සතුටු මන්තර 50

ජීවිතය අපට අවැසි පරිදි, අප බලාපොරොත්තු වන පරිදි සැලසුම් කළ හැකි
සීමාවක් තිබේ. ඒ සීමාවෙන් එපිට වන්නේ අපේ පාලනයෙන් තොර කලාපයයි. එහිදී
දේවල් සිදු වන්නේ යම්කිසි බලවේගයකට නතුව ය. අප දෛවය කියා කියන්නේ, ඉරණම
කියා කියන්නේ, ස්වභාව ධර්මය කියා කියන්නේ, නැතහොත් දෙවියන් කියා කියන්නේ
එකී බලවේගයට විය යුතු ය. ගිම්හාන් ගේ ජීවිතය සම්බන්ධයෙන් වූ සිදුවීම එසේ සිය
පාලනයෙන් බැහැර කලාපයේ දී සිදු වූවක් බව යශෝදර විශ්වාස කරයි. ඒ වෙනුවෙන්
ඔහු ට කළ හැකි දෙයක් ඇත්තේ ම නැත. නමුත් සිය පාලනය තුළ පවතින්නා වූ දේවල්
ගැන වගකීමෙන් කටයුතු කරන්නට මොහොත උදා වී ඇති බව ඔහු ට සංජානනය වේ.
සෙනසුරාදා ට මාතර ගමන යොදා ගත්තේ එහි පළමු පියවර වශයෙනි.
“හදිස්සියෙම ඇයි රංගනා ගමේ යන්න හදන්නෙ…”
මේ ගමන ගැන සිකුරාදා හවස දැනගත් වෙලාවේ මල්කාන්ති පාරමී ගෙන් විමසුවා
ය.
“අර මනමාලය එනවද කොහෙද ගෙදරට…රංගිව බලන්න”
පාරමී ඇඟපතට නො දැනී කීවා ය.
“අපරාදෙ..මට යන්න විදිහක් නෑනෙ”
එය නම් සැබවින් ම ඒ ගැන පසුතැවීමකින් කියූ වගන්තියකි.
“ඇයි ඉතිං…ඔයා ගිහිං එන්න. එක දවසින් එනවනෙ..”
“ඒත් ඔයා අසනීපෙං ඉන්න නිසා අපි ඔක්කොම ගිහිං බෑනෙ. පොඩ්ඩත් යන්න
ආසයි කියනව. මන්නං එදාත් ගියානෙ. මේ සැරේ පොඩ්ඩා ගිහිං ආපුදෙන්”
“හෙට තාත්ත ගෙදරනෙ. ඔයා යන්න”
“කමන්නෑ. පස්සෙ යං…අපි ඔක්කොම”
මල්කාන්ති පාරමී ට අවනත වූවා ය. පසු දා උදයෙන් ම අවදි වී සයුරංගනා
ගමනට සූදානම් වූවා ය. ඇය එන බව දැනුම් දුන් විට යමුනා සිතුවේ යෝජිත මනාලයා
හමු වීම සඳහා ඇය එන බවකි. නමුත් මේ ගමන ගැන ඔහු ට දැනගන්නට තබන්න
හෝ ඔහු කැඳවන්නට එපා යයි සයුරංගනා තරයේ කීවා ය. කෙසේ වෙතත් ඇය ඇවිත්
යන්නට තීරණය කළ එක ගැන සැනසෙන්නට යමුනා කැමති වූවා ය. සියල්ල එක වර
සිදු වන්නේ නැති බවත්, ආරම්භය වශයෙන් මේ ප්‍රමාණවත් බවත් ඇය සිතා ගත්තා ය.
මේ ගමන ගැන සයුරංගනා කිසිත් නො සිතා සිටින්නට කැමති වූවා ය. යශෝදර
ඇගේ වැඩිහිටියන් සමග කුමක් කතා කරන්නට නියමිත වී ද ඒ ගැන ඇගේ හදවතේ
වූයේ අනවරත ගැස්මක් පමණි. ඒ ගැන සතුටු වන්නට හෝ විරෝධය පාන්නට නොයා
ඇය නිසල වූවා ය. නමුත් ඒ ගමන තුළ සාමාජිකයෙකු වීම ගැන ඇය සතුටු වූවා ය.

