පෙමාතුර – 45

‘ඉෂිනි කෝල් කළා’ යන ආරංචිය මටත් වඩා අම්මා ට හා පුංචී ට ප්‍රහේළිකාවක් වූ සෙයින්, ඔවුහු සිය හිස් කොටු සහිත ප්‍රශ්නාර්ථ මුහුණු කැටිව ආලින්දයට පැමිණ සිටියහ. මීට පෙර ඉෂිනි හා නදීරා අතරේ දුරකතනය ඔස්සේ සම්බන්ධතාවයක් වූවා ද කියන්නට මා දන්නේ නැත. සමහර විට එසේ වන්නට ඇත. මුලින් නදීරා ගේ රූපලාවන්‍යාගාරයේ පාරිභෝගිකයෙකු වූ ඉෂිනි, පසුව ඇගේ මිතුරියක වූවා ය. ඉන් අනතුරුව ඇය ට නදීරා සිය සැලෝන් එකේ රූපලාවන්‍ය ශිල්පිනියක ලෙස රැකියාවක් ද දුන්නා ය.  ඉෂිනි අපේ ගෙදරට ආවේත්, පසුව අපේ ගෙදර නවාතැන් ගත්තේත් ඒ හිතවත්කම් මත ය. ඉතින් විවාහයෙන් පසු නුවර නතර වූවා කියා ඔවුන් අතර හිතවත්කම නතර වන්නට ඇත කියා සිතිය නො හැකි ය. මගේ හිත රිදේ යයි බියට ඇය ඒවා මට ඇහෙන්නට නො කියා සිටියා වන්නට බැරි ද?

අම්මා ට හා පුංචි ට කලින් ම නදීරා සෝෆාවෙහි හිඳ ගත්තෙන්, ඔවුන් දෙදෙනා විත් ඈ ඉදිරියේ අසුන් ගත්හ. මම කොහොමත් අසුන් ගත වී අන්තර්ජාලයෙහි සැරිසරමින් සිටියෙමි.

“ඉෂිනි විසල්ගෙන් ඩිවෝස් එක ඉල්ලල නඩු දාල”

“මොකක්…”

ඒ වාක්‍ය ඛණ්ඩ දෙක කොයි තරම් ලොකු භූමි කම්පාවක් මා තුළ ඇති කළේ ද යත් තත්පර ගණනාවක් යන තෙක් කම්පන තරංග දුරට විහිද යන්නට විය. 

“පිස්සුද ඒ ගෑනිට..”

පුංචා සිය කෝපය වචන වල දවටා දමා ගැසුවා ය.

“මෙච්චර ඉක්මනට ඇයි එහෙම දෙයක් කරන්නෙ…ඊටත් වඩා ඔච්චර දඟලල ඒ කොල්ලව බැඳ ගෙන…”

කෙතෙක් ලොකු ව්‍යසනයකදීත් අම්මා අතිශය සන්සුන් ය.

“මට කිව්වනං මං ටෙලිෆෝන් එකෙන් ම කියනව කනේ ඇඟිලි ගහ ගන්න. මං දැකල තියන මහ කැතම ගෑනියෙක්”

පසුබිමෙහි වූ ඒ සියලු කතා මට ඇහුණේ සිහිනයකින් සේ ය. ඒ අතරේ මම සිතමින් සිටියෙමි. 

“ඇයි එහෙම කරන්නෙ…”

අවසන ඉතා දුර්වල ලෙස මගේ හඬ පිට විය. ගැහැනු ගෙදර ස්ත්‍රීන් ගේ ඇස් හය ම මවෙතට හැරවිණ. ඒවා මත ලියැවී තිබුණේ ඉකි ගසා නොව මට විලාප තබා හඬන්නට සිතෙනාකාරයේ හැඟීම් පෙළකි. නදීරා හඬ නැගෙන සුසුමක් හෙළුවා ය. 

මගේ මුහුණේ පේෂීන් තද වී තිබිණ. ඒවා පුපුරු ගසනා බවක් මට දැනිණ. අංශභාග රෝගියෙකු ගේ සෙයින් තොල් කොනක පේෂිය ගැහි ගැහී ගියේ ය. යටි තොල තදින් සපා ගත්තත් ඒ ගැස්සීම නතර වූයේ නැත. 

“මොකද නදීරා ඇත්තටම වෙලා තියෙන්නෙ..”

නැවත ද අම්මා ගේ සන්සුන් ස්වරය නැගිණ.

“විසල්ට නඩු දාල තියෙන්නෙ සෙක්ෂුවල් ඉන්ෆර්මිටි කියන කැටගරි එකෙන්..ලිංගික බෙලහීනතාවය…”

ඉෂිනි ගේ යෝධ අතකින් එසවී මාව පොළොවේ ගැසිණි. මම වීදුරු බඳුනක් සේ කුඩු කුඩු වී ගියෙමි. කන් දෙකෙන් දුම් දමනවා යන වහරෙහි අරුත මට වැටහුණේ ඒ වෙලාවේ ය. පසුබිමෙන් කිසිදු හඬක් නැගුණේ නැත. කවුරුන්වත් කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. හඬ පිට වෙතැයි කවුරුත් හුස්ම ගත්තේ ත් බියෙනි. බරපතල අවමානයක් මට සිදු වූවා සේ ය මා කම්පිත වූයේ. මට දැනුණේ එක ම අවශ්‍යතාවයකි. එනම් විසල් ව තදින් තුරුලු කර ගෙන ඔහු සනසන්නට ය. ඔහු මේ මොහොතේ කෙබඳු ශෝක කලාපයක පසු වෙනවා ඇත් ද? ඔහු කෙතරම් ආත්ම අසරණ කමක වැළපෙනවා ඇත් ද? ඔහු ගේ ආත්ම අභිමානය කෙබඳු අගයක පවතිනවා ඇත් ද?

මේ ගෙදර ගැහැනුන් බොහෝ කාරණා ගැන විවෘත ව කතා බස් කරනා අය වෙති. නමුත් මෙතැන මාතෘකාව වී ඇති කාරණය ගැන එහෙම කතා කරන්නට බැරි කමක් අම්මා ට හා පුංචී ට දැනෙන්නට ඇත. ඒ මෙතැන මා සිටිනා නිසාවෙනි. මේ කාරණය මට ද බලපෑමක් විය හැකැයි ඔවුන් සිතන්නට ඇත. ඒ නිසා ම ඉන් පසු ප්‍රශ්න ඇසීම නතර විය. නමුත් නදීරා නිහඬ වූයේ නැත. ඇය දිගට ම සිදුවීම වූ සැටියෙන් විස්තර කරන්නට වූවා ය.

විවාහයෙන් පසු මධු සමය ට නික්ම ගියා ට ඉෂිනි ට මධු සමයක් ලැබී නැත්තේ ය. විසල් ඇය ව තදින් ප්‍රතික්ෂේප කොට ඇති අතර ඇය වෙත සමීප වීමක් හෝ සිදු ව නැත. කිහිප දිනක් ඉවසූ ඇය මේ ප්‍රතික්ෂේප වීම දරා ගත නො හැකි තැන විසල් ගේ මව දැනුවත් කොට තිබේ. ඇය මේ ගැන පුත්‍රයා විමසනු ලබත්දී සිදු ව තිබෙන කතාව මෙබඳු ය.

“මොනවද පුතා ඔයා ගෙ මේ වැඩ…පිට මිනිස්සුන්ට ආරංචි වුණොත් අපිට පවුල් පිටින් ලැජ්ජ වෙන්න නේද වෙන්නෙ…කසාද බඳිනව කියන දේ මං ඔයාට අමුතුවෙන් තේරුං කරන්න ඕන නෑනෙ. කසාදයක් ඇතුළෙ දෙන්නට දෙන්නගෙන් වෙන්න ඕන විවාහ යුතුකම් අයිතිවාසිකම් කියල දේවල් තියෙනව”

“අම්මලට ඕන වුණේ මේ කසාදෙ කරන්නනෙ…ඉතිං මං කළා. අම්මලට ඕනෙ පවුලෙ දේපල ටික පිට නොයා මට බාර දෙන්නනෙ. හරි ඉතිං දෙන්න මං ඒවත් බලා ගන්නං. හැබැයි එච්චරයි”

“මොනවද ළමයො මේ කියවන විකාර…පිස්සුද…පොඩ්ඩක් හිතන්නකො මේ කෙල්ල ගැනත්”

“මං මෙයාට කිව්වනෙ එයා ගැන මට එහෙම හැඟීමක් නෑ කියල. ඒක තේරුං ගත්තෙ නැතුව මගෙ ඇඟේම එල්ලෙන්න ඕන වුණේ එයාටනෙ. අනිත් එක මං මෙයාව බැන්දෙ නැත්තං අම්මටත් මැරෙන්න ඕන වුණානෙ. නෑ නෑ කවුරුත් මැරෙන්න ඕන නෑ. ඔහොම ජීවත් වෙන්න. මීට වැඩිය දෙයක්නං මගෙන් බලාපොරොත්තු වෙන්න එපා අම්මෙ”

විසල් ගේ සේ ම ඉෂිනි ගේ මව් පියන් ද මේ අර්බුධයට මැදිහත් ව ඇති අතර විසල් ගේ එක ම කතාව වී ඇත්තේ ඔහු එකඟ වූයේ විවාහයට හා දේපළ බාර ගැනීමට පමණක් බවයි. ඉෂිනි ගේ පියා විසල් ට පහර දෙන්නට ගොස් ප්‍රශ්නය දුර දිග ගිය බව ද ඇය හඬ හඬා නදීරා ට පවසා තිබේ.

“අන්තිමට ඉෂිනි ගෙ ගෙදරින් කෙල්ලව ආයෙ මහ ගෙදර අරං ගිහිං. දික්කසාද නඩුත් දාල ඉවරලු. පවුල් දෙක රණ්ඩු වෙලා දැන් ජම්මන්තර තරහයිලු”

අම්මා කම්මුලක අතක් තබා ගනු මම දුටිමි. පුංචි ගේ මුහුණේ ඇය ට ම ආවේණික සිහින් සිනහව ඇඳුණේ ය.. මා හිටියේ භෞතික වශයෙන් මීට අඩි කිහිපයකට ඉහළින් අවකාශයේ පා වෙමින් සේ මට දැනුණි. මෙය සිත මිස කය නොමැති තත්වයක් මෙනි.

මෙවැන්නක් නිර්මාණයක් තුළ දුටුවේ වී නම් එය සුරංගනා කතාවක සිදුවීමක් සේ මවිසින් බැහැර කරන්නට තිබිණි. හැබෑ ලෝකයෙහි සිදු වෙන ස්ත්‍රී හා ළමා අතවර ගැන මා ඕනෑ තරම් අසා තිබේ. බස් රථ වලින් පාසල් ආ මගේ සම කාලීන මිතුරියන්, ඔවුන් ට එවැනි ගමන් වලදී පිරිමින් ගෙන් සිදු වන අයථා හිරිහැර ගැන කියත්දී එකල මා අසා සිටියේ අර්ධ සත්‍යයක් සේ සලකා ගෙන ය. නමුත් වැඩිහිටි ලෝකයට අවතීර්ණ වීමෙන් පසු ඒවායේ සත්‍යතාව මම ප්‍රත්‍යක්ෂ කොට ගතිමි. සජීවී ව නොව තාක්ෂණය ඔස්සේ පවා ස්ත්‍රීන් ගේ ස්ත්‍රී ශරීරය කාම පිපාසී පිරිමින් ගේ ගොදුරු බවට පත් වෙන හැටි මම අසා දැක ඇත්තෙමි. 

ප්‍රේමය ගැන මගේ ම වූ කියවීමක් තිබේ. එය වෙන ම කාරණයකි. නමුත් ලිංගික පරිභෝජනය සඳහා නීත්‍යානුකූලව ම පවරා දෙන ස්ත්‍රියක ප්‍රතික්ෂේප කරන්නට පිරිමියෙකුට හැකි ය හෝ අවශ්‍ය ය කියා කොතැනකදී වත් මම නො සිතුවෙමි. විසල් හා මා අතරේ වූ ප්‍රේමය කෙසේ වී ද ඔහු ඉෂිනි ව ස්පර්ශීය වශයෙන් ප්‍රතික්ෂේප කරතැයි සිහිනයකින් හෝ මට සිතී තිබුණේ නැත. 

අසරණ කමේ ගැඹුරු වූ අගාධයක ගිලී ගොස් මාස කිහිපයක් තිස්සේ ගොඩ ඒමකින් තොර ව සිටි මම, කළල් අතරින් දිය දෙබෑ කර ගෙන මතු පිටට එන්නා වූ සියපතක් සේ පිපෙන්නට වූයෙමි. සමහර විට මා මේ විස්තර කරන්නේ එය ඇති වූ සැටියෙන් ම නො වන්නට පුළුවන. ඒ මොහොතේ මගේ හැඟීම් වල ස්වභාවය ඒ මොහොතේ ඇති ව අතුරුදන් ව ගිය සෙයකි. මා මේ ඇහිඳිමින් ඉන්නේ ඉන් ශේෂ වූ මතක කැබලිති ය.

ඒ වූ කලී විරල ජයග්‍රහණයකි. ගැහැනු ආත්මයකට ලද හැකි සුවිශේෂ ජයග්‍රහණයකි. වෛවාහක පුරුෂයෙකු වුව විවාහක බිරිඳ වෙත ම රඳවා ගත නො හැකි ව ඔවුහු පරදාර සේවනය කෙරේ යොමු වීම ඓතිහාසික සාමාන්‍යකරණයක් ව තිබියදී, පුරුෂයෙකු සිය ප්‍රේමය පරමාදර්ශ නංවනු වස් විවාහක බිරිඳ නෛතික ව පමණක් සිය සෙවනෙහි රඳවා ගන්නට සිතීම එක අතකට විශ්වාස කර ගත නො හැක්කකි. නමුත් විශ්වාස කළ නො හැකි හෝ මෙතෙක් සිදු ව නො මැති ඕනෑ ම දෙයක් මේ මොහොතේ සිදු විය හැකි ය. මේ ඊට ජීවමාන සාක්ෂියකි. 

“මං මිනිස්සුන්ට කියන්න කැමති නැති දෙයක් මේ. ඒත් දැන්නං නොකියා ඉන්න හිතෙන්නෑ. හොඳ වැඩේ ඔය මිනිස්සුන්ට”

පුංචී මිමිණුවා ය. අම්මා ඈ වලකන ධර්ම දේශනයක් කරන්නට වෙනදා සේ පෙළඹුණේ නැත. 

“ඒකනෙ කර ගන්න ඕන වුණේ. හොඳ ම වැඩේ. කසාද බැඳල දේපල ටික පවුල ඇතුළෙ තියා ගන්න කියලනෙ කිව්වෙ.. කොල්ලා කීකරු වෙලා ඒක කළා”

“ළමයින්ගෙ ජීවිතත් එක්කනෙ සෙල්ලං කළේ”

අම්මා ගේ ස්වරයෙහි වූයේ මෙහෙණියක ගේ ශාන්තිමත් බවයි. 

“අර අම්මට හාට් ඇටෑක් හැදුණෙ නැද්ද දන්නෑ පුතාට සෙක්ෂුවල් ඉන්ෆර්මිටි කියල දැන ගත්තහම”

ඉතා ම හොඳ සංවේදී මිනිසුන් පවා, ඔවුන් ට රිදවූ අය ට රිදෙනු දැක කුරිරු සතුටක් විඳිති. පුංචී මේ විඳින සතුට එවැන්නකි. නමුත් මගේ හිත පිරී තිබුණේ වෙනත් ආකාරයක සතුටකිනි. එය වූ කලී ඉතා ඉහළ ස්ථානයක සිට පහළ බලත්දීත් ඇති වෙනාකාරයේ සුවිශේෂ සතුටකි. අන් සියල්ලට වඩා උච්ච ස්ථානයක විසල් විසින් මා තබනා ලද බවක් මට හැඟෙනුයේ ඇයි? ඒ වගේ විරල සතුටක් ගැන කියන්නට මට සිටි හොඳ ම කෙනා විරංග ය. 

“ඒක මාර දෙයක් කිසා. ඒකා ඇත්තටම ඔයාට පැලෙන්න ආදරෙයි. ඒ ආදරේ කොච්චර කොහොම එකක්ද කියල එක්ස්ප්ලේන් කරන්න ඇත්තට ම වචන නෑ. ඔයාට ඔය දැනෙන විදිහ තමයි”

මගේ ඇස් වලට කඳුළු ඉනුවේ ඒ වෙලාවේ ය.

“මං හීනෙකින්වත් ප්‍රාර්ථනා කළේ නෑ එයාට වරදින්න කියල. මට කොච්චර අමාරු වුණත් ඒක දරා ගන්න….එයාට හොඳක් වෙන්න කියලයි මං පැතුවෙ. ඒක බොරු නෙවෙයි විරංග…ඇත්ත..”

මට ඉකි බිඳුණේ ය.

“ඒයි…ඉතිං මේ මොකද අඬන්නෙ…පිස්සි..”

“මට දැනෙන්නෙ කොහොමද කියල මංවත් දන්නෑ විරංග. එයා කොහොමද එයාගෙ හිතේ ඒ තරං උස තැනක මාව තියං ඉඳල තියෙන්නෙ..”

“ඒක තමයි ඇත්ත ආදරේ කියන්නෙ. එහෙම දෙයක් තියනව මේ ලෝකෙ. අවාසනාවකට  එහෙම ආදරයක් හම්බ වෙන්නෑ හුඟක් අයට. ඒත් ඔයාට හම්බ වෙලා…”

“ඒත් මට දුකයි විරංග. එයා කොච්චර අවමානයක් විඳ ගෙනද මන් නිසා…”

“කිසාට විසල්ව මීට් වෙන්න යන්න ඕනද…”

මම එවැන්නක් බලාපොරොත්තු ව නො සිටියෙමි. විරංග ගේ හදිසි පැණය, අනපේක්ෂිත ලෙස මා කලබල කරවූයේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

සුන්දර නිය පෙළක් සඳහා නිවසේ දී ම කළ හැකි නොවරදින සත්කාර

කාන්තාවකගේ දෙපා වල මෙන්ම දෑත් වල සුන්දරත්වය සදහා නීරෝගිමත් නියපොතු ගොඩක් වැදගත්. හානි වුන නියපොතු නිසා ඔබේ දෑතේ මෙන්ම දෙපා වලත් සුන්දරත්වයටහානි...

ශරදාකාසේ -30

පවුලක් බිඳී යාම යනු  නීත්‍යානුකූල වූ බැඳීම් ලිහී යාමක් ම නොවේ. එහිදී ශරීරයක සියලු සෛල වල බිඳී යාමක් සිදු වේ. සිතක ක්ෂුද්‍ර...

කලගුණ

"පැතුම්,මේ මගේ යාළුවෙක්.රුවිනි.මෙයා මේ එක්සෑම් එකකට උදව් ගන්න කෙනෙක් හොයනවා" දිල්මි පැතුම්ට එහෙම කිව්වේ මිතුරිය හඳුන්වා දෙන ගමන්.මිතුරිය මේ...

හිමගිරි අරණ -15

"මම අද රවිඳුට කෑම එකක් ගෙනාවා.ඒ මනුස්සයා දවල්ට කන්නේ නෑ කියන්නේ." හිමාෂා හිස ඔසවා බැලුවේ පාරමීගේ පැමිණිල්ල ඇසී ය.පාරමීගේ...

සිරුරේ බර අඩු කරන සාර්ථක උපක්‍රම 8 ක්

ඕනම කාන්තාවක් කැමතියි තමන්ගේ ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගන්න. විශේෂයෙන්ම කාර්යබහුල ජීවිත ගත කරන කාන්තාවන්ට තියන ලොකුම ගැටලුව ව්‍යායාම කරන්න කාලයක් නැති...