම සබඳතා නවත්වලා කියලත් බොලිවුඩයෙන් ආරංචි වෙනවා. කොහොමත් මාධ්‍යවේදීන්ටත් සත්තුන්ට වගේ කතාකරන ජයා බච්චන් ගැන අපි හැමෝම දන්න එකේ අයිශ්වර්‍යා ඔහොම තීරණයක් ගත්ත එකටත් සාධාරන හේතුවක් තියෙන්න පුලුවන්.

මේ සුපුරුදු නැන්දම්මා ලේලි ගැටුම නිසා අභිශේක් තමන් හොඳ සැමියෙක්ද වෙන්න ඕන එහෙම නැත්තම් හොඳ පුතෙක් වෙන්න ඕනද කියන ගැටලුවෙ එරිල ඉන්න බවත් ආරංචි වෙනවා.

මේ දෙන්න අතර තිබුන ගැටුම් උත්සන්න වෙන්න ලොකුම හේතුවක් උනේ බච්චන් පවුලෙ දියණිය වෙච්ච ශ්වේත ස්තිර පදිංචිය සඳහා ජල්සා වල පදිංචියට යෑම කියලත් එහෙම මෙහෙන් ආරංචි වෙනවා. “ශ්වේතාගෙ පැමිණීම තමයි මිනී පෙට්ටියට ගහපු අන්තිම ඇණේ” කියලත් මාධ්‍ය වාර්තා කරනවා.

හැබැයි මාධ්‍ය මොන් කතා පැතිරෙව්වත් ශ්වේතා බච්චන්ගෙ පුතා වන අගස්ත්‍ය රඟපාන The Archies මංගල දර්ශනය බලන්න බච්චන් පවුලෙ හැමෝම එක්ක අයිශ්වර්‍යා සහ ආරධ්‍යාත් ඇවිල්ල ඉඳපු බව අපි මංගල දර්ශනයේ ජායාරූප සහ වීඩියෝ පට ඔස්සේ දුටුවා.

කොහොම වුණත් බිඳුණු විවාහයක් නිසා ඒ විවාහක යුවලටත් වඩා දරුවන් විඳවන අවස්තා බොහොමයක් දකින්න ලැබෙන ලෝකෙක අයිශ්වර්‍යා සහ අභිශේක තමන්ගෙ දූ වෙච්ච ආරධ්‍යාගෙ පැත්තෙනුත් මේ වෙලාවෙ හිතනවා ඇති කියල අපි බලාපොරොත්තු වෙනවා.

මොකද මොනතරම් සල්ලි වත්පොහොසත්කම් තිබුනත් මොනතරම් බලවත් වුණත් තමන්ගෙ බිඳ වැටුණ විවාහය නිසා තමන්ගෙ දරුවන්ගේ යහපැවැත්මට, මානසිකත්වයට ඒකෙන් බලපෑමක් වෙනවනම් ඕනම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඒ ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්.

අනිත් කාරණාව ආරාධ්‍යා බච්චන් කියන්නෙ දැනටම කැමරාව තමන්ගෙ පැත්තට හරවගත්ත දරුවෙක්නේ. අයිශ්වර්‍යා මොනතරම් උත්සහ කරත් ආරධ්‍යාව කැමරා කාචයෙන් එහා ඉමක රඳවගන්න, බලවත්, ජනප්‍රිය පවුලක එකම දුවෙක් වුණ ආරධ්‍යාව එහෙම හංගගෙන ඉන්න එක හිතන තරම් පහසු කාරණාවක් නෙවෙයි.

විවාහයක් කියන්නෙ කොහොමත් මල් අතුරපු සේද යහනාවක් නෙවෙයිනේ. කටු අකුල්, මඩ ගොහොරු, කඳු, නිම්න පිරිච්ච ලෝකයක්. ඒ ලෝකය ඇතුලෙ දරුවන් වෙනුවෙන්වත් මව් දෙමව්පියන් විඳවන්න ඕන කියල අපිට කියන්න බැහැ. විවාහය නොගැලපෙන බව, අපහසු බව තේරෙනවනම් තවදුරටත් විඳවමින් හිඳීම තේරුමක් නැති දෙයක්.

ඒත් ඒ වෙන්වීම, ඉවත්වීම දරුවන්ට අහිතකර බලපෑමක් ඇති නොකල යුතු බව අපි මතක තියාගත යුතුමයි.

ඉතින් රූමත් වගේම ඉතාම බුද්ධිමත් අයිශ්වර්‍යා සහ අභිශේක් තමන්ගෙ ජීවිතය ගැන තීරණ ගනිද්දි ආරධ්‍යා ගැනත් හිතාවි කියල අපි බලාපොරොත්තු වෙමු.

ඒ වගේම වෙන්වීමට වඩා හොඳ උත්තරයක් ඒ දෙන්නට ලැබෙන්න කියලත් අපි ප්‍රාර්තනා කරමු!

Related Articles

Don't Miss


Latest Articles