පෙමාතුර – 02

0
3473
pemathura

තාත්තා ගේ මරණය තුළ, අම්මා ජීවිතයෙහි නිදහස ලැබුවා ය කියා මම සිතමි. මා එසේ කියන්නේ තාත්තා ජීවත් ව සිටියදී අම්මා ට සිර කාරියක ලෙස ජීවත් වන්නට සැලැස්වූ නිසා ය. තාත්තා ගේ අවසරයකින් තොර ව   අම්මා ට කිසි සේත් ගෙදරින් බැහැර යා හැකි නොවිණි. ඇයට යා යුතු ඕනෑ ම තැනකට ඔහු ඈ කැටුව ගියේ ය. නමුත් අම්මා ට තනිව කිසිදු තැනකට යා නො හැකි විය. අප සමගින් හෝ ඇයට ඒ සඳහා ඉඩ ලැබුණේ කලාතුරකිනි. 

තාත්තා අම්මා ව සැක කළා ද කියා මා දන්නේ නැත. ඇය රූමත් ස්ත්‍රියකි. නමුත් තාත්තා ට එහෙව් කඩවසම් පෙනුමක් තිබුණේ නැත. අම්මා වාගේ පෙනුමැති තැනැත්තියක් තාත්තා වාගේ කෙනෙකු හා විවාහ වන්නට හේතුව තාත්තා ගේ ධනය ය කියා කෙනෙකු සිතන්නට පුළුවන. නමුත් ඔහු මිය ගිය පසු අම්මා කීවේ තාත්තා ව්‍යාපාර වලින් දියුණු වූයේ විවාහයෙන් පසුව බවයි. 

“අපේ තාත්තල ඉස්සර ඉඳලම යමක් කමක් තිබුණ අය. අපි වැදගත් ෆැමිලි එකක් විදිහට තමයි හිටියෙ. තාත්ත අපි ඔක්කොමලම කොළඹ කොන්වන්ට් වලටයි බෝයිස්කූල්ස් වලටයි දාලයි ඉගැන්නුවෙ”

ඇගේ පවුල් පසුබිම ගැන කියත්දී අම්මා එසේ කියා තිබේ. තාත්තා සමගින් විවාහ වනවාට අම්මා ගේ පවුල තුලින් විරුද්ධතාවයක් ඇති වී ද ඇය සිය මතයේ ම එල්බ සිට කෙසේ හෝ තාත්තා සමග විවාහ වූ බව මා දැන ගත්තේත් අම්මා ගෙනි. ඇය එසේ කරන්නට ඇත්තේ තාත්තා කෙරේ බැඳුණු දැඩි සිතකින් යයි ඉතින් මා සිතිය යුතු ව තිබිණ. එසේ කළ ඇය ව ඔහු සිරකාරියක ලෙස තබා ගත්තේ ඇගේ රූපය හා ඇයට ඔහු ගේ වූ ආලය නිසා යයි සිතන්නට ද මම උත්සාහ කළෙමි. සැකයක් ගැන කිසි දා අම්මා කීවේ නැති බැවිනි.

තාත්තා මිය ගිය පසු අම්මා නිදහස් වූවා ය. ඒ නිදහස මම ඇගේ මුහුණෙන් දුටිමි. ඈ ඒ නිදහස භුක්ති වින්දේ සිතු සේ ගමන් බිමන් යාමෙනි. දශක කිහිපයක් තිස්සේ හිතේ හිර කර ගෙන උන් පීඩනයක් ඈ එසේ නිදහස් කරන්නට ඇත. වරක් නොව හතර පස් වතාවක් ම අම්මා දඹදිව ගියා ය. ඒ ගියේ අප කිසිවෙකු සමගින් නොව වන්දනා නඩ සමග ය. නඩේ ගුරාටත් වඩා දැන් ඒ ගමන ගැන අම්මා ට දැනුම හා අත්දැකීම් ඇති බව ද ඇය සිනහ වෙවී කීවා ය. ලංකාව තුළ ද වන්දනා ගමන් ලෙස යත හැකි සියලු තැන් දැක බලා ගන්නට ඇය ගියා ය. ඇය ට ඒ සඳහා ඕනෑ තරම් මුදල් ද තිබිණි. 

