පෙමාතුර -44

ඉනික්බිති දවස් ගෙවුණේ ඉතා හෙමිහිට ය. සුළඟක් හෝ හැමුවේ නැති මිදුලක් සේ හිත නිසොල්මන් විය. ගලමින් සිටි ගඟක් අවුරා වේල්ලක් බැඳි කලෙක සේ ඒ ගඟ තව දුරටත් නො ගලා අතුරුදන් විය. සුසුම් සේ ම කඳුළු ත් මගේ ඇතුළාන්තයට සීමා විය. 

කාලය ඕනෑ තරම් තිබුණත් වැඩක් සඳහා හිත යොමු කරන්නට තරම් මා නිදහස් නොවූ බව නම් කිව යුතු ය. තත්පර,විනාඩි, හෝරා හා දවස් ලෙස කාලය නිකරුණේ අපතේ ගියේ ය. එසේ ගෙවී යන කාලය ගැන විටෙක හදෙහි විස්සෝපයක් ඇති විය. නමුත් මට කළ හැකි යමක් වූයේ නැත. බලහත්කාරයෙන් කිසිවක් කළ නො හැකි ය.  නිකං බලා සිටීම හැරුණ කොට මට යථා තත්වයට පත් විය හැකි වෙන මාර්ගයක් නැති බව මම ම පසක් කොට ගතිමි. ඒ නිසා යමකට හිත යොමු කිරීමේ ඇල්මක් හදවතින් ම පැන නැගෙන තෙක් ඒ අලස සුවයෙහි නිමග්න ව හිඳීමට හිත හදා ගත යුතු ව තිබිණ.

විසල් මල්වැන්න යනු අපේ ගෙදර වාචික එකඟතාවයකින් තොර තහනම් වචනය වූයේ ය. කිසිවෙකු මා සිටිනා තැනෙක නම් ඔහු ගැන කතා කළේ නැත. එසේ වූවා කියා ඇට මස් ලේ නහර වලට ම කිඳා බැස්සා වූ පුද්ගලයෙකු හෝ හැඟීමක් ලෙහෙසියෙන් අමතක ව යන්නේ නොවේ. මම ඔහු ව පපුව මැද තබා ගෙන ම හුස්ම ගත්තෙමි. එය සාමාන්‍ය තත්වයට වඩා බරකි. වෙහෙසකි. ඉතින් පිටත සන්සුන් විය. කුණාටු සුළි සුළං තිබුණේ ඇතුළත ය.

විරංග වඩ වඩාත් මට ලං වූ බවක් දැනිණ. අපි පෙර දී ට වඩා මුණ ගැහුණෙමු. ඔහු ගේ සමාගමය මට සැහැල්ලුවක් විය. ඔහු ළඟ මට සිනහ විය හැකි විය. මහ කණදරා වැව තරම් දුක් කඳක් ඇතුළත වූවාට, සූරියකාන්ත මලක් සේ ඔහු ළඟ මට සිනහ වෙවී සිටිත හැකි විය. 

“මං දන්නව තාම අළු යට ගින්දර තියනව කියල”

අප අවන් හලක සිසිල් කළ  චොක්ලට් බීම බොමින් සිටිනාතර වරක් විරංග කීවේ ය. මම විදුලි වේගයෙන් ඔහු ගේ මූණ දෙස බැලුවෙමි. ඔහු වෙත වූයේ මුණිවර ශාන්තියකි. ඒ ශාන්තිදායක බව මගේ කලබලකාරී සිත නිවන ලදී. 

“ඒව ඔහොමම නිවිල ගියාවෙ. ඔයා විසල්ට ගොඩක් ආදරේ කළා කියල මං දන්නව. මගෙ හැම බලාපොරොත්තුවක් ම අකුලගෙන මං පැත්තකට වුණා කියලත් ඔයා දන්නවනෙ…”

“තෑන්ක් කරන්න බෑ විරංග. ඒ හැම තැනකම හෙවනැල්ලක් වගේ ඔයා මං ළඟ හිටියා”

“හිත තව ටිකක් හැදුනට පස්සෙ…අපි මැරි කරමුද…ම්…”

ඔහු කවදත් කෙලින් ප්‍රශ්න ඇසු, කෙලින් පිළිතුරු දුන් අවංක මිනිසෙකි කවර තත්ව යටතේ වී ද කොන්දේසි විරහිත ව මා දරා ගත් මිනිසෙකි. ජීවිත ගමනේ සියලු නිමේශයන් හි මගේ පසෙකින් සිටිත හැකි කෙනෙකු බව ද මම දනිමි. නමුත් මට ඔහු ට පෙම් කළ නො හැක. 