ජීවිතයෙහි වඩාත් ප්‍රිය කරන මිනිසුන් සමග රැඳිය හැකි මොහොතක සතුට වුව ආත්මීය
සැනසුමක් දනවයි.
“මං ඇන්ටිට කියල එන්නං…”
සියල්ලන් මෝටර් රථයට නැගී ගමනට සූදානම් වූ පසු සයුරංගනා මල්කාන්ති
සොයා දිව ගියා ය. පාරමී ඉණට අත් දෙක ගසා ගෙන බලා සිටියා ය.
“හයියෝ…හරියට අවුරුද්දකට රට යනව වගේනෙ…”
සයුරංගනා මල්කාන්ති විවේක ගන්නා යහන වෙත දිව ගොස් ඇයට යන බව
දැනුම් දුන්නා ය.
“මං පාරමීටත් කිව්ව යන්න කියල..අංකල් ඉන්නවනෙ…”
“ඒ වුණාට පාරි නැවතුණ එක හොඳයි ඇන්ටි”
“දුව…රංගනා…”
මල්කාන්ති කෙලින් සයුරංගනා ගෙ මූණ බැලුවා ය. ඇගේ දෑස් මත්තේ කියන්නට
කතාවක් වන බව ලියැවී තිබිණ. සයුරංගනා ගේ හදවත හරහා හදිසි ගැස්මක්
තරංගයක් සේ හමා ගියේ ය.
“කියන්න ඇන්ටි”
“ඇන්ටි කියන්නැතුව…මට අම්ම කියන්න”
එක්වර ම පෘථිවියේ භ්‍රමණයත් පරිභ්‍රමණයත් නතර වූවා සේ ය. විශ්වීය
ක්‍රියාකාරීත්වය ඇනහිටියේ ය. කන් අගුල් වැටුණා සේ කිසිදු හඬක් නෑසී යනු සයුරංගනා
ට දැනිණ. එහෙම මොහොතවල් ලෝකයෙහි පවතී. ඒවා යම් යම් අවස්ථා වල යම් යම්
තැන් වල මොහොතකට නතර වී යයි. එය නික්ම යන්නට ඇතැයි සිතුණ නිමේශයේ
කුරුලු හඬ ඇසෙන්නට ගති. ඔරලෝසුවේ කටු ගමන් කරනා ටක් ටක් හඬ පවා
පැහැදිලි ව ඇසුණේ ය.
“පරිස්සමට ගිහින් එන්න”
මල්කාන්ති සයුරංගනා ව පහත් කොට ඇගේ මුව සිපගත්තා ය.
“අපි..ගිහිං එන්නං…අම්මෙ..”
මුලින් ම ඒ වචනය කියා ගන්නා එක පහසු වූයේ නැත. බහ තෝරන්නට ගත්දී
මුලින් ම කී වචනය, දිවියෙහි වැඩිපුර ම කියා ඇති වචනය, නමුත් මේ මොහොතේ ඒ
එක ම වචනය උගුරෙන් පිට කොට ගන්නට කෙතරම් අසීරු වූවා ද?
රංගනා පිටතට ආවේ ලොකු හුස්මකින් පෙනහලු පුරවා ගනිමිනි. ට්‍රයිඩැක්ස් මල්
යාය සුළඟත් එක්ක සතුටෙන් ඒ මේ අත පැද්දෙනු ඇයට පෙනිණ. සුළඟ මල් වල

සවනට කොට මුදු ගීයක් මුමුණනවා ඇත. අමුතු සතුටක් එකවර සයුරංගනා ගේ හිතට
ගොඩ වී තිබිණ. ඇය පාරමී ව සිප වැළඳ රියට ගොඩ වූවා ය.
“මට ජෙලස්…ඒත් ඉතිං ඕගොල්ලො පරිස්සමට ගිහිං එන්න”
සයුරංගනා පසුපස අසුනට ගොඩ වූවා ය. එහි තේමිය ද එසඳි ද අසුන් ගෙන
සිටියහ. අප්පච්චි රියදුරු අසුන ළඟ ය.
මෝටර් රථය ඉදිරියට ඇදෙත්දී පසු වෙන දේවල් ගැන වෙන කවදාවත් නොසිතූ
කෝණයකින් සයුරංගනා ට සිතෙන්නට ගති. ජීවිතය ගමනක් නම් අතීතය යනු පසු වී
යන දෑ ය. මේ මොහොත පවා ඊළඟ මොහොතේ අතීතයට එක් වී තිබේ. නමුත් අපට
නතර වී පසුපස හැරී බලමින් සිටිය නො හැකි ය. ගමන ඉදිරියට ම යා යුතුව තිබේ.