කෙසේ වෙතත් අම්මා තාත්තා සමග විවාහ වූයේ ඇය යොවුන් වියේදී හිත පැහැර ගත් පුද්ගලයා හේතුවක් නොකියා ම ඈ හැර ගිය නිසා යයි අම්මා විසින් හෙළි දරව් කරන ලද්දේ මේ මෑතක ය. ඒ, සනෝජා පුංචි හා නදීරා සිය හදවත පෑරුණ අවස්ථා ගැන විවෘත ලෙස කතා බහ කරමින් සිටිය වෙලාවක ය. 

ඒ මොහොතේ මගේ පපුවේ මැද ම හිර වූ ගුලියක් වන් දේ, නම නො දන්නා මගේ ඒක පාර්ශ්වික ප්‍රේමයේ හිමි කරු ව ඔහු ගේ පෙම්වතිය විසින් සිප ගනු ලබනු දුටු මොහොතේ ද මගේ පපුව හිර කළේ ය. 

“අම්මා”

උදේ තේ එක බොන අතරේ දී මා අම්මා ට කතා කළේ සැබෑ සහකම්පනයකින් යුතුව ය. ප්‍රේමයේ ප්‍රථම රිදුම මේ වන විට මම විඳිමින් සිටිමි. මීට දශක කිහිපයකට පෙර අම්මා ද ඒ රිදුම ම විඳ ගන්නට ඇත. ඒ රිදුම කෙතෙක් දරුනු වී ද යත් ඒ අමතක කරනු වස් අම්මා තාත්තා හා විවාහ වූ බව දැන් මට වටහා ගන්නට පුළුවන. 

“ඇයි කිසා…”

තේ බොමින් සිටි පුංචි ගේ හා නදීරා ගේ ද සිව් නෙත් මවෙත යොමු වී තිබිණ. මගේ හිතේ යමක් වන බව පෙර දා රාත්‍රියේ පටන් ම ඔවුන් ට දැනෙමින් තිබෙන්නට ඇත. මේ ගැහැනු හිත් අතර දැන් රහසක් නොමැති තරම ය. ඔවුහු ඔවුන් ගේ ඉතා ගැඹුරු වූ හැඟීම් පවා උනුන් ඉදිරියේ වමාරනා හැටි මම බලා සිට ඇත්තෙමි. ඒ නිසා මට යමක් කියන්නට අහන්නට තිබෙනවා නම් ඔවුන් ද අසලක සිටීම කිසි සේත් ගැටළුවක් නො වන බව මම දනිමි.

“අම්ම ආදරේ කරපු කෙනා…ඊට පස්සෙ කවදාකවත් අම්මට මීට් වුණේ නැද්ද…”

ඒ වගේ නිශ්ශ්බ්දතාවයක්, අප සිව් දෙනා ම හිඳිනා මොහොතක මීට පෙර ඇති වී තිබූ මතකයක් මට නැත. කෑලි කැපිය හැකි කළුවර යයි කියමනක් තිබේ. එසේ නම් මේ නිහැඬියාව කෑලි කැපිය හැකි නිහැඬියාවක් ලෙස හැඳින්වූවාට වරදක් නැත.

“කිසා ට හදිස්සියෙම එහෙම දෙයක් හිතුනෙ ඇයි…”

අම්මා ඇගේ මෘදු තානයෙන් ඇසුවා ය. මම ඇස් පිය නො සලා බලා සිටියෙමි. අම්මා තවමත් රූමත් ය. කිරි ගරුඬ ප්‍රතිමාවක් සිහි කරනා රූප සොබාවක් තවමත් ඇය සන්තක වේ. කෙබඳු දුෂ්කර ප්‍රශ්නයක් අභිමුව වුව ඇගේ මේ හඬ තානය ද වෙනස් වෙනවා ඒ හැටි මා දැක නැත. ඒ තරමට හැඟීම් ගිල ගෙන ඉන්නට අම්මා ඉගෙන ගත්තේ කවර තක්සලාවකින් ද කියා නම් මම නො දනිමි. 

“නිකං…අම්මට එයාව මතක් වෙලා නැද්ද…එයාටත් ආයෙ කවදාවත් අම්මව මතක් වුණෙ නැද්ද…තාත්තව බැන්දයි කියල…එයාව අමතක කරල දාන්න අම්මට පුළුවන් වුණාද…”

අම්මා සුසුමක් හෙළුවා ය. නමුත් ඇගේ සන්සුන් මඳහස නො වෙනස් ව ඒ මුහුණ මත විය.

“කෙනෙක්ව අමතක කරන්න කියල තව කෙනෙක්ව බඳින එක විහිළුවක් කියල මට තේරෙන්න ගත්තෙ කල් ගත වෙනකොට කිසා. එහෙම දැනෙන්න දැනෙන්න මං කළේ තාත්තට තව තවත් ආදරේ කරන එක. එයා වෙනුවෙන් කැප වෙන එක. ඒක කොහොම කැප වීමක් ද…එයාට දාසි වගේ අතට පයට හැම දේම කරල දුන්නෙ මං. ඔයා විශ්වාස කරයිද දන්නෑ. මාව බැන්දට පස්සෙ තාත්ත අතේ ඇඟිලි ගාණ තරමටවත් වාර ගණනක් එයාගෙ මේස් දා ගත්තයි කියල මං හිතන්නෑ. හැම දාම එයාගෙ මේස් දෙක පවා දැම්මෙ මං…”

“අම්ම…”

නැවතත් අර පපුවේ හිර වීම සංවේදනය විය. මම අසීරුවෙන් හුස්ම ගත්තෙමි. ප්‍රේමය අහිමි වූ කල ගැහැනියකට එහෙව් පරිත්‍යාගයක් කළ හැකි වන්නේ ද? මට නම් නො හැකි වනු ඇත. නමුත් මගේ අම්මා එසේ කොට තිබේ. ඇය අසත්‍යවාදී ගැහැනියක නොවන නිසාවෙන් මේ කතාවේ අතිශයෝක්තියක් ඇත කියා සිතන්නට ද නො හැකි ය.

“ඒ කියන්නෙ…එයාව අමතක වුණා…”

මට දැන ගන්නට ඕනෑ වූයේ එය ය. මගේ යටි අරමුණ කුමක් විය හැකි ද? ඊයේ වැහි බර සන්ධ්‍යාවේ මසිත වියවුල් කළ නන්නාඳුනන පුරුෂයා අමතක කර දමන්නට මට හැකි වනු ඇත්ද කියා සහතික කර ගැනීම ද?

“ආදරයක් කියන්නෙ එහෙම අමතක වෙන දෙයක් නෙවෙයි කිසා. හැම මොහොතකම මගෙ හිතේ එක ප්‍රශ්නයක් තිබුණා. මං එච්චර ආදරේ කරද්දි එයා මට හේතුවක් නොකියම යන්න ගියේ ඇයි කියන එක. කවදහරි දවසක ඒ ප්‍රශ්නෙට උත්තරේ දැන ගන්න මට එයාව හම්බ වෙනවනං කියන හිතිවිල්ලත් නොකඩවා හැම දාම මගෙ හිතේ තියෙන්න ඇති. මගෙ ඒ බලාපොරොත්තුවත් ඉෂ්ට වුණා දවසක්. තාත්ත නැති වෙන්න අවුරුදු දෙකකට විතර කලින් එයාගෙන් කෝල් එකක් ආව ගෙදර ෆෝන් එකට. ඒ වෙලාවෙ ෆෝන් එක ගත්තෙ මං. එයා මට කිව්ව කැනඩා වල ඉඳලයි කතා කරන්නෙ. එයාලගෙ ෆන්ඩ් එකකින් සල්ලි වගයක් එවන්න මට පුළුවන් ද ඒක සුදුසු අයට සුදුසු විදිහට බෙදල දෙන්න කියල. පළවෙනි වචනෙන් දෙකෙන්ම මං එයාගෙ වොයිස් එක ඇඳිරුව. මං ඇහුව මේ සිදත් නේද කියල. එයා පුදුම වුණා මං අඳුර ගත්ත එක ගැන. මාව ගැහෙනව ඒ වෙලාවෙ. තාත්ත ගෙදර හිටියෙ නැති නිසයි මට කතා කරන්න පුළුවන් වුණේ. මං එයාගෙං ඇහුව කාලයක් අහන්න ඕන වෙලා තිබුණ ප්‍රශ්නෙ. එයා කිව්ව ඒ තත්වෙං එයා ඇවිත් අපේ ගෙදරින් මං ගැන ඇහුවනං කීයටවත් කැමති වෙන්නෑ කියල දන්න නිසා එයා ඒ තීරණේ ගත්ත කියල. එතකොට මං ඕලෙවල්ස් කරන කෙල්ල. එයා කැම්පස් එකේ ෆයිනල් ඉයර් හිටියෙ. අපේ ෆැමිලි එකේ තත්වෙ ගැන බය වුණ නිසා තමයි එයා රට ගිහිං තියෙන්නෙ උපාධිය ගත්ත ගමන්. මාව තාත්තගෙං ඉල්ලන්න සුදුසු පුද්ගලයෙක් වෙලා එන්නලු එයා ගියේ. ඒත්…එහෙම එයා එද්දි ආරංචි වුණාලු මං මැරි කරල පුතෙකුත් ඉන්නව කියල”

මගේ ඇස් දෙක ගිනි ගන්නා සෙයින් දැවිණි. මම වේගයෙන් ඇස් පිය සලමින් කඳුළු වලකා ගතිමි. ආදරය කියන්නේ සෙල්ලමක් ද කියා මට සිතෙනා එක නතර කර ගන්නේ කෙසේද? අම්මා ගේ ආදරය ඇගේ ජීවිතයත් එක්ක සෙල්ලම් කොට තිබේ. මගේ ආදරය ද මගේ ජීවිතයත් එක්ක දැනටමත් හොඳ සෙල්ලමක් කොට හමාර ය. 

“ඒ ගමන එයා මාව මුණ ගැහිල නෑ. කොහොම හරි මේ දේ කියා ගන්නකල් එයාගෙත් හිත වද දුන්න නිසා කාලයක් තිස්සෙ ම අපේ ෆෝන් නම්බර් එක හොයල. හම්බ වුණාට පස්සෙ ගත්තු කිසිම වෙලාවක මං ආන්සර් කළේ නෑලු. තාත්ත ඉන්න කාලෙ ඔය ෆෝන් එකට ආන්සර් කරන්නවත් මට ඉඩ දීල නෑනෙ. කොහොම හරි ඒ කතා බහෙන් පස්සෙ මගෙ හිත සැහැල්ලු වුණා. එයා ගැන මගෙ හිතේ තිබුණ මිස් අන්ඩස්ටෑන්ඩිංස් නැති වෙලා ගියා. එයා මට කතා කළා නේද කියන සතුට ඊට පස්සෙ අනිත් හැම දේටම වඩා මාව සතුටෙන් තිබ්බා”

“ඉතිං…ඊට පස්සෙ එයා අම්මට කතා කළේ නැද්ද…තාත්ත නැති වුණාට පස්සෙවත්…”

මා ඇසුවේ ඇසිය යුතු ප්‍රශ්නයක් ද කියා සිහි වූයේ ඇසුවාට පසු ය. එය අනවශ්‍ය ලෙස අම්මා ගේ පෞද්ගලිකත්වයට අත පොවනා ප්‍රශ්නයක් වන්නට බැරි ද නැත.

“නෑ..”

ඇය සුසුමකින් කීවා ය. 

“එදා ඒ වෙලාවෙම එයා කිව්ව ආයෙ කතා කරන්නෙ නෑ කියල”

අම්මා ගේ ඇස් වල මම පරණ නොවූ ආදරයක් දුටිමි. ඒ කියන්නේ ආදරය කිසි දා කල් ඉකුත් නො වන්නේ ද? තාත්තා ගැන කතා කරනා කිසිදු අවස්ථාවක අම්මා ගේ ඇස් වල මම ඔය දැන් තිබෙනා දීප්තිය දැක නොමැත්තෙමි. මින් මතු කිසි දාක මගේ ඇස් වල දීප්තියක් දැකිය නො හැකි වනු ඇත් ද යන හැඟීම භීතියක් දනවමින් ගින්දරක් සේ අන්නස්‍රෝතය දිග ආමාශය තෙක් ගිලා බසිනු දැනිණ. 

“මං යනව බුදුන් වඳින්න”

කියා ගෙන අම්මා කෑම මේසයෙන් නැගිට ගත්තා ය. සනෝජා පුංචි හෝ නදීරා කිසිත් ගැන කිසිත් කීවේ නැත. ඇසුවේත් නැත. නමුත් ඔවුන් යමක් සිතනා බව මම දනිමි. ඊයේ සැඳෑවේ සිට ඔවුන් මවෙතින් දුටු වෙනස හා දැන් මේ කළ ප්‍රශ්න කිරීම් අතරේ යම් සම්බන්ධයක් ගලපා ගන්නට ඔවුන් උත්සුක වන්නට ඇත. ඇතැම් විට එසේ නො කරන්නට ද ඇත. කෙසේ වෙතත් වාචික පොරොන්දුවක් නොවූ යම් එකඟතාවයක් අප අතරේ තිබිණ. එනම් කෙනෙකු ස්ව කැමැත්තෙන් කියනා තෙක් ඇගේ පෞද්ගලිකත්වය හාරා අවුස්සා නො විමසීම ය. ඒ එකඟතාවය මත ඔවුන් මගෙන් කිසිවක් නො විමසන බව මම දැන සිටියෙමි. එය මට සහනයක් ද විය. ඒ, කියන්නට කතාවක් මට නොවන නිසා ය. වෙනත් කෙනෙකු ගේ පෙම්වතෙකු ගැන මගේ හිතේ ආදරයක් ඇති වී තිබෙනවා කියන කාරණයට වටිනා කමක් නොමැත්තේ ය. ක්‍රියාවක් බවට පත් නොවන තාක් කල් හැඟීම් යනු වටිනාකමක් නොවන දෙයක් වන නිසා ය.

“ආදරේ කියන දේ ගැන බරපතල විදිහට හිතන්න යන්න එපා කිසා”

සනෝජා පුංචි ඉතා සැහැල්ලු ලෙස ඉතාමත් බරපතල කාරණයක්, මුදු මඳහසකින් කීවා ය.

“ඒ මොකද කියනවනං ඔය ආදරේ කියන දේ කිසිම විදිහකින් දෙන්නෙකුට එක වගේ සලකන්නෙ නෑ. එක එක්කෙනාට එක එක විදිහයි. ඒක නිසා කෙනෙකුගෙ ආදර කතාවක් ගැන අහල බය වෙන එක මෝඩ වැඩක්. බලාගෙන යනකොට අනෝජා අක්කට අතර මගක මග ඇරුණත් ආදරේ කියන දේ ලැබිල තියෙනව. ඔයා දන්නවනෙ…මට නං ඒක හිවල් හම පොරෝ ගත්ත බැටළුවෙක් විතරයි”

එසේ කියා පුංචි ද නැගිට ගියා ය. මඳ වෙලාවක් මදෙස බලා ගෙන ම උන් නදීරා, ඇය එතෙක් හිඳ උන් ඈත පුටුවෙන් නැගිට මගේ ළඟ පුටුවට විත් අසුන් ගත්තා ය.

“කිසා”

ඈ මා ඇමතුවේ වැඩිහිටියෙකු මතු නොව සම වයස් යෙහෙළියක සේ ය. කොහොමටත්, පුංචි ගේ යෙහෙළියක වූවා ට මා කිසි දා ඇය ට පුංචි හෝ ආන්ටි ලෙස අමතා නැත. ඇගෙන් විද්‍යමාන වන තරුණ පෙනුම හා නැවුම් අදහස්, කිසි දා මට එසේ කරන්නට ඉඩ දුන්නේ නැත. සාමාන්‍යයෙන් ආමන්ත්‍රණයකින් තොර ව ඇය අමතන මම, ඉඳ හිට අක්කා කියා කතා කොට ඇත්තෙමි. 

“කිසා මමත් ඩිවෝස් වෙච්ච ගෑනියෙක් තමයි. ඒ මං හෙව්ව ආදරේ මගෙ මැරේජ් එක ඇතුළෙ තිබුණෙ නැති නිසා. ඒත් ආදරේ තියෙනව කිසා. මේ හැම තැන ම තියෙන්න පුළුවන්. අඳුර ගන්න එකයි කරන්න ටිකක් අමාරු. මොකද අනාදරේ වුණත් එන්නෙ ආදරේ වෙස් මූණ දාගෙන. රැවටිලා ඒක අයිති කරගත්තට පස්සෙ…වෙස් මූණු ගැලවිලා යද්දි අපිට තේරෙන්න ගන්නව. අපිට එතකොට දුක දැනෙනව. හැබැයි හිමිකමක් නැතිම වුණත් කමක් නෑ…එක වතාවකට හරි ආදරේ හම්බ වුණානං..අන්න ඒ මාර ෆීලින් එක තුරුල් කරං මැරෙන්න වුණත් පුළුවන් කිසා. ඒක හරිම අනුරාගී හැඟීමක්. ඔයා ඒක දැක්කෙ නැද්ද අනෝජා අක්කගෙ මූණෙං..එයාට ඒ සැනසිල්ල තියෙනව. ආදරේ කියන්නෙ පුදුම සුන්දර අනුරාගයක් කිසා. හරි උණුහුම් හැඟීමක්. හැබෑ ආදරේ කියන්නෙ එක්තරා විදිහක ප්‍රඥාව පහල වීමක්. බය වෙන්න එපා. ආදරේ අයිති වෙන්නැති වෙන්න පුළුවන්. ඒත් වැඩිය වැදගත් වෙන්නෙ ඔයා ඒ ෆීලින් එක විඳ ගන්න එකයි”

ඇගේ අදහස, ආදරය ගැන මගේ හැඟීම හා බොහෝ දුරට සසැඳුණේ ය. ආදරය දුකක් නම්, එක ම වතාවකට හෝ හිතේ හැටියට ඒ දුක විඳ ගත යුතු ය කියා මම ද සිතමි. 

ඒ උදයේ මා සඳැල්ලට වූයේ සියල් ශෝක අංශූන් හිතේ කොනකට කරමිනි. වෙනදා සේ මා දුටු ගමන් මගහැර ඇතුළට වැදෙන්නට ඔහු ට අමතක වෙන්නට ඇත. තත්පර ගණනාවකට අපේ සිව් නෙත් එක රේඛාවක සමපාත ව තිබිණි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here