ශීතල වීදුරුවේ පිටතින් බැඳුණ පිනි වාෂ්පය මත මම අතැඟිල්ලෙන් රේඛා ඇන්දෙමි. ඒ පිනි බිඳක් දිය බින්දුවක් ලෙස ඝනීභවනය වන්නා සේ මගේ හිත ද බර වෙමින් තිබිණ. විරංග වූ කලී අප්‍රමාණ මිනිසෙකි. නමුත් කිසි දාක ඔහු මගේ ජීවිතය බෙදා ගන්නා සහකරු ලෙස පිළිගන්නට සූදානමක් මහදෙහි නොවන්නේ ය.

“විරංග”

මම ඉතාමත් මුදු හඬකින් මුණිවත බින්දෙමි. නමුත් ස්වර තන්ත්‍ර අසීමිත ලෙස කම්පනය වූයේ ය. 

“ඔයාව මට ගොඩාක් වටිනව. මං ඔයාට හුඟක් ආදරෙයි. ඒත් එතන තියෙන්නෙ මං විසල්ට කරපු ආදරේ නෙවෙයි”

බෝ දිනකින් විසල් ගේ නම වුව මගෙන් කියවුණේ ඒ මොහොතේ ය.

“මං තව දුරටත් විසල් මත්තෙ ජීවත් වෙන්නෙ නෑ කියල ඔයා දන්නව. එහෙම දුර්වල කෙල්ලෙක් නෙවෙයි මං. එයාව කසාද බැඳ ගන්න ඕන වුණානං මං දමල ගහල ලංකාවෙන් යන්නෙ නෑ. මෙසේජ් එකක්වත් නොතියා අතුරුදන් වෙන්නෙ නෑ. මං එනව කිව්වනං එයා සංසාරයක් බලං ඉඳියි. ඒක දන්න නිසයි මං එහෙම ඉඟියක්වත් දුන්නෙ නැත්තෙ”

ඇස් තෙත් වී ගෙන ද උගුර රිදී ගෙන ද ආවේ ය. හුස්ම අවහිර වන බවක් දැනුණෙන් මම මුව මඳක් විවර කොට හුස්මක් ගතිමි.

“එයාට අම්මගෙන් බලපෑම් තියන බව මං දැනං හිටිය. හාට් පේශන්ට් කෙනෙක් විදිහට…එයා අම්මව තවත් මරණයට ලං කරන්න ඕනද….කෙනෙකුට තර්ක කරන්න පුළුවන් අම්ම මොනා කිව්වත් මට ආදරේනං මාව තෝර ගන්න ඕනයි කියල. ඇයි එහෙම කරන්නෙ…මං හිතුවෙ මගෙ අම්ම ගැන. මට අම්ම ඒ තරං තදින් විරුද්ද වුණනං මගෙ තෝර ගැනීමට…අම්ම මැරුණත් විසල්ව අත් අරින්න බඋ කියල මං එයාව බඳීද..නෑ විරංග. කවදාවත් නෑ. මොකද…මං දන්නව අයිති කර ගත්තෙ නෑ කියල ආදරේ කියන හැඟීම මගෙන් දුරස් වෙන්නෙ නෑ කියල. මං දන්නව ආදරේ කියන්නෙ අයිති කර ගන්න එකටමයි කියල. අයිති වෙන්න පුළුවන් නං හොඳයි. එකට මේ ගමන යන්න පුළුවන් නං හොඳයි. බැරිනං මොකද කරන්නෙ…නේද…”

අමාරුවෙන් දරා ගෙන උන් කඳුළක්, ගිලිහී වැටෙන්නට පෙර මම ඇස් මත්තේ ම ගබ් සා කළෙමි. මේ වගේ මොහොතකත් සිනහ වෙන්නට හැකි වූයේ කෙසේ ද කියා නම් නො දනිමි.

“මං හිටියනං…විසල්ට කවදාවත් ඔය තීරණේ ගන්න බෑ. ඒත් මගෙ හිතේ බලාපොරොත්තුවක් තිබුණෙ නෑ කියන්න බෑ. එයා මං වෙනුවෙන් බලං ඉඳියි කියල මං හිතුව. හැබැයි එයා එහෙම නොකළ එක ගැන මට තරහ ගන්න බෑ. එයාට එහෙම කරන්න පාර හදලයි මං යන්න ගියේ. 

එයා එහෙම කරන්න ඕන විරංග. ඒ අම්මට ඉන්නෙ ඒ පුතා විතරයි. අඩුම ගානෙ..මේ ප්‍රශ්න නිසාම ඒ අම්ම හාට් පේශන්ට් කෙනෙක් වුණ නිසාවත්..එයාට ඒ වගකීමෙන් නිදහස් වෙන්න බෑ. ඒ නිදහස එයාට දීල තමයි මං ගියේ. දුක නෑ කියන්න බෑ. ඒත් මට සැනසීමයි විරංග. ඔයා දන්නවද…අපි බැන්දම කියමු…ඒත් මේ තත්වෙත් එක්ක සතුටෙන් ඉන්න අපිට පුළුවන් වෙයිද…විසල් ගෙ අම්මල ඒ රිලේශන්ස්ල ඒකට ඉඩ දෙයිද…අර අහිංසකයගෙ ඔළුව කන එකක් නැද්ද…ඒක නිසා…මේක තමයි විරංග ඒක වෙන්න තිබුණ හොඳම විදිහ. මොකද…විසල් ඉෂිනිව බැන්දයි කියල මගෙ හිතේ ආදරේ මැරිල ගිහින් නෑ”

විසල් ද මට ආදරය කරනා බවක් මම විරංග ට නො කීවෙමි. යම් කිසි ලෙසකින් ඔහු එය වරදවා වටහා ගන්නට බැරි නැත.

“ඊළඟට ඔයාගෙ තැනට ආවොත්…හරි අපි බැන්දා කියමු. කාව බැන්දත් මන් දන්නව විරංග මං හිතෙන් ආදරේ කරන්නෙ එයාට කියල. මේ ලෝකෙ හුඟක් ගෑනු පිරිමි එහෙමයි. කෙනෙකුට ආදරේ කරන ගමන් තව කෙනෙක් එක්ක ජීවත් වෙනව. ආසාවට නෙවෙයි. වෙන මොනා කරන්නද ඉතිං. මං කියන්නෑ මං බඳින්නෙ නෑ කියල. බඳියි කාව හරි. හැබැයි දැම්ම නෙවේ”

“මට පුළුවන් බලං ඉන්න. මට කිසි හදිස්සියක් නෑ කිසා”

විරංග ඉක්මන් කොට කීවේ ය. මම මුදු මඳහසක් පෑවෙමි. දෙවියනි ඔහු කෙතරම් නම් අහිංසක ද? 

“ඒ ඔයා වෙන්න ඕන නෑ විරංග. මං විසල් එක්ක ඒ මනුස්සයව කම්පෙයා කරයි. වැඩි දවස් නොයා මට ඒ මනුස්සය රුස්සන්නැතුව යයි. අපි නිකං දන්නැති අඳුනන්නැති මිනිස්සු වගේ ජීවත් වෙයි. වැඩි දවසක් එහෙම ඉන්න බෑ කියල දැනුණොත් දමල ගහල වෙන් වෙයි. අන්න එතනදි…ඒ ඔයා වුණොත් මට ඔයත් නැති වෙයි”

මම මොහොතකට නතර වී විරංග දෙස බැලුවෙමි. ඔහු ඇස පිය නො සලා මදෙස බලා ගෙන ම සිටියේ ය. පපුවේ පේෂින් පෙරළෙනවා මට දැනිණ. ජීවත් වෙන්නට ඇති ඩිංගට ඉරණම අප වෙත පමුණුවන්නා වූ දඬුවම් අපට ඔරොත්තු නො දෙනා තරම් ය!

“මං කොහොමද විරංග මගෙ දුක වුණත් ඔයාට පෙන්නන්නෙ…ඔයා මේ තරං කැප කිරීමක් මං වෙනුවෙන් කරල තියෙද්දි…ඒත් මං ඔයාට ආදරේ වෙන්නැති වෙනකොට…ඒ වෙනස්කම් ඔයා කොහොම දරා ගන්නද…මං කොහොම දරා ගන්නද…මං ඔයාව දාල යන්නද…එහෙම කරල සැනසීමක් ලබන්න මට පුළුවන් වෙයිද…අනේ අපි එහෙම නොකර ඉමු විරංග”

මගේ හඬ ඉකි බිඳුම් සරක් සේ මට ඇසිණි. නමුත් ඇහැට කඳුළක් උණා තිබුණේ නැත.

“මට ඔයා ඕන විරංග. මේ වගේ මහා විපත්තියකදි ඔයාගෙ උරහිස තිබුණ එක මට කොච්චර හයියක් වුණාද…මෙතනින් හැම දේම ඉවර වෙන්නෙ නෑනෙ විරංග. කවුද දන්නෙ ඉස්සරහට තව මොනා වෙන්න නියමිතද  කියල. ඒ වෙලාවටත් ඔයා මට ඉන්න ඕන. ඔයා මට ඉතුරු වෙලා ඉන්න ඕන..ඒක නිසා අපි කවදාවත් මෙතනින් එහාට අඩිය තියන්න ඕන නෑ”

ඔහු දිගු සුසුමක් හෙළුවේ ය. මට නම් දැනුණේ පුදුම සැනසිලි සුවයකි. ආයේ කිසි දා ක විරංග ඒ යෝජනාව මවෙත ගෙන නො එනු ඇත. 

අවන්හල් මේසය මැද වූ දුරස්ථ පාලකය ගෙන ඔහු අසුනින් නැගී සිටියේ ය.

“හරි. ඔයා වැටෙන ඕන වෙලාවක වැටෙන්න නොදී අල්ලගන්න බලා ගෙන මං ඉන්නං”

එය පොරොන්දුවකි. ඒ පොරොන්දුව සදාකාලික එකක් විය හැකැයි මට සිතිණ. 

මම ටික ටික යථා තත්වයට පත් වන්නට වූයෙමු. අතර මග නතර කොට තිබූ ප්‍රේමයේ ගැඹුරු සංවේදනාවන් ගැන ඉන්දියාවේ දී ලියන්නට ගත් නවකතාව යළි මුල සිට කියවා ඉතිරිය සම්පූර්ණ කරන්නට පටන් ගතිමි. භාවනාවකට සම වැදුණ සෙයින් ලියා ගෙන යත්දී, මා ලීවේ හදවතේ කොැනකින් ගලා ආ සිතිවිලි ද කියා හෝ නො දනිමි. සමහර විට මා ඒවා සොයා ගත්තේ හදවත මැද වන සුව නොවන තුවාලය පාරා හාරා ව්ය යුතු ය. 

මට විසල් අමතක වූවා නොවේ. දවසාවසන මා දෑස් පියා ගත්තේත් උදේ යළි ඇස් ඇරියේ ත් ඔහු ගැන සිතිවිලි වලිනි. හැම හුස්මක ම වෙලී ඔහු සිටියේ ය. මා වෙත අවතීරණ විය හැකි සියලු මාර්ග ද මා ඔහු ට වසා දැමුවා නොවේ. පැරණි දුරකතන අංකයත් විද්‍යුත් ලිපිනයත් නො වෙනස් ව තිබිණ. විසල් ගේ නමින් ඒ කවරක් හෝ මිණිවත බිඳින තෙක් මගේ යටි හිත රහසිගත ව බලා නො සිටියායි නො කිව හැක. නමුත් ඒ කිසිදු මාර්ගයකින් ඔහු අවතීර්ණ වූයේ නැත.ඒ නිසා මම තව තවත් ඒ පාළු වීදිය දිගේ ඇවිද යන්නට වූයෙමි. 

ඒ වගේ හැඟීමක් විස්තර කළ යුතු හොඳ ම ආකාරය ගැන මට අවබෝධයක් නැත්තා සේ ය. එය හරියට සීත කාලයක දී වසන්තයක් ගැන දකිනා හීනයක් වගේ දෙයකි. 

නමුත් ජීවත් වන්නට කෙනෙකුට කුඩා හෝ බලාපොරොත්තුවක් අවැසි ය. එය කිසි දා ඉටු නොවෙනා බලාපොරොත්තුවක් වන්නට පුළුවන. නමුත් පහන් සිලක් සේ සැලි සැලී හෝ පවතින්නට එවැන්නක් අවැසි ම ය. 

ඉන්දියාවේ දී ලත් අත්දැකීම් අඅසුරෙන් මම පුවත් පත් කිහිපයකට කෙටි කතා දෙක තුනක් ලීවෙමි. ඒ හැරෙන්නට ඵලදායී යමක් කියා දෙයක් මේ කාලයේ දී මගෙන් වූයේ ම නැත. කෙසේ හෝ කාල තරණයක් සඳහා දීර්ඝ වූ හේමන්ත නිද්‍රාවක් වුව අවශ්‍ය වේ.

“ඉෂිනි කෝල් කළානෙ”

කියාගෙන, දොරකඩ නැවතූ ස්කූටියෙන් බැස කලබලකාරී ලෙස නදීරා ගේ දෙසට ඉක්මන් ගමනින් ආ ඒ සන්ධ්‍යාව මගේ මනසේ ඇඳී තිබෙන්නේ ඈත යුගයක දුටු සිනමා පටයක එක දර්ශනයක් සේ ය. ඇය කතා කළේ ඇයි කියන කාරණය ඇතුළාන්තයේ සුළි කුණාටුවක් නංවත්දී මම ඊළඟ ජවනිකාව බලාපොරොත්තුවෙන් නිසොල්මනේ බලා සිටියෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

(අ)හිමි සිහින -233

අද විශේෂ දවසක්. ඔබ එක්ක මගේ ජීවිත කතාව මේ අවුරුද්ද පුරා මම බෙදාගත්තා. අනේක හැලහැප්පීම් කඩාවැටීම් නැගීසිටීම් දරාගැනීම් එක්ක ආපු මගේ ජීවිතබ්කතාවේ...

නිබ්බුත ගීත -30

මල්ලී හා මා අතරේ වසර තුනක පමණ වයස් පරතරයක් වේ. ඒ නිසා මා කුඩා කල පවා මට ඔහු දැනුණේ කුඩා දරුවෙකු සේ...

නිබ්බුත ගීත -29

මේ ජීවිතයට මම අතිශය ආදරය කරමි. ජීවත් වූ මේ කෙටි කාලයට ජීවිත සිය ගණනක් ජීවත් වූවා සේ මට දැනේ. එය දුක ද...

සුහදිනි – 78

ජය ඝෝෂා නැඟෙමින් තිබුණේ පරාජය පිළි නොගන්නා රසිකයන්ගෙනි.හඹා යා යුතු ඉලක්කය දිගු දුර එකකි.එහෙත් එය නොහැකි ඉලක්කයක් ද නොවේ.අහස් තමන්ගේ ඉනිම ඇරඹුවේ...

(අ)හිමි සිහින -232

මිනිස්සුන්ට විවිධ අදහස් මති මතාන්තර තියෙන්න පුලුවන්.ඒ මිනිස්සු රූපයෙන් පමණක් නොවෙයි අධ්‍යාපනයෙන් ආධ්‍යාත්මයෙන් මනුෂ්‍යත්වයෙන් ධනයෙන් බලයෙන් යසසින් ආදරයෙන්, කරුණාවෙන් වගේ  සියලු දෙයින්...