එසේ ඉදිරියට යත්දී මේ මොහොත හිත සුවෙන් ගත කිරීම පමණක් අපට කළ හැකි දේ
ය. එයත් අහිමි කර ගත හොත් ජීවිත යාත්‍රාව හිතේ සතුටකින් තොරව ම අප ද නො
දැන ගමනාන්නතයකට එළඹ තිබිය හැක.
ගිම්හාන් සතුටෙන් ඉන්නට ඇත්ද? හද ගස්වමින් ඇයට කල්පනා විය. පෙනෙනා
ලෙස නම් ඔහු භෞතික වශයෙන් සියල්ල සපුරා ගත්, තෘප්තිමත් මිනිසෙකි. නමුත්
ඇත්තට ම ඔහු සතුටෙන් සිටියා ද? සිය විවාහ දිවිය තුළ යහපත් බිරිඳක් ද හුරතල්
දියණියක ද ලැබුවාට ඔහු ගේ හදවතේ යම් තැනක ශේෂ වූ හිස්කමක් නො තිබෙන්නට
ඇත්ද? සයුරංගනා ට ඒ හිස්තැන පුරවාගන්නට නො හැකි වූවා සේ ම ඔහු ඇයගෙන්
එය පුරවා ගන්නට උත්සාහ නොකළා ද වන්නට බැරි ද? ඔවුන් දෙදෙනා අතරින් ගලා
ගිය සිහින් දිය දහර ඇයට සිහි විය.
“අපි කීයට විතරද එහෙං එන්නෙ අයියෙ…”
තේමිය ගේ හඬින් සයුරංගනා ගේ කල්පනා දැහැන බිඳිණ.
“මැඩම්ගෙන් තමයි අහන්න වෙන්නෙ”
යශෝදර ඉදිරි කැඩපතින් ඇදෙස බැලුවේ ය. සයුරංගනා ලස්සන සිනහවක් නගා
ගත්තා ය.
“මං අද එන්නෑ. එහෙ නවතිනව. ඕගොල්ලො එන්න…නේ එසඳි මැණික…අපි එහෙ
ඉමු”
සයුරංගනා එසඳි තුරුලු කොට ගනිමින් එසේ කියත්දී දැරිය තරමක් කලබල වූවා
ය.
“අනේ…මට ආයිමත් බේයියං බොන්න වෙයි….අපාචි නැතුව.. කාං..කාවට…”
වචනය හරි ද වැරදි ද කියා නිශ්චිත නැතිව ඇය එකිනෙකාගේ මූණු බලමින්
ඇඹරෙන්නට වූවා ය. තේමිය හඬ නගා සිනහ වෙමින් එසඳිව තුරුලු කොට ගත්තේ ය.

“චූටි මැණිකට සංකාව හැදෙයිද අපාචි නැතුව….එතකොට සීයපච්චි නැතුව
සාංකාව හැදෙන්නැද්ද…”
ජයරත්න පිටුපස හැරුණේ ය.
“හැදෙනව. මං ඕගොල්ලො ඔක්කෝටම ආදෙයි. හැබැයි මට ගමේ කම්මැළියි”
යශෝදර ගේ ඇස් අඩ සිනහවකින් නැවත ද සයුරංගනා ව සෙව්වේ ය. ඔහු ගෙන්
ඒ සිනහව ඇයට බෝ වන්නට ඇත.
“උස්සං එන්නෙ උස්සං…”
“අම්මිවද…”
එසඳි හුරතලයෙන් යශෝදර විමසුවා ය.
“ඔව්. එහෙ ඉන්න හැදුවොත් උස්සං එමු නේ…”
“ඔයාට පුළුවන්ද අම්මිව වඩාගන්න…”
සයුරංගනා දෙතොල් තද කර ගෙන කවුළුවෙන් ඉවත බැලුවා ය. කාගේත්
දෙතොල් වලින් පිට වෙන්නට බැරිව ඒ සිනහව සිත් තුළ සරැලි නගන්නට ඇත.
ඉඳහිටවත් තම තමන්ගේ ම අය හමු වෙත්දී හදවත් අතරේ සතුටක් කාන්දු වෙයි.
අප්පච්චී යයි තවමත් කට පුරා කතා කරන මාමණ්ඩිය ද ඉස්සර කර ගෙන සිය දියණිය
අලුත් මනාලයා ගැන කතා කරන්නට ආවාද යන දෙගිඩියාව යමුනා තුළ විය. සයුරංගනා
එපා ම කී නිසා ඇය එන බව වජිර ට නො දන්වා සිටිය ද යමුනා ගේ අදහස වූයේ දවල්
කෑම වෙලාවට ලොකු පුතා ලවා පණිවිඩයක් යවා ඔහු ගෙන්වා ගැනීමයි. නමුත්
ජයරත්න සිටියදී එසේ කළ හැකි ද යන දෙගිඩියාවේ ඇය සිටියා ය.
“අම්මෙ අපි ගිම්හාන්ගෙ අප්පච්චිත් එක්කම ආවෙ…සයූ ගැන මගෙ හිතේ
අදහසක් තියනව කියල අම්මලට කියන්න”
තේ පාණය අතරේ යශෝදර එසේ කියත්දී යමුනා ව උස්සා පොළොවේ ගැසුවා සේ
විය. සයුරංගනා කාමරයේ උළුවස්ස අල්වා ගෙන ඔහු දෙස බලා සිටියා ය. මඳ සිනහවක්
රැඳුණු ඔහු ගේ මුහුණෙහි වූයේ අව්‍යාජත්වයකි. සිය හදවත කිසි දා අත් නොවිඳි ස්නේහී
හැඟීමකින් මඳින් මඳ පිරී යන බවක් ඇයට දැනිණ. ටික වෙලාවක දී ඒ ස්නේහ ගඟුල
පිරී ඇය ඒ මත පාවෙනවා සේ ද ඒ තුළ කිමිදෙනවා සේ ද දැනෙන්නට ගති. මීට කලින්
ද මේ විදිහට ඇය ඉල්ලා ගෙන කෙනෙකු මෙහි පැමිණ තිබේ. එදා ගිම්හාන් පැමිණි දා
ඇය මෙවන් යමක් අත්වින්දේ නැත. එදා ඇය බලා සිටියේ හිස් දෑසකිනි. විවාහය ගැන
තබා ප්‍රේමයක් ගැනවත් අල්ප මාත්‍රික හැඟීමක් එතැන නොවූ බව ඉඳුරා විශ්වාස ය.
“අනේ යශෝදර පුතා…එහෙම දෙයක් වෙන්න දෙන්නෙ කොහොමද…”

යමුනා වෙර දරා එසේ කියාගත්තා ය. ඇය තරමක භීතියකට පත්ව ඇති සේ
පෙනිණ.
“මාත් අම්ම කෙනෙක්. පුතාගෙ අම්ම කීයටවත් මෙහෙම දේකට ඉඩ දෙන එකක්
නෑ. මේ අසරණීට තවත් මේ දේවල් මත්තෙ දුක් විඳින්න අරින්න මට බෑ පුතා”
උගුර රිදෙන්නට ගත්තේ ඇයි දැයි සයුරංගනා නො දත්තා ය. ඇය කඳුළුත් එක්ක
සටනක් කළා ය. අතර මගදී ජයග්‍රහණ ද පරාජයන් ද එහි විය. යශෝදර පුටුවෙන්
නැගිට යමුනා වෙතට අඩියක් දෙකක් තබා ලං වූයේ ය.
“සයූට දුකක් දෙන්නෑ අම්මෙ. ඒ දෙන්නව ඇස් දෙක වගේ බලාගන්නව.
ගිම්හාන්ගෙ අප්පච්චිටත් මං ඒ පොරොන්දුව දීල තියෙන්නෙ. සයූ ගැන අමතර බරක්
අම්මලගෙ හිත් වල තියාගන්නෙපා. අනික…එයාට මනමාලයො හොයන්නත් ඕන නෑ.
ගිම්හාන්ගෙ අවුරුද්දෙ දානෙ වෙනකල් මට කල්දෙන්න”
සයුරංගනා තදින් යටිතොල් පට සපා ගත්තා ය. මිහිරත් දුකත් එක සයුරු දියක
කැළැතුණු ලවණ සේ අංශුමය මුහුවීමක් ඇති කරමින් පැවතිